විද්දේ හාවට වැදුණේ පඳුරට

  👤  3901 readers have read this article !
2018-03-13

පසුගිය පෙබරවාරි 22දා තෙල්දෙණියේදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමේ සිද්ධියක් මුල්කරගෙන මුස්ලිම් ජාතිකයන් සිවුදෙනකු සිංහල තරුණයකුට පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ සිංහල තරුණයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු මස 3දා මියගියේය. මේ පුවත ජනමාධ්‍ය, සමාජ ජාලා හා කටකතා තුළින් රට පුරා පැතිර යෑමේ ප්‍රතිඵලය වූයේ යම් සංවිධානාත්මක පිරිසක් විසින් මාර්තු 4දා අලුයම අදාළ ප්‍රදේශයේ කඩ කිහිපයකට පහරදී, ගිනි තබා හානි කිරීමයි. මේ කලබලය ක්‍රම ක්‍රමයෙන් තවත් ස්ථානවලට පැතිරෙන ලකුණුද දිස්විය.

අම්පාරේ මුස්ලිම් වෙළෙඳසලක කෑමවලට වඳ පෙති දමා තිබුණා යැයි චෝදනාවක් මත කලබලයක් ඇතිවී එයද රට පුරා විවිධ කටකතාවලට මුලපුරා තිබුණේ මීට දින කිහිපයකට පෙරය. වඳ පෙති කතාවද අලුත් දෙයක් නොවේ. කෑමවලට පෙති දමා හෝ ඇඳුම්වල යම් දියර ගා කිසිවකු වඳ කළ නොහැකි බවට කෙතරම් විද්‍යාත්මක තර්ක ඉදිරිපත් වුවත් කාලයක් තිස්සේ මේ අදහස ශ්‍රී ලාංකේය සිංහල ජනතාව අතර ප්‍රචාරය වෙමින් තිබුණකි. ඒ අනුව මාර්තු 4දා අප දුටුවේ කලක් තිස්සේ පුපුරන්නට සූදානම් වෙමින් පැවැති ගිනි කන්දක් පිපිරීමේ ආරම්භක සලකුණු යැයි යමකුට තර්ක කළ හැකිය. අනෙක් අතට පෙබරවාරි 22දා සිදුවූ පහරදීමකින් පහරකෑමට ලක්වූ පුද්ගලයා මාර්තු 3දා මියයන තුරු පොලිසිය මැරයන් අත්අඩංගුවට නොගත්තේ මන්ද යන චෝදනාවක්ද යමෙකුට ඉදිරිපත් කළ හැකිය. එපමණක් නොව මාර්තු 4දා තවත් මැර කල්ලියක් මුස්ලිම් කඩවලට පහර දෙන විටද පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක නොවූ බව පොදුවේ ඇසෙන චෝදනාවකි. වෙනකක් තබා හමුදාපතිවරයා පවා පසු දිනක මාධ්‍ය සාකච්ඡාවකදී පොලිසියේ අකාර්යක්ෂමතාව මේ සිද්ධිය ඔඩුදුවන්නට හේතු වූ බවට ඉඟියක් පළ කළේය.

ඒ කෙසේ වෙතත් මේ සිදුවීම් හරහා වැඩිම වාසිය උදාවී තිබුණේ පෙබරවාරි 10දා පළාත් පාලන ඡන්දයෙන් පරාජය වී අර්බුද රැසකට මුහුණදී සිටි යහපාලන රජයේ නායකයන්ටය.
ඡන්දයෙන් 13.8%ක් හෙවත් ඡන්ද 1,487,960 ක් පමණක් ලබා තමන් තවදුරටත් ලක්ෂ 62ක ජන වරමක හිමිකරුවකු නොවන බව ඔප්පු වී විශාල අර්බුදයකට මුහුණදී සිටි ජනාධිපතිවරයාට යළිත් රාජ්‍ය නායකයා ලෙස පැහැදිලි භූමිකාවකට අවතීර්ණ වන්නට මේ ජාතිවාදී කලබල මඟින් අවස්ථාව සැලසිණි.

2015 පැවැති මහ මැතිවරණයෙන් ඡන්ද 45.66% ලබා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවකට හිමිකම් කී අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබාගෙන තිබුණේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 32.6%ක් පමණකි. මේ අනුව පසුගිය වසර 3 තුළ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය දැඩි ජනතා අප්‍රසාදයට ලක්වී ඇති බව පැහැදිලිය. පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව යළිත් පක්ෂය තුළ කැරැල්ලක් ආරම්භ වී තිබුණු අතර කඩිනමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන බවට ආරංචි පැතිරෙමින් තිබිණි. ජාතිවාදී ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම කල් ගිය අතර පක්ෂය තුළ යළිත් තම බලය තහවුරු කර ගැනීම සඳහා අත්‍යවශ්‍යවම තිබුණු 'කාලය' මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇත.

මහනුවර ජාතිවාදී කලබලයක ලකුණු දුටු වහාම රජයේ යම් දේශපාලනඥයන් කළේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමයි. මේ කලබල පිටුපස සිටින්නේ විපක්ෂය බව පෙන්වීමට විවිධ ප්‍රකාශ කෙරිණි. මහින්ද රාජපක්ෂගේ ඩුබායි ගිණුම ඇසින් දැක තිබෙනවා යැයි කියන කැබිනට් ප්‍රකාශකයා මේ කලබලය පිටුපස සිටින විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණන, පළාත් සභා මන්ත්‍රිවරුන් ගණන හා නිලධාරීන් ගණන ටක්කෙටම කීවේ කැබිනට් තීරණ දැනුම්දීමට කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදීය. පොලිස් පරීක්‍ෂණ ආරම්භ වන්නට පෙර මේ විස්තර සොයාගත්තේ කොහෙන්දැයි මාධ්‍යවේදියකු ඇසූ විට කැබිනට් ප්‍රකාශකට කට උත්තර නැතිවිය. ජනතාව වරක් දෙවරක් බොරුවලට අසුවුණද කාලයක් යන විට බොරුකාරයන් කවුද කියා හඳුනා ගනිති. මේ කේවට්ටයන් අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට කරන්නේ එදා ඔවුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කළ හානියමය.

මහනුවර ප්‍රදේශයේ වූ සිද්ධියක් පාලනය කරන්නට රට පුරා බලපවත්වන ආකාරයට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ගැනීමද යහපාලන රජය කල දුටු කල වළ ඉහ ගැනීමට තවත් හොඳ උදාහරණයකි. මේ හරහා ඔවුන් කළ මුල්ම කටයුත්ත වූයේ රජයට විශාල හිසරදයක්ව පැවැති සමාජ ජාලා අවහිර කිරීමයි. පසුගිය කාලයේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සන්නිවේදන ක්‍රම හරහා රටේ තරුණ පරපුර තුළ දේශපාලනය ගැන ඉන් පෙර කිසි කලක නොවූ ආකාරයේ ක්‍රියාශීලී සංවාදයක් ඇරැඹී තිබිණී. තරුණ පරපුර පමණක් නොව වැඩිහිටියෝ පවා අද බහුල ලෙස සමාජ ජාලා භාවිතයට හුරු වී සිටිති.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ රජය ලැබූ පරාජයට මූලික හේතුවක් වූයේද සමාජ ජාලා හරහා ගලා ගිය නව දේශපාලන කතිකාවතයි. යහපාලනයක් ගැන වැදි බණ කියමින් තොරතුරු දැනගැනීමේ අයිතිය කර පින්නාගෙන බලයට ආ වත්මන් රජයට ජනතාව දේශපාලන දැනුමින් සන්නද්ධ වීම අද විශාල ගැටලුවක් වී ඇති බවක් පෙනී යයි. සමාජ ජාලා පාලනය කිරීමේ අවශ්‍යතාව ගැන රජයේ ප්‍රබලයන් අතින් විටින් විට ප්‍රසිද්ධ වේදිකාවල පවා කියැවෙන්නේ මේ හිතේ අමාරුව නිසාය. ඒ අනුව සමාජ ජාලා පාලනය කරන්නට අවස්ථාවක් බලමින් සිටි යහපාලන රජයට මහනුවර සිද්ධිය අඬන්නට බලා සිටි මිනිසාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් මෙන් මහඟු අවස්ථාවක් විය. මහනුවර කලබලය සමථ වූවාට පසුත් සමාජ ජාලා වාරණය දිගටම පැවැතියේ එය ඉවත් කිරීමට පාලකයන්ට හිත ඉඩ දෙන්නේ නැති නිසා බව තේරුම් ගන්නට විශාල දේශපාලන දැනුමක් අවශ්‍ය නැත.
කොපමණ දීර්ඝ කාලයක් දේශපාලනයේ සිටියත් රනිල් වික්‍රමසිංහ මහතාත්, මෛත්‍රිපාල සිරිසේන මහතාත් යන දෙදෙනාම මහජන මතයට සංවේදී නැති, ඒ අතින් මහින්ද රාජපක්ෂගේ අහලකින්වත් තියන්නට බැරි දේශපාලනඥයන් දෙදෙනකු බව දැනටමත් ඔප්පු වී අවසන්ය. 2015 ඔවුන් ජයග්‍රහණය කළේ විවිධ බලවේග ඒකරාශි වී සකස් කළ සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙනි. එම ජයග්‍රහණය වසර 10කටවත් පහසුවෙන් රජයක් පවත්වාගත හැකි වටපිටාවක් ඔවුන්ට සකස් කොටදී තිබිණි.

ඔවුන් භාරගත්තේ යුද බියෙන් තොර සාමකාමී රටකි. ආර්ථිකය 7%කට වඩා වේගයෙන් වර්ධනය වෙමින් තිබුණු රටකි. යෝධ සංවර්ධන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය කරන මූලික යටිතල පහසුකම් සියල්ල ජලය, විදුලිය, මහා මාර්ග, වරාය, ගුවන් තොටුපොළ, දුරකතන පහසුකම්, පරිගණක සාක්ෂරතාව යන සියල්ල මහින්ද රාජපක්ෂ ඒ වන විටත් ගොඩනඟා තිබිණි. බටහිර රටවල හා ඉන්දියාවේ සහාය නව රජයට ලැබී තිබුණු අතර චීනය රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන බවත් ඔවුන්ට නිදහසේ තම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නට දුන්නොත් චීනයේ සහායත් නව රජයට නිසැකවම ලැබෙන බවත් කවුරුත් දැන සිටියහ. ජනතාවගෙන් ලක්ෂ 62ක් ඔවුන්ට ඡන්දය ලබාදී තිබුණු අතර ඉතුරු කොටසින්ද යම් ප්‍රමාණයක් තමන් වෙත හරවා ගැනීමට ඕනෑ තරම් අවස්ථා රජයට තිබිණි. ඉංග්‍රීසි ව්‍යවහාරයේ මෙවැනි අවස්ථාවකට කියන්නේ බන්දේසියක තබා දුන් අවස්ථාවක් කියායි. යහපාලන නායකයන් අනාගත්තේ ඒ බන්දේසියේ තබා තමන්ට ලැබුණු අවස්ථාවයි.

එවැනි ස්වර්ණමය අවස්ථාවක් අත තබාගෙන බලයට පැමිණි යහපාලන නායකයන් අවුරුදු 3ක් තුළ, අලුතින්ම පිහිටුවනු ලැබූ අලුත්ම ලකුණකින් තරග කළ, නීත්‍යනුකූල නායකයකුවත් තවම නම් කොට නැති පක්ෂයකට ඉතිහාසයේ කිසිම දිනක බලයේ සිටින රජයක් පරාජය වී නැති, පළාත් පාලන මැතිවරණයකදී පරාජය වීමට හේතුව දේශපාලන දුර්වලකම හැර වෙන කුමක්ද?

වත්මන් පාලකයන්ගේ පරිහානියට හේතුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීමයි. බොරුවට හා මර්දනයට ආයුෂ කෙටි බව තේරුම් නොගත් ඔවුන් බලයට ආ දා සිට කළේ රට පාලනය නොව ප්‍රතිවාදීන් දඩයම් කිරීමට සිය සම්පූර්ණ අවධානය යොමු කිරීමයි. ඒ තුළින් ඔවුන් කරගත්තේ තම පාලනය. හවුල් කරගත හැකිව තිබූ අත්දැකීම් බහුල විවිධ කුසලතා ඇති විශාල පිරිසක් අමනාප කරගත්තා පමණක් නොව ඔවුන්ව මහින්ද රාජපක්ෂ වෙතට බලයෙන්ම මෙන් තල්ලු කර දැමීමයි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් සියලු දෙනාගේම සහාය ඍජුවම හෝ වක්‍රව රජයට එරෙහිව අලුත් පක්ෂයට ලැබීමයි.

මේ රටේ ජීවත්වන බහුතරය සිංහල බෞද්ධයන් බව අමතක කොට ජනාධිපතිවරණයකදී සුළු ජාතික ඡන්දවලින් කළ හැකි බලපෑම ගැන පමණක් කල්පනා කිරීම යහපාලන නායකයන් කරගත් තවත් විශාල වරදකි. ජනාධිපතිවරණයකට අමතරව මේ රටේ තවත් ජාතික මට්ටමේ ඡන්ද වර්ග 3ක් ඇත. එනම් පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණයි. මේ ඡන්දවලදී සුළු ජාතික ඡන්ද පදනම ගැන වුවමනාවට වඩා අවධානය යොමු කරන්නට ගොස් පසුගිය වසර 3 පුරා මහ ජාතිය අමනාප කර ගැනීමේ මෝඩකමේ ප්‍රතිඵල වත්මන් රජයට අත්විඳින්නට සිදුවනු ඇත. පෙබරවාරි 10 වැනිදා වූයේ එහි පළමු වෙඩිමුරයයි. ඉදිරියේදී එළැඹෙන ඡන්දවලදී ද දිගින් දිගටම රජය පරාජය වුවහොත් 2019 නොවැරදීම එන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයටද ඒ හරහා බලපෑමක් එල්ල වීම නොවැළැක්විය හැකි වනු ඇත. මන්ද පාවෙන ඡන්ද සාමාන්‍යයෙන් නොදැනීම වාගේ ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන අපේක්ෂකයා වෙත ඇදෙන ප්‍රවණතාවක් ඇති බැවිනි. දිගින් දිගටම ඡන්ද පරදින බවක් පෙනී යන කණ්ඩායමක අපේක්ෂකයාට ජනාධිපතිවරණයකදී සහාය දීමට මේ ඡන්ද දායකයෝ දෙවරක් සිතනු ඇත.

දැන් වත්මන් රජය තවත් විශාල මෝඩකමක් කරගෙන ඇත. ඒ රජයට විරුද්ධ මතයන් පාලනය කිරීමේ අරමුණින් සමාජ ජාලා වාරණය කිරීමයි. කවුරුන් හෝ මේ මෝඩ යෝජනාව කළ පුද්ගලයන් අමතක කොට ඇත්තේ දේශපාලනය ගැන මෙතෙක් විශේෂ උනන්දුවක් නොදැක්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්ද මේ තීරණය නිසා රජය සමඟ උරණ වනු ඇති බවයි. එදා දන්නා නොදන්නා සැමගෙන් පළිගන්නට ගොස් විශාල දක්ෂයන් පිරිසක් තමුන්ගෙන් අෑත් කරගත්තාක් මෙන් මෙවර යහපාලනය පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී නිසැකවම තමුන්ට ඡන්දය දුන් විශාල පිරිසක් අමනාප කරගෙන ඇත. එහි ප්‍රතිඵලය ඊළඟට පැවැත්වෙන කුමන හෝ ඡන්දයකදී ඔවුන්ට බලා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

පසුගිය කාලය පුරාවට රජයට මෙවැනි උපදෙස් දුන් යම් උපදේශකයන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් අපූරුවට ගැළපෙන පිරුළක් සිංහල ව්‍යවහාරයේ ඇත. එනම්,
"එකක් කඩතොලු මකන්නට ගොස් අනේ මට වුණ කාරියා. නැතක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා" යන්නයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon