‘ඉන්දියන්කාරයෝ මෝඩයෝ’ ඒ බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනෑ

  👤  5948 readers have read this article !
2018-02-18

ඒ නොවැම්බර් විසි එක් වැනිදාය. කුමන හෝ හේතුවක් නිසා දෙදිනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට තිබිණි. අපට දැනුණේ ඉමහත් සහනයකි. මුර සේවාවෙන් වැළකී සිටින්නට හැකි වනු ඇත. නා ගන්නට සහ තරමක් හෝ හොඳ ආහාර වේලක් උයා පිහාගෙන කන්නට ඉඩක් ලැබෙනු ඇත.

එදින උදෑසන හතහමාර පමණ වන විට අපි සිටියේ අලවෙට්ටි රජයේ පාසල අසලය. එනම් යාපනය නරගයේ සිට කිලෝමීටර් පහළොවක් පමණ වයඹ දිශාවට වන්නටය. අහස වැහි වලාකුළුවලින් බර වී තිබිණි. ඒ වන විට අපි හෝරාවක පමණ කාලයක් ඇවිද විත් සිටියෙමු.
"මං ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ"

පාසලේ ක්‍රිකට් පිටියට ආසන්න වෙත්ම මුරලි මා හා කීවේය. ගම්බද පාසලක වුවද එය විශාල අංගසම්පූර්ණ පාසලක් විය. රට පුරා දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලාංකික රජය ගෙනයන හොඳ ක්‍රියා පටිපාටියකි. පෞද්ගලික පාසල්වල දරුවන් හට පවා පෙළ පොත් ලබා දුන්නේ නොමිලයේම රජයෙනි.
"ඉස්කෝලේ යන කාලේ ඔක්කෝටම මහා කරදරකාරයෙක් වෙන්ඩැති."
මම කියවාගෙන ගියෙමි.

"ඉතින්, ඊට පස්සේ ඉස්කෝලෙන් පන්නලා දැම්මා. ඊළඟට මොනවා හරි වැඩක් ඇති දෙයක් කරන්න ඕන කියලා කොටි සංවිධානෙට බැඳුණා."
මගේ කතාවට මුරලි හඬ නඟා සිනාසුණේය.
"මම තමයි ඒ කාලේ පන්තියේ ලොක්කා."

අපට බොහෝ දෑ කතිකා කළ නොහැකි විය. අජන්ති සහ අකිලා මුරලි පිටුපසින් පෙනී සිටියේ මාද ඔවුන් දෙදෙනාගේ පොකුරට ඇද ගනිමිනි.
"අර පඳුර පිටිපස්සේ වලහෙක්ද කොහෙද ලොකු කළු පාට එකෙක්. අපි ගිහින් බලමුද?" අජන්ති මිමිනුවේ කුතුහලයෙනි
"ගම්වල වලස්සු ඉන්නවාද?"

නුදුරෙහි වූ විශාල පඳුර පිටුපසට හා එබී බැලුවේ බොහෝ ප්‍රවේශමෙනි. මා සන්ත්‍රාසයට පත් වූයේ මේ උණුසුම් උදෑසන කළු පැහැති සම් ජැකැට්ටුවකින් සැරසී එහි වූ ලී බංකුවේ වැතිර සිටි පුද්ගලයා දැකීමෙනි. ඒ මහත්තයාය.

ගස් අතරින් මතුවූ කලබලය දැනුණු මහත්තයා අප දෙස හැරී බැලුවේය. අප හඳුනාගත් ඔහුගේ මුහුණේ මඳහසක් මතු විය.
"මහත්තයයියට මැලේරියාව," ගාන්ධි, ඔහුගේ ආරක්ෂක භටයා කීවේය.
අප හැරී ගියේ වලසා පිළිබඳව සිත තුළ පැවැති භීතියෙන් මුළුමණින්ම නිදහස් වෙමිනි. මහත්තයා එලෙස සිටිනු දැකීම එක අතකට අපට විනෝදයක් විය.
"පව්, අහිංසකයා ලෙඩ වෙලා. අලුත් මනමාලි ළඟ නැති නිසාද දන්නේ නෑ."

වැඩි වෙලාවක් යන්නට මත්තෙන් තවත් කොටි සෙබළ ඒකක පහක් එකී පාසලට රැස්විය. ඒ හැම ඒකකයකම තරුණයන් පහළොස් දෙනකුගෙන් සමන්විත විය.
අප සියලු දෙනාම තෙතමනය සහිත අඳුරු ශාලාවකට රැස් වූයේ නැවතත් වර්ෂාව ආරම්භ වූ බැවිනි. මහත්තයා වට කොට අපි සියලු දෙනාම සිටගෙන සිටියෙමු. අසනීප බව නිසා ඔහුට සිටගෙන සිටින්නට තරම්වත් ශක්තියක් තිබුණේ නැත. එහෙත් ඔහු එහි සිටියේ මැක්කන් පමණන් නොව තුවාලද සහිත වූ අයාලේ යන බල්ලකු අතගාමිනි.
''මට හරිම දුකයි මේ සත්තු ගැන." මහත්තයා සුසුමක් හෙළුවේය.
"අයිතිකාරයෝ ආරක්ෂාවට කෝවිල්වලට යන්නේ සත්තුන්ව දාලා"

අප යෙදී සිටින්නේ මිනිසුන් ඝාතනය කිරීමේ ව්‍යාපාරයකය. මහත්තයා ඒ අතර අයාලේ යන සතුන් පිළිබඳව කම්පා වෙමින් සිටී.
"මේ යුද්දෙදි තමන්ගේ කිට්ටුම සගයෝ නැතිවෙලා යන්ඩ පුළුවන්"
බල්ලා අත හැර අප දෙසට හැරෙමින් මහත්තයා කීය.

"ඒ අය වෙනුවෙනුත් දෙමළ ජනතාව වෙනුවෙනුත් මේ යුද්දෙ කොහොම හරි දිනාගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. මැරෙනවුන්ගේ හීන අපි හැබෑ කරන්න ඕනෑ. හැබැයි අමතක කරන්න එපා ළඟ ඉන්න යාළුව මරුණම එයාගේ ශරීරේ පළිහක් විදියට පාවිච්චි කරන්න ඕන. එතැනින් යනකොට මැරිච්ච යාළුවගේ අවි ආයුධ ඔක්කොම අරගෙන යන්ඩත් ඕන. අනාගතයේදී පුළුවන් අපිට ඒ අය වෙනුවෙන් ශෝක වෙන්න"
මඳකට නිහඬ වූ මහත්තයා නැවතත් කතා කළේය.

"ඉන්දියන්කාරයෝ මෝඩයෝ. අපි ඒ බව උන්ට ඒත්තු ගන්නන්න ඕන. හැම කෙනකුටම මේ සටනෙදි වැදගත් රාජකාරියක් කරන්ඩ තියෙනවා. අපි බොහොම බලසම්පන්න බව උන්ට පෙන්වන්න ඕනෑ."

අප එදින රාත්‍රිය ගත කළේ තවත් අත්හැර දමනු ලැබූ නිවෙසක ඉස්තෝප්පුවෙහිය. එය පිහිටා තිබුණේ මුරලිගේ පාසලට කිලෝමීටර් කිහිපයක් දුරිනි. හිමිදිරියටත් පෙරාතුව අප අවදි කරවනු ලැබිණි. ඒකක හතකට බෙදුණු කණ්ඩායම් වෙන් වෙන්ව ගමන් ඇරැඹූහ. අපේ කණ්ඩායමත් මුරලිගේ ඒකකයත් එක්ව ගමන් කිරීම මට සතුටක් විය. අපගේ ගමනාන්තයෙහි නවාතැන වූයේ නිදන කාමර දෙකකින් මෙන්ම ගෘහ භාණ්ඩවලින්ද සමන්විත වූ හොඳ තත්ත්වයේ නිවහනකි. සටන් විරාමය ඒ වන විටත් පැවැති බැවින් අපි ළිඳ අසලට ගොස් නා ගතිමු. රෙදි සෝදා වියළා ගතිමු. වැඩිමහලු ගැහැනු ළමයි ආහාර පිසූහ. තරුණයන් විසින් ඔවුනට එළුවකු ද ගෙනැවිත් දී තිබිණි.
ඉතිරි වූ අපි කිහිපදෙනා මාරුවෙන් මාරුවට නිවෙස ඉදිරිපිට මුර සේවාවෙහි යෙදී සිටියෙමු. මේ අතර සාමාන්‍ය මිනිසුන් ලෙස පෙනී සිටිමින් මුරලි හා ගාන්ධි ගම්මානයට ගොස් සිටියහ.

මුර සේවාව භාරව තිබුණේ ලේඛා සහ මා හටය. එහෙත් අජන්ති, අකිලා සහ නිහින්තාද අසල වූ ටයරයක් මත වාඩිවී අප සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියහ. බොහෝ දිනකට පසු ඉර පායා තිබූ බැවින් සැබැවින්ම එය සොඳුරු දවසක් විය.

හදිසියේම වේගයෙන් ආ පාපැදියක් ගෙවත්තට ඇතුළු විය. එය පදවාගෙන ආ තැනැත්තා තිරිංග තද කළ ද ඔහුට එය නවතාගත නොහැකි විය. අප පසු කරමින් ළිඳ දෙසට ඇදී ගිය එය අසල වූ පොල් ගසක වැදී උඩුකුරුව පෙරළී ගියේය. පාපැදිය පදවාගෙන ආවේ ගාන්ධිය. එහි පිටුපස සිටියේ මුරලිය. දෙදෙනාගේම මුහුණුවල සටහන්ව තිබුණේ භීතියකි.

ඔවුන් දෙදෙනා බිම ඇදවැටුණු ආකාරය දුටු අපට සිනා නොවී සිටිය නොහැකි විය. දූවිලි පිස දමමින් දෙදෙනා නැඟිට සිටියහ. ඔවුන්ගේ මුහුණ රත්පැහැ ගැන්වී තිබිණි.
"නූලෙන් බේරුණා. තව ඩිංගෙන් දෙන්නම ළිඳේ." මා කීවේ සිනහව අතරින්මය.

"ඔයලා ආවේ හරියට හොල්මනකට බයවෙලා වගේ."
ලේඛා සිනාසුණේ බඩ අල්ලාගෙනය.
"ඔව්. අපි දැක්ක දේ හොඳ දෙයක් නොවෙයි."
මුරලි පැවැසුවේ බැරෑරුම් ස්වරයකිනි.
"හමුදාවේ පහළොවක් විතර මේ පැත්තට එනවා මේ කිට්ටුවමයි එන්නේ."

ගාන්ධි සිටියේ බයිසිකලයේ අත් වාරුවේ ඇති
වූ ඇදය නිවැරැදි කරන්නට උත්සාහ ගනිමිනි.
"ඉතින් මොකද? දැන් සටන් විරාමෙනේ." අජන්ති පැවැසුවේ තවදුරටත් සිනාසෙමිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon