ඔයින් ගියා මදැයි රනිල්

  👤  5381 readers have read this article !
2018-03-29

දකුණු ආසියාවේ ලොකුම බැංකු වංචාව මොකක්ද? ඒ, ලංකාවේ සිටින පොඩි දරුවකු වුණත් පහසුවෙන් පිළිතුරු දෙන ප්‍රශ්නයක් ය. විසිවන සියවසේ නරකම චංචාව මොකක්ද? ඒ, ලෝකයේ ඕනෑම දේශපාලන විචාරකයෙක් පසුවෙන්ම පිළිතුරු දෙන ප්‍රශ්නයක් ය.

රිචඩ් එම්. නික්සන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 37වැනි ජනාධිපති වන්නේ 1969දී ය. නික්සන්ට යහපත් දේශපාලන කල් කිරියාවක් තිබිණි. 1972දී නික්සන් දෙවැනි ඡන්ද සටනට සූදානම් වූයේ ය. ඡන්දය තිබුණේ 1972 නොවැම්බර් 7දා ය. ඊට මාස 5කට කලින් බෝම්බයක් පිපුරුවේ ය. වෝටර්ගේට් අර්බුදය (එචබඥපඨචබඥ ඉජචදඤචත) නමින් ලෝක ප්‍රසිද්ධ වූයේ එයයි. 1972 ජුනි 17වැනි දා මිනිසුන් පස් දෙනකු වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටි ඩිමොක්‍රටික් පක්ෂ කාර්යාලය ට (විරුද්ධ පක්ෂය) හොරෙන් ඇතුළු වී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ ය.

නොවැම්බර් 7දා ඡන්දයෙන් නික්සන් අති විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඇත්ත හෙළිවන විට ජනතාව රැවටී හමාර ය.
ද වොෂිංටන් පෝස්ට් පුවත්පතට සම්බන්ධ බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටර්න් යන මාධ්‍යවේදීන් දෙදෙනාගේ උකුසු ඇසට හසුවූ මෙම සිද්ධිය ප්‍රති විපාක දෙන්න වැඩි කල් නොගියේ ය. මාධ්‍යවේදීන් දෙදෙනා සිද්ධිය පතුලටම හෑරූහ. ඔවුන්ට තොරතුරු දුන්නේ නිර්නාමික ලියුම්කරුවකු විසිනි. 'ඩීප් තේ‍රා්ට්' යන රහස් නාමයෙන් ඔහු හඳුන්වනු ලැබී ය. 'ඩීප් තේ‍රා්ට්' ඇත්තටම කවුද යන්න හෙළිවූයේ වසර 33කට පසුව ය. ඒ 1970 කාලයේදී එෆ්.බී.අයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ය. රහසිගත ස්ථානයකදී එෆ්.බී.අයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ මාර්ක් ෆෙල්ට් විසින් වුඩ්වර්ඩ්ට තොරතුරු ලබා දී ඇත.

වෝටර්ගේට් හොරකමේ තිරය පිටුපස කතාව ටිකෙන් ටික එළියට ආවේ ය. නික්සන්ගේ නිල ඡන්ද ප්‍රචාරක කමිටුව වංචාවට සෘජුවම සම්බන්ධ බව ඔප්පු වුණේ ය. නික්සන්ට කඩේ ගිය මාධ්‍ය ආයතන කිහිපයක් සිද්ධිය යට ගැසී ය. වොෂිංටන් පෝස්ට් ඇතුළු මාධ්‍ය ආයතන දෙක තුනක් දිගින් දිගටම ජනතාවට ඇත්ත හෙළි කළේ ය. ජනාධිපති නික්සන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.ආර්. හැල්ඩමන් රහසිගත අරමුදලකින් වොටර්ගේට් හොරුන්ට සල්ලි දුන් බව වෝෂිංටන් පෝස්ට් හෙළි කරද්දී චිකාගෝ ටි්‍රබියුන් සහ ෆිලඩෙල්ෆියා ඉන්ක්වයරර් පුවත්පත් සිද්ධිය යට ගැසී ය. ධවල මන්දිරය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව නම් එම පුවත්පත් පළ කළේ ය. ධවල මන්දිරය පෝස්ට් පුවත්පතට උඩ පැන පැන පහර දුන්නේ ය. "නික්සන් දෛනික නරකාදියක වැටී බරපතළ අවිශ්වාසයකට ලක්ව සිටිනවා" ටයිම් සඟරාව වාර්තා කළේ ය.
මාධ්‍ය නිහඬව සිටියේ නම් වෝටර්ගේට් සිද්ධිය ඉතා සුළු දෙයක් විය හැකිව තිබූ බව නික්සන් ඔහුගේ සමීපතම අධාරකරුට පසුව කියා තිබුණේ ය.

සිද්ධිය යට ගහන්න නික්සන් දහ අතේ දැඟලුවේ ය. කෑ ගැසුවේ ය. තර්ජන කළේ ය. ඔහුගේ ඉහළ පරිපාලන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන යොදාගෙන එදිරිවාදී මාධ්‍ය ආයතනවලින් පළිගන්න ප්ලෑන් ගැසුවේ ය. මාධ්‍යවේදීන්ගේ දුරකථන ටැප් කළේ ය. ඒවාට රහසේ ඇහුම්කන් දුන්නේ ය. බැරිම තැන ගේම් එකේ උඩින්ම සිටි ඔහුගේ සමීපතමයන් වන හැල්ඩමන්ට සහ අර්ලිච්මන්ට ඉල්ලා අස්වෙන්න කිව්වේ ය (අවසානයේදී ඔවුහු දෙදෙනා අධිචෝදනා ලැබ දූෂිතයන් ලෙස හිරබත් කෑහ). හැල්ඩමන් සහ අර්ලිච්මන් අස් කිරීම ගැටුමක් ලෙස අර්ථ දැක්වීම වැළැක්වීමට නික්සන් නීතිපති ක්ලේන්ඩීන්ස්ට්ටත් ඉල්ලා අස්වෙන්නට කිව්වේ ය.

නික්සන්ට දුම් පිට වුණේ ධවල මන්දිර නීති උපදේශක ජෝන් ඩීන් වෝටර්ගේට් කමිටුව ඉදිරියේ කළ හෙළිදරව්වෙන් ය. වෝටර්ගේට් ගේම් ප්ලෑන් එකේ රහසිගත සාකච්ඡා නික්සන්ගේ කාර්යාලයේ පටිගත වී ඇති බවට ඔහු හෙළිකළේ ය. නික්සන් බෙල්ලටම හිර වුණේ එතැනින් ය. නික්සන්ට නහුතෙට නැග්ගේ ය. ජෝන් ඩීන් ධවල මන්දිරයෙන් එළෙව්වේ ය.

වැඩක් වුණේ නැත. හඬපට වෝටර්ගේට් කමිටුවට ඉදිරිපත් කිරීමට ධවල මන්දිරයට සිදුවුණේ ය. නික්සන් ලබා දුන් හඬපටවල මිනිත්තු 18ක් අතුරුදන් වී තිබුණේ ය. උසාවි නියෝග මත විකෘති නොකළ සම්පූර්ණ හඬපටය ලබාදීමට නික්සන්ට සිදු විය. සියල්ල හෙළි විය. වෝටර්ගේට් අපචාරය නික්සන්ගේ සම්පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදු වූ බවට ඔප්පු විය.

නික්සන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ඇමෙරිකානු ජනතාවට දැනුම් දුන්නේ ය. අලුත් නීතිපතිවරයකු පත් කළේය. අලුත් නීතිපති විසින් ආචිබෝල්ඩ් කොක්ස් චංචා විභාගයේ නීති උපදේශක කළේ ය. කොක්ස් වැඩේ හොඳට කරගෙන යද්දී නික්සන් ඔහුටත් බලපෑම් කළේ ය. කොක්ස් එළවන ලෙස නික්සන් නීතිපතිට බලපෑම් කළේ ය. නීතිපති රිචර්ඩ්සන් ද සිය තනතුරෙන් ඉල්ලා අස් වුණේ ය. පසුව සොලිසිටර් ජනරාල් ලවා වැඩේ කර ගත්තේ ය. කොක්ස් එළෙව්වේ ය. මෙම සිදුවීම මහජනතාවගේ බලවත් අප්‍රසාදයට හේතු විය.

1973 නොවැම්බර් 17 වැනිදා රූපවාහිනි ප්‍රශ්නෝත්තර වැඩසටහනකදී නික්සන් පැවැසුවේ "තමන්ගේ ජනාධිපතිවරයා කපටියෙක් ද නැත්ද යන වග ජනතාව දැන ගත යුතු ය. මම කපටියෙක් නොවෙමි. මම මා සතු සියලු දේ උපයාගෙන ඇත්තෙමි." යනුවෙන් ය. කතාවේ ඇත්ත නැත්ත මාධ්‍යයට පින් සිදු වෙන්න ජනතාව ඒ වන විටත් දැනගෙන හමාරය. නික්සන් ප්‍රමාද වැඩි වුණේ ය. නික්සන්ට එරෙහිව විපක්ෂය දෝෂාභියෝගයක් ගෙනාවේ ය. ඉන්තේරුවෙන්ම පරදින බව දැන ගත් නික්සන් 1974 අගෝස්තු 9වැනිදා ඇමෙරිකානු ජනාධිපති ධුරයන් ඉල්ලා අස්වූයේ ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයට නොමැකෙන කළු පැල්ලමක් ඉතිරි කරමිනි.
හැල්ඩමන් සහ අර්ලිච්මන් නික්සන්ගෙන් ජනාධිපති සමාවක් ඉල්ලූවත්, එය නොලැබුණේ ය. ඔවුන් දෙදෙනාට සහ ඩිමොක්‍රටික් පක්ෂ කාර්යාලයට ඇතුළු වූ පස්දෙනාම දිගටම හිරබත් කෑහ.

1974 සැප්තැම්බර් 8වැනිදා එවකට ඇමෙරිකානු ජනාධිපති ජෙරල් ෆෝඩ් විසින් නික්සන්ට ජනාධිපති සමාව පිරිනැමුවේ ය.
නික්සන් සහ සගයන්ගේ කපටි මගඩිය ජනතාවට හෙළිවෙන්න වැඩි කලක් ගියේ නැත. නික්සන් ජනතාවට තිත්ත වුණේය. එතැනින්ම නික්සන්ගේ දේශපාලන දිවිය හමාර වුණේ ය. පක්ෂයේ ආධාර මුදල් හොරුන්ට බෙදා දෙමින් ඡන්ද දිනීමේ බලකාමයෙන් පෙළුණු නික්සන් හැසිරුණේ පිස්සුවෙනි. ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂය දීර්ඝ ලෙස අඩපණ කළේ ය. පක්ෂයේ කීර්තිනාමය විනාශ කළේ ය.

බලය රැකගන්න අන්තිම බින්දුව තෙක් සටන් කළ නික්සන්ට පක්ෂයවත් රටවත් සත පහකට වැදගත් වුණේ නැත.
ඒ විසිවැනි සියවසේ නරකම වංචාවය. ඒ නික්සන් ය. ඇමෙරිකාව ය. මේ දකුණු ආසියාවේ ලොකුම බැංකු වංචාව ය. මේ කවුද කියා දන්නෝ දනිති.
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය කට උඩටම ඇවිත් ය. කටේ දාගන්නවාද, ඇඟේ හලා ගන්නවාද, පැත්තකට වෙනවාද යන්න ඔහු විසින් තීරණය කළ යුතුව ඇත. අගමැතිකම එක අතක ය. පක්ෂය අනික් අතේ ය. අගමැතිකම අතහැරියොත් පක්ෂය අතහැරෙන්නේ ය. පක්ෂය අතහැරියොත් අගමැතිකම අතහැරෙන්නේ ය. ගෙදර ගියොත් අඹු නසී ය. මඟ සිටියොත් තෝ නසී ය.

රනිල්ට හොඳ දේශපාලන කල්කිරියාවක් තිබුණේ ය. කල්කිරියාව කලකිරීමක් වුණේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසු ය. ඔහු දේශපාලන ප්‍රවීණයෙක් ය. වෝටර්ගේට් සිද්ධිය ගැන නොදන්නවා නොවන්නට ඇත. රනිල්ට දැන් රිචඩ් නික්සන් සිහිනෙනුත් පෙනෙනවා ඇත. කරුණු කාරණා ඒ තරමට සමාන ය. නික්සන්ගේ සමීපතමයන් වූ හැල්ඩමන්ට සහ අර්ලිච්මන්ට ඉල්ලා අස්වෙන්නට සිදුවූයේ නික්සන්ගේම ඉල්ලීමට ය. රනිල්ගේ සමීපතමයන් වූ අර්ජුන මහේන්ද්‍රන්ට සහ රවි කරුණානායකට අස්වෙන්නට සිදුවූයේ රනිල්ගේම ඉල්ලීමකට ද කියා නම් දන්නේ නැත.

කරුණු කාරණා සිදු වූයේ නොසිතූ ලෙසය. වෝටර්ගේට් සිද්ධියේ දී වගේ මය. මාධ්‍ය නිහඬව හිටියේ නැත. වැඩේ අතහැරියේ ද නැත. ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් සහ පෞද්ගලික රූපවාහිනි නාළිකා කිහිපයක් සිද්ධි එකින් එක හෙළි කළේ ය. පත්තර දෙක තුනක් දේශපාලන බලවතුන්ට කඩේ ගියේ ය. ජනාධිපති කොමිසමක් පත් කළේ ය. හඬ පටි එළියට ආවේ ය. බළලුන් මල්ලෙන් එළියට පැන්නේ ය. අගමැතිත් සාක්කි කූඩුවට නැග්ගේ ය. කොමිසම් වාර්තාව ජනපති අතට දුන්නේ ය. ජනපති ජාතිය ඇමැතුවේ ය. වරදකරුවන් ගැන හෙළි කළේ ය. දඬුවම් දෙන බව කීවේ ය. මහේන්ද්‍රන් පැන ගත්තේ ය. රවි ජාම බේරගත්තේ ය. ඇලෝසියස් සහ පලිසේන හිරේ ය. රනිල්ට මොනවා වෙයි ද? කියන්නට දන්නේ නැත.

නික්සන්ට නම් ගැලවුමක් තිබුණේම නැත. නික්සන් ඉදිරියේ නීතිය නැමුණේම නැත. ලංකාවේ නම් කොහොම වෙයිද කියා කියන්නට දන්නේ නැත. කොමිසම අහවරය. වරදකරුවන් හෙළි වී හමාරය. නඩු තැපෑලෙන් ය. මහ මොළකරු ගැන දන්න නොදන්න ගානය. හාල්මැස්සෝ හිරේ විලංගුවේ ය.
වෝටර්ගේට් සිද්ධිය නික්සන්ගේ දේශපාලන ජීවිතයට තිත තැබුවේ ය. බැඳුම්කර සිද්ධිය රනිල්ගේ දේශපාලන ජීවිතයට තිත තබාවිද? කියන්නට දන්නේ නැත. කොහොම වුණත් ලෝකෙට ලොක්කා නික්සන්ට වුණු දේ හැටියට ලංකාවේ අගමැති රනිල් ඔයින් ගියොත්
ඇති ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon