අවිචාර සමය

  👤  4757 readers have read this article !
2018-02-18

දේශපාලන රඟමඬලේ විසූක දස්සනවලින් පිරුණු සතියක් ගෙවී ගියේය. සෑම තත්පරයකම අසීමිත වටිනාකමක් ඇති ලෝකයක සතියක්ම ගෙවී ගියේ ඊළඟ මොහොතේ රඟ දක්වන දේශපාලන නරි නාටකය කුමක් දැයි දෙකෝටියක් ජනයා රූපවාහිනි යන්ත්‍ර දෙස කට අයා බලා සිටිද්දීය. මෙවැනි නායකයන් ලබන්නට ලංකාව පෙර පින් කර තිබුණා විය යුතුය.

ගෙවුණු සතියේ ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක වැඩ කෙරුණේ නැත. කිසිදු අමාත්‍යාංශයක් මහජන සේවාවක නියැළුණේ නැත. ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබුණේද නැත. පාලකයන්ට ඒ ගැන හැඟීමක් තිබුණේද නැත. ආණ්ඩුව හිටි තැනම නතර වී කල් වැරුවේය. නිදහසේ 70 සමරා සතියක් ගෙවී ඇති අතර ලංකාව එක තැනම පල් වෙමින් තිබේ.

අවුරුදු තුනක් තිස්සේ ඉල්ලා ලබාගත් පළාත් මැතිවරණය අවසන් විය. ජන වරම ලැබූ අය පුංචි ආණ්ඩුව පිහිටුවා වසර ගණනාවක් ආපස්සට ගිය ගමේ කටයුතු ආරම්භ කරන්නට වැඩට බැසිය යුතුය. පළාත් මැතිවරණයෙන් දින 7ක් ගතවී ඇතත් ගමේ වැඩට අත ගසන්නට කිසිම මහජන නියෝජිතයකු තවමත් සිතා නැත. සියල්ලෝ පිට පොට පටලවාගෙන දඟලති. අති බහුතරයක් ජනතාවටද ඒ පිළිබඳ වගකීමක් නැති වීමෙන් පෙනෙන්නේ අප ජාතියක් හැටියට ගිලී සිටින පරිහානියේ තරමය.

සෝවියට් රතු හමුදාව 1927 පීටර්ස්බර්ග් නුවර බලය අල්ලාගත් විට නගරයෙන් ඔබ්බෙහි අෑත ප්‍රදේශ අරාජික විය. විප්ලවය පිටිසර ගම්මාන කරා එන්නට කල්ගත විය. මිනිසුන් සෑම උදෑසනකම ජනෙල් පියන් ඇර පිටත බැලුවේ අද ගම පාලනය කරන්නේ කවුරුන් දැයි දැන ගන්නටය. පසුගිය සතියේ එවැනි තත්ත්වයක් මෙරටද දැකිය හැකි විය. එක් දිනක අගමැති රනිල්ය. ඊළඟ දවසේ කරු ජයසූරිය යැයි කතා වෙති. ඊළඟට නිමල් සිරිපාල ද සිල්වා අගමැති යැයි කියති. එජාපය තනි ආණ්ඩුවක් හදනවා යැයි උදේ පාන්දර කියා, ආණ්ඩුව හදන්නේ ශ්‍රී ලනිප යැයි හවස කියති. රටේ වගකිවයුතු ඇමැතිවරුන් මහජන මුදල් ලක්ෂ 300ක් වැය කර මිලදී ගත් මොටෝරියේ වීදුරුව පහත් කර මුහුණ එළියට දමා මයික්‍රෆෝනයට කියන්නේ ආණ්ඩු පිහිටුවන්නේ කවුද කියා ඉදිරි දින දෙකේ බලාගත හැකි බවය. දින 7ක් මේ කතාව කීවෝය. 10 වැනිදා පැවැත්වූයේ ප්‍රාදේශීය මැතිවරණයක් බව මැති ඇමැතිවරුන්ට මතකත් නැත. රටේ ජනයාට මතකත් නැත. අනේ මෙහෙම වල්මත් වී හසරක් නොදුටු රටක්, ජාතියක් කියා අහල පහළ රටවල මිනිසුන් හිනා වෙනවා ඇත.

මවුපිය, වැඩිහිටියන්, රට කරවන පාලකයන් හා එක්ව මෙසේ උන්මත්තක ස්වභාවයෙන් හැසිරෙන බව බාල පරම්පරාවට වැටහීමක් නැතිවා විය හැකිය. එසේ වුවත් 2015 අගෝස්තුවේ මහ මැතිවරණය තිබ්බා නම් ව්‍යවස්ථාවට අනුව ඊළඟ මහ මැතිවරණය එන්නේ අවුරුදු 6කට පසු 2021 අගෝස්තුවේ බව අට පාස් දරුවෝද දනිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ඊට පෙර ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් තියන්නට විධායක ජනාධිපතිවරයාටද බලයක් ලැබෙන්නේ වසර 4 1/2ක් ගෙවුණු තැනය. දේශපාලන රඟමඬලේ නළුවෝ සියලු දෙනා මේ බව හො¼දාකාරව දනිති. එහෙත් ඔවුන්ට රට ගැන හෝ රටේ සංවර්ධනය ගැන හැඟීමක් නැත. ඔවුන්ගේ මන‍ෙදාළ සපිරෙන්නේ මෙවැනි විසූකදස්සන පෑමෙන් පමණි. කුමක් හෝ ඇමැති පට්ටමක් ලැබේ නම් රටට, ජනතාවට කුමක් වුවත් ඇමැතිකම රැකේ නම් ඔවුන්ට ඒ හොඳටම ඇතිය. ඊටම හරියන ප්‍රේක්ෂකයන් පිරිසක් ලංකාවේ කෝටි දෙකකට මඳක් වැඩි ජනගහනය අතර සිටිති. සුනාමිය වැනි ස්වාභාවික විපතක් මේ අවිචාර සමයේ සිදු වුවහොත් කියන්නේ මොන දෙවියන්ට දැයි අපි නොදනිමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි පළාත් ආයතන සංඛ්‍යාවක බලය හිමි කරගත් බව සැබෑය. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය උතුර හා නැඟෙනහිර පළාත්වල බලය හිමිකර ගෙන ඇත. දැන් කළ යුත්තේ ආණ්ඩු පෙරළන්නට කතා කරමින් කාලය කා දැමීම නොවේ. දේශපාලන මතභේද මෙතෙකින් නිමාකොට අතපසු වූ, පමා වූ පළාතේ සංවර්ධන වැඩ ඉදිරියට කරගෙන යන්නට බලය ලැබූ පක්ෂවලට උදවු කිරීමය. දේශපාලන මහත්වරුනි, පරිහානියේ අගාධයේ ගිලෙමින් තිබෙන මේ අවාසනාවන්ත රට ගැන දැන්වත් පොඩ්ඩක් හිතව්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon