පුංචි ආණ්ඩුවේ මන්ත්‍රිවරියෝ

  👤  4494 readers have read this article !
2018-02-20

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% විය යුතු බවට ගෙනා නව නීතිය නිසා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රිවරුන් තෝරා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇති බවය. ඒ නිසා පළාත් පාලන සංශෝධිත පනත නැවත සංශෝධනය කිරීමට සභාපතිවරයා යෝජනා කර ඇත.

කාන්තා නියෝජනය පිළිබඳ ප්‍රශ්නය කෙසේ වෙතත් නව සංශෝධනයට අනුව මැතිවරණය පැවැත්වීමෙන් පසු යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බව නම් පැහැදිලිය. රාජපක්ෂ ආණ්ඩුව සකස් කර තිබූ සංශෝධිත පනත් කෙටුම්පතට වඩා අලුතින් සම්මත කර ගත් නව කෙටුම්පත ප්‍රගතිගාමී වුවද එහි 'ගැටලු' කිහිපයක් තිබෙන බව නම් සත්‍යයකි. මන්ත්‍රිවරුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යෑම ඉන් ප්‍රධානය. කාන්තා නියෝජනය 25%ක් කිරීමද ඊට බලපා ඇති බව පැවැසේ.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක 'සිරිලක සිරිකත' ලෙස හැඳින් වීය. සිරිකත යනු ශ්‍රියා කාන්තාවය. නිවෙසකට සිරිකත විය හැකි කාන්තාවකට රටකට සිරිකත විය හැකි බව මැතිනිය ඔප්පු කළාය. එහෙත් ඇය පවා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ සිය සැමියාගේ අකල් මරණයෙන් පසුව ඇති වූ හිඩැස පිරවීමටය. මෙරට ප්‍රථම මන්ත්‍රිවරිය ලෙස සැලැකෙන ඇඩ්ලින් මොලමුරේ පවා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ කතානායක ධුරය දැරූ සැමියාගේ මරණයෙන් අනතුරුවය.
දේශපාලන ඥාතීත්වයකින් තොරව එදා මෙදා තුර ක්‍රියාකාරි දේශපාලනයට පිවිස ඇත්තේ කාන්තාවන් අතළොස්සක් පමණි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය නීතියෙන් තහවුරු කිරීමට සිදුවූයේ ක්‍රියාකාරී දේශපාලනයේදී කාන්තාවන්ට නිසි තැන නොලැබෙන බව සනාථවීම නිසාය. අධ්‍යාපනයේදී මෙන්ම, විදේශ විනිමය උපයාදීමේදී කාන්තාවන් සිටින්නේ ඉදිරියෙනි. රාජ්‍ය පරිපාලනයේත්, පෞද්ගලික අංශයේත් කාන්තා නියෝජනය ඇත්තේ ඉදිරියෙනි. ගෘහ පාලනයේ, ස්වයං රැකියා කේෂ්ත්‍රයේද කාන්තාවෝ ප්‍රබල භූමිකාවක් ඉටු කරති. එහෙත් ක්‍රියාකාරි දේශපාලනයේ කාන්තා නියෝජනය ඉතා අවම මට්ටමක පවතී.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් විය යුතුය යන නීතියට අනුව මෙවර පුංචි ඡන්දය පැවැත්වූ අතර කොට්ඨාසවලින් ඉදිරිපත් වූ කාන්තාවෝ 90%ක් තේරීපත් වී සිටිති. කොළඹ මහ නගර සභාවට කාන්තාවන් රැසක් පත්වී ඇති අතර රෝසි සේනානායක මහත්මියට කොළඹ ප්‍රථම පුරපතිනිය වීමේ අවස්ථාව හිමි වී තිබේ.
පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින මන්ත්‍රිවරියන් අතරින් ළාබාලම මන්ත්‍රිවරිය වන්නේ අනුරාධපුර මහ නගර සභාවට තේරීපත්ව සිටින සචිනි කාරියවසම්ය. විශ්වවිද්‍යාල වරම් ලැබූ ඇය 19 හැවිරිදි ශිෂ්‍යාවකි. මෙරට ඉතිහාසයේ වාර්තාවක් තබමින් ප්‍රථම ආදිවාසි මන්ත්‍රිවරියක්ද පත්ව සිටින්නීය. ඒ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනි ශිරෝමාලාය.

මෙවර මැතිවරණයේ අපේක්ෂිකාවන්ගෙන් අති බහුතරය මන්ත්‍රිවරියන් ලෙස තේරී පත්වීමෙන් පෙනෙන්නේ කාන්තා නියෝජනය ඡන්දදායක ජනතාව අපේක්ෂා කරන බවය. කාන්තා නියෝජනයට මුල් තැනක් දීමට ගත් පියවර ජනතාව අනුමත කර ඇත. '25% ප්‍රශ්නය' ගැඹුරින් සාකච්ඡා කළ යුත්තේ කාන්තාවන්ට අසාධාරණයක් නොවන ආකාරයටය. මෙරට ජනගහනයෙන් 52%ක් වන කාන්තා පරපුර වැඩි වැඩියෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමෙන් පිරිමින්ගේ ග්‍රහණයට හසු වී ඇති මහජන නියෝජිතයන්ට මීට වඩා ජනහිතකාමී වීමට යම් බලපෑමක් කරනු ඇත.

කාන්තාවන්ගේ 'අලුත්' අදහස් දේශපාලනයට අවශ්‍යය. කාන්තාවන් ප්‍රමුඛ තරුණ පරපුරේ සහභාගිත්වය මෙරට දේශපාලනයට අත්‍යවශ්‍යය. වඩා වැදගත් වන්නේ දේශපාලනය පිළිබඳ දැනුමැත්තන්ව තෝරාපත් කිරීමය. කාන්තා නියෝජනය, තරුණ නියෝජනය යැයි පවසා දේශපාලනයේ 'අයනු ආයනු' නොදන්නා අය පත් කර එවීම කිසිසේත් බුද්ධිගෝචර නැත. අඩුම ගණනේ මෙසේ පත්වන මන්ත්‍රිවරියන් සඳහා අදාළ ආයතනයකින් දැනුම සම්පාදනය කළ යුතුය. සබුද්ධික ජනතාවක් මෙන්ම සබුද්ධික මහජන නියෝජිතවරියන් හා නියෝජිතයන් රටට අත්‍යවශ්‍ය වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon