බෝසතුන් මනෝමය කායයෙන් සිදු කළ දේ මහමායා දේවිය සිහිනෙන් දුටුවාද

  👤  4399 readers have read this article !
2018-03-11

මිනිසකු ඉපදී භෞතික ශරීරයකින් යුතුව කලක් ජීවත් වේ යැයි කීමේදී අපි ආත්මවාදීන් පමණක් නොව භෞතිකවාදීන්ද පිළිගන්නාවූ කරුණක් පිළිගනිමු. එපමණකින් මිනිසෙක් භෞතිකවාදියෙක් නොවේ. බුදුසමය පැරැණි භාරතීය ආධ්‍යාත්ම විද්‍යාඥයන් ඇති කොටගෙන තිබූ ඇතැම් නිගමන නොසෑහෙන නිසා ඒවා වෙනස් කරමින් තවත් ඉදිරියට යෑමක් ලෙස මිස පැරැණි මත සම්පූර්ණයෙන් ඉවත දැමීමක් ලෙස තේරුම් ගැනීම වැරැදිය.

පැරැණි භාරතීය විද්‍යාඥයනට බුදුරජාණන් වහන්සේගෙන් සිදු වූයේ නිව්ටන්ට අයින්ස්ටයින්ගෙන් සිදුවූ දෙයට සමාන වූවකි. බුදුරජුනට පෙර සිටි උද්දකරාමපුත්ත තවුසා 'උපාදාන සෙට්ඨය' වූ නේවසඤ්ඤා නාසඤ්ඤයතනය තෙක් සොයා ගෙන සිටි අධ්‍යාත්ම විද්‍යාඥයෙකි. බුදුරජාණන් වහන්සේගේ විශේෂ සොයා ගැනීම වන්නේ භව සමතික්‍රමණයයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට, පෙර සංකල්ප වෙනස් කළා මිස ඒවා සම්පූර්ණයෙන් ඉවත දැමීමක් බුදු සමයෙන් කෙරී නැත. පඤ්චොපාදනස්කන්ධයට අයත් හැම දෙයක්ම අනිත්‍ය යැයිද එහෙයින් දු--ඛ යැයිද එහෙයින් අසාර යැයිද සැලකීම භව සමතික්‍රමණයට අවශ්‍යය. අවුරුදු හැට හැත්තෑවක් පවතින මිනිස් ජීවිතයක් ඇතැයි පිළිගැනීම භව සමතික්‍රමණයට බාධාවක් නොවන්නා සේම අන්තරා භවයක් ඇතැයි පිළිගැනීමද භව සමතික්‍රමණයට බාධාවක් නොවේ.

කිසියම් සමෘද්ධිමතකුගේ මනෝමය කාය සිරුරින් බැහැර වුවහොත් ඒ කාලය තුළ ඔහුගේ ඕලාරික සිරුර අසංඥය. එවිට ඔහුගේ විඤ්ඥාණය පවතින්නේ මනෝමය කායය සමඟය. මජ්¿ජිම නිකායේ ආනෙ¿ද්ජ සප්පාය සූත්‍රයෙහි සඳහන් වන "සංවත්තනික විඤ්ඤාණය" කාම රූප යන ලෝක දෙකෙහිදීම පවතින්නේ මනෝමය කෝෂය තුළ බව පෙනේ. ඒ නිසා මනෝමය කායයෙන් යුතු ගන්ධබ්බයා මවු කුසට ඇතුළු වන විට විඤ්ඥාණයද ඒ සමඟ ඇතුළු වෙයි. අරූප ලෝකයකින් චුත වූවහු මවු කුසක පිළිසිඳ ගැනීමට එයි නම් ඒ එන්නේ මනෝමය කායයකින් යුතුවද යන ප්‍රශ්නයට දැනට මට ස්ථිර පිළිතුරක් දිය නොහැකිය. සමහර විට ඒ අවස්ථාවේදී හුදු විඤ්ඤාණය පමණක් මවු කුසට බසිනවා විය හැකිය.

බෝසතුන් ඇත් රුවකින් යුතුව මවු කුසට පිවිසුණාක් මෙන් වී යයිද මහාමායා දේවිය සීනෙන් ඒ බව දුටුවා යැයිද ජාතකට්ඨකතාවෙහි සඳහන් වෙයි. 'ගෝතම බුදුරජාණන් වහන්සේ" නම් වූ තම පොතෙහිදී මේ කරුණ සාකච්ඡා කරන සනත් නානායක්කාර මහතා ජාතකට්ඨකතා විස්තරයෙන් එය සිහින මාත්‍රයක් බව ඉතා පැහැදිලි යැයිද එහෙත් ලලිත විස්තරයෙහි විටෙක එය සත්‍ය සිදුවීමක් ලෙස ඉදිරිපත් කර ඇතැයිද කියයි. මධ්‍යස්ථ මතය නම් බෝසතුන් මනෝමය කායයෙන් සත්‍ය වශයෙන්ම කළ දෙය මහාමායා දේවිය සිහිනෙන් දුටු බවය. මෙය ද මනෝමය කායය හා සීනය අතර සම්බන්ධතාව දැක්වෙන තැනකි.

මනෝමය කායයට ආවේණික වූ සාධාරණ ධර්මතාත් ඒ කය තුළ වසන සංඥාමය ආත්මයේ ආධ්‍යාත්මික දියුණුවට අනුව ලැබෙන විශේෂ ශක්තිත් ඇති බව පෙනේ. අන්තරාභවය තුළදී සාමාන්‍යයෙන් පූර්ව භවයේ ආකෘතියෙන් සිටින නමුදු ඇතැම් මනෝමය කායිකයනට තම රූපය තාවකාලිකව වෙනස් කර ගත හැකි යැයි සිතීමට ඉඩ තිබේ. එසේම සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන මනෝමය කායය කරුණු කීපයක් නිසා මිනිසාට දැක ගත හැකි අවස්ථාද ඇති බව සිතිය හැකිය. කෙසේ හෝ මනෝමය කායය තුළ ඇති සඤ්ඤාමය ආත්මභාවයද සාරයෙන් තොරය, අනිත්‍ය ය, එහෙයින් එයද ප්‍රභාත්‍යව්‍යය.

සංවත්තනික විඤ්ඤාණයක් තිබේ නම් මහා තණ්හා සංඛය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සාති තෙරුන්ගේ විඤ්ඤාණවාදයට පහරදී ඇත්තේ කවර හෙයින්දැයි කෙනකුට ඇසිය හැකිය. මජ්¿ජිම නිකායේ ආනෙ¿ද්ජ සප්පාය සූත්‍රයෙහි "කායස්ස බේද පරම්මරණා ඨානමේතං විජ්ජති යංතං සංවත්තනිකං විඤ්ඤාණමස්ස ආනෙඤ්ජූපගං" යනුවෙන් ධ්‍යාන වැඩූ පුද්ගලයකුගේ විඤ්ඤාණ සන්තතිය මරණින් පසු චතුර්ථ ධ්‍යාන භූමියට හෝ අරූ භූමියට යතැයි කියා තිබේ. බුදුරජාණන් වහන්සේ සාති තෙරුන්ට දෝෂාරෝපණය කළේ එක්වරම නොව සසර සැරිසරන විඤ්ඤාණය කුමක්දැයි අසා ඊට පිළිතුරු ලැබුණු පසුය. සාති තෙරුන් පිළිගෙන සිටි විඤ්ඤාණයේ ලක්ෂණ වශයෙන් 'තදේව අනඤ්ඤං" (එයම අනිකක් නොවී) යන විශේෂණ දක්වා තිබේ. විඤ්ඤාණය හැම විටම පටිච්ච සමුප්පන්නව තිබියදී "අනිකක් නොවන එය ම" ලෙස සැලකීම වැරැදිය. එසේ තිබියදීත් බුදුරජාණන් වහන්සේ සාති තෙරුන්ට ‍ෙදාස් නාපවරා සාති තෙරුන් අදහස් කළ විඤ්ඤාණය කුමක්දැයි ඇසූහ. එවිට සාති තෙරණුවෝ 'යවායං භන්තෙ වදෝ වෙදෙයේ‍යා් තත්‍ර තත්‍ර කල්‍යාණපාප කානං කම්මානං විපාකං පටිසංවෙදේති" යනුවෙන් තමන් අදහස් කරන්නේ කර්ම කරන විපාක විඳින විඤ්ඤාණය බව පැහැදිලි කර දුන්හ. බුදුරජාණන් වහන්සේගේ දෝෂාරෝපණය පැමිණියේ මින් පසුවය. මහා තණ්හාසංඛ්‍ය සූත්‍රයෙහි විස්තර කොට ඇති චක්ෂුරාදි ඉන්ද්‍රිය සය හා රූපාදි ආලම්බන සය ප්‍රත්‍යය කොට ගත් ෂඩ්විධ විඥානයක් සංස්කාරයන් ප්‍රත්‍යය කොට ඇතැයි සැලකිය යුතු වූ සංවත්තනික විඤ්ඤාණයත් එකක්ම නොවේය යනු දැනට මා දරන මතයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon