අපි හමුදා වළල්ලකට මැදිවීමු බැලූ බැලූ අත යකඩ හිස්වැසුම් දිස්විය

  👤  5266 readers have read this article !
2018-03-11

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මා සිටියේ නිවෙසට උතුරු දෙසින් වූ කුඩා අඹ ගස යටය. හමුදාව සිටින්නේ යැයි කියූ ලන්තානා පඳුරු සහිත භූමිය දෙස පරීක්ෂාවෙන් දෑස යොමුකොට ගෙනය.

අෑත ක්‍ෂිතිජය දෙසින් ආලෝක තීරයක් දක්නට ලැබිණි. එහෙත් අප අවට ඒ වන විටත් අන්ධකාරයෙන් වැසී තිබිණි. මගේ වමතෙහි වූ ඒම් 47 රයිෆලය ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට සූදානම්ව සිටියේය. මා සතු සියලු ආම්පන්න සහිත බෑගය පිටේ එල්ලීගෙන සිටි අතර නවන ලද මගේ සරම රයිෆල් රඳවනයට යා කොට ගැට ගසා තිබිණි.

උදෑසන කුරුලු හඬටද කන්දෙමින් අපි බොහෝ වේලා එලෙස නිහඬවම බලා සිටියෙමු. අෑත තල් ගස් පෙළ අතරින් ඉර එළිය යාන්තමට ගලා එන්නට පටන් ගත්තා පමණි. දකුණු දෙසින් මතු වූයේ නොනවත්වා නැඟුණු මැෂින් තුවක්කු වෙඩි හඬය. දකුණට මුහුණ ලා සිටි අපගේ සගයෝද ආපසු වෙඩි තැබුවෝය. සිරුර තුළ ඇඩ්‍රිනලින් ස්‍රාවය අධික වන සෙයක් මට දැනී ගියේය.

"හැම කෙනෙක්ම එකතු වෙන්ඩ ඊසාන දිග පැත්තට."

මුරලි කෑ ගසනු ඇසිණි.

අපි එදෙසට දුව ගියෙමු. නැඟෙනහිර සහ බටහිර දෙසින් මැෂින් තුවක්කු වෙඩි ගලා එමින් පැවතිණි. සියල්ල එල්ල වූයේ අප දවාලට නවාතැන් ගන්නා මැටි ගෙදර දෙසටය.
මුරලි අනුමාන කළා නිවැරැදි විය. රාත්‍රි කාලයේදී ඒ නිවෙස වට කළ හමුදාව සටන ආරම්භ කරන්නට උදෑසන වන තුරු බලා සිටියා විය යුතුය. අප රාත්‍රිය එහි ගත කළා නම්, නොඑසේම සොයා බැලීමකින් තොරව උදෑසන එහි යන්නට පිටත්වූවා නම් ඒ වන විටත් අප සියලු දෙනා සටන පමණක් නොව ජීවිතයද හැර ගොස් අවසානය.

දණක් උස තෙත් තණ බිමෙහි යමින් සිටි මුරලි පසු පස මමද ඇදුණෙමි. මා පසු පස සාරා ඇතුළු තවත් කිහිප දෙනෙක් පැමිණෙමින් සිටියහ. තල් ගස් පෙළ දිගේ මීටර් සියයක් පමණ දුර ගිය අපට නිවාස පෙළක් දක්නට ලැබිණි.

සටන දිගටම දරුණුව පැවතිණි. වෙඩි උණ්ඩ හා අත්බෝම්බ අප වටා පිපිරී ගියේය. මගේ අලුත් පාවහන් සඟලෙහි පිටුපස පටියක් හදිසියේ කැඩී ගොස් තිබිණි. ඒ සමඟ මගේ ගමන තවත් දුෂ්කර විය.

මට අලුත් පාවහන් ලැබුණේ පෙර දා රාත්‍රියේදීය. ඒ මුරලිට නොදන්වා අනෙක් පිරිමි ළමයින් කිහිප දෙනෙක් අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාප්පුවකින් සොරකම් කොට ගෙනැවිත් තිබූ බැවිනි. පාවහන්, යට ඇඳුම් මෙන්ම සනීපාරක්ෂක තුවාද ඔවුන් අප වෙනුවෙන් එලෙස ගෙනැවිත් තිබිණි. ඒ වන විට එවැනි කාර්යයක වැරැදි නිවැරැදි බව පිළිබඳව ගැඹුරින් සිතන්නට මට වුවමනාවක් නොතිබූ තරම් ය.

දසතින් ගලා එන වෙඩි වරුසාව ගැන මොහොතකට නොසලකා මම පාවහන් යුගල ගලවා ඉවත් කරගන්නට උත්සාහ ගතිමි. පිටුපස ගාංචු සහිත පටි දෙක හේතුවෙන් එය මා සිතූ තරම් පහසු හා ඉක්මන් නොවීය. මගේ උරහිස හා සවන්පත් අසලින්ම වෙඩි උණ්ඩ කිහිපයක්ම පියාඹා ගියේය.

"නිරෝමි, මැරෙන්ඩද හදන්නේ?"

මගේ උරහිසෙහි වූ බෑගය ඇද ඉවත දැමූ සාරා මා බිමට තල්ලු කොට දැමුවේය. වහා ඇය ද බිම වැතිර ගත්තාය.

පාවහන් සඟලෙන් නිදහස් වීමට කෙසේ හෝ මම සමත් වීමි. අනතුරුව අපි දෙදෙනාම අසීරුවෙන් නමුත් කණ්ඩායමට ළඟා වීමු. ඒ වන විට අප සියලු දෙනාම නිවාස පෙළට ආසන්න වී සිටියද යා යුත්තේ කොයි අතට දැයි කිසිවකුටත් තීරණය කොට ගත නොහැකි විය. ඒ දසතින්ම අප වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබූ නිසාවෙනි. අපි හැම විටම මාවත් මඟ හරිමින් කොන්ක්‍රීට් තාප්ප මතින් පනිමින් හා තල් කොළ වැටවල් තුළින් රිංගමින් ගමන් කරනන්ට උත්සාහ ගතිමු. ක්‍රමයෙන් ප්‍රහාරය මන්දගාමී වූ නමුදු බැලූ බැලූ අත අපට දිස්වූයේ කොළ පැහැති යකඩ හිස්වැසුම්ය. එවැනි හිස්වැසුමක් දුටු විගස අපි පහත් වී යමකට මුවා වී සැඟව ගතිමු. එවැනි මොහොතක මට දැනුණේ මගේ හදවත ළය තුළින් පිටතට පැමිණ වේගයෙන් ගැහෙන්නා සේය. පෙණහලු ගින්නකින් ඇවිළී යන්නා සේය.

අරමුණකින් තොරව සැඟවෙමින් ඒ මේ අත ගිය බැවින් අවසන අප සියල්ලෝ අතරමං වී සිටියහ. සියලුම නිවැසියන් ‍ෙදාරවල් වසා නිවෙස් තුළ සැඟව ගත්තා විය යුතුය.
එකම නිවෙසක පමණක් ඉදිරිපස පෝටිකෝවෙහි රන් දම්වැල් සහ ඔරලෝසු පැලඳගත් මිනිසුන් තිදෙනකු සිටිනු මම දුටුවෙමි. අප පත්ව ඇති අකරතැබ්බය දැක ඔවුන් සිනාසුණු බව ද මම තේරුම් ගතිමි.

"ඒ ටෙලෝ කොල්ලො ටිකක්. දැන් අපේ හතුරට එකතු වෙලා."

පසුව මුරලිගෙන් විමසූ විට ඔවුන් පිළිබඳව ඔහු පැවසුවේ එලෙසිනි. ඒ වන විටත් අප සිටියේ මුරලිගේ ප්‍රදේශය තුළ බැවින් ඔහු එම වටපිටාවේ මිනිසුන් පිළිබඳවද බොහෝ දෑ දැන සිටියේය.

හමුදා වළල්ලකට අප මැදිව සිටින බව ඒ වන විට අපට අවබෝධ වී තිබිණි.

"සටන් කරලා හරි අපි මෙතැනින් පැනගමු."

සාරා සූ සූ හඬ මතු කරමින් අප කැඳවා කීවේය.

"අපේ ආම්පන්න ඔක්කොම මේ ගෙයි වහලෙ හංගලා යමු. වෙන දවසක ඇවිත් ඒවා ගන්ඩ පුළුවන්."

ඊසන් සහ නීරා වහා වහලය මතට නැඟ ගත්හ. එය මාවතට නුදුරින්ම වූ නවීන පන්නයේ විශාල නිවෙසක් විය. සාරා අපේ ගමන් මලු එකින් එක වහලය මතට විසි කළේය.
මම මගේ බෑගය එහි දමා යන්නට පසු බා සිටියෙමි. ඒ අම්මාගේ ලියුමත්, ශිරානිගේ ඇඳුම් කට්ටලයත්, කවි ලියූ මගේ කොළ කිහිපයකුත් එතුළ වූ බැවිනි. එහෙත් නැවත දිනෙක මා අතට බෑගය පත් වන බව සාරා ස්ථිරසාරව පවසා සිටියාය. එහි වූ මගේ හැඳුනුම්පතත්, කරාබු ජෝඩුවත් පමණක් මම කමිස පොකට්ටුවක ලා ගතිමි.

මේ අතර නිවෙසෙහි ඉදිරි ‍ෙදාර හදිසියේ විවර විය.

"අනේ දරුවනේ, ඕව මෙහෙ දාලා යන්ඩ එපා."
පිටතට ආ මිනිසා ආයාචනා කළේය.

"හමුදාවට අහුවුණොත් අපේ ගේ ගිනි තියල දාවි. අපිවත් මරල දමාවි."

අප ආයුධ කිසිවක් එහි දමා නොයන බව සාරා කියා සිටිය ද ඔහු දිගින් දිගටම පින්සෙණ්ඩු වූයේය. ඔහුගේ ආයාචනාව නොසලකා හරිමින් අප සතුව තිබූ සියලුම ගමන් මලු වහලය මත පාරට නොපෙනෙන්නට සඟවා තබන්නට නිරා සහ ඊසන් සමත් වූහ.

නිවෙසක් පසු පස සිටි අප වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ එම නිවෙස ඉදිරිපස මාවතේ රැඳී සිටි හමුදා සොල්දාදුවන් වෙතිනි.

"අයියෝ....!"

නිර්වේලි හිදී මුරලිගේ ඒකකයට සම්බන්ධ වූ ජෙසිකා පපුව බදා ගනිමින් බිමට ඇද වැටුණාය.

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජනදිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon