සෙයිලාන් දූපතේදී කිරිබත් හා මස් බුදින බියසුලු මිනිසුන් දුටු මාර්කෝ පෝලෝ

  👤  5756 readers have read this article !
2018-03-04

පර්සියාවේ මහා ඛාන් රජු සන්තර්පණය සඳහා තුබායි ඛාන්ගේ මිනිබිරියක වූ රූමත් තරුණ කුමරිය පිරිවරා ඇයගේ ආරක්‍ෂාවට ගමන් කළ නෞකාවක මාර්කෝ පෝලෝ චීනයේ සිට පර්සියාව දක්වා ගමන් කළේය. එම වර්ෂය ක්‍රි.ව. 1293යි. අයහපත් මෝසම් සුළඟ හේතුවෙන් සුමාත්‍රාවේදී චාරිකාව මාස පහකින් කල් ගියේය. මාර්කෝ පෝලෝ ශ්‍රී ලංකාවට පා තැබූ නැව් තොට කුමක්දැයි සඳහන් නොවේ.

ඔහු මේ දූපතේ කොපමණ කාලයක් රැඳී සිටියේද යන්න අපි නොදනිමු. එය දවස් කිහිපයකට වඩා වැඩි නොවීය.
ශ්‍රී ලංකාව ගැන මාර්කෝ පවසන්නේ මෙසේය.

අන්දමන් දූපත්වලින් සමුගෙන බටහිරෙන් දකුණට සුක්කානම මෙහෙයවූ විට සැතපුම් දහස් ගණනකින් දුරක සෙයිලාන් දූපත පිහිටයි. ලෝකයේ පිහිටි අන් කිසිදු දූපතකට වඩා මෙහි නියම ප්‍රමාණය හොඳින් වටහා ගත හැකිය. එහි වටේම දිග ප්‍රමාණය සැතපුම් 2400කි. නමුත් ආදි කාලයේදී එහි විශාලත්වය මීටත් වඩා වැඩි වන්නට ඇත.
එනම් එහි පරිධිය සැතපුම් 3600ක් බව 'මැප්පා මුණ්ඩි' පවසයි.

උතුරුකරයෙන් හමා එන චණ්ඩ මාරුතයෙන් කඳුශිඛර කාවැදී ක්‍ෂය වී ගොස් ඇති බැවින් සමහර කොටස් සාගරයේ කිඳී බසී. ඒ හේතුවෙන් එම දූපත එහි මුල් ප්‍රමාණයෙන් සැමදා නොපවතී. එය පාලනය කරනු ලබන රජතුමාගේ නම සෙන්ඩර් - නාස්ය. මිනිස්සු ප්‍රතිමා වන්දනා කරති. රාජ්‍ය බන්ධනයෙන් නිදහස්ය. ගැහැනු - පිරිමි දෙපක්‍ෂයම නිරුවතට බොහෝ සමාන ඇඳුම් අඳිති. ඔවුහු සිරුරේ මධ්‍ය කොටස පමණක් දැවටෙන පරිදි වස්ත්‍ර දවටති. ඔවුන්ට සහල් හා තල හැර වෙනත් ධාන්‍ය වර්ගයක් නොමැති අතර තලවලින් තෙල් ලබා ගනිති. ඔවුන්ගේ ආහාර වන්නේ කිරිබත් හා මස්ය. ඔවුන් ඉහතින් විස්තර කරන ලද ගස්වලින් ලබා ගන්නා මද්‍යසාර පානය කරති. ලෝකයේ ඇති හොඳම දැව වර්ග මෙහි හමුවේ.

ලෝකයේ අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ඉතා වටිනා ලස්සන පද්මරාග මාණික්‍ය හමුවේ. එලෙසම නිල් කැට, කහ කැට, පාවකේසන, ගානර්ට් සහ තවත් බොහෝ වටිනා හා මිල අධික මාණික්‍ය හමුවේ. මෙතෙක් මා දැක ඇති අනර්ඝතම මාණික්‍ය සෙයිලාන් රජු සතුවේ. එය දිගින් වියතකි. ගනකමින් මිනිසකුගේ බාහුවක් තරම් වේ. විස්තර කළ නොහැකි පරිදි දිලිසෙනසුලුය. තවද එකදු පලුද්දක්වක් එහි නොමැත. එයට දැල්වෙන ගින්නක පෙනුම ඇත. මුදල්වලින් එහි වටිනාකම තක්සේරු කළ නොහැකි තරමට එය වටිනාකමින් අධිකය.

"මහා කුබ්ලායි ඛාන් මේ රජතුමාට තානාපතිවරුන් මාර්ගයෙන් මේ අගනා පද්මරාගය අත්පත් කර ගැනීමට කැමැති වී ඊට ප්‍රතිඋපකාර වශයෙන් නගරයක් වටිනා මුදල් ලබා දෙන්නෙමියි දැන්වීය. ඊට මේ රටේ රජතුමාගේ පිළිතුර වූයේ විශ්වයේ සකල ධනසම්භාරයම ලබාදුන්නද තමා එය නොවිකුණන බවය. කවර හෝ හේතුවක් මත ඔහු රජධානියෙන් එපිටට එම මැණික රැගෙන යනවාට අකැමැති බව හෙතෙම පැවැසීය. එය ඔහුගේ මුතුන් මිත්තන් සිංහාසනයට පත්වීම වෙනුවෙන් දෙන ලද මාණික්‍යයක් වී, එබැවින් කුබ්ලායි ඛාන් එය අත්පත් කර ගැනීමට සාමාර්ථ වී නැත.

මේ දූපතේ පදිංචි මිනිසුන් යුදකාමී නොවෙති. මීට ප්‍රතිවිරුද්ධ ඔවුහු බියසුලුද වෙති. යුද සෙබළුන් බඳවා ගැනීමට අවශ්‍ය විටෙකදී අසල පිහිටි "මෙහෝවීටන්ඩ්" වැනි රටවලින් යුද සෙබළුන් ගෙන එනු ලැබේ. පසු අවස්ථාවකදී මාකෝ පෝලෝ සිය ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. "මාගේ මාතෘභූමිය කරා යන මේ සමුද්‍ර චාරිකාවේදී මේ රටට පැමිණීමෙන් පසුව දැනගත් සමහර දෑ අත්හැර මම මේ රට පිළිබඳව කතා කළෙමි. මේ රටේ පර්වතවලින් ගහන ඉතා උස් කන්දක් වේ. එහි මුදුනට නැඟීම ප්‍රායෝගිකව අපහසු කාර්යයක් වේ. යකඩ දම්වැල්වල ආධාරයෙන් තොරව එහි මුදුනට නැඟීම කළ නොහැක්කකි. මේ යකඩ දම්වැල ආධාරයෙන් ඇතැමෙක් අපගේ ආදිතම මවුපියන් වන ආදම්ගේ සොහොන ඇතැයි සැලකෙන එම කඳු මුදුනට නැඟී ඇත.

මාර්කෝ පෝලෝ ඉන්පසුව ශාක්‍ය මුනීන්ද්‍රයන්ගේ ශ්‍රී දේහය කන්දෙහි වළලා ඇතැයි විශ්වාස කරන බෞද්ධයන් පිළිබඳව සඳහන් කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ දුරුකතර ගෙවා පැමිණෙන මිනිස්සු වන්දනා නඩ වශයෙන් ඒ මුනීන්ද්‍රයාගේ දේහය වළලා තබන ලදැයි සැලකෙන එම කඳු මුදුනට එක්රැස් වෙති. ඔහුගේ සමහර කෙස්, දත් හා පාවිච්චි කළ කොරහ යනාදිය උත්සවශ්‍රීයෙන් ප්‍රදර්ශනය කෙරේ. අනෙක් අතට සාරාසියානුවෝ මෙය ආදම් නම් වක්තෘවරයාට අයත් බව පවසයි. භක්තිමත් එම බැතිමත්හු ද කන්ද තරණය කරති.

අවුරුදු දාහතේදී මාර්කෝ පෝලෝ පිටරටවල වර්ෂ 23ක් ගත කළේය. මිනිසා මැවූ දා පටන් අන්කවරකුටත් වටා ඔහු දේශ සංචාරයේ යෙදුණු බව හෙතෙම සඳහන් කරයි. ඔහු ගෙවා ගිය සමහර මාවත් දිගේ අවුරුදු හයසියයකට එකදු යුරෝපීයකු වුවද ගමන් කොට තිබුණේ නැත. 1324 ජනවාරි මස 9 වැනිදාම මරණයට පත්විය. වැනීසියේ ලොරෙන්සෝ දේවස්ථානයෙහි ඔහුගේ මෘතදේහය භූමදානය කරන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon