විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  4036 readers have read this article !
2018-04-04

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් සඳහා බදු අය කරන්නෙ නෑ ඇමැති මංගල සමරවීර

දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් පසුගිය දිනවල වැරැදි හා අසත්‍ය තොරතුරු රාශියක් ජනගත වුණා. දේශපාලනඥයන් පවා එවැනි කරුණු ප්‍රකාශ කළා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සම්මත කරගත් මේ පනත ජනතාවට හුරු පුරුදුවීමට යම් කාලයක් ලබාදීමට අවශ්‍ය යැයි මේ පාර්ලිමේන්තුව ගෙන ආ යෝජනා අනුව අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක වීම කල් තැබුවා.

මේ පනත සම්බන්ධව ශේ්‍රෂ්ඨාධිකරණයට නඩු දහයකට වඩා පවරා තිබුණා. ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවත් සැලකිල්ලට ගෙන පොදු මහජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේද අදහස් යෝජනා සංශෝධන ද සැලකිල්ලට ගෙන එදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ අදහස් පවා සැලකිල්ලට ගත්තා.

වසරකට ලක්ෂ 12කට හෝ මාසයකට රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩුව උපයන අයගෙන් අප බදු ගන්නේ නෑ. බදු සරල කර පසුගිය කාලේ ඇමැතිවරු තම හිතවතුන්ට හෙංචයියලාට බදු සහන දීලා කොමිස් ගත්ත හැටි අපට මතකයි. ඒක නව පනතට දාලා විධිමත් කර තිබෙනවා.

විදෙස් රටවල රැකියා කරන අය මෙහි එවන මුදලට බදු අය කරන්නෙ නැහැ. ශ්‍රී ලංකාවේ වැඩ කරන අයගේ ලක්ෂයකට වඩා තිබේ නම් පමණයි අය කරන්නේ.
විශ්‍රාමිකයන් සම්පූර්ණයෙන්ම ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. පොලිය මාසයකට 1,25,000කට වැඩි නම් පමණක් බද්දකට යටත් වෙනවා. වසරකට ලක්ෂ 15ක විශ්‍රාම වැටුපක් ලබන්න නම් කෝටි 02ක් ගිණුමේ තිබිය යුතු වෙනවා. විශ්‍රාමිකයන් කී දෙනකුට එහෙම තිබිය හැකිද? විශ්‍රාමික හිටපු ජනාධිපතිතුමාට නම් තියෙන්න පුළුවන්. දැන් එතුමා මේ පනතට විරුද්ධව පාරට බහින්න යනවාලු. විශ්‍රාමිකයන් 95%කට මේක බලපාන්නේ නැහැ.

අවුරුදු 18ට වැඩි හැම දෙනාටම බදු ෆයිල් එක බැගින් විවෘත කිරීමේ යාන්ත්‍රණය කුමක්ද? සුනිල් හඳුන්නෙත්ති

අප්‍රේල් 01 වැනිදා සිට බදු ක්‍රමගැන මෙන්ම ඒවා බලපාන්නේ කාටදැයි කවුරුත් පැහැදිලි කර නැහැ. බදු පනවන්න, බදු පනත ගේන්න තිබූ උනන්දුව ජනතාවට බදු ක්‍රියාවලිය ගැන පැහැදිලි කරදීම සඳහා නැහැ. අවුරුදු 18ට වැඩි හැම දෙනාටම බදු ලිපිගොනුවක් ආරම්භ කරන යාන්ත්‍රණය කුමක්ද? දැන් ජනතාවට මහා බරක් පැටවී තිබෙනවා. ජාතික විගණන පනත ගේන්න තියෙනවා. නව බදු පනතේ පීඩනය ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

මේ වසර අවසානයට පෙර නව රේගු පනතක් ගේනවා රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

2017දී ඍජු විදේශ ආයෝජන වැඩියෙන්ම ලැබුණා. 2018දී මේ ආයෝජන බිලියන 2.2ක් බවට පත්කර ගත හැකිවෙයි. බඩු මිල අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බව මහ බැංකුවේ වාර්තා වී තිබෙනවා.

බදු ලබාගෙන වියදම් කරන්නේ කොහොමද කියා සමහරු අහනවා. සමස්ත අධ්‍යාපනයට 2014 දළ දේශීය නිෂ්පාදනයෙන් වියදම් කර තිබුණේ 1.4යි. යටිතල පහසුකම් සඳහා වියදම් කළ යුතුයි. නමුත් මානව සම්පත සංවර්ධනය ඊට වඩා වැදගත් වෙනවා.

සෞඛ්‍යයට කරන්නා වූ වියදම මේ ආණ්ඩු කාලයේදී සියයට 2ක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒකාබද්ධ විශ්‍රාම වැටුප් අරමුදලින් බදු අය කිරීමට සූදානම් වීම අමානුෂිකයි වාසුදේව නානායක්කාර

වැට් බදු අඩු කිරීම ගැන යෝජනා මෙහි නැහැ. වක්‍ර බදු වැඩි වී ඇත්තේ වැට් බදු අඩු කිරීම නිසයි. වක්‍ර බදු අඩු කිරීමේ මූලික පියවර කෝ?
විශේෂ වෙළෙඳ භාණ්ඩ පැනවීමේ ප්‍රධාන අරමුණ වුණේ ඉහළ යන ජීවන වියදම් බර හමුවේ ඊට බලපාන භාණ්ඩවල මිල මට්ටම් නියාමනය කිරීමයි. එහෙත් අද ඒ තුළින් සිදුවන්නේ මිල නියාමනයකට වඩා බදු එකතු කිරීමක්.

දේශීය භාණ්ඩ ප්‍රමාණවත් සැපයුමක් නැති වන විට මිල විශාල වශයෙන් ඉහළ යනවා. ඒක ජීවන වියදමට බලපානවා.

සැපයුම ප්‍රමාණවත් නොවන්නේ ගබඩාගත කර තිබෙන සහල් හෝ වෙනත් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසයි.

ඒකාබද්ධ විශ්‍රාම වැටුප් අරමුදලෙන් බදු අය කිරීමට සූදානම් වීම අමානුෂික බව පෙන්වා දීමට කැමැතියි. ගරාජයක් ළඟ නවතා තිබෙන වාහන සංඛ්‍යාව ගණන් කර ඒ අනුව වැට් බද්ද අය කරන බව ගරාජ් හිමිකරුවකු පැවැසුවා. අද බදු ජාලය ජනතාවට මරු වැලක් බවයි. ඒ අය පවසන්නේ.

වරාය කම්කරුවෙක්, තෙල් සංස්ථාවේ කම්කරුවෙක් රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ගන්නවා. අද රුපියල් ලක්ෂයක් කියන්නෙ මොකක්ද? අද රුපියල් 50,000ට අඩු ආදායම් ලබන හැම දෙනාම දුප්පත්තු. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා, හතර දෙනෙකුගේ පවුලක අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් 50,000කට වැඩිය අවශ්‍ය බව. ආර්ථිකයට 60%ක් දායක වන මිනිසුන් නැවත ඉතිරිකිරීමට පෙලඹවිය යුතු නැද්ද? නමුත් ඔවුන්ගේ ඉපැයීම අඩුවක් වන තැනටයි අද පත්වී තිබෙන්නේ.

(පාර්ලිමේන්තුව අද (4දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon