සාහිත්‍ය ලෝකයේ යෝධ පෞරුෂය ඇරැව්වල නන්දිමිත්‍ර

  👤  4424 readers have read this article !
2018-03-11

ප්‍රවීණ සාහිත්‍යවේදියකු වූ "ඇරැව්වල නන්දිමිත්‍ර" මහතා පසුගිය බදාදා සහෘදයන්ගෙන් සදහටම සමු ගත්තේය. මේ කෙටි ලිපිය ලාංකේය සාහිත්‍ය තුළ ඔහුගේ අනන්‍යතාව හඳුනාගැනීමට දැරූ උත්සාහයකි.

සැබෑ සාහිත්‍යවේදියකු ලෙස ඇරැව්වල නන්දිමිත්‍ර වඩාත් පුළුල් ලෙස මිනිස් ජීවිතය විවරණය කළේය. චෞරයන්, පාදඩයන්, වරෙන්තුකරුවන්, මෙන්ම එදාවේල වැර වෑයමෙන් සරිකර ගන්නා මිනිසුන් හා ගැහැනුන් ඔහුගේ කෙටි කතා සහ නවකතා හරහා ග්‍රාහකයා හමුවට පැමිණියේය. සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් මිනිස් ජීවිතය විවරණය කරනු වෙනුවට ඇරැව්වල නන්දිමිත්‍ර වඩාත් අසම්ප්‍රදායික කලාකරුවකු විලාසයෙන් සමාජ, සංස්කෘතික, දේශපාලන වටපිටාව සංජානනය කළේය.
ඔහු සාහිත්‍යට පිවිසුණු යුගය සැලකිය හැක්කේ, ලාංකේය කෙටිකතා කලාවේ යථාර්ථවාදී රීතිය ස්ථාපිත වූ සිවුවැනි අවධිය ලෙසය.

ඇතැම් විචාරකයන් පවසන්නේ, එය සුප්‍රකට රුසියානු සාහිත්‍යධරයකු වූ "ඇන්ටන් චෙකොෆ්"ගේ කෙටි කතාවල ආලෝක කදම්භය ලාංකේය කෙටි කතා මත පතිත වූ වකවානුවක් ලෙසය.

ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ බොහෝ සාහිත්‍ය කෘතිවලට විෂය වූ භෞතික පරිසරය, මල්දෙණිය යනුවෙන් නම් කරන ලදී. එසේ අන්වර්ථ නාමයෙන් හැඳින්වූයේ ඔහු ජීවත් වූ ගම් ප්‍රදේශය වූ ඇරැව්වලයි. ඔහුගේ 'ස්ත්‍රී' කෙටිකතා සංග්‍රහය තුළද "මල්දෙණියේ සිමියොන්" වැනි නවකතා තුළද වඩාත් ප්‍රබල චරිත නිරූපණයක් දැකගත හැකිය. පසු කලෙක ඔහු "කතන්දරකරුවකුගේ සටහන්" යනුවෙන් ඉරිදා පුවත්පතකට ලිපියන් ලියමින් තමන්ගේ අතීත අද්දැකීම් ඉතා සංවේදී ආකාරයෙන් හෙළිදරව් කළේය. පහත දැක්වෙන්නේ නන්දිමිත්‍ර මහතා සිය මද්දුම අක්කා පිළිබඳව ලියූ සටහනකින් උපුටාගත් කොටසකි.

"ඇය ඇරැව්වල සුනන්ද දස සිල් මාතාව නම් වූවාය. කවුරුත් පාහේ ඇය ඇමැතුවේ ඇරැව්වල දස සිල් මෑණියෝ යනුවෙනි. තිස් හය වසරක පමණ කාලයක් දස සිල් මාතාවක ලෙස දිවි ගෙවූ ඇය මීට අට වසරකට පෙර ජනවාරි හත් වැනිදාවක සුළං පොදක් ඇදී යන්නා සේ අපෙන් සමුගත්තාය."

කතන්දරකරුවකුගේ සටහන්,
2006. ජනවාරි 08 "ලංකා"
මෙපමණක් නොව ග්‍රාමීය හා අර්ධ නාගරික සංස්කෘතික ජීවිතයත්, එහි ඇතැම් ගූඪ මානසිකත්වයත් ඔහුගේ නිර්මාණය තුළ මැනවින් ප්‍රතිනිර්මාණය වී තිබිණි. 2007 වසරේදී මුද්‍රණය කළ "තරුණාවේශය" ඔහුගේ ‍ෙදාළොස් වැනි කෙටි කතා සංග්‍රහය විය. පහත දැක්වෙන්නේ "තරුණාවේශය" නම් කෙටි කතාවෙන් කොටසකි.
"පෙර දින රාත්‍රියේ තමා දුටුවේ සිහිනයක්ද? යන පැනය කිහිප වරක්ම ලීලාගේ සිත තුළ පැනනැඟිණි. නැත. එය සැබෑ සිදුවීමකි. පිරී ඉතිරී යන යොවුන් ස්වභාවයකින් යුතුව තමා සැමියා සමඟ රමණයෙහි යෙදුණේ කොතරම් තෘප්තියකින්ද? වචනයෙන් පිරිපුන් අරුතින්ම එය පරම රමණීය ලොවක් ඔස්සේ සැරිසැරූ සොඳුරු ගමනකි. රැලි වැටීමට ආසන්නව තිබූ සිය සම රන්වන් පාටින් බැබළුණේ කෙසේද? පෙරහන්කඩක් සදිසි දෙපියයුරු රණ තිසර සිරි ගත්තේ කෙසේද? මළානිකත්වය අබියස අසරණව සිටි දෑස නිල් මහනෙල් සිරි ගත්තේ කෙසේද? කාල වර්ණයට හැරෙමින් තිබූ දෙතොල් රක්ත වර්ණ නා දලු සදිසි වූයේ කෙසේද? අපමණ රමණ පිපාසයක් ජනිත කරමින් ළය මඬල යොවුන් බවට හිමි ජීවයකින් පිරී ගියේ කෙසේද?

45, 46 පිටු
*************************
එහෙත් ඔවුන්ගේ "තිරිහන්කම" අවසන් වන්නේ අපූරු උත්ප්‍රාසයක්
ජනිත කරමිනි. මිනිසුන් තුළ ඇති ගුප්ත විශ්වාසයන්වල අවසානය කෙබඳුද යන්න ලේඛකයා විස්තර කරන්නේ නිර්දය සිනාවක් නඟන්නා සේය. මෙබඳු කතා තුළ ගැබ්වන දෘෂ්ටිය බෞද්ධ කතා කලාව තුළ මැනවින් නිරූපිතය. විශේෂයෙන්, නවකතාවක ස්වරූපයට සාම්‍ය වන ලෙසින් අවස්ථා සිද්ධි ප්‍රකාශ වන "උම්මග්ග ජාතකයේ" තලතා දේවීන්නාන්සේ වයෝවෘද්ධ වුවද තරුණ රජ කුමරුන් දැක අභි රමණයෙහි ලොල්ව හැසිරෙන භාව භාව ලීලා පාන අවස්ථාවක් ඇත. මානසික තත්ත්වයන්හි ගැඹුර හා සංකීර්ණත්වය ශූර කතාකරුවකු සේ දක්වන්නට ඇරැව්වල නන්දිමිත්‍ර සමත් වූයේය.

ඔහුගේ සාහිත්‍ය කලාව තුළ මනුෂ්‍යත්වය මැනවින් ඉස්මතු කරන ආකාරය බොහෝ නිදසුන් මඟින් දැක්විය හැකිය. "නංගි" නම් කෙටිකතාවේ සිය සොහොයුරා වෙනුවෙන් වකුගඩුවක් ලබාදීමට තීරණය කළ සොහොයුරියකගේ මානසික තත්ත්වය මෙසේ චිත්‍රනණ වේ.
"ජිනසේනගේ මුළු සිරුරම වෙව්ළා ගියේය. දෙතොල් පොපියන්නට විය. දෑසින් කඳුළු ගැලීය. "මගේ රත්තරන් නංගියේ" දෑත් දිගු කරගෙන ඉදිරියට පැමිණි ඔහු නැඟණියගේ උරහිස මත හිස තබාගෙන කුඩා දරුවකු සේ ඉකිබිඳ හඬන්නට වූයේය."
නංගි - 126 පිටුව.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ඇරැව්වල නන්දිමිත්‍ර පිදුම් ලැබීය. එහෙත් බොහෝ විචාරකයෝ ඔහුගේ කතා කලාව නිර්දය විවේචනයට ලක් කළහ. ඇතැමුන් ඔහුගේ සාහිත්‍ය ආවේග බහුල බව කීහ. එහෙත් ඔහු සිය කතා කලාව ගොඩනඟා ගත්තේ බටහිර ආකෘතිය අකුරට ආරක්ෂා කිරීමෙන් නොවේ. වඩාත් ස්වාධීන, මහ පොළොවට මුල් ඇදුණු කතා කලාවක් ගොඩනැඟීමට වෙහෙස වූ නිර්භය මිනිසකුගේ පෞරුෂය, අවසන් මොහොත දක්වාම ඔහු නිරූපණය කළේය.

තිස්ස නිහාල් වික්‍රමසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon