හානි වූ ජීවිත හා දේපළවලට වන්දි ලබා දෙනවා

  👤  4317 readers have read this article !
2018-03-07

අම්පාර සහ දිගන ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානිවූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට රජය කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලුම ජනතාවගෙන් අගමැතිවරයා ඉල්ලීමක්ද කළේය.

අද දින මා මෙම ප්‍රකාශය සිදුකරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හා ඊට පෙර අම්පාරේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීමටයි.

පසුගිය 26 දින රාත්‍රියේ අම්පාර, ඩී. එස්. සේනානායක වීදියේ කාසිම් නම් හෝටලයක ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ට ලබාදෙන ලද ආහාරවල යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළත්ව තිබීම පිළිබඳව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඉන් අනතුරුව කලහකාරී පිරිස් විසින් එම වෙළෙඳසල ඇතුළු එම ප්‍රදේශයේ මුස්ලිම් වෙළෙඳසල් හතරකට මෙන්ම මුස්ලිම් දේවස්ථානයකටද අලාභහානි සිදු කොට තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වූ වහාම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩුවක් තිබූ බවට මා වෙත වාර්තා වුණා. එම නිසා පොලිස්පතිගේ නියෝගය මත මඩකළපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය පිළිබඳව වෙනම විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.


එසේම, පසුගිය 22 වැනි දින අලුයම 02.00ට පමණ තෙල්දෙණිය පොලිස් වසමේ කරලියද්ද ඉන්ධන පිරවුම්හලට ලොරි රථයකින් පැමිණි රියැදුරකුට ත්‍රිරෝද රථයකින් පැමිණි මුස්ලිම් තරුණයන් සිවු දෙනකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉහත පහරදීමෙන් ඇතිවූ තුවාල හේතු කොටගෙන තුවාලකරු මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වැනි දින අලුයම මියගොස් තිබෙනවා. මෙම පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

දෙවැනුව, මෙම සිද්ධිය පාදක කරගනිමින් පසුගිය මාර්තු 04 වැනි දින රාත්‍රියේ අන්තවාදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් තෙල්දෙණිය පොලිස් වසමේ වෙළෙඳසල් දෙකකට, මුස්ලිම් වෙළෙඳසලක් හා ඊට යාබද වෙළෙඳසලකට ගිනි තබා හානි කොට තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ඒ අවස්ථාවේදීම කටයුතු කර ඇති අතර ජංගම මුර සංචාර, පොලිස් විශේෂ කාර්ය බළකාය හා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා.

තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම මැඬපැවැත්වීම සඳහා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන ලෙස ඊයේ දහවල් සිට අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබුවා. එසේම පල්ලේකැලේ හා තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.
මේ පිළිබඳවත් විමර්ශන සිදුවන අතර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පිටත්කර තිබෙනවා.
ඊයේ සවස ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. මෙහිදී සාමාන්‍ය ජනජීවිතය කිසිදු බාධාවකින් තොරව ගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙසටත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, ඕනෑම ආකාරයක නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට සූදානම්ව සිටින ලෙසටත් එහිදී ආරක්ෂක ප්‍රධානීන්ට හා පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා රජයක් වශයෙන් අප තරයේ හෙළා දකිනවා. වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීති විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නැහැ. තිස් වසරක කුරිරු යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් සාමයේ, එකමුතුකමේ හා නිදහසේ වටිනාකම අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා.
දේශපාලන බල තණ්හාවෙන් සිටින සමහර කොටස් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට විවිධ උපක්‍රම, විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලසුම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීමයි. රට තුළ භීෂණය ඇති කොට ජන ජීවිතය කඩාකප්පල් කොට හෝ බලය ලබාගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. ජාතීන් අතර වෛරී හැඟීම් ඇති වන ආකාරයේ නොමඟ යවන සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම, විශේෂයෙන්ම සමාජ ජාල හරහා විකෘති තොරතුරු පතුරුවා හැරීම වැනි ක්‍රියා සංචිධානාත්මකව සිදුවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.

එසේම මෙම අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමටද රජය විසින් කටයුතු කරනු ලබන බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

" මේ ආණ්ඩුව පත්වූ පසු මෙවැනි ජාතිවාදී සිද්ධීන් ඇතිවී තිබෙනවා. මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ අයට නීතියෙන් රිංගා යෑමට මුක්තයක් තිබිය යුතු නැහැ.
මේ රටේ සෑම පුරවැසියකුටම සම අයිතියක් තිබිය යුතුය කියන එක ආණ්ඩුව පිළිගන්න ඕනෑ. යම් කිසි ප්‍රජාවක් හිතනවා නම්, අපි තමයි ශේ්‍රෂ්ඨතම ජාතිය කියල හිතන තත්ත්වයක් නම් තිබෙන්නේ ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්.

ඒ ප්‍රජාවේ ඇමැතිවරුන් කිහිප දෙනෙක් ඔබගේ ආණ්ඩුව තුළ ඉන්නවා නේද? එසේ සිටියදීත් මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවා නම් ආණ්ඩුව ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මේ නිසා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු තත්ත්වයක් අද අවශ්‍ය වී තිබෙනවා.

මේ රටේ සෑම ජනකොටසකටම සමාන අයිතිවාසිකම් හිමිකරදීමට මේ ආණ්ඩුව අද අපොහොසත්වී තිබෙනවා.
ආණ්ඩුක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් ඇතිවිය යුතුයි. පුද්ගලයන් කිහිප දෙනකු අතට බලය ලබා දීමෙන් පමණක් මේ තත්ත්වය වෙනස් කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

තෙල්දෙණිය හා අම්පාරේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් විපතට පත්වූවන්ට කඩිනමින් වන්දි මුදල් සහ සහන ලබාදෙන ලෙසටත් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලීමක් කළේය.

පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු රටේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන් අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ජනවාර්ගික ප්‍රචණ්ඩක්‍රියා, ආගමික ස්ථානවලට පහරදීම් සහ මහජන දේපළ හානි කිරීම් වැනි ක්‍රියා මතුවෙමින් පවතී. මේ සිද්ධීන් හුදෙකලාව සිදු නොවන්නක් බව සහ සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් කුමන්ත්‍රණකාරී ලෙස රට සහ ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණ ඇතිව විශේෂයෙන් එක ජන කොටසකට එරෙහිව මෙහෙයවන බව පැහැදිලි වේ. මේ සිද්ධියේ බරපතළම කරුණ වන්නේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම භාරව සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීමයි. එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ අම්පාර පොලිසිය පක්‍ෂපාතී ලෙස සහ වෘත්තීය නොවන ආකාරයට ක්‍රියා කර ඇති බවයි. සියලුම ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේදී පක්‍ෂග්‍රාහී වී ඇති අන්දමයි. එම පක්‍ෂපාතීත්වය ප්‍රචණ්ඩ කටයුතු මැඬපැවැත්වීම ඒ සම්බන්ධයෙන් නඩු පැවැරීම සහ සාමය ආරක්‍ෂා කිරීම දක්වා පැවැති බව එම ප්‍රදේශයේ ජනතාව කතා කරන සිද්ධීන්ය.
ජාතීන් අතර සංහිඳියාව සහ ජනවාර්ගික සාමය ඇති කිරීමට ආණ්ඩුව වගකීමෙන් ක්‍රියා කරන අවස්ථාවේ, විධායකයේ එක් කොටසක් ඉහත ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon