ධර්මිෂ්ඨ සමාජයක්

  👤  4276 readers have read this article !
2018-03-08

කළු ජූලියේ කළු දුම පානදුරටත් පැතිර තිබුණේය. අවාසනාවක් ය. ඛේදයක් ය. කාලකණ්ණි වැඩක් ය. නම කේ. වෙන්කට් ය. සුප්‍රකට සිනමාකරුවා ය. "සිරි පතුල" චිත්‍රපටයේ නිමැවුම්කරුවා ය. පසු කරමින් සිටියේ පානදුරය ය. මාර්ග බාධකයකි. දේශප්‍රේමීන් ය.

"සිරිපතුල චිත්‍රපටිය හැදුවේ මම" බැගෑපත්වුණේ ය.

සමාවක් නැත. "බෙග් මාස්ටර් කියපු 'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මිනිසාමයි ලොව තිරිසන් වන්නේ' සිංදුව චිත්‍රපටියට දැම්මේ මම". සමාවක් නැත. වෙන්කට් කාර් එක ඇතුළේ අළු විය. පණ පිටින් ම ය. දේශප්‍රේමී සිංහලයන් ය. බෞද්ධයන් ය.

1983 ජූලි 22 යාපනයේදී හමුදා භටයන් 13ක් කොටි ප්‍රහාරයකින් මිය ගියේ ය. ගිනි කන්ද පුපුරා ගියේ ය. පුපුරන තෙක් නෑසූ කන් ය. නොදුටු ඇස් ය.
"කුණාටුවෙහි වලාකුළු එක්රොක් වෙමින් තිබුණේ ය. එහෙත් කිසිවකු, විශේෂයෙන් රජය, ඉන් අනතුරුව සිදුවූ ලේ වැගිරීම අපේක්ෂා කළේ නැත. මෙවැන්නක රටාව ඒ වන විට පැහැදිලි වී තිබිණි. භූමි කම්පාව ගැන ඇසූකන්ව සිටි අතළොස්සක් දෙනාට පමණි මෙහි බැරෑරුම්කම වැටහුණේ. උතුරේදී සිංහල හමුදා භටයකු මරා දමන ලද කල් හි, ඔහුගේ අවමංගල්‍ය ඔහුගේ ගමේදී සිදුවේ. ඔහුගේ ඥාති හිත මිත්‍රාදීහු තමන් අසල ජීවත් වන දෙමළ උදවිය ඊළාම්වාදය අනුමත කරන්නන්ය යන වැරදි චෝදනාව නඟමින් ඔවුන් කෙරේ වෛරයෙන් ඇවිස්සෙති"

(ප්‍රවීණ ජනමාධ්‍යවේදී සිංහ රත්නතුංග)
1983 ජූලිවලට කලින් සිටම ජාතිවාදී කෝලාහල පසුබිම ගැන ජේ.ආර්. දැන සිටියේ ය. ගණන් ගත්තේ නැත. හේතුව හිතා ගන්නට බැරි ය. කෝලාහලයක් ආවොත් කරන දේ ගැන කිසි සැලැස්මක් තිබුණේ නැත. නීතිය හා සාමය මිහිදන් වුණේ ය. ඇඳිරි නීතිය නමට විතරක් විය. දින 3ක් ජේ. ආර්. නිහඬ ය. ජනතාව අසරණ වුණේය. බලය ගන්න ලේ රහ වෙනකන් කෑ ගැසූ කටවල්ය. ලේ රස ඉව වැටුණු ජනතාවගේ කනට ගසා සිහි එළවන්න කෑ නොගැසූ කටවල් ය. බැට කෑ සුළු ජාතීන්ගේ හදවත්වලට කතා කළේ නැත.
යාපනයේදී භටගත් 13 දෙනා මරා දැමීම ගැන ප්‍රවෘත්තිය පැතිර ගිය කල රජය ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැතිර යෑමකට මුහුණදීම සඳහා සූදානම් විය. ඔහුට නොවැටහුණු දෙයක් නම්, එම සිද්ධියට තදනන්තරව ඔවුන් ගත් ඇතැම් තීරණ කොයිතරම් පාලනය කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත කරනු ඇතිද නොහොත් නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා භාවිත කෙරෙන යාන්ත්‍රණය මේ අනපේක්‍ෂිත පුපුරායෑම හමුවේ කෙතරම් පූර්ණ ලෙස බිඳ වැටෙනු ඇතිද යන්නයි. ඒ කෙසේ වුවද පැනනැඟුණු අති බිහිසුණු ප්‍රචණ්ඩත්වය ජේ.ආර්. සහ රජය ඇතුළු සියලු දෙනාම සම්පූර්ණයෙන් අපේක්‍ෂා නොකළ දෙයක් විය.

යථෝක්ත අවස්ථාවේ මියගිය භටයන් 13 දෙනාගේ සිරුරු අවමංගල්‍ය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන සුසාන භූමිය වෙත ගෙන ඒම තදබල වැරැදීමක් බව පසුව පෙනී ගියේය. මෙය කවුරුන් විසින් ගත් තීරණයක්දැයි අප දන්නේ නැත. ඒ කෙසේ වුවත් එහි ප්‍රතිඵල විනාශකාරී විය. ඉන් අනතුරුව සිදුවූ පුපුරා යෑම සඳහා එය කේන්ද්‍රය වූ බව පසුව පෙනී ගියේය. එහෙත් මේ අවස්ථාවේදී සිදුවූවාක් මෙන් සිරුරු ගෙන ඒම ප්‍රමාද වුණේ නැති නම් එම පුපුරායෑම එතරම් දරුණු නොවෙන්නට ඉඩ තිබිණි. එම සිරුරු අවමඟුල් කටයුතු සඳහා කොළඹ ප්‍රධාන සුසාන භූමියට නොව ඒ ඒ ගම් හෝ නගර වෙත ගෙන යෑම වඩා උචිතය යනු ජේ.ආර්.ගේ මතය විය. ඒ කෙසේ වුවත් ඔවුන්ගේ දේහයන් කොළඹට ගෙන ඒමට තීරණය ගත් පසු ඔහු කියා සිටියේ ඒවා සවස 4 වන විට ගෙන එන ලෙසය. එහෙත් එය සිදු වන විට සවස 6.30 වී තිබිණි. එම ප්‍රමාදය නිසා ජන සමූහය අති විශාල ලෙස වැඩි වූයේය. ඒ වන විට ඇඳිරි වැටී තිබිණි. එම සිරුරු අපේක්‍ෂිත වෙලාවට එහි ළඟා නොවීම නිසා, ඒවා ඥාති මිත්‍රාදීන්ට තම තමන්ගේ ගම් දනව්වලට රැගෙන යෑමට අවකාශ නොලැබීම හේතුවෙන් කලබල ඇති කරන්නන්ට වඩා විශාල අවස්ථාවක් උදාවිය. යථෝක්ත ප්‍රමාදය වනාහි පාලනය කර ගත හැකිව තිබුණු අවස්ථාවක්, ජනවාර්ගික ප්‍රතිවිරෝධතා පාලනය කරගත නොහැකි තරම් විශාල වූ පුපුරායෑමක් බවට පත්වීමට හේතුවූ ප්‍රධාන කාරණා වූයේය.

කෝලාහලය කොළඹ ප්‍රධාන සුසාන භූමිය අබියසදී ඇරැඹුණු කල්හි එය නගරයේ අන් තැන් වෙත, විශේෂයෙන් දෙමළ ජනයා පදිංචිව සිටි පෙදෙස් වෙත, ශීඝ්‍රයෙන් පැතිර ගියේය. කැරැලි කණ්ඩායම් ඊළඟට නගරාසන්න පෙදෙස්වලට ගමන් කළහ. ඊළඟ දින දෙක තුළදී එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත පැතිර ගොස් දෙමළ ජනයා වෙසෙන අන්‍ය වැදගත් නගර වෙත ව්‍යාප්ත විය. ප්‍රචණ්ඩත්වය කල් නොයවාම වතුකරයටද පැතුරුණි. පසුගිය සති කීපය තුළ කැකෑරෙමින් පැවැති වාර්ගික ආතතීන් භයානක ලෙස උතුරා ගියේය. උතුරේ ත්‍රස්තවාදය කෙරේ එල්ල කරන පළිගැනීමේ ප්‍රහාරයෙහිදී සිංහල කැරැලිකරුවන්, ශ්‍රී ලාංකික දෙමළ හා ඉන්දීය දෙමළ යන වෙනස දුටුවේ නැත. ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාරයට ලක්වූවන් විසින් බෙදුම්වාදයට හෝ ද්‍ර.එ.වි.පෙ.ට හෝ මතුපිටින් කිසිම පක්‍ෂපාතීත්වයක් දක්වා තිබුණේ නැත. සිංහල ප්‍රදේශවල විසූ දෙමළ ජනයා බහුතරයක් ඡන්දය දී තිබුණේ එ.ජා.ප.යටය. එසේ වුවද කැරැලිකරුවන්ගේ කෝපයට මුහුණදීමට ඔවුනට සිදුවිණි. මෙහිදී සිදුවුණු ගිනි තැබීමේ හා විනාශයේ ප්‍රධාන ඉලක්කය වූයේ කොළඹ නගරයත් එහි ජනයා පදිංචි ප්‍රදේශයන්ය. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බොහොමයකදී ත්‍රස්තවාදය පිළිබඳ රජය ක්‍රියා කරන ආකාරය ගැන ආවේගශීලී විරෝධයක් ගැබ්ව තිබුණු බව සැකයක් නොවීය. මෙය ජේ.ආර්.ගේ විශ්වාසයද වූ අතර ඒ අවධියේ පැවැති උද්වේගකර පසුබිම අනුව ඔහු එළැඹ සිටි එම නිගමනය මත එම සතියේදී ඔහු ගත් බොහෝ තීරණයන්ද පදනම්වී තිබිණ. තමන් 1977 බලයට පැමිණියාට පසු පළමු වරට රටේ පැනනැඟුණු දෙමළ විරෝධී බලවේගය නිසා බලයෙන් පහ කරනු ලැබීමේ අන්තරායට ජේ.ආර්. නියත වශයෙන් මුහුණ පා සිටියේය.

1983 කැරැල්ල 1958 කැරැල්ලෙන් වෙනස් එකක් වූයේ ආරක්‍ෂක හමුදාවන් රඟ පෑ භූමිකාවන් නිසාය. කැරැල්ලේ මුල් දිනවල නීතිය ක්‍රියාත්මක කිරීම ඇනහිට තිබුණේ මින් පෙර සිදු නොවූ අයුරිණි. තම ආධිපත්‍යය යළි පිහිටුවා ගෙන ප්‍රචණ්ඩ ක්‍රියා මැඬපැවැත්වීමට රජයට සතියක් පමණ කල් ගත විය. ආරක්‍ෂක හමුදා සාමය පවත්වා ගැනීමේ කාර්යය ගැන සාමාන්‍යයෙන් උදාසීනව සිටිනු හෝ නොසලකා සිටිනු හෝ දක්නට ලැබිණි. තම මැදිහත්වීම ජීවිත හෝ දේපොළ හානිය වළක්වන්නට සමත්ව තිබුණු තැන්හි ඔවුහු මැදිහත්වීම නිරතුරුව ප්‍රතික්ෂේප කළහ. නීතියේ හා සාමයේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණේය.

ප්‍රශ්නයේ කේන්ද්‍රස්ථානය වූයේ යුද හමුදාව බව
ජේ‍යෂ්ඨ රාජ්‍ය බලධාරීන්ගේ මතය විය. 1977 අගෝස්තු මසදී පවා මෙබඳු කැරැලි සිදුවූ විට හමුදාවේ ඇතැම් ඒකක සිංහල කැරැලි කණ්ඩායම්වලට වෙඩි තැබීමට අකැමැති වූහ. එසේ කරන්නැයි ඔවුන් පොලඹවාලීමට සිදුවිණි. එහෙත් සමස්ත වශයෙන් සලකන කල පොලිසියේ පක්‍ෂපාතීත්වය ගැන සැක පහළ වී තිබුණු අවස්ථාවක යුද හමුදාව නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ප්‍රබල උපකරණයක් වී තිබිණි. මෙම අවස්ථාවේදී ඒ භූමිකාවන් දෙපැත්තට වෙනස් වී තිබුණේය. නිල ඇඳුම් හැඳගත් යුද භටයෝ කෝලාහලයේ පළමු දිනදී කොළඹ කනත්ත අසල රැස්වී සිටි කැරැලිකරුවන්ට ක්‍රියාකාරී ලෙස අනුබල දෙමින් ප්‍රචණ්ඩත්වය මැඬලීමට පොලිසියට ඉඩ නුදුන්හ.

(ජේ.ආර්. චරිතාපදානය - තෙවැනි වෙළුම - පිටු 419-422)

ජේ.ආර්. වරද වාමාංශිකයන් පිට පැටෙව්වේය. වමේ සාමාජික ලැයිස්තුවක් එළියට දැම්මේ ය. ජවිපෙ, නව සමසමාජය ආදි වාමාංශික පක්ෂ තහනම් කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවතට විසි වූ ජවිපෙට කැලෑ වැදීමට සිදු විය. ජනමත විචාරණයෙන් පජාත වී සිටි ජේ.ආර්. නැවත පීල්ලට වැටුණේය. ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට තිබූ යූඑන්පී ආණ්ඩුව දාහත් වසරක්ම දිව්වේ ය.

"ක්ෂය රෝගය ගැන වෛද්‍යවරුන් කියන්නේ සුව කිරීම පහසුය එහෙත් ලෙඩේ සොයා ගැනීම අපහසුය කියා ය. ඒ අතර, එය හඳුනා නොගෙන මුලදී ප්‍රතිකාර නොකරන ලද්දේ නම්, කල් ගත වන විට එය හඳුනා ගැන්ම පහසු වන අතර සුව කිරීම අපහසු වෙයි."
(මැකියවෙලී)

ජේ.ආර් 1944දී "නිදහස් ලංකා පනත" හරහා සුළු ජාතීන් අල්ලගෙන නාඩගමක් නැටුවේ ය. 1984දීත් එවැනිම නාඩගමක් නැටුවේ ය. "ධර්මිෂ්ඨ සමාජයක්" ය. හක්කේ බුදු රැස් ය. බොක්කේ දඩ මස් ය. කඩන්න තිබුණේ නිය පොත්තෙන් ය. වසර 30ක් පොරෝ පහර ය. යන්තම් කඩා ගත්තේ ය.
දැන් බෑනා ය. කුණාටු වලාකුළු එක්රොක් වි ය. ඒ දෙමළ ය. මේ මුස්ලිම් ය. නීතිය ඔහු අතේ ය. සාමය ඔහු අතේ ය. 2002දී නම් සාම කුරුල්ලා ය. ඇදහිය නොහැකි ය. නීතිය-සාමය හෙමින් ය. ජාතිවාදය හයියෙන් ය. හක්කේ බුදු රැස් ය. බොක්කේ දඩ මස් ය. නොදුටු ඇස් ය. නෑසූ කන් ය. ගිනි කන්ද පිපිරුවේ ය. රත් වුණු ලාවා ය. සවල් පහරවල් ය. නිය පොත්තෙන් කඩයි ද පොරොවෙන් කපයි ද? නම් කියන්නට දන්නේ නැත.

මාමා සේ බෑනත් වරද වෙන වෙන පැතිවලට හරවාවිද කියා නම් දන්නේ නැත. යූඑන්පී නියෝජ්‍ය නායක කමට කුරුමානම් අල්ලන පාඨලිත් ළඟින් ම සිටින්නේ ය. පාඨලී අගමැති පුටුවට යන්න දේශපාලන පීල්ලක් සොයන්නේ ය. රනිල්ගේ පීල්ලයි පාඨලීගේ පීල්ලයි එකතු වෙයිද කියා නම් කියන්නට දන්නේ නැත. රනිල්ගේ ආණ්ඩුවත් ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට ය. ඉතිරිය හිතා ගත යුතුය.

මොවුන්ට වගකීම් කවදද මතක් වෙන්නේ. පිටරට යන්න ඕනෑ වුණාම ගමන් බලපත්‍රයේ සඳහන් කරනවා ශ්‍රී ලාංකිකයා කියා. සැබෑ ලෝකයේ ශ්‍රී ලාංකිකයන් නෑ. එක එක කුල, ගෝත්‍රවලට බෙදිලා. දේශපාලන වශයෙන් බෙදිලා. අද ඕනෑ කරලා තියෙන්නේ සැබෑ ලෝකයේ ජීවත් වෙන ලාංකිකයන්ගෙන් පිරුණු රටක්.
අද තියෙන ප්‍රශ්නය මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ

ප්‍රශ්නයකි. සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් සිතනවා නම් කවදාවත් මේ ප්‍රශ්නය උද්ගත වෙන්නේ නෑ. සිංහල බෞද්ධයෝ එක පැත්තක. ද්‍රවිඩ, හින්දු එක පැත්තක. ක්‍රිස්තියානි තව පැත්තක. මුස්ලිම් තව පැත්තක. ඒ ගොල්ල තවමත් හිතන්නෙ ඒ ඒ ආගම් ජාති, කුල වශයෙනුයි. මේ එකෙක්වත් හිතන්නේ නෑ අපි ලාංකිකයෝ කියා. මොකද අපේ අධ්‍යාපනයෙන් ඒ හැඟීම දීලා නෑ. ඒ නිසා ගිනිගෙන දැවෙන ප්‍රධාන ප්‍රශ්න අතරෙන් එක ප්‍රශ්නයක් තමා මේ අධ්‍යාපනික සංස්කෘතික ප්‍රශ්නය. අද වුවමනා කරලා තියෙන්නේ ලාංකික ජනරජයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව සකස් කළ යුතු සමාජයකි.

අද සංවර්ධනය ගැන මිනිසුන් කතා කළාට ඒ ගැන හරිහැටි අවබෝධයක් නෑ. නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන ඒමෙන් හෝ නවීන පාලන ක්‍රම හඳුන්වාදීමෙන් සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවාය කියන එක මෝඩකමක්. මානුෂික වශයෙනුත් තියෙන්නට ඕනෑ. පරිවර්තනයක්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැත්නම්, සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් සමඟිව කටයුතු කිරීමේ නිදහස නැත්නම් ඒ රට යන්නේ සංවර්ධනයේ ප්‍රගතිය කරා නොවේ. අගතිය කරායි.

(මහාචාර්ය ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න - දවස - 1985 මැයි 29)
ජාතිභේදය අපි හිතින් මාවාගත් දෘෂ්ටියක්. බුද්ධ ධර්මයට පටහැනි දෘෂ්ටියක්. ජාතිභේදය කියලා ගහගන්නවා. මරාගන්නවා. කොටාගන්නවා. ඒ වෛරය මිනිසා තුළ තියෙන කල් නිදහසක් ඇති වෙන්නෙ නෑ.
අපේ රටේ බුද්ධාගම්කාරයො නම් ඉන්නෙ අපි අතරේ ජාතිවාදයක් ඇති වෙන්න විදියක් නෑ. අපි බුද්ධ ධර්මය ගැන හිතන පිරිසක් නෙවෙයි. අපි බුද්ධ ධර්මයට පයින් ගහලා ඉන්න ජාතියක්.

පසුගියදා එක්තරා හාමුදුරු කෙනෙක් දේශනා කරලා 'ආගම, ජාතිය, රට ඔයින් ආගම අමතක කළාට කමක් නෑ. ඒක පස්සේ පුළුවනි හදාගන්න. ආරක්‍ෂා කළ යුත්තේ රටයි, ජාතියයි.' කියා.
ඉතින් කොහෙද අපි යන්නේ?
බුද්ධ ධර්මය කට පාඩම් කරගෙන ගිරව් වගේ කියන එක නොවේ බුද්ධාගම කියන්නේ. අනෙක ධර්මිෂ්ඨ රාජ්‍යයක් ලෝකෙ නෑ. රාජ්‍යයක් ධර්මයෙන් කරන්න බෑ. ධර්මයෙන් පුළුවන්ද මිනී මරන්න. සමාජයක් ධර්මිෂ්ඨ කළ හැකි වුණත් රාජ්‍යයක් නම් ධර්මිෂ්ඨ කරන්නට බැහැ.
(ඊ.ඩබ්. අදිකාරම් - දවස 1985 පෙබ. 4)

බොහෝ දේශපාලකයන් බලලෝභීන් ය. බලයට එන්න, අම්මා-අප්පා වුණත් විකුණන්නේය. ජාතිය මාරු කරන්නේ ය. ආගම මාරු කරන්නේ ය. කසාද බඳින්නේ ය. අඬන්නේ ය. ‍ෙදාඩන්නේ ය. කඳුළු ය. හොටු ය. පිහදාන්නේ ජනතාව ය.


දැන් ඇති ය. දේශපාලකයන්ගේ කැහි-හොටු පිහදැමුවා ඇති ය. හදවතින් වැඩ කළා ඇති ය. ජනතාව සබුද්ධිමත් විය යුතු ය. ජාතිය ලාංකිකය ය. ආගම සර්ව ය. පන්සලටත් යන්නේ ය. දේවාලයටත් යන්නේ ය. පල්ලියටත් යන්නේ ය. එක ඇස් ය. එක හිස් ය. එක මස් ය. එක ලේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon