වට්මෝර්-හතුරුසිංහ සහ ලී

  👤  4874 readers have read this article !
2018-03-01

ක්‍රිකට් සුද්දන්ගේ ක්‍රීඩාවකි. සුද්දන් මෙහි අතහැර ගිය කෑල්ලකි. එහෙම බැලුවොත් ලංකාවම සුද්දන් අතහැර ගිය 'කෑල්ලක්' යැයි කියා ඕනෑ අයකුට සිතිය හැකිය. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණත්, මේ කොලොනියල් ක්‍රීඩාව ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවය. ලංකාවේ ක්‍රිකට් ගොඩ ගත්තේ ඕස්ට්‍රේලියාවේ වට්මෝර් ය. වට්මෝර් අර්ජුනට 1996 ලෝක කුසලානය දිනන්න වරම් දුන්නේ ය. වට්මෝර් ගියේ ය. ප්‍රස්තාරය ටිකෙන් ටික අඩු වැඩි වෙමින් පහළටම බැස්සේ ය. එක පිට එක පරාජයන් ය. ක්‍රිකට් ලෝලීන්ගේ මුහුණු මැලවිණි. බැනුම් කෝටියක් ය. කැඳ හැළියක් ය. තාත්තලා නැත. අම්මලා බැනුම් ඇසූහ. පය බරවායට පිටිකර බෙහෙත් බැන්දේය. ඔළුවේ අමාරුවට කොට්ට මාරු කළේ ය.

ක්‍රීඩකයන් එකොළොස් දෙනෙක් ය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රහාරාත්මක විය යුතු ය. මැද පෙළ ශක්තිමත් විය යුතු ය. පසු පෙළ පරික්ෂාකාරී සහ පරිස්සම් විය යුතු ය. ඒත් එහෙම වුණේ නැත. ආරම්භක පිතිකරුවන් මැද පෙළට දැම්මේය. මැද පෙළ මුලට දැම්මේ ය. පසු පෙළ මැදට දැම්මේ ය. කැඳ හැළියක් විය. ඒත් පහළටම ය. නැග්ගේම නැත. ඔළු මාරු සෙල්ලම මේ සෙල්ලමට හරි ගියේ නැත. නායකයා මාරු කළේ ය. ඔළු අලුතෙන් ගෙනාවේය. නැඟිට්ටේ නැත. පුහුණුකරුවෝ හිටු කියා මාරු කළේ ය. නැග්ගේම නැත.

අසල්වාසී බංග්ලාදේශයේද ක්‍රිකට් ඇත. ඔවුන්ට ක්‍රිකට් සිහිනයක් තිබිණි. ඒ අපි වගේ වීමය. අපේ දිහා බලාගෙන අපේ එකකුගෙන්ම ඔවුන් ඒ සිහිනය ගොඩ දා ගත්තේ ය.
ලංකාව කප් එක උස්සද්දී ඔවුන් අහල ගම් හතකවත් නැත. වසර 20කට පසු උඩ යට මාරු වී ඇත. පුහුණුකරු ලංකාවේ හතුරුසිංහය. හතුරු මිතුරු විය. පුහුණුකරු වී ලංකාවට ආවේ ය. වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක්, මැසෙන්ජර් තහනම් විය. ස්ට්‍රැටජි අලුත් විය. විචක්ෂණශීලී විය. ක්‍රීඩකයන්ගේ මොරාල් ඉස්සුවේ ය. දුර්වල තැන් හැදුවේ ය. පළමු තරගාවලියෙන්ම ටීම් එක නැග්ගුවේ ය. බංග්ලාදේශයටම එරෙහිව ය. තාත්තලා ගොඩකි. අම්මලාට බැනුම් නැත.

ඒ ක්‍රිකට් ය.
ලංකාවම සුද්දන් අතහැර ගිය දූපතකි. 1948න් පසුත් සුදු හොල්මන් සැරිසැරුවේය. සුද්දාගේ ක්‍රමේටම වැඩේ ගියේ ය. 1960 වෙද්දී ආර්ථික සංවර්ධනයෙන් ජපානයට පමණක් දෙවැනි විය. කොළඹ දිස්ත්‍රික්කයට වඩා පොඩ්ඩක් ලොකු සිංගප්පූරුවත් සිටියේ අපිට වඩා ගව් ගණනක් පිටුපසින් ය. ලී ක්වාන් යූ සිංගප්පූරුවේ නායකයා විය. ලීට සිහිනයක් තිබුණේ ය. සිංගප්පූරුව ලංකාවක් කරන්න ඔහු සිහින දැක්කේය. ලංකාවේ එතකොට තිබුණු මොඩල් එකට ලී ආසා වුණේ ය. ලංකාවේ හොඳ සිවිල් සේවාවක් තිබුණේ ය. හොඳ දේශපාලන සංස්කෘතියක් තිබුණේ ය. නීතියේ ආධිපත්‍ය සුරැකිව තිබුණේ ය. කළමනාකරණය අතින් හොඳ ය. ලංකාවේ මොඩලය අනුගමනය කරන්න ලී තීරණය කළේ ය. දූෂණයට වංචාවට තිත තැබුවේ ය. ජාතිවාදය තහනම් ය. නීති තදය, කාටත් එක ය. ස්ට්‍රැටජි අලුත් විය. විචක්ෂණශීලී විය. ජනතාවගේ මොරාල් ඉස්සුවේ ය. දුර්වල තැන් හැදුවේ ය. වසර 30කට පසු උඩ යට මාරු විය. ලංකාවට වඩා ගව් ගණනක් ඉහළින් ය. අනුගමනය කළේ ලංකාවේ මොඩලය ය.

1977 ජේ.ආර්. ලංකාවේ අගමැති විය. දෛවෝපගතය. ලංකාව සිංගප්පූරුවක් කරන්න ජේ.ආර්. සිහින මැව්වේය. සිංගප්පූරු ආර්ථිකය නිදහස් යැයි කියා, ලංකාවේ ආර්ථිකයත් නිදහස් කළේ ය. විධිමත් උපක්‍රමයක් නැති විය. නියාමනය අයාලේ ගියේ ය. වැඩේ බකල් විය. රෝද ආපස්සට කැරකුණේය. බැස්ම නවතාගන්නට නොහැකි විය. ආර්ථිකය ඉබාගාතේ ගියේ ය. හාල්මැස්සො වෑංජනයටත් ජෑම් දැම්මේ ය.

ලී ලංකාවට එන්නේ 1956දීය. ඔහු ඒ ගැන"ඊඩඥ ඉඪදඨචනධපඥ ඉබධපර" කෘතියේ ලියුවේ මෙහෙම ය.
"මම කොළඹ නගරයේ ඇවිද ගියෙමි. එහි ඇති නව ඉදිකිරීම් දැක විමතියට පත්වීමි. සිංගප්පූරුවට වඩා බොහෝ සම්පත් සහ යටිතල පහසුකම් ලංකාවට තිබිණි. ඔවුන්ගේ විශ්වවිද්‍යාල භාෂා ත්‍රිත්වයෙන්ම ඉගැන්වීම් කරයි. බහුතර සිංහල සිසුන්ට සිංහල භාෂාවෙන් ද, දෙමළ සිසුන්ට දෙමළ භාෂාවෙන් ද, බර්ගර් ජාතිකයන්ට ඉංගී්‍රසි භාෂාවෙන් ද උගන්වයි. මහනුවර පිහිටි විශ්වවිද්‍යාලයට ගිය විටෙක එහි උපකුලපතිවරයාගෙන් මා ඇසුවේ භාෂා තුනක් කතා කරන ඉන්ජිනේරුවන් තිදෙනකු විසින් පාලමක් ගොඩනැඟීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න යි. "ඒක සර් රටේ ඇමැතිවරුන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්" ඔහු දුන් පිළිතුරයි. මූලික පෙළපොත් ඉංගී්‍රසි පරිවර්තන ලෙස සිංහලයට හා දෙමළ භාෂාවෙන් මුද්‍රණය වාර කිහිපයකට මුද්‍රණය වන බව ඔහු පැවසුවා.

1972දී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක රටේ නම "සිලෝන්" සිට "ශ්‍රී ලංකා" ලෙස වෙනස් කළා ය. ජන රජයක් බවට පත් කළා ය. නමුත් මේ වෙනස්කම් රටේ යහපතට හේතුවක් වූයේ නැත. එහි තේ තවමත් සිලෝන් ලෙස විකුණයි. එය හරියට සොලමන් ඩයස් බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන උපතින්ම ක්‍රිස්තියානුවන් වශයෙන් ඉපදී බුද්ධාගම වැලඳගැනීම සහ මිනිසුන් අතර ජාත්‍යාලය ඇත්තන් ලෙස හඳුන්වා ගැනීම හා සමානය.

නුවරඑළියේ ගොල්ෆ් පිටිය සහ එහි කූඩාරම් එළුවන්ගේ සහ හරකුන්ගේ ගාල් බවට පත් වී තිබිණි. රටක් පාලනයට ඉගෙන නොගැනීම මිනිසුන් වන්දි ගෙවීමක් යැයි පැරණි සිංහල වැසියකු පැවැසුවා"

එකල ජේ.ආර්. ට සංවර්ධනයේ ලොකුම සලකුණ වූයේ ගුවන් සේවයයි. ඒ මොහොතේ එය ලංකාවට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ලී සැලකුවේ නැත.
"ජේ.ආර්. ට අවශ්‍ය වූයේ සිංගප්පූරු ගුවන් සේවයේ උපකාරයයි. අපි එය ලබා දුන්නෙමු. මා ඔහුට උපදෙස් ලබා දුන්නේ ගුවන් සේවයක් ඇරඹීම ඔහුගේ මූලික අවශ්‍යතාවන්ට ඇතුළත් නොවිය යුතු බවය. මක් නිසාද යත් ඒ සඳහා ඉතා දක්ෂ සහ පරිපාලන නිලධාරීන් සිටිය යුතු නිසාය. මා ඔහුට උපදෙස් දුන්නේ වාරිමාර්ග, කෘෂිකර්මාන්තය, කර්මාන්ත ප්‍රවර්ධන ව්‍යාපෘති පිළිබඳ මූලික අධ්‍යයනය යොමු කරන ලෙසයි."

වරක් ජාත්‍යන්තර සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදියකුගේ පැනයට ලී මෙසේ පිළිතුරු දුන්නේය.
"ආරම්භයේදී අප සතුව ජාතියකගේ පදනම පවා එහි නොතිබිණි. එහෙත් ප්‍රමාද වී හෝ ස්වාධීනත්වය අත්කර ගැනීමේ වාසිය අපට ලැබිණි. 1965දී අපට අසාර්ථක රාජ්‍ය පිළිබඳ විසි අවුරුද්දක නිදර්ශන දක්නට ලැබිණි. එහෙයින් වාර්ගික ගැටුම්, භාෂා අරගල හා ආගමික වාද භේද පිටුදැකිය යුතු බව අපි දැනගත්තෙමු. ලංකාව කෙබඳු විය යුතු දැයි අපි වටහා ගත්තෙමු.

එහෙයින් මායාකාරී අතීත විභූෂණය හා සංස්කෘතිය යළි පණ ගැන්වීම සඳහා අප නැවතත් යථාර්ථවාදී නොවන විකෘති හැඟීම් මත ක්‍රියාත්මක වුවහොත් අප සහමුලින්ම හෙළා දැකීමකට ලක්වන බව අපි දැන ගත්තෙමු. එහෙයින් ජාතිකවාදය කරා ආපසු ගමනක් නැත. අපි අප බැඳ දැමුණු රැහැන් මුදා හැරියෙමු. අපගේ මුල් රටවල සිටියාට වඩා හොඳ හෝ නරක ජීවිත ගත කරනු පිණිස අපි දැන් මෙහි රැඳී සිටිමු.

ශ්‍රී ලංකාව ඉංගී්‍රසියෙන් සිංහලයට මාරු වී දෙමළ ජනතාවගේ අයිතිය නැති කළ විට එහි ඇති වුණු තත්ත්වය අපි දැක්කා. එතැන් පටන් හැමදාම අරගල. අපි ඉංගී්‍රසිය තෝරා ගත්තා. ඒත් එය අපේ ජාතික භාෂාව යැයි අපි කියන්නේ නැහැ. අපි කියන්නේ එය අප වැඩ කිරීමට යොදා ගන්නා භාෂාව බවයි. ඒ නිසා කුමන භාෂා මාධ්‍යයක් භාවිත කරන පාසලකට ගියත් හැම කෙනෙක්ම ඉංගී්‍රසි භාෂාව උගත යුතුයි. එවිට ඉංගී්‍රසි කියැවීම හෝ ලිවීම සඳහා පරිවර්තන කිසිම කෙනකුට අවශ්‍ය වන්නේ නැහැ.
අප අපගේ ක්‍රියාවල පල විපාක සමඟ ජීවත් විය යුතු අතරම අපගේම ජනතාව වෙනුවෙන් වගකිව යුතුයි. ඔවුන් වෙනුවෙන් නිවැරැදි තීරණ ගත යුතුයි. පැරැණි පිලිපීනය, පැරැණි ශ්‍රී ලංකාව, පැරැණි නැඟෙනහිර පාකිස්තානය හා වෙනත් පැරැණි රටවල් දෙස බලන්න. මම ඒ රටවලටත් වෙනත් තැන්වලටත් ගොස් තිබෙනවා. මා පළමුවෙන්ම කොළඹට ගියේ 1956දී. ඒ වනවිට කොළඹ, සිංගප්පූරුවට වඩා හොඳ නගරයක්. ඊට හේතුව අවුරුදු තුනහමාරක් තිස්සේ සිංගප්පූරුව ජපනුන්ට යටත්ව තිබීමත්, කොළඹ නගරය අග්නිදිග ආසියාවේ ආඥාපති මවුන්ට් බැටන් සාමිවරයාගේ මූලස්ථානය වීමත්ය.

ඔවුන්ට ස්ටර්ලිං පවුම් සංචිත තිබුණා. විශ්වවිද්‍යාල දෙකක් තිබුණා. යුද්ධයට කලින්, අධ්‍යාපනික නිපුණතාවෙන් පරිණත සමාජ ස්ථරයක් තිබුණා. ඇමෙරිකා ලිබරල්වාදීන් හා බි්‍රතාන්‍ය ලිබරල්වාදීන් එකල කියන්නට පුරුදුව සිටි කරුණු ඔබ විශ්වාස කරන්නේ නම් එය සමෘද්ධිමත් විය යුතුව තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ.
එක් පුද්ගලයකුට එක් ඡන්දයක් වැඩපිළිවෙළ නිසා සිංහල බහුතරයේ ආධිපත්‍යය රට වෙනුවෙන් වෙහෙසී වැඩ කළ බුද්ධිමත් සුළුතර දෙමළ ජනතාව මත පැතිරීමෙන් ඔවුන් දණ්ඩනයකට යටත් වුණා. ඉංගී්‍රසිය බැහැර වුණා. දෙමළ ජනතාව ඉගෙන ගත්තේ ඉංගී්‍රසියෙන්, සිංහලය ඇතුළු වුණා. ඔවුනට විශ්වවිද්‍යාල දෙකක කෝටා ලැබුණා. දැන් ඔවුන් අන්තගාමී කොටි බවට පත්වෙලා. රට යළිත් කවදාවත් එක්සත් නොවනු ඇත.

පිළිවෙත වෙනස් කරන්න, ලිහිල් මඟට පිවිසෙන්න. එහෙම නැත්තම් කඩාගෙන වෙන් වෙන්න යනුවෙන් කවරකු හෝ ඔවුනට කිව යුතුව තිබුණා. තුංකු බුද්ධිමත් වී යැයි ආපසු හැරී බැලීමේදී මට හිතෙනවා. (මැලේසියාවේ අගමැතිව සිටි තුංකු අබ්දුල් හේමන්ගේ පාලනය යටතේ සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්වූ සිද්ධිය මෙයින් අදහස් කැරේ) ලිහිල් පිළිවෙතකට පිවිසෙන ලෙස මා ඉල්ලා සිටියා. "පැහැදිලි අරමුණක් ඇතිව ඔබගේ ගමන යන්න" යැයි එවිට ඔහු කිව්වා. අප නතර වී සිටියේ නම් කොළඹ හා ලංකාව දෙස බලයි. ඒත් මා අදහස් කරන්නේ හුදෙක් නම් මාරු කිරීම දෙවියන් රැවටීමක් බවයි. ඒත් ඔබ ජනතාව රවටනවා යැයි මා හිතන්නේ නැහැ. එයින් ඇතිවන ශෝකාන්තයේ ලොකු වෙනසක් නැහැ. ඔවුන් අසාර්ථක වුණේ ඔවුන්ගේ නායකයන් දුර්වල හා වැරැදි අය වූ නිසාය."

1959 සිට 1990 දක්වා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ නායකයා ය. ඔහු හොඳ ටීම් එකක් හැදුවේ ය. ටීම් එක මෙහෙය වූවේ ය. ඔළුගෙඩි මාරු කරන්නට අවශ්‍ය වූයේ නැත. ප්‍රතිපත්තිය එකය. දර්ශනය පැහැදිලි ය. ව්‍යවස්ථා මර උගුල් නැත. ඔහු නිදහසින් පසු අනාථ වූ තුන් වැනි ලෝකයේ රටවල් දෙස බලා සිටියේ ය. ඔහුගේ අවබෝධය දේශපාලන නායකයන්ට විශිෂ්ට පුහුණුවක් විය. ඔහු දශක තුනකින් තුන්වැනි ලෝකයේ සිංගප්පූරුව පළමුවැනි ලෝකයට ගෙනාවේ ය.
ඒ ලී ක්වාන් යූ ය. මේ බණ්ඩාරනායකලාය. ජේ.ආර්.ලා ය. ඔවුන්ගේ පැටව් ය. පැටවුන්ගෙත් පැටව් ය. රාජකීය පොරොන්දු දෙති. පොරොන්දු කඩ කරති. ජනතාව පලයං කියති. නොයති. බලය බේරගන්න උප්පරවැට්ටි ගසති. ජාති භේද හදති. ඔළු ගෙඩි මාරු කරති. ප්‍රතිපත්ති වෙනස් කරති. ව්‍යවස්ථා වෙනස් කරති. කඩු අතට ගනිති. මඩු වලිග වනති. හොම්බෙන් යද්දිත් නායකකම රැක ගන්න දිවා රෑ වෙහෙසෙති. ගේම් ගසති. ගේම් පරදිති.

ක්‍රීඩකයන් 225ක් ය. ආරම්භක පිතිකරුවන් බුද්ධිමත් විය යුතු ය. මැද පෙළ ශක්තිමත් විය යුතු ය. පසු පෙළ පරික්ෂාකාරී සහ පරිස්සම් විය යුතු ය. ඒත් එහෙම වුණේ නැත. ආරම්භක පිතිකරුවන් මැද පෙළට දැම්මේය. මැද පෙළ මුලට දැම්මේ ය. පසු පෙළ මැදට දැම්මේ ය. කැඳ හැළියක් විය. ඒත් පහළටම ය. නැග්ගේම නැත. ඔළු මාරු සෙල්ලම්ය. රට්ටු හිනස්සන විහිළුවක් ය.

විශ්වාසභංග එමට ය. ආණ්ඩු පෙරළිලි ය. ඔළුවේ කැක්කුමට කොට්ට මාරු ය. පය බරවායට පිටිකර බෙහෙත් ය. පුහුණුකරුවකු නැත. නායකයා අනාථය. උප නායකයා පජාතය. ටීම් එක අනාගෙනය. රට විනාසය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon