රොස්මිඩ් වලව්වේ ආලින්දයේ සිවුරු තුනක් වැටී තිබුණේ කෙසේද?- ජිනියස් ක්වාස්

  👤  4903 readers have read this article !
2018-03-11

උදේනි සමන් කුමාර

සිරදඬුවම් ලබා කාලයකට පසුව හදිසියේ රෝගාතුර වූ මාපිටිගම බුද්ධරක්ඛිත සිර දඬුවම් විඳිමින් සිටියදී මරණයට පත් වූයේය. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් මඟින් විශේෂ ප්‍රකාශයක් කරන බව කියා සිටීමෙන් පසු වස ශරීරගත වීම හේතුවෙන් බුද්ධරක්ඛිත මරණයට පත්වූ බවට ඒ දිනවල කතාවක් පැතිර ගියේය. ඒ සම්බන්ධව යම් නිශ්චිත කරුණු තිබේදැයි සෙවූ නමුත් එය නිෂ්ඵල විය. එච්.ජී. ජයවර්ධන සිර දඬුවම ගෙවා වයෝවෘද්ධව නිදහස් විය.

මේ ලිපි මාලාව තුළ අප පාඨකයා හමුවේ තැබූ මූලික ප්‍රශ්නය වූයේ අගමැති බණ්ඩාරනායකට වෙඩි තැබුවේ සෝමාරාමද ඔසී කොරයාද යන්නයි. එවැනි ප්‍රශ්නයක් මතු කිරීමට පාදක වූ ප්‍රධාන කාරණය වූයේ අගමැති ඝාතනය සම්බන්ධව රටේ ජනතාව අතර තහවුරු වී ඇති මතයේ තුලා බර මිනීමරුවා ඔසී කොරයා යන්නට වැඩියෙන් යොමු වීමය.

මේ ලිපිය අරබයා සමාජයේ විවිධ ක්ෂේත්‍රවල නියුතු පුද්ගලයන් රාශියක් සමඟ මම මේ සම්බන්ධව ඔවුන් දරන අදහස් සාකච්ඡා කළෙමි. ඉන් කිහිපයක් මෙසේය.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසුවේ තමාගේ මිත්‍රයකුව සිටි හිටපු ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු වනසුන්දර මහතා අගමැති ඝාතනය සිදුවූ දිනවල ඒ සම්බන්ධව ආණ්ඩුව පත්කළ පරීක්ෂණ කමිටුවක සිටි බවයි. මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව ඒ පරීක්ෂණවලදී තමාට ඒත්තු ගියේයැයි වනසුන්දර මහතා ඔහු සමඟ පවසා ඇත. ඝාතනය සිදුවන අවස්ථාවේ මේ කුමන්ත්‍රණකරුවන් අගමැති නිවෙස ආසන්නයේ නිවෙසකට රැස්වී නිරීක්ෂණය කරමින් සිට ඇති බව හෙළි වූයේ යැයිද වනසුන්දර මහතා අමරසේකර මහතා සමඟ පවසා ඇත. කෙසේ වුවද මේ කියන කමිටුවේ වාර්තාවද එළියට ආවේ නැත.

ඔසී කොරයා එවකට පදිංචිව සිටි මීගමුවේ දාගොන්න ප්‍රදේශයට ගිය අවස්ථාවේ දාගොන්නේ පදිංචි විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන ජයසිංහ විජයරත්න මහතා හමුවුණෙමි. ඔහු පැවැසුවේ 1957 වසරේ ඔසී කොරයා දාගොන්නේ තැබෑරුමක් ආරම්භ කළ බව. දාමරිකයකු ලෙස ජනතාව බිය වද්දාගෙන සිටි ඔහු රූබන් පෙරේරා නමැති අයගේ නිවෙසේ සිට තැබෑරුම කරගෙන ගොස් ඇත. දාගොන්නේ අය දන්නේ ඔහු කොටහේනේ සිට දාගොන්නට පැමිණි අයකු ලෙසය. එහි පැමිණ නොබෝ දිනකින් ඔහු කුකුල් පොර සූදුවක් ආරම්භ කළේය. එම කුකුල් පොර සූදුව විවෘත කිරීමේ උත්සවයට පැමිණ තිබෙන්නේ එවකට රජයේ මුදල් ඇමැතිවරයා වූ ස්ටැන්ලි ද සොයිසා මහතාය.

ඔසී කොරයා පොර කුකුළකු අතින් ගෙන ස්ටැන්ලි ද සොයිසා මහතා සමඟ ඒ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපය ඔසී කොරයාගේ නිවෙසේ එල්ලා තිබෙනු විජයරත්න මහතා දැක තිබේ. ඔසී කොරයාට තිබූ ඉහළ සම්බන්ධකම් හේතුවෙන් ඔහු සිදුකළ දුරාචාර පිළිබඳ පොලිසියද නිහඬ වී ඇත. ඔසී කොරයා දාගොන්නේදී ප්‍රසිද්ධ මිනීමැරුම් දෙකකට සම්බන්ධ වූ අතර ඒ දෙකෙන්ම ඔහු නිදහස් විය. බණ්ඩාරනායක මහතාගේ මරණය සිදුවූ දිනවල ඔසී කොරයා හිස බූ ගා මිනිසුන් සමඟ කතා කරමින් සිටි අයුරු තමාට හොඳින් මතක බවද ජයසිංහ විජයරත්න මහතා කීවේය. ඒ මහතා පවසන්නේ "බමුණු කුලය බිඳ වැටීම" යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කරුණුවලින් බණ්ඩාරනායක ඝාතනයට තුඩුදුන් හේතු පැහැදිලි වූ බවයි.

"චීනය හා සෝවියට් දේශය සමඟ තානාපති සබඳතා ගොඩනැඟීම, විදුදය, විදුලකර විශ්වවිද්‍යාල ඇති කිරීම, රාජ්‍ය භාෂාව සිංහල වී අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂාව වීම, ව්‍යාපාර ජනසතුව ආදී අධිරාජ්‍යවාදීන්ට පක්ෂ බලවේග අනුමත නොකරන මාවතකට රට හැරවීම නිසා ඛ්චබඩධතඪජ ඒජබඪධද අන්‍යාගමික බලවේගයක් මෙම කුමන්ත්‍රණය මෙහෙයවූ බව ඔහු කීය.

ඒ වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ බලවේගය සතුව පැවැති නිසා නැව් සමාගම් කතාවක් පටලවමින් බෞද්ධ භික්ෂුන්ද එයට පටලවා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට ඔවුන් ක්‍රියා කළ බව හෙතෙම පැවැසීය. අගමැති බණ්ඩාරනායක මරණය සිදුවූ සැප්. 26 වැනිදා රාත්‍රියේ රාගම බටුවත්තේ ඩිකී සොයාසාට අයත් ගෙවල් සියය නිවාස සංකීර්ණයේ පැවැති 'බාල්කෑම' ගැන දන්නා වැඩිහිටියන් අදත් එහි සිටින බව විජයරත්න මහතා පවසයි.

කෙසේ වුවද මේ පිළිබඳ යම් විශ්ලේෂණයක යෙදෙන අයට පෙනී යන පැහැදිලි කරුණු රාශියක් තිබේ.

මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා, නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා සහ ඩිකී සොයිසා එකම පවුලේ සහෝදරයෝ වෙති. විවිධ ඉසව් ඔස්සේ පැමිණ ඔවුහු ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ වෙති. ඔසී කොරයා ඔවුන්ගේ අඹ යාළුවෙකි. හිටපු පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක සහ පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා අනෙක් ප්‍රධාන නළුවෝ වෙති.

වෙඩි තැබීම සිදුවී ස්වල්ප වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා එම ස්ථානයට පැමිණේ. ඔහු පැමිණෙන්නේද 'කවුරුත් අහකට පලයල්ලා' යැයි ගෝරනාඩුවක් කරමිනි. ඔහු එනවිට සෝමාරාම හැර වෙනත් භික්ෂුවක් එහි නොසිටි බව ඔහු සාක්කි දෙමින් පැවැසීය. තමා බිම තිබූ රිවෝල්වරය අසුලා සිඩ්නි ද සොයිසාට දුන් බව නිවත්ඩිතියේ ආනන්ද හිමි කී කතාව එතැනින් නිෂ්ප්‍රභ වුවද අධිකරණය එය සැලකිල්ලට ගත්තේ නැත.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ අවස්ථාවේ එහි පැමිණෙන්නට විශේෂ හේතුවක් නැත. ඔහු ප්‍රදේශයේ පොලිස් බලධරයකු නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට වගකීම් දැරූවෙක්ද නොවේ. ඔහු අධිකරණයට කීවේ කලින් දින හවස අගමැතිතුමා කතාකර පැමිණෙන ලෙස තමාට දැන්වූ බැවින් එහි ආ බවය. තමා කතා නොකළ බව කියන්නට අගමැති ජීවතුන් අතර නැත. සමහර විට ඔහු පැමිණියේ වනසුන්දර මහතා කියා තිබූ පරිදි රොස්මිඩ් වලව්ව අසල කුමන්ත්‍රණකරුවන් රැඳී සිටි ස්ථානයේ සිට වෙන්නට පුළුවන.

වෙඩි වැදීමෙන් පසුත් ශල්‍යකර්මයෙන් පසුත් බණ්ඩාරනායක මහතා හොඳින් කතාබස් කළා පමණක් නොව ජාතිය අමතා පණිවුඩයක්ද දුන්නේය. එහෙත් මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අගමැතිවරයාගෙන් කට උත්තරයක් වශයෙන් වචන කිහිපයක් සටහන් කරගැනීමට පොලිසියට ඇති වගකීම මෙහිදී පොලිසිය ඉටු නොකළේය.

තාප්පයෙන් පැන ගිය මිනිසා ගැනත් ඉස්තෝප්පුවේ තිබූ සිවුරු තුන ගැනත් අවධානය යොමු නොකළ අධිකරණය පී. මලල්ගොඩ මහතාගේ නඩුවට අදාළත්වයක් නොවූ ශෘංගාරාත්මක සාක්ෂියට දින 17ක් වෙන් කළේය. මේ නඩුවේ බොරු ටොන් ගණනක් තිබෙන නමුත් ඇත්ත අවුන්සයක්වත් නැතැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජිනියස් ක්වාස් කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon