ලංකාවේ නිදහසට පාර කැපුවේ ඩී.ඇස්. ද හිට්ලර්ද?

  👤  4891 readers have read this article !
2018-03-11

තමන්ගේ ඉතිහාසයේ මුල් කාලයේදී ඉංගිරිසීහු හොඳ ගොවියෝ වූහ. ඒඵඹඥඤඤභථඪලඥ යන වචනය සිංහලයෙන් ණයට නොගත්තාට එම අර්ථය ප්‍රකාශ කළ හැකි වචන රැසක් ඉංගිරිසියේ ඇත. ඉංගිරිසීන් මං පහරන්නන් බවට පත් වූයේ ස්කැන්ඩිනේවියානුන්ගේ බලපෑම නිසාය. වෘත්තීය මුහුදු මංකොල්ලකරුවන් වූ, නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් ආදී රටවල මිනිස්සු වරින් වර එංගලන්තයට කඩා වැදී, එහි ගොවියන් නිෂ්පාදනය කර තිබූ සබ්බ සකළමනාවම කබල් බෝට්ටුවල පටවා ගෙන යෑම සිය ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගෙන සිටි බැවින්, ඉංගිරිසීන්ට ද මංකොල්ලකෑම ජීවිකාව කර ගන්නට සිදු විය. හැඩි දැඩි ස්කැන්ඩිනේවියානුවන්ට මුහුණ දීමට තරම් ධෛර්යයක් නොතිබූ ඉංග්‍රීසීන් කළේ, රාජ්‍ය සංවිධානයක් හෝ හමුදා ඒකක නොතිබූ අප්‍රිකානු, අමෙරිකානු, ආසියානු, අසංවිධිත හා අනාරක්ෂිත බිම් කඩවලට කඩා වැදී ඒවා මංකොල්ලකෑමයි. කුප්‍රකට 'හිරු නොබසින අධිරාජ්‍යය' ගොඩනඟන ලද්දේ නිරායුධ ගෝත්‍රිකයන් යටත් කිරීමෙන් මිස බලසම්පන්න රටවල් සමඟ යුද්ධ කිරීමෙන් නොවේ.
ඩී.එස්. සේනානායකයන්ගේ හැබෑ මෙහෙවර පැහැදිලි කෙරෙන ලිපියක් මේ දක්වා කියවන්නට ලැබී නැති බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. ඔහුට "ජාතියේ පියා" යැයි කියනු ලබන්නේ හුදු දේශපාලන අඬහැරයක් වශයෙන් මිස, ඔහුගේ සටන් මඟ ගැඹුරෙන් වටහා ගැනීමෙන් නොවේ. ඇත්ත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගැනීමට පාර කපන ලද්දේ ඩී.එස්. සේනානායක උතුමාණන් විසින් නොව, ඇඩොල්ෆ් හිට්ලර් උතුමාණන් විසිනි. හිට්ලර් උතුමාණන්ගේ බෝම්බ, ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ශ්‍රී සෞභාග්‍යය විනාශ කොට එංගලන්තය නොන්ඩි අශ්වයකු බවට පත් නොකරන්නට, 1948දී අපට නිදහස ලැබෙන්නේ නැත.

ඩී.එස්. 'කළු සුද්දකු' ලෙස වාමාංශිකයන් විසින් හංවඩු ගසනු ලැබුව ද, ඔහු නගරයේදී ටොප් හැට් ටයි කෝට් හැඳි, ගමේ දී අමුඩ ගසාගෙන වෙලට බට 'අමු හිංගලයකු' විය.

ඩී.එස්. කොම්ප්‍රදෝරු ධනපතියකු ලෙස හංවඩු ගසනු ලැබුව ද, ඔහු අයත් වූයේ ප්‍රගතිශීලී හෝ ජාතිකවාදී ධනපති පන්තියටයි. පොන්නම්බලම්ලා, බණ්ඩාරනායකලා ප්‍රමුඛ අධිරාජ්‍ය ගැති, කොම්ප්‍රදෝරු ධනපති පන්තිය පරාජය කිරීම, ඩී.එස්. මෙරටට කළ විශිෂ්ටතම සේවය බව කිසිවකු ප්‍රකාශ නොකිරීම මහත් කනගාටුවට කරුණකි.

ඩී.එස්. සේනානායක අධිරාජ්‍ය ගැත්තකු ලෙස නම් කිරීමට මෙරට වාමාංශිකයන් පොලඹවන ලද්දේ, ඔහු සුද්දන් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීම, පශ්චාත් යුද්ධ බල අරගලයේදී කොමියුනිස්ට් කඳවුරට එරෙහිව අමෙරිකාවට සහාය දැක්වීම යන කරුණු විසිනුයි.

බදු එකතු කර ගැනීම හැරුණු විට, ලංකාවේ අභ්‍යන්තර පරිපාලනයට පැටලීමට අකැමැති වූ ඉංග්‍රීසීහු, දේශීය ගැත්තන්ගෙන් සෑදුණු පරිපාලන ව්‍යුහයක් තුළ එම වගකීම් රැඳවීමට වගබලා ගත්හ. පුරා අවුරුදු සීයක් තිස්සේ මෙම දේශීය පරිපාලන ව්‍යුහයට නායකත්වය දෙන ලද්දේ, ආරුමුගම් කුමාරස්වාමි (පියා) මුත්තු කුමාරස්වාමි (පුතා) අරුණාචලම් පොන්නම්බලම් (සොයුරියගේ සැමියා) පොන්නම්බලම් රාමනාදන් (පුතා), පොන්නම්බලම් අරුණාචලම් (මල්ලි) ආදී ලෙස ගලා ගෙන ආ කුමාරස්වාමි පවුල විසිනි. මෙම පවුල, මහාචාර්ය ඇන්ටන් ජෙයරත්නම් විල්සන් විසින් හඳුන්වන ලද්දේ 'ලංකාවේ ඔටුනු නොපලන් රාජ වංශය' නමිනි. ඉංග්‍රීසි කවචයේ සැඟවී ලංකාව පාලනය කිරීමට මෙම අප්‍රකාශිත රාජවංශය සමත් වූයේ, සිංහලයන් හා ඉංග්‍රීසින් අතර තිබූ ඓතිහාසික විරසකය දක්ෂ ලෙස ආයෝජනය කිරීම මඟිනි. ඡන්ද බලය හඳුන්වාදීමත් සමඟ මෙම රූකඩ පාලනය පෙරළා දැමීමට අවස්ථාවක් උදා වූ අතර, ඉංග්‍රීසීන් යටතේ අත්අඩංගුවට පවා පත්වූ පුද්ගලයකු වූ ඩී.එස්. කුමාරස්වාමි රාජවංශය යටපත් කිරීම සඳහා ඉංග්‍රීසීන් හා මිත්‍රත්වය ගොඩ නඟා ගත්තේය. එය අධිරාජ්‍ය ගැති වීමක් ලෙස අර්ථ නිරූපණය කරන ලද්දේ පසුකාලීන දේශපාලන විචාරකයන් විසිනි. හපන්කම කිරීමට අසමත් වූ මහත්මා ගාන්ධි ඉන්දියාව දෙපළු කර ගත්තේය.

පශ්චාත් යුද්ධ බල අරගලයේදී මෙරට වාමාංශිකයන් ජපානයට එරෙහිව පෙනී සිටීමට බලපෑ එකම හේතුව නම්, එය සෝවියට් දේශයේ මනාපය වීමයි. පරමාණු බෝම්බය තර්කානුකූලව දැමිය යුතුව තිබුණේ ලෝක යුද්ධයේ අක්ෂය වූ ජර්මානු සුද්දන්ගේ ඔළුව උඩට බවත්, එය දමන ලද්දේ ඉංග්‍රීසි විරෝධය නිසා අහම්බෙන් යුද්ධයට ඇදුණු ආසියානු බෞද්ධ රාජ්‍යයක් වූ ජනාගේ ඔළුව උඩට බවත්, බටහිරට එරෙහි ආසියාව ශක්තිමත් කිරීමට නම් අප ජපානය රැක ගත යුතු බවත්, දැකීමට තරම් ඩී.එස්.ගේ දෑස් තියුණු වූයේ, ඒවා අධ්‍යාපනය මඟින් සුද වැහී නොතිබුණු බැවිනි.

ඩී.එස්. සේනානායකගේ හෝ ජේ.ආර්. ජයවර්ධනගේ හෝ මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපක්‍රමවල ගැඹුර වටහා ගැනීමට, අනෙකුත් පක්ෂවල දෙවන පෙළ නායකත්වයන්වත් අසමත් වූයේ මන්ද යන්න අති විශාල ජාතික වැදගත් කමකින් යුතු ප්‍රශ්නයකි. ඊළාම් දේශයේ වින්නඹු අම්මලාට අදත් ගලවා ගන්නට බැරුව තිබෙන්නේ මේ තිදෙනා දැමූ දේශපාලන විලංගු බව කිසිවකුටත් නොපෙනීම අවාසනාවකි.

යාපා ඩයස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon