රාජකීය ඇන්දිල්ල

  👤  5313 readers have read this article !
2018-02-22

රජ ඇන්දිලි, රජ කපටිකම්, රජ බොරු අස්සේ ඇසුණු රජ කතාවකි මේ.
රාජපුරුෂයා: අවසර පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස!
රජ: එහෙමයි! මොකාද යකෝ උඹ මේ කුදලලා අරන් ඇවිත් තියෙන්නේ.

රාජපුරුෂයා: දේවයන් වහන්ස මේකා තමයි මේ ගම් නියම්ගම් පාළු කරමින් සොරකම් කරපු සොර දෙටුවා. මූ මහා දවාලේ නෙව හොරකම් හැම එකක්ම සිද්ධ කරලා තිබුණේ. සමහර දේවල්වලට හොරකම්ම කියන්නත් අමාරුයි දේවයන් වහන්ස. මූ වැඩි හරියක් මිනිසුන් මුළා කරලා තමයි මේ හොරකම් සිද්ධ කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ දේවයන් වහන්ස මූ අතට අහු වුණත් මුගේ කපටිකමින් අල්ල ගත්ත මිනිහගේත් ඉණ ඉහ අතගාගෙන මාරු වෙනවා නොවැ.
හොරා: ම්හු... ම්මු... ම්හු...

රජ: මොකෝ බොල මුගේ කටේ මේ රෙදි ගුළියක් හිර කරලා. මූ හොරෙක් වුණාට සර්පයෙක් වගේ දෂ්ට
කොරනවාය. ගලවපිය ඔය කටේ ඔබලා තියන රෙදි ගුළිය.
රාජපුරුෂයා: පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස ඒක නම් කරන්න එපා ඕං.
රජ: ඒ මොකෑ බං ඒ.
රාජපුරුෂයා: අවසර...! ඕකගේ කට තමයි දේවයන් වහන්ස ඕකට තියන ලොකුම ආයුදේ. ඕකා කට ඇරියොත් ඕනෑම මිනිහෙක් ඕකගේ වචනවලට රැවටිලා ඕකා දෙන ලණු ගිලිනවා. ඒ හින්දම මම අල්ලගත්තු ගමන් වචනයක්වත් කතා කරන්න කලින් තමයි ඔය රෙදි ගුළිය කටේ එබුවේ. බැරිවෙලාවත් ඕක එබුවේ නැත්නම් ඕකා අනිවාර්යෙන් මාව ගොනාට අන්දලා මගේ ආයුධවලටත් ඇරලා තමයි මාරු වෙන්නේ. ගලවන්න නම් එපා දේවයන් වහන්ස. ගැලෙව්වොත් ඕකා ඔබ වහන්සේගේ කනින් රිංගලා රාජ සභාවම ගොනාට අන්දලා මාරු වෙයි.
රජ: රාජ පුරුෂය...! මොකක්ද තා කීවේ. මාව ගොනාට අන්දන්න. හිතුවා මදි, තෝ දන්නවාද මගේ නුවණ ගැන මුළු ලංකාද්වීපයේම ඇති ප්‍රසිද්ධිය. වහාම ඕකාගේ අත පය ලිහා ඔය මුඛයේ ඇති රෙදි ගුළිය ඉවත් කරනු.
රාජපුරුෂයා: එහෙමයි දේවයන් වහන්ස.. එහෙමයි.

රජ: එම්බා සොර දෙටුව තා මේ කර ඇති අපරාධවලට නිවැරැදිකරුද වැරැදිකරුද?
හොරා: පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස. නිවැරැදිකරු වෙමි.
රජ: එම්බල රාජපුරුෂය තෝ මෙම සොරාට විරුද්ධව සාක්ෂි රැගෙන ආවේද?
රාජපුරුෂයා: : එහෙමයි දේවයන් වහන්ස බොහොම අමාරුවෙන් පිරිසක් කැඳවාගෙන ආවා. බොහෝ දෙනෙක් තමාට වුණු සිදුවීම් කියන්නත් ලැජ්ජාවෙන් ඉදිරිපත් වෙන්නේ නෑ දේවයන් වහන්ස. ඔය ඉන්නේ ඒ කැඳවාගෙන ආපු පිරිසයි දේවයන් වහන්ස.

රජ: එම්බල නරයිනි, මේ රාජපුරුෂයා කියන්නේ සැබෑවක්ද?
පිරිස : පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස එහෙමයි! මූ අපේ බොහෝ සම්පත් අපි බලාගෙන ඉද්දිම කොල්ලකෑවා අපිව ගොනාට අන්දලා.
රජ: එම්බල සොර දෙටුව, තමා මේ කර ඇති අපරාධ සැකයක් නොමැතිව ඔප්පු වන හෙයින් තොපට මරණීය දණ්ඩනය නියම කරමි. නිදහසට කාරණා ඇතොත් වහාම ඉදිරිපත් කරනු.

හොරා: පෙනුමෙන් නම් එහෙම නෑ. ඒත් ඉතින් කාටද කියන්න පුළුවන්.
රජ: කුමක්ද සොර දෙටුව තා මුනු මුනු ගාන්නේ. කියන දෙයක් සියලු දෙනාට ඇසෙන ලෙස කියව. කිමද තා මරණ බයින් තැති ගත්තේද?
හොරා: අවසර රජතුමනි, මේ පිරිස ඉදිරියේ කීවාට කමක් නැතිද?

රජ: මේ රාජ සභාවේ කිසිදු රහසක් නැත. වහා කියපිය. තෝ මුනු මුනු ගාමින් කියූ දෙය.
හොරා: අවසර රජතුමනි, මම පැවසුවේ පෙනුමෙන් නම් එහෙම නෑ. ඒත් ඉතින් කාටද කියන්න පුළුවන් කියලා දේවයන් වහන්ස.
රජ: මොකක්ද යකෝ ඒකෙ තේරුම. කියන දෙයක් තේරුම් ඇතිව කියපිය.

හොරා: එහෙමයි දේවයන් වහන්ස එහෙමයි. මම ඉපදුණු විගස මගේ මෑණියන් නැකැත්කරුවකු ලවා මගේ කේන්දරය සාදා ඇත. ඔහු කේන්දරය සාදා දී පලාපල ද මෑණියන්ට පවසා ඇත. එම පලාපලවලින් කියැවුණු සෑම දෙයක්ම මේ වනවිට සත්‍ය වී ඇත. නමුත් ඔහුගේ අන්තිම පලාපලය ගැන මට අවිශ්වාස නිසා එලෙස ප්‍රකාශ කෙරුවෙමි.

රජ: කුමක්ද ඔහුගේ අන්තිම පලාපලය. වහා කියපිය.
හොරා: ඔහු මා සොර දෙටුවකු වන බවත් කවදා හෝ මිය යන්නේ අවජාතකයකු අතින් බවත් අවසානයේ කියා ඇත. මා සොරකු වූ බව නම් සත්‍ය වී ඇත. නමුත් අවජාතකයකු අතින් මැරෙන බව කීම නිසයි පෙනුමෙන් නම් එහෙම නෑ, ඒත් ඉතින් කාටද කියන්න පුළුවන් යැයි කියා සිටියේ දේවයන් වහන්ස.
රජ: එම්බා රාජපුරුෂය වහාම මේ බල්ලා මේ නුවරින් පිටුවහල් කරව. තොපි ගෙනාවොත් ගේන්නේ මේ වගේ එවුන් තමයි.
රජා ඇන්දුණේ ය. මහ දවල් හොරකම් කර, මොකුත් නොවුණා සේ ජනතාව මුළා කළ මහ හොරාගේ කපටි නුවණට රජා හසු විය.

මාමාගේ ඇන්දිල්ල
ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යි. ප්‍රජාවගේ සාමූහික තීරණය මත ගොඩනඟා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුළ සාමූහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම දෙකකි.
1. සාමූහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් වීම.
2. පාලනය ක්‍රියාවට නැංවීම සඳහා සෑම දෙනාටම
එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතු වීම.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යයට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමාජයක දක්නට ලැබේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන, සංස්කෘතික ස්වරූපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු සාපේක්ෂ සංකල්පයක් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය.

77' මැතිවරණ ජයග්‍රහණය ජේ.ආර්. හැඳින්වූයේ විපර්යාස සිදු කිරීමට දුන් ජන වරමක් ලෙස ය. ජේ.ආර්. විපර්යාස කළේ ය. ආණ්ඩුව ඕනෑවටත් වඩා ස්ථාවර විය. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. බලයත් එහෙමය. 77' ජන වරම ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැව්වේ ය. විධායක ජනාධිපති ක්‍රමය බිහි විය. ගැහැනියක පිරිමියකු කිරීම හැර අන් සියල්ල සිදු කළ හැකි ජේ.ආර්. ගේ ව්‍යවස්ථා පෙරළිය වැඩි කලක් යන්නට පෙර රට අන්තෙටම අස්ථාවර කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජේ. ආර්. ජනතාව ගොනාට ඇන්දුවේය.

"මහජන මුදලින් රුපියල් හාරකෝටි තිස් හත් ලක්ෂ නව දහස් අටසිය අසූ අටක් වැයකොට 1982 දෙසැම්බර් මස 22 වැනි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනමත විචාරණය පැවැත්විණි. සෘජු මහ මැතිවරණයකට නොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතක් ගෙන ඒම හරහා ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් දීර්ඝ කර ගනිමින් ජේ. ආර්. සහ ආණ්ඩුව ලෝක වාර්තාවක් පිහිටුවීය.
මෙම ව්‍යවස්ථා උප්පරවැට්ටිය 'ලාම්පු - කළගෙඩි සෙල්ලම' ලෙස අප නාම ගැන්විණි. ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය කෘතියේ කතුවරුන් පවා එය හැඳින්වූයේ 'ගරුත්ව නාශක ජනමත විචාරණය' ලෙසිනි.

මෙම දේශපාලන අඩව්ව අල්ලන්නට ජේ. ආර්.ට පසුබිම සම්පාදනය කළේ, ඔහු රටට හඳුන්වා දුන් විධායක ක්‍රමයත් ඒ අනුව 1982 දී පැවැත්වුණු ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණයත්ය. එහෙයින් 'ලාම්පු - කළගෙඩි සෙල්ලමේ' ස්වරූපය හඳුනාගන්නට නම් අප 1982 ඔක්තෝබර් 20දා පැවැත්වුණු ජනාධිපතිවරණය දෙස ආපසු බැලිය යුතු වෙයි.

මහ මැතිවරණයකට නොයා ජනාධිපතිවරණයකට යෑමේ උපක්‍රමය අපූර්ව විස්මයක් දැනවූවකි. ජේ.ආර්. 1982 ඔක්තෝබර් 02දා කතාවක් කරමින් තමන්ගේ අරමුණ වන්නේ විපක්ෂය දේශපාලන වශයෙන් මුළුමනින්ම විනාශ කිරීම බවත් එය සිදුවීම ඒකාන්ත බැවින් තවත් වසර 10කට ලංකාවේ ඡන්ද සිතියම අකුළා දැමීම අවශ්‍ය බවත් ප්‍රකාශ කළේ,'හොරාට ඉස්සරහින් කෙහෙල් කැන වැට පැන්නා' කියන්නා සේය."

ගාමිණී දිසානායක - යුග මෙහෙවරක කතාව (පිටුව 206)
"මහ මැතිවරණයක් ජනමත විචාරණයක් මඟින් ආදේශ කිරීමට ගත් මෙම තීරණය ඡන්ද ක්‍රියාදාමය කෙරේ ශ්‍රී ලාංකික ජනතාව තුළ තිබුණු විශ්වාසය දුබල කිරීමට හේතු කාරක වූ බව සඳහන් කළ යුතුය. ඒ සමඟම මේ ජනමත විචාරණය පවත්වන ලද ආකාරය ඒ අවස්ථාවේ එජාප ආණ්ඩුව ලැබූ ජන වරමෙහි විශ්වසනීයත්වය පලුදු කරන්නක්ද වූයේය. ඉන් අනතුරුව මහජනතාව තුළ නරුමවාදී ප්‍රතික්‍රියා ජනිත විණි. මීටත් වඩා අහිතකර වූයේ ඊට මාස දෙකකට පෙර පැවැත්වුණු ජනාධිපතිවරණයෙහි අගය ජේ. ආර්. මේ ජනමත විචාරණයට සම්බන්ධ වීම නිසා අඩු වීමයි.

මේ අනුව බලන කල්හි 1982 ජනමත විචාරණය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අන්තවාදී සිද්ධීන් අතුරෙන් එකක් වූයේ මහජන ශුභ සිද්ධිය වෙනුවට පක්ෂග්‍රාහී වාසිය ගැන වැඩියෙන් සැලකිලිමත් වීමේ අයහපත් බව සනිටුහන් කරමිනි."

ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය - තෙවැනි වෙළුම - (පිටුව 385)
"ශ්‍රී .ල.නි.ප.යේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ගෙන ගිය, එම පක්ෂයේ විධායක මණ්ඩලයේද බහුතරය වූ කණ්ඩායමක් කුමන්ත්‍රණයක යෙදෙමින් මා සහ තවත් ඇමැතිවරුන් කීප දෙනකුද අනුර බණ්ඩාරනායක මහතාද සන්නද්ධ හමුදාවල ප්‍රධානීන්ද ඇතුළු පිරිසක් ඝාතනය කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසෙකට දමා බණ්ඩාරනායක මැතිනිය සිරභාරයට ගැනීමට තීරණය කර තිබුණේය. වෙනත් වචනවලින් පවසතොත් ඔවුන් තම මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල පැවසූ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඉරා දමා හමුදා රජයක් පිහිටුවාලීමට සැලසුම් කර තිබිණි."

ඒ ගැන තවදුරටත් විස්තර කළ ජේ. ආර්. මෙසේද පැවැසීය.
"මෙහිදී මට තීරණය කරන්නට තිබුණේ එය සිදුවන්නට ඉඩ දෙනවා ද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් යටතේ ස්ථාවර ආණ්ඩුවක් මඟින් සාමයත් සංවර්ධනයත් සහතික කර දෙනවාද යන්නය. එසේ නොවී නම් දේශපාලන මැරවරයන් පිරිසක් විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාපිළිවෙළ බිඳ දමා තමන්ගේ ශක්තිය වර්ධනය කරගෙන ඊළඟ මැතිවරණයේදී නැක්සලයිට් ආණ්ඩුවක් පිහිටුවා ගැන්මට ඉඩ තිබිණි."
"..... මා තවත් දුරට සිතූ දෙයක් නම් ශ්‍රී .ල.නි.ප.යේ සිටින ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සාමාජිකයන්ට පක්ෂය තුළ තම බලය තහවුරු කර ගෙන එහි පාලනය සියතට ගැනීමට කල් දිය යුතු බවයි. මා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වූවා නම් ඔක්තෝබර් 20 වැනි දින ඡන්ද ප්‍රකාශය වූ ආකාරයෙන් එ.ජා.ප.යට ආසන 196න් 120ක්ම ලැබෙන්නට ඉඩ තිබිණි. ශ්‍රී .ල.නි.ප.යට ආසන 68ක් ලැබෙන්නට තිබුණේය. ඒ ගැන මට ප්‍රශ්නයක් නැත. එහෙත් විපක්ෂය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩකාරී නැක්සලයිට් (අරාජිකවාදී) වේ නම් එය ප්‍රශ්නයකි."

ඒ අනුව ඔහු මෙසේ කියා සිටියේය.
"මා මහ මැතිවරණයක් නොව ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළේ මේ හේතුවම පමණක් නිසා බව පවසමි."
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය - තෙවැනි වෙළුම -
(පිටු 386-387).

ජේ.ආර්. ඇන්දිල්ල යුක්ති සහගත කළේ එහෙම ය.
බෑනාගේ ඇන්දිල්ල
වසර 40කට පසු මෛත්‍රිපාලගේ කරපිටින් ගිහින් ජේ.ආර්.ගේ බෑනා ආණ්ඩුවක් පිහිටුවූයේ ය. 2015 ජනවාරි 9 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54ක් පමණක් සිටි එජාපයේ නායක රනිල් වික්‍රමසිංහත් එදිනම අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය. අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පිහිටුවූ ජාතික ආණ්ඩුව විපක්ෂයත් හවුල් කරගෙන තුනෙන් දෙකේ බලයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළේ ය. මතුපිටින් ඇත්තේ පිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය ය. ඇතුළතින් ඇත්තේ කපටිකම ය. රජු ඇන්දුවේ ය. ජනතාව මුළා කළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබූ බලය අහිමි විය. තුනෙන් දෙකක් නොමැති නම් පාර්ලිමේන්තුව විසුරුවන්ටත් දැන් නොහැකි ය. විධායකය පරිපූර්ණ වීමට පාර්ලිමේන්තු බහුතරය අවශ්‍ය විය. ජන මතය කණපිට හැරී ඇත. කපටිකම තේරෙන්නේ දැන් ය. ජේ.ආර්. කළා සේ ජනමත විචාරණයකට ගියොත් මෛත්‍රිට කුමක් වේ දැයි කියා නම් කියන්නට දන්නේ නැත. අස්ථාවරභාවය තව වසර දෙකහමාරක් ඇදගෙන යෑමට සිදුව ඇත. ජේ.ආර්. මාමා ජනපතිකම බේරගන්න ගහපු ගැටේ රනිල් බෑනා අගමැතිකම බේරගන්න ගැහුවේය. යහපාලන ආණ්ඩුවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය දැන් මන්ත්‍රි වෙන්දේසියකට පෙරළී ඇත. මාමා විධායක බලය ගන්න ජනතාව ගොනාට අන්දවා ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දැම්මේ ය. බෑනා අගමැතිකම රැක ගන්න විධායක බලය ගොනාට අන්දවා ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දැම්මේ ය.

"බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රටේ අගමැතිවරයා වගකිව යුතු බවට අපි චෝදනා කළා. අර්ජුන මහේන්ද්‍රන්ගේ සාක්ෂිවලින් පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රමවේදය වෙනස් කිරීමට උපදෙස් දුන්නේ අගමැතිවරයා කියලා.

දැන් හරිනම් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි චෝදනාවක් තිබෙන අයකුට අගමැති ධුරයක් දැරිය හැකිද?"
මහින්දානන්ද අලුත්ගමගේ - එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී
"ආණ්ඩුව යනු භාරකාර මණ්ඩලයක් වන අතර එය වැසියාගේ යහපත පිණිස කටයුතු කළ යුත්තේය. නීතිය අභිභවා කටයුතු කරන පාලකයන් නෙරපා හැරීමේ බලය සමාජයට හිමිවිය යුත්තේය."

ජෝන් ලොක් (ඉංග්‍රීසි දාර්ශනිකයෙකි)
"ආදරණීය මවුපියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි, ජාතියක, රටක මුළුමහත් අනාගතය අප වෙත පැවැරූ මේ අවස්ථාවේμ විශේෂයෙන්ම නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේμ දේශපාලනඥයාගේ කාර්යය කුමක්ද යන්න ජනතාවට ආදර්ශයක් ලෙස පෙන්වමින් ප්‍රධාන වශයෙන්ම පිරිහී ඇති දේශපාලන සංස්කෘතිය යහපත් අයුරින් ගොඩනඟමින් ප්‍රබුද්ධ දේශපාලනඥයෙක් රට තුළ ඇති කිරීම සඳහා දූෂණය, වංචාව, හොරකම තුරන් කර අවංකව කැපවීමෙන් අධිෂ්ඨානශීලීව මුළු මහත් ජනතාව වෙනුවෙන් කැප කරන දේශපාලන නායකත්වයක් බිහිකරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාμ පාලන ක්‍රමය තුළ ඔබ සියලු දෙනාට අපට කළ හැකි සියලු දේ ඉෂ්ට කරමි. පොලිසිය හා ත්‍රිවිධ හමුදාව මැතිවරණය ආරම්භ වූ අවස්ථාවේ සිටම දැක්වූ සහායත් ජනමාධ්‍යවේμන් හා මාධ්‍ය ආයතන දැක්වූ සහායත් අගය කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතනවා." ඔබ හැමට ස්තුතියි.

2015 ජනවාරි 08 ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව, නිදහස් චතුරස්‍රයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනතාව අමතා කළ කතාව අවසන් කළේ එහෙම ය.
1815 දී බි්‍රතාන්‍ය කිරීටයට ඇන්දුණු දා සිට මේ කොලනියේ රටාව වෙනස් විය. 1948 නිදහසෙන් පසුව ද සුද්දන් බලෙන් පැටවූ ඒ කෑලි ටික ඉදිරියේ අපි පසුගාමී වීමු. සුද්දාගේ පස්සේ ගිය කල්ලතෝනියන් සහ උන්ගේ පුරුක් රටේ දේශපාලනය කරකැව්වේ ය. ඒ පසුගාමීත්වයෙන් රට ගලවා ගන්න ප්‍රගතිගාමී නායකත්වයක් රටට අවැසි ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon