විශ්වාසභංගයේ උණුසුමින් දේශපාලන පොරපිටිය රත්වෙන හැටි

  👤  5724 readers have read this article !
2018-03-25

උදේනි සමන් කුමාර

ව්ලැඩ්මීර් පුටින් රුසියාවේ ජනාධිපතිවරයා වශයෙන් සිවුවැනි වරටත් තේරීපත් විය. පුටින් රුසියානු ජනතාවගේ ඡන්දවලින් 74%ක්ම හිමිකර ගත්තේය. වර්තමාන ලෝකයේ ජනප්‍රිය හා බලවත්ම නායකයා ලෙස පුටින් ඉදිරියෙන් සිටී. ඉකුත් සතියේ තවත් දෙයක් සිදුවිය. චීන ජනාධිපති ෂී ජින් පින් චීනයේ යාවජීව ජනාධිපති වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පත්කර ගත්තේය. ඒ සඳහා චීනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය ගෙන ආ සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත වූ බවද වාර්තා විය. මේ සිදුවීම් දෙකම මෙරට දේශපාලන අංශවලට උත්තේජනයන් සැපයූ සිදුවීම් වූයේය. ඔවුහු චීනයේත් රුසියාවේත් දේශපාලන වෙනස්කම් තමන්ට රුචි අන්දමින් විග්‍රහ කළ බව පෙනිණි.

චම්පිකගේ යෝජනා 15

ජපන් චාරිකාව අවසන් කොට පැමිණි ජනාධිපති මෛත්‍රි අඟහරුවාදා සිරිත් පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීය. විශේෂ සිදුවීමක් වූයේ ඇමැති චම්පික රණවක විසින් ආණ්ඩුවේ ඉදිරි ගමන සුරක්ෂිත කරුනු පිණිස වගන්ති 15කින් යුතු යෝජනා මාලාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමය. ඒ සම්බන්ධයෙන් එජාප - ශ්‍රී ලනිප දෙපාර්ශ්වයෙන්ම අදහස් පළවූයේ නැත. ඇමැති රාජිත බදාදා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ තමා චම්පික සමඟ සම්පූර්ණයෙන් එකඟ වන බවය.

කිරිඇල්ලට චන්දිම හරස් වෙයි

මධ්‍යම හා උෟව පළාත්වල මාර්ගප්‍රතිසංස්කරණය සඳහා විදෙස් සමාගම් කිහිපයක් සමඟ ගිවිසුම්වලට එළැඹීම සඳහා ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට එරෙහිව චන්දිම වීරක්කොඩි කරුණු ඉදිරිපත් කළේය. කිරිඇල්ල එය ඉදිරිපත් කර තිබුණේ මහමාර්ග ඇමැති ධුරයේ සිටියදීය. චන්දිම අවධාරණය කළේ මෙවැනි ගිවිසුම් දීර්ඝ කාලීනව බරපතළ ප්‍රශ්න ඇතිවන කරුණු බැවින් නීතිපති අනුමැතිය ඇතිව ඉදිරිපත් කළ යුතු බවය. කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණේ නැත.

මුදල් අමාත්‍යංශයට දයාසිරිගෙන් චෝදනා

ඇමැති මණ්ඩල අනුමැතිය ලද ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් මුදල් නිදහස් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන ආකාරය ක්‍රීඩා ඇමැති දයාසිරිගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. හෙතෙම පැහැදිලි කළේ බලමු. පස්සෙ කතා කරමු. මේ වෙලාවේ බෑ. ආදී වචන යොදා ගනිමින් නිලධාරීන් කල් අදින බවය. මුදල් ඇමැති මංගල නිලධාරීන් වෙනුවෙන් අදහස් දැක්වීම නිසා සභාව උණුසුම් විය.

හකීම්ගේ පත්‍රිකාව කැපෙයි

දැනට දිග්ගැස්සෙමින් පවතින මිනින්දෝරු වැඩ වර්ජනය හා තක්සේරුකරුවන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සංවර්ධන යෝජනා ක්‍රම කඩාවැටෙන බව චම්පික ප්‍රකාශ කළේය. ඊට ඇමැතිවරු වැඩි පිරිසකගේ එකඟතාව පළවිය. හකීම් සහ මංගල ගැටුණේ ජල සම්පාදන මණ්ඩලයේ සේවක වැටුප් වැඩි කිරීමට හකීම් යෝජනා කිරීම හේතුවෙනි. මංගල චෝදනා කළේ එවැනි වැටුප් වැඩිවීමක් මේ අවස්ථාවේ අනවශ්‍ය බවය. වාර්ෂික වැටුප් වැඩිවීම මණ්ඩලයේ සම්ප්‍රදාය බවට හකීම් තර්ක කළේය. හකීම් රැකියා දීමේ අභිප්‍රායෙන් මේ යෝජනා ගෙන එන අතර මණ්ඩලයේ සේවක අතිරික්තයක් සිටින බවටද හෙතෙම තර්ක කළේය.

මතභේදයට තුඩුදී ඇති ආර්ථික කළමනාකරණ කමිටුව හා ආර්ථික සභාව ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුණු අතර ඒ ගැන අදහස් පළ කිරීම ජනපති - අගමැති දෙදෙනාගේම මැදිහත් වීමෙන් නතර කෙරිණි. ඒක හරි එක හරි දෙදෙනාම එකවර ප්‍රකාශ කළහ.

විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 විවාදයට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අගමැතිවරයකු ධුරයෙන් පහ කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන තුන්වැනි අවස්ථාව අප්‍රේල් 4 වැනිදාට යෙදී තිබේ. මෙයට පෙර 1958 අගමැති බණ්ඩාර නායකට එරෙහිවද 1975 අගමැතිනි සිරිමා බණ්ඩාරනායකට විරුද්ධවද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ නමුත් අවස්ථා දෙකේම ඒවා පරාජයට පත්විය. අගමැතිනි සිරිමාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංගයට එදා සිටි විපක්ෂනායක ජේ.ආර්. ජයවර්ධන අස්සන් කළේ නැත. අගමැති රනිල්ට විරුද්ධව මෙදා ගෙනෙන විශ්වාසභංගයටද හිටපු ජනාධිපති මහින්ද අස්සන් තබා නැත. නමුත් මහින්ද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමඟ යෝජනාව භාරදීම සඳහා කතානායක හමුවට ගියේය. මහින්ද අස්සන් නොකිරීම පිළිබඳව බන්දුල ගුණවර්ධන බීබීසීයට ප්‍රකාශ කර තිබුණේ මෙයට පෙර රවි කරුණානායකට ගෙනා විශ්වාසභංගයටද මහින්ද අස්සන් නොකළ බවය. අස්සන් නොකළත් ඡන්දය දෙන බවය. බන්දුල එසේ කීවද එදා මහින්ද රවිට ගෙනා විශ්වාසභංගයේදී ඡන්දය දුන්නේද නැත.

විශ්වාසභංගය දේශපාලන සූදුවක්

විශ්වාසභංග යෝජනාව මඟින් මහින්ද බලාපොරොත්තු වන්නේ රජය පෙරළා දැමීමට නොවන අතර ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු හබ යටපත් කර ගැනීම පමණක් බවත් ජවිපෙ බිමල් රත්නායක බීබීසී යට කියා තිබිණි.

කෙසේ වුවද රනිල්ගේ දේශපාලන ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක දිනය අප්‍රේල් 4 වැනිදාට යෙදී තිබේ. එජාපය රනිල්ට සහාය පළකරන සන්දේශයකට අස්සන් එකතු කිරීම ආරම්භ කර තිබේ.

ජනපති-රවි කරුණානායක රහසේ හමුවෙති

විශ්වාසභංගයට දෙපාර්ශ්වය පෙළ ගැසෙමින් සිටින අතර ඉකුත් සතියේ මන්ත්‍රි රවි කරුණානායක රහසේ ජනපති මෛත්‍රි හමුවූ බව දැනගන්නට ලැබිණි. ජනපති නිල නිවෙසේදී මෙම හමුව සිදුව ඇති අතර දෙදෙනා අතර කතාබහ කවර මාතෘකාවකට පදනම්වීද යන්න හෙළිවූයේ නැත. කෙසේ වුවද රවි - මෛත්‍රි හමුව පක්ෂ දෙකේම ඇමැතිවරු අතර කුතුහලයට තුඩුදී තිබිණී.

එ.ජා.ප.යේ රනිල් විරෝධය ඒකාබද්ධය වැරදියට තේරුම් ගත්තා

එ.ජා.ප. රනිල් විරෝධය ඒකාබද්ධය වැරදියට තේරුම් ගත්තා අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියාකලාප විවේඡනය කරමින් ඔහු එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පසු බෑමෙන් පසු පළමු විරෝධතාව පැමිණියේ එ.ජා.ප.ය. පැත්තෙනි. රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුළු පිරිසක් එළිපිට ඒ බව ප්‍රකාශ කළහ. එ.ජා.ප. ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතු බවත් නායකත්වයේ ගජ මිතුරන් හා වියපත් අය සතු එ.ජා.ප.ය තරුණ පරපුරට ලබා දිය යුතු බවත්ය. එ.ජා.ප.ය. මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් එ.ජා.පයේ ප්‍රබලයන් රැසක් රැස්වී දීර්ඝ සාකච්ඡාවක් ද කළහ.

එහෙත් එ.ජා.පයේ තවත් පැත්තකින් කියැවුණේ රනිල් අගමැති ධුරයේ දිගටම රැඳෙමින් පක්‍ෂයේ ප්‍රතිසංස්කරණ පමණක් සිදු කළ යුතු බවය. ඒකාබද්ධ විපක්‍ෂය විසින් එ.ජා.ප. අභ්‍යන්තර ආරවුල කියවා තේරුම් ගෙන තිබුණේ වැරදි ආකාරයට ඒ තුළ ඔවුන් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කළේ එ.ජා.ප.යේ බහුතරයක සහාය ඊට ලැබෙනු ඇතැයි යන විශ්වාසය තුළය.

විපක්‍ෂයේ ලණු නොකා අගමැතිත් ආණ්ඩුවත් රැක ගන්නවා

"එ.ජා.ප. ප්‍රතිසංස්කරණ අපි විස¼දා ගනිමු. ඒත් විපක්‍ෂය හදන්නේ බොර දියේ මාළු බාන්නයි. අගමැති ඉවත් කරන්න විශ්වාසභංග ගෙනැවිත් එ.ජා.ප. අයගේත් සහාය ලබා ගෙන එය ජයගෙන අනතුරුව කතානායක මෙන්ම ආණ්ඩුවද පලවා හැරලා බලය ඩැහැගැනීම ඔවුන්ගේ අරමුණයි. එ.ජා.ප.ය එම ලණුව නොකා අගමැති මෙන්ම ආණ්ඩුව රැක ගැනීමට පෙරමුණ ගනිමු." සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් එ.ජා.ප. මැති ඇමැතිවරු හා එ.ජා.ප. පසුපෙළ දැනුවත් කළේ ඒ පදනමින්ය.

මහින්ද රනිල්ට විරුද්ධව අස්සන් කළේ නෑලු

"මහින්ද අස්සන් කළෙත් නෑ. කතානායකට භාර දෙන එක මඟ හරින්නත් හැදුවම මහින්දව බලෙන්ම ඇදගෙන ගිහින් කියලා ආරංචියි" නවීන් දිසානායක කී විට සියලු දෙනාම කොක් හඬලෑහ.

ලෝකේ ඔළුව උඩට කඩා වැටුණත් ගානක් නැති රනිල්

ලෝකේ ඔළුව උඩට වැටුණත් අගමැතිතුමාට ගානක් නැහැනේ. විශ්වාසභංගයක් එනකොට වෙන ඕනෑම කෙනෙක් "ෂොක්" වෙනවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා මඳ සිනහවක් පෑවා මිසක කිසිවක් කීවේ නැත.

"චෝදනා 14න් 12කට අමුවෙන්ම මඩ ගහන හොර ලේබල් අලවන ඒවා බව පේන නිසා මේ ගැන නීතිපතිට යවලා මතයක් විමසනවද" ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙනි.

"නීතිපතිට යවලා කාලය මරන්න ඕන. පුළුවන් තරම් ඉක්මනින් විශ්වාසභංගය විවාදයට හා ඡන්දයට දාන්නයි මට අවශ්‍ය" අගමැති කීවේය.

විශ්වාසභංගය ගේන්නේ දිනන්නම නොවේලු

"ඒකාබද්දේ අය හිතුවේ අපේ විජේදාස, රංග බණ්ඩාර, වසන්ත සේනානායක, තෙවරප්පෙරුම ඇමැතිවරුන් අස්සන් කරාවි කියලයි, අන්තිමේ එයාලා සවුත්තු වුණා විතරයි." පී හැරිසන් කීය.

"විශ්වාසභංගය අගැමැතිතුමා පහසුවෙන් දිනන බව ඒකාබද්දේ අයට දැන් තේරිලා තියෙන්නේ. මේක ගේන්නේ දිනන්නම නෙවෙයි කියලා එයාලම දැන් කියාගෙන යනවා." දයා ගමගේ කීවේය.

"ආණ්ඩුවට විරුද්ධව මේකට අස්සන් කරපු ශ්‍රී ල.නි.ප.යේ පුංචිනිලමේ, මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායකල දැන් තනතුරුවලින් ඉවත් කිරීම ජනාධිපතිතුමාගේ වගකීමයි." බදුලු දිසා මන්ත්‍රි චමින්ද විජේසිරි කී විට සියලු දෙනා එය අනුමත කළහ.

"ජ.වි.පෙ. විශ්වාසභංගයට සහාය දෙන තත්ත්වයක් තියෙන්නේ. පරණ හොරු රැක්කාය කියන චෝදනාවත් මේකට නොදැම්මේ ඇයි කියලා ජ.වි.පෙ. තර්ක කිරීම නිසා ඒකාබද්දේ අයට කට උත්තර නැතිවෙලා." නවීන් දිසානායක කීවේ එවැන්නකි.

විශ්වාසභංගය රනිල්ට ආශීර්වාදයක්ලු

"ශ්‍රී ල.නි.ප.යේ ප්‍රධානීන් මේ විශ්වාසභංගයට සහාය දිය යුතු බවටයි මුලින් ඉඳලා තියෙන්නේ. ඒත් මේක අන්තිමේ මහින්දට වාසි වෙන නිසාත් එතැනදී ජනාධිපතිතුමා දෝෂාභියෝගයකට ලක් කරන්නත් මේ අය ක්‍රියා කරාවි කියන එක තේරුම් අරගෙන රිවස් ගිහින් කියලයි කියන්නේ. එස්.බී. තිලංග, දයාසිරි අස්සන් නොකළේත් ඒකලු," චමින්ද විජේසිරි කී දේ කාගේත් අවධානයට යොමුවිය.

"එ.ජා.ප. ප්‍රතිසංස්කරණයත් විශ්වාසභංගය නිසා ටිකක් යටගියා. මේ පාර කෘත්‍යාධිකාරියේ ඒ ගැ න කතා කරන්න හිටියත් විශ්වාසභංගය ගැන කතා කරන්න මෙවර රැස්වීම වෙන් කරමු." ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ යෝජනාවට අගමැතිගේද එකඟත්වය හිමිවිය.

"දැන් ආණ්ඩුවක් නෑ කියලා කියන අයත් ඉන්නවානේ. විශ්වාසභංගය දිනුවට පස්සේ ආණ්ඩුවක් තියෙන බව විතරක් නොවෙයි ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියලත් රටට දැනේවි. දිනපු දවසට පසුදා ඉඳලා ආණ්ඩුවේ නව වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා මේ විශ්වාසභංගය මටයි ආණ්ඩුවටයි ලොකු ආශීර්වාදයක් වේවි." අගමැතිවරයා විග්‍රහ කළේය.

විශ්වාසභංගයට අස්සන් ගත් හැටි

විශ්වාසභංග යෝජනාව ගෙන එන බවට නිශ්චිතව තීන්දු කිරීමෙන් පසු ඊට මන්ත්‍රිවරුන්ගේ අස්සන් ලබා ගැනීම ඇරඹිණි.

එහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ අස්සන් ලබා ගැනීම පැවැරුණේ ෂෙහාන් සේමසිංහටය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන්ගේ අස්සන් ලබා ගැනීම පැවැරුණේ මහින්දානන්දටය. අනෙකුත් පක්‍ෂවල මන්ත්‍රිවරුන්ගේ අස්සන් ලබා ගැනීම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ්ට පැවැරිණි.

සිකුරාදා වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තිවරුන් 22 දෙනෙක් විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා තිබුණහ. දිනේෂ්, විමල්, වාසු, උදය සහ ප්‍රසන්න ද ඒ අතර වූහ.

සෙනසුරාදා අනුරාධපුරය බලා ගිය ෂෙහාන් අනුරාධපුරයේ මන්ත්‍රිවරුන්ගේ අස්සන් ලබා ගත්තේය. පසුදින එනම් ඉරිදා ෂෙහාන් අස්සන් ලබා ගැනීමට ගියේ මහනුවරටය.

ලොහාන්ගේ නිවෙසේදී අස්සන් ලබා ගැනීමේ කටයුතු සිදුකෙරුණි. ලොහාන් මෙන්ම කෙහෙළිය, දිලුම්, තේනුක එහිදී අස්සන් තැබූහ.


සඳුදා උදෑසන කුමාර වෙල්ගමට ෂෙහාන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. ෂෙහාන් වෙල්ගමට කතා කළේ විශ්වාසභංගයට අස්සනක් ලබා ගැනීම සඳහාය. "මල්ලී මම මේ ගමනක් යන්න ලෑස්ති වෙන ගමන්. ඒත් ගමන යකාට ගියාවේ කියලා අපි ඕකට අස්සන් කරමු" වෙල්ගම ෂෙහාන්ට කීවේය.

ඒ අනුව වෙල්ගම විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබුවේ රාජගිරියේ ප්‍රසිද්ධ අවන්හලක රථ ගාලේදීය. තම රිය බොනට්ටුව මත තබා අස්සන් තැබූ වෙල්ගම තමන් අස්සන් තබන ආකාරය ඡායාරූප ගත කරන්නැයි ෂෙහාන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාද උදෑසන පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක හතරේදීය. ඒ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි.
එ.ජා.ප. ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරු අස්සන් නොකළොත් වැඩේ අසාර්ථකයි

"මට ආරංචි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ කිසිම මන්ත්‍රි කෙනෙක් මේ විශ්වාසභංග යෝජනාවට අස්සන් තබන්නේ නැහැ කියලා. මම නම් කියන්නෙම අපි විශ්වාසභංග යෝජනාවක් භාර දෙනවා නම් මේ පක්‍ෂ දෙකේ අයත් අස්සන් කරන්නම ඕනේ කියලයි. එහෙම නොවුණොත් අපේ ඉලක්කය සාර්ථක වෙන්නේ නෑ." ප්‍රසන්න ආරම්භයේදීම පැවැසීය.

"විශ්වාසභංග යෝජනාව භාර දෙන්න අස්සන් කරන්න ඕනේ මන්ත්‍රිවරුන් විසි දෙනෙක් විතරයි. අපිට පුළුවන් මන්ත්‍රිවරුන් අස්සන් කරලා යෝජනාව භාර දීලා ඡන්දය විමසන අවස්ථාවේදී අනෙක් අයගේ සහයෝගය ගන්න පුළුවන්" උදය පැවැසීය.

"ඒ වුණත් එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුනුත් මේකට අස්සන් කළොත් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. හදිස්සියේ හරි අස්සන් කරපු කෙනෙක් ඡන්දේ නොදුන්නොත් අපිට ජනතාව ඒ අය ගැන හෙළිදරව් කරන්න පුළුවන්. අනික කවුද දන්නේ මේකත් මෛත්‍රිගේ උගුලක්ද කියලා."

මට ප්‍රශ්න තියෙන්නේ මහින්ද එක්කයි

මේ අතර ප්‍රසන්නට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණේ ප්‍රසන්න විශ්වාසභංගයට විරුද්ධ බව දුමින්ද දිසානායක තේනුක විදානගමගේට කියා ඇති බවය. ප්‍රසන්න හැරෙන තැපෑලෙන්ම දුමින්දට ඇමතුමක් ගත්තට දුමින්ද පිළිතුරු දුන්නේ නැත. පසුව දුමින්ද ප්‍රසන්නට කතා කළේය.

"අයියා කෝල් කරලා තිබුණා" දුමින්ද පැවැසීය.

"ආ ඔව් මල්ලි, ඔයා තේනුක එක්ක කියලා තියෙනවා මං විශ්වාසභංග යෝජනාවට විරුද්ධයි කියලා. ඔය වගේ බොරු කතා කියන්න එපා. එහෙම වුණාම එයාලත් විශ්වාසභංගයට අස්සන් කරන්න අදිමදි කරනවා. මං විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගේනවට නෙවෙයි. මම කිව්වේ ගේනවා නම් එක්සත් ජාතික පක්‍ෂයෙයි නිදහස් පක්‍ෂයෙයි අයත් අස්සන් කරන්න ඕනේ කියලයි. අද කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි රනිල්ව අගමැතිකමෙන් එළවලා දාන එක. මට අගමැති එක්ක විතරක් නෙමෙයි ජනාධිපති එක්කත් ප්‍රශ්න තියෙනවා." ප්‍රසන්න පැවැසීය.

"මට නම් ප්‍රශ්නය තියෙන්නේ මහින්ද එක්ක" දුමින්ද කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තීරණය

මෛත්‍රි අතහැරලා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේ රැස්විය.

"දැන් නැවතත් ජනාධිපතිවරණයක් ගැන කතාබහක් ඇතිවෙලා. මාධ්‍යවලිනුත් ජනාධිපතිවරණයට එන අය ගැන විවිධ ප්‍රවෘත්ති හදනවා. නමුත් මෛත්‍රිපාල මහත්තයා පොරොන්දු වුණු විදිහට නැවත අපේ රටේ ජනාධිපතිවරණයක් නැහැ. අපි මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ." ටිල්වින් සිල්වා කියා සිටියේය.

"මෛත්‍රිපාල ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදීත් පසුවත් අවස්ථා කිහිපයකදීම සපථ කරලා කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් කටයුතු කරනවා කියලා. නමුත් පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවද කියලා තවම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ නිසා දැන් ජනාධිපතිවරයාත් තීරණය වෙනස් කරලා වගේ" විජිත හේරත් කියා සිටියේය. "විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්‍ෂයෙන් ගේනකොටත් අපි මේකට විරුද්ධ වුණා. ඒවගේම පැවැති ජනාධිපතිවරණ මැතිවරණ හැම එකේදීම අපි මේ ධුරය අහෝසි කළ යුතු බවට අරගලයක් ගෙන ගියා. ඒ නිසා ඒ අරගලය අලුත් වටයකින් දැන් උඩට ගන්න ඕනෑ." ලාල් කාන්ත කියා සිටියේය.

මේ වෙනකල් ජනාධිපති ධුරයට පත්වුණු හැම නායකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක සංශෝධනයක් විදිහට පාර්ලිමේන්තුවට ගේන්න ඕනෑ. එක්සත් ජාතික පක්‍ෂය හෝ මෛත්‍රිපාල ජනාධිපතිවරයා මේක පාර්ලිමේන්තුවට දාන්නේ නැති බව දැන් හොඳටම විශ්වාසයි. අපි පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් විදිහට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට දාමු." අනුර දිසානායක යෝජනා කළේය. "දැන් විශ්වාසභංග යෝජනාවක් එන්න තියෙන නිසා මේක දාන කාල සීමාව ගැන අවධානය යොමු කරන්න ඕනෑ." සුනිල් හදුන්නෙත්ති කීවේය. "ඔව්. නැත්නම් විශ්වාසභංගය ගැන අවධානය වෙන පැත්තකට යොමු කරන්න. මේ සංශෝධනය ගේනවා කියලා මතයක් හදන්න පුළුවන්.

විධායකය අහෝසි කරන්න මහින්ද මෛත්‍රි දෙන්නම පොරොන්දු වුණා.

"පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි වෙනකොට ආණ්ඩුකාරවරුන්ගේ බලයට මොකද වෙන්නේ. ඒ මඟින් රට බෙදීමේ තැනකට යනවා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයෙන් හැදෙන දුර්වල ආණ්ඩු ආරක්‍ෂා කරන්නේ ජනාධිපති කියලත් මතයක් තියෙනවා" ලාල් කාන්ත කියා සිටියේය. "ඔව් අපි මේ කරුණු සැලකිල්ලට අරගෙන කෙටුම්පතක් හදමු. කෙටුම්පත එක්ක අනෙක් පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡාවට යමු. ඒ අනුව අවසන් එකක් හදන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාද නැද්ද කියලා සාකච්ඡාවක් කරන්න දෙයක් නැහැ. මොකද මහින්ද මෛත්‍රි දැනටමත් ජනතාවට ඒ බව පොරොන්දු වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහටත් නැවත ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව දන්න නිසා සහාය දෙයි" අනුර දිසානායක කියා සිටියේය.

කතානායක ගැලරියට යන්නත් සුදුසු ඇඳුමක් නියම වුණේ සජිත් නිසා

49 වැනි උදා ගම්මානය ලෙස ඉකුත් 15 වැනිදා ජනතා අයිතියට පත් වුණේ නිවාස 39කින් සමන්විත කළුතර, මහරැක්ම "සිව්දෙවිගම" උදා ගම්මානයයි. උත්සවයට සහභාගි වූයේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ලක්‍ෂ්මන් විජේමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද කැටුවය.

"හැත්තෑ හතේ ජයග්‍රහණයේදී කළුතර දිස්ත්‍රික්කයේ පතාක යෝධයකු වුණු ඔයාගේ මහප්පා වී.එල්. විජේමාන්න මන්ත්‍රිතුමා මට තාම මතකයි. ඉදුණු කොණ්ඩය චාම් සුදු කලිසම, කමිසය, තැන්පත් ගමන, එතුමාගේ පෞරුෂය මට මැවිලා පෙනෙනවා." සජිත් කීවේය. "මං ඒ දවස්වල පොඩියි. තාත්තත් එක්ක යනවා, පාර්ලිමේන්තු රැස්වීම් බලන්ඩ. එහෙම ගිය එක දවසක කතානායක ගැලරියට ගිහින් රැස්වීම බැලුවා. හැබැයි නොදන්න කම නිසා ඇ¼දගෙන හිටියේ ඒ ස්ථානයට යන්න ගැළපෙන ඇඳුමක් නෙමෙයි. පස්සේ කවුදෝ කෙනෙක් මේක ඒ දවස්වල පාර්ලිමේන්තුවේ සභානායක හැටියට කටයුතු කරපු මගේ තාත්තට කියලා. තාත්තා එවේලේම පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහ මහත්තයටයි නියෝජ්‍ය මහ ලේකම් නිහාල් සෙනෙවිරත්න මහත්තයටයි නියෝග කළා. කිසිම කෙනකුට සුදුසු ඇඳුමකින් තොරව කතානායක ගැලරියට යන්න ඉඩ දෙන්න එපා කියලයි" සජිත් රසවත් කතාවක් ආවර්ජනය කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු භුමිභාගයක ඉදිකර තිබූ ගම්මානය තුළ ඇවිද යමින් සිටියදී ලක්‍ෂ්මන් කීවේ "මට මේක කියන්නත් ලැජ්ජයි. මේ ඉඩමේ තිබුණු වටිනා ගස් ඔක්කොම පසුගිය පාලන කාලයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බලධාරින් යැයි කියාගත්තු කට්ටියක් ඇවිත් කපාගෙන ගිහින් තියෙනවා. ඒක නම් ජාතික අපරාධයක්." කියාය. සජිත් කීවේ "මේ වන විටත් ඒ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්‍ෂණයක් කරගෙන යනවා" කියාය.

සුදත් චන්ද්‍රසේකර
රනිල්ව හැර යයි

අගමැති රනිල්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැඩිම කාලයක් ලේකම්වරයා වශයෙන් සේවය කළ සුදත් චන්ද්‍රසේකර ඉකුත් සති අන්තයේ ඉල්ලා අස් වූ බව වාර්තා විය. ඔහු විසින් 22දා රාත්‍රියේ සේවකයකු අත අගමැතිට යැවූ අස්වීමේ ලිපියේ පිටු 16ක් වූ බවත් පසුව එය පිටු අටකට අඩුකර යැවූ බවත් දැනගන්නට ඇත.
සුදත් 1988, 89 වකවානුවේ රනිල්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසද කටයුතු කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලැබූ අයෙකි. එජාප මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරද ඔහු දැරීය.

නාමල්ට ඇමෙරිකා යන්න අවසර ලැබී නෑ

නාමල් රාජපක්ෂ ඉකුත් සතියේ රුසියාවට ගියේ රුසියාවේ ජනාධිපතිවරණයේ සමීක්ෂකයකු වශයෙන් සහභාගි වීමටය. අදාළ කාර්යය අවසන්වීමෙන් පසු ඇමෙරිකාව බලා යෑමට නාමල් තීරණය කර සිටියේය. එහෙත් ඊට අනුමැතිය ලබාගත නොහැකිවී තිබේ. ඇමෙරිකාවේ විසූ නාමල්ගේ පුංචි අම්මා යතින්ද්‍රාගේ අභාවය නිමිත්තෙන් ශෝකය පළකරනු වස් නාමල්ට ඇමෙරිකාවට යාමට තිබූ අවස්ථාව එයින් වැළැකිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon