බෘෘටස්ලා කෝ...?

  👤  4686 readers have read this article !
2018-04-05

"මගේ කතාව අවසන් වන තුරු ඉවසීමෙන් යුතුව සිටින්න. රෝමවරුනි, රටවැසියනි, මිතුරනි, මගේ පරමාර්ථය කුමක් වී දැයි දැන ගැනීමට මට සවන් දෙන්න. මට සවන් දීමට නිහඬ වෙන්න. මගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් මා විශ්වාස කරන්න. මා විශ්වාස කිරීමට මගේ ගරුත්වයට සැලකිල්ලක් දක්වන්න. ඔබේ නුවණින් මා විනිශ්චය කරන්න. මා හොඳින් විනිශ්චය කිරීමට ඔබගේ සිහිකල්පනාව අවදි කරවන්න.

මේ ජනකාය අතර කවුරු හරි තැනැත්තෙක් ඉන්නවා නම්, සීසර්ගේ හිතවත් මිතුරෙක්, මා ඔහුට කියා සිටින්නේ, මා සීසර්ට දැක් වූ ආදරය, ඔහු සීසර්ට දැක් වූ ආදරයට වඩා කිසිසේත් අඩු නොවූ බවයි. එවිට ඒ මිතුරා අසා සිටියහොත්, ඇයි එහෙනම් බෘෘටස්, සීසර්ට එරෙහිව නැඟී සිටියේ කියා, මේකයි මගේ පිළිතුර. මා ඔහුට වඩා අඩුවෙන් සීසර්ට ආදරය කළා නොවේ. නමුත් මා ඊට වඩා රෝමයට ආදරය කළ වගයි.

ඔබ කැමති සීසර් ජීවත්ව සිට ඔබ හැමෝම වහලුන් සේ මිය යන්නටද? එහෙම නැත්නම් සීසර්ගේ මරණින් පසු නිවහල් ජනකායක් මෙන් ජීවත් වෙන්නටද? සීසර් මට ඇලුම් කළ නිසා මම ඔහු වෙනුවෙන් වැලපෙමි. ඔහු වාසනාවන්ත වූ නිසා මම සන්තෝෂ වෙමි. ඔහු වීරවරයකු වූ නිසා මම ඔහුට ගෞරව කරමි. නමුත් ඔහු රජ වෙන්නට තැත් කළ නිසා, මම ඔහු මරා දැම්මෙමි. ඔහුගේ ආදරයට කඳුළුද, ඔහුගේ ආත්මාර්ථයට මරණයද හිමි විය. කවුරු හරි මෙතන ඉන්නවද, වහලකු වීමට තරම් කෙනෙක්? එහෙම කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඔහුටයි මා වරදක් කර ඇත්තේ. කවුරු හරි මෙතන ඉන්නවද, රෝමයෙක් නොවීමට තරම් මෝඩයෙක්? එහෙම කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.

ඔහුටයි මා වරදක් කර ඇත්තේ. තමාගේ රටට ආදරය නොකිරීමට තරම් අධමයෙක් මෙතන ඉන්නවාද? කවුරු හරි එහෙම තැනැත්තෙක් ඉන්නවා නම් කතා කරන්න. ඔහුටයි මා වරදක් කර ඇත්තේ. එයට පිළිතුරක් ලැබෙන තුරු මම මොහොතක් නිහඬ වෙන්නම්."

(විලියම් ශේක්ස්පියර් - පරිවර්තනය: ටෝනි රණසිංහ)

සීසර්ගේ අවමඟුලේදී බෘෘටස් කිව්වේ එහෙමය. බෘෘටස් යනු සීසර් දරුකමට හදා ගත් පුතා ය. බෘෘටස් කොන්සල්වරයකු බවට පත් කළේ සීසර් ය. සීසර් බලය අභිභවා යද්දී, බල උන්මාදයෙන් හැසිරෙද්දී බෘෘටස් තීරණයක් ගත්තේ ය. සීසර්ට පළමු පිහි පහර ඇන්නේ බෘෘටස් ය.

මෛත්‍රි තීරණය ගත්තේ ජනපතිවරණය සඳහා තමන් සමඟ සටනට හරිහමන් කෙනකු නැතැයි කියා මහින්ද අධි තක්සේරුවකින් සිටින මොහොතක ය. එළියට බැස්ස මෛත්‍රි 2014 නොවැම්බර් 21 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වා පොදු අපේක්ෂකයා තමන් බව රටටම හෙළි කළේ මෙසේ ය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 47ක් මම අඛණ්ඩව කටයුතු කළා. පක්ෂයේ ලේකම්වරයා විදියට අවුරුදු 13ක් දීර්ඝ කාලයක් කටයුතු කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම අපි තව එකඟතාව ඇති කරගත් මේ රට තුළ කළ යුතු වෙනස්කම් සඳහා ප්‍රතිප්තිමය තීරණවලට එකඟ වූ දේශපාලන පක්ෂ රාශියක් සමඟ අපි එකඟතාවක් ඇති කර ගත්තා. ඒ සම්බන්ධයෙන් නිල කටයුතු ඉදිරි දින කීපය තුළ අපේ ආදරණීය ජනතාවට අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ අතරතුර විශේෂයෙන්ම මම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයත් අපි බලාපොරොත්තු වන අරමුණ කරා අපේ උතුම් මාතෘ භූමිය ගෙන යෑමට එකඟ වූ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට මම ස්තුතිවන්ත වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපි ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විදියට මාව පත්කර ගැනීම පිළිබඳව.

විශේෂ ස්තුතියක් මම පිරිනමනවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එතුමාගේ විධායක සභාව පාර්ලිමේන්තු කණ්ඩායම මේ මැතිවරණයේදී පොදු අපේක්ෂකයා විධියට තෝරා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාව. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එක්සත් ජාතික පක්ෂයට. මොකද එක්සත් ජාතික පක්ෂය විශාල කැපකිරීමක් කරලා තියෙනවා. මා දන්නා පරිදි එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ තමන්ගේ පක්ෂයේ නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකයකුට, ලේකම්වරයකුට මේ මහා උතුම් පරිත්‍යාගය එක්සත් ජාතික පක්ෂය කරලා තියෙනවා. එය මේ රටේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළත් 2006 අපි ගිවිසුමක් අස්සන් කළා. ඒකට අස්සන් කළේ මමත් මලික් සමරවික්‍රම මැතිතුමාත්. අද ඊට වඩා වෙනස්වූ රටේ අනාගතය පිළිබඳව, ඉතා වැදගත් වූ කාර්යයක් සඳහා අපි එකඟතාව පළ කරලා තියෙනවා. 1977 සිට 1994 දක්වා කාල පරිච්ඡේදය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කඳුළු සලමින් පක්ෂය රැක්කා.

බණ්ඩාරනායක මැතිනියගේ ඇස්වල කඳුළු මම දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රට වෙනුවෙන් ඒ උතුම් ශේ්‍රෂ්ඨ ජාතියේ මෑණියන් අපේ පක්ෂය, මහා දුකක් විඳලා, කැපකිරීමක් කරලා සිය ප්‍රජා අයිතියත් නැතිව. නමුත් නැවත 1994 ආණ්ඩුවක් දක්වා නායකත්වය දෙමින් ඉස්සරහට ගෙනාවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මහා කැපවීමක් කළා. 1999 ජනාධිපතිවරණයේදී මෙතුමියට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ මහා ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය තුළ මෙතුමියට ඒ ඇති වෙච්ච අපහසුතාවන් කායික වශයෙන් වගේම මානසික වශයෙන් කොතෙක්ද කියලා ඔබ කවුරුත් දන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියත් මමත්, මංගල සමරවීර මහතාත්, අනුර බණ්ඩාරනායක මැතිතුමාත් ඒ වගේ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ සමහර දවස්වල සවස 7ට පටන් ගත්තාම පාන්දර 2ට 3ට සාකච්ඡා ඉවර වෙන කොට. විශාල කැප කිරීමක් කරලා අපි ඉතා අපහසුවෙන් 2004 ආණ්ඩුව හැදුවා. ඉන් පසුව 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණේ, ගෙවී ගිය දශකයේ විශේෂයෙන්ම මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ජීවිත පූජා කළ, ආබාධිත වෙච්ච, සටන් කළ ඒ සටනේ සිටි සියලු ශේ්‍රෂ්ඨ උතුම් රණවිරුවන්ට මුළු මහත් ජාතිය වෙනුවෙන් අපි ගරු කළ යුතු වෙනවා. ඒ දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. එහෙත් විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව අද පවතින අපේ ආණ්ඩුව අපි බලාපොරොත්තු නොවුණු පැත්තකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි සංශෝධනය බරපතළ වැරැද්දක්. 18 වැනි සංශෝධනය මේ රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාදායකයේ සැබෑ වූ අයිතිය පාර්ලිමේන්තුවේ ඒ සියල්ල තව තවත් දුර්වල කළා. 78 ව්‍යවස්ථාවෙන් ඇතිකළ විධායක ජනාධිපති ධුරය 18 වැනි සංශෝධනයෙන් තවත් ප්‍රබල කරලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහ නිදහස නැති කෙරුවා. මේ රට යන්නේ පැහැදිලිව පේනවා පසුගිය අවුරුදු කීපය තුළ රටේ නායකත්වය සහ පාලනය යන ගමන් මඟ දෙස බලන විට මේ රට යන්නේ සොඳුරු ආඥාදායකත්වයක් කරා. ඡන්දේ තියනවා. සහන දෙනවා. සංවර්ධනය කරනවා. ජනතාව සහන ගැන කතා කරනවා.

සංවර්ධනය ගැන කතා කරනවා. සිනාමුසු මුහුණින් ඡන්ද පවත්වමින්, එහෙත් අපට සහ ජනතාවට අනුමත කළ නොහැකි බොහෝ දේවල් ඒ අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. දූෂණය, වංචාව, අක්‍රමිකතාව, අයුක්තිය, අසාධාරණත්වය ඒ සියල්ල ඉතා බරපතළ ලෙස ක්‍රියාත්මකයි. නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා තියෙනවා. රටක උතුම් කොට සලකන අධිකරණය, නීතියේ ආධිපත්‍යය අද මහා ඛේදවාචකයකට ලක් වෙලා තියෙනවා. වැරැදිකාරයන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැරිව ගිහින් තියෙනවා. එක පවුලක් විසින් රටේ මුළු ආර්ථිකය, ධනය, පාලනය, දේශපාලන පක්ෂ කළමනාකරණය මේ සියල්ල එක පවුලක් විසින් අතට අරගෙන තියෙනවා. ඒ තුළ අපි කල්පනා කෙරුවා මමත් අද මෙහි සිටින වගේම හෙට අනිද්දා අප හා එකතු වන අපේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු රාශියක් අපි තීරණය කළා අපි මේවාට යම් විසඳුමක් ගන්නවා කියලා. ඒ තුළ අපේ තීරණය අපි අනෙක් දේශපාලන පක්ෂවලට දැනුම් දුන්නා. අපි එකඟතාවට ආවා. එකඟත්වයක් ඇතිකර ගත්තා. මම කොහෙත්ම හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදියට මාව පොදු අපේක්ෂකයා විදියට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ කටයුත්තට එක්වී සිටින සහෝදර දේශපාලන පක්ෂ මාව තෝරා ගනීවි කියලා. මම සෞඛ්‍ය ඇමැතිවරයා විදියට පසුගිය අවුරුදු 4 1/2ක මගේ අත්දැකීම් ඉතාමත්ම කටුකයි. ඔෟෂධ පනත මුළු රටක් බලාගෙන ඉන්නවා අවුරුදු 40ක්. කවුද ඒක හොරකම් කෙරුවේ. සිගරැට් පැකැට්ටුවට සෞඛ්‍යමය අවවාද 80%ක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒක 60%ක් වුණේ කොහොමද? අවුරුදු 2 1/2ක් මම මේ ගැසට් නිවේදනය වෙනුවෙන් මම අලුත්කඩේ උසාවියේ බංකුවේ ඉ¼දගෙන හිටියා ගිහිල්ලා. ඒ මේ රටේ මුළු මහත් ජනතාවක් වෙනුවෙන්. ඔෟෂධ පනතක් අපිට නැතුව ගියා. ඒ වගේම දුම්වැටියට, මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම ගෙනගිය අරගලයට ආපු බාධක තර්ජන බලවේග, මට ඒවා ඉවසන්න පුළුවන් කමක් නැහැ. අපි ඉපදීමම හැම මිනිහෙක්ම මැරෙනවා. නමුත් අපේ ජීවිත කාලය තුළ මිනිසුන් වෙනුවෙන් අපි යමක් කළ යුතු වෙනවා. ඒ දේ කරන්න මම සියලු තනතුරු අත්හරින්න සූදානම්. ඒ වගේම මට කරපු ආරාධනය මම භාර ගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අසරණ වෙලා. මේක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ආණ්ඩුවක් නොවන බව කවුරුත් රටේ දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී මත් බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය සහ ප්‍රතිපත්තිය තුළ අදට ලෝකයට වර්තමානයට නව තාක්ෂණ ලෝකයට වාණිජ සමාජයට ඔබින ලෙස මේ ප්‍රතිපත්ති සහ දර්ශන ශක්තිමත් කරලා ඉදිරියට යා යුතුයි. මේ සහෝදර එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ....මේකට එකතු වෙලා ඉන්න අපි පැහැදිලි තීන්දුවකට ආවා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව. උතුම් ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මට ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඔබේ ගෞරවනීය ඡන්දය පාවිච්චි කරන්න. විධායක ජනාධිපති ධුරය දින 100ක් ඇතුළත අහෝසි කිරීම සඳහා බලය දෙන්න කියලා මේ රටේ ආදරණීය ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

ආදරණීය ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා, මට බලය දෙන්න දින 100ක් ඇතුළත මම එය අහෝසි කරනවා. අද රාජ්‍ය සේවකයන් ගත්තම බරපතළ ආර්ථික අර්බුදයක, දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න රජයේ සේවකයෙක් කොහොමද ජීවත් වෙන්නේ. මේ රටේ පෞද්ගලික අංශයේ ඉන්න සේවකයන් බරපතළ ලෙස අසරණ වෙලා. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු ආර්ථිකයක් නෑ. මේ රටේ අසරණ වෙලා සිටින මම නියෝජනය කරන ප්‍රදේශය ප්‍රමුඛ මගේ ආදරණීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ තුළ රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය, ගොවි ජනතාව ප්‍රමුඛ සමස්තයක් රටේ ජනතාවට යහපත් සදාචාර සම්පන්න නිදහස සහ සාමය ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන යුක්ති සහගත සමාජයක ශක්තිමත් ආර්ථිකයක් විදියට ගොඩනැඟෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ මම බලාපොරොත්තු වෙනවා.

ඉදිරි ජයග්‍රහණයත් සමඟ අපි පිහිටුවන ආණ්ඩුවක් තුළ මේ රටේ ඇති කිරීම සඳහා. ඒ වගේම පොලිසියට, අධිකරණ ක්ෂේත්‍රයට මේ රටේ ස්වාධීනව හා අපක්ෂපාතීව සහ නිදහසේ රාජකාරි කටයුතු කිරීමේ ඒ අයිතිය අපි තහවුරු කරනවා. පොදු අපේක්ෂකයා විදියට මේ මැතිවරණයට මම එන නිසා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසියේ හමුදාපතිතුමාලටත් පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවටත් මම ඉතා කාරුණික සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. කිසිදු දේශපාලන බලවේගයකට, බලපෑමකට යටත් වෙන්න එපා. යුද හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත් ගුවන් හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත් නාවික හමුදාවේ හමුදාපතිතුමාගේ සිටත් පොලිස්පතිතුමාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේත් සියලු දෙනා මම ආරක්ෂා කරනවා කියන එක ඉතා පැහැදිලිව කියන්න ඕන. ඔවුන්ට නිදහසේ රාජකාරි කටයුතු කරන්න මම දෙනවා. මේ රටේ නිදහස් මාධ්‍යක් තිබෙනවද? ඔබේ හෘදය සාක්ෂිය තුළ ඔබ දන්නවා මේ රටේ මාධ්‍යවේදියා හා නිදහස් මාධ්‍යකට මේ රටේ ඉඩක් නෑ. මොනතරම් බලපෑම් තිබෙනවද? වරදාන තුටු පඬුරු ප්‍රදානය කරන්න උත්සාහ කරනවාද? මොනතරම් ජනමතය පෙන්නන්නෙ නැතුව වෙනස් කරන්න උපදෙස් දෙනවාද? ඉදිරියේ පවත්වන මැතිවරණයකදී මම මේ රටේ ජනතාව කෙරෙහි ගෞරවනීය විශ්වාසයක් තිබෙනවා ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙන අපේ ආණ්ඩුවක් තුළ ඉතා පැහැදිලිවම මේ රටේ සැබෑ වූ මාධ්‍ය නිදහසක් මම ඇති කරනවා. මේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරලා රටක තිබිය යුතු අපක්ෂපාතී වූත් ස්වාධීන වූත් නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට මේ මැතිවරණ ක්‍රමය මම වෙනස් කරනවා. මේ රටේ තරුණ පරපුරට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෙ, නව පරපුරට නව තාක්ෂණ ලෝකේ ඉදිරියට යන්නට අවශ්‍ය ‍ෙදාරටු විවෘත කරමින් ඔවුන්ගේ සැබෑ වූ ප්‍රශ්න සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා.

මෛත්‍රිගෙන් පසු ශ්‍රීලනිප මහ ලේකම් වූයේ අනුර ප්‍රියදර්ශන යාපා ය. මෛත්‍රි ගිහින් වැඩිකල් යන්නට මත්තෙන් කටුගම්පොළ පැවැති රැස්වීමකදී ඔහු මෙසේ කීය.
ජුලියස් සීසර් හදාගත්ත පුතෙක් තමයි බෘෘටස්. බෘෘටස්ව කොන්සල්වරයෙක් කළෙත් ජුලියස් සීසර් තමයි. හැබැයි බෘෘටස් එකතු වුණා කුමන්ත්‍රණකාරයන්ට ජුලියස් සීසර් මරන්න. ජුලියස් සීසර් කොන්සල්වරුන් ඉන්න සෙනෙට් එකට ගියේ කිසිම ආයුධයක් නැතිව, ආරක්‍ෂකයෙක් නැතිව. හැබැයි බෘෘටස් තමයි පළමුවැනි පිහි පාර ඇන්නේ.

ෂේක්ස්පියර් නාටකයේ, තමන්ට පිහියෙන් ඇන්න බෘෘටස් දිහා හැරිලා බලලා ජුලියස් සීසර් අහනවා, ''බෘෘටස් ඔබ! කවදාවත් විශ්වාස කළේ නෑ මම හදාගත්ත පුතා, මම ඉහළට ගෙනාව මිනිහා, කොන්සල් තනතුරට වාඩි කරපු මිනිහා මට පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනී කියලා'' ඒකම නේද මෛත්‍රිපාල කෙරුවේ. තමන් හදාවඩා ගත්ත, තමුන්ට තනතුරු දීපු, තමුන් රැකබලා ගත්ත කෙනාට පිටුපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇන්නා වගේ, ජනාධිපතිතුමාටත් අහන්න තිබුණේ ''මෛත්‍රි ඔබ?'' කියලා.

එතුමාගේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වා මම ජනාධිපති වෙනවා කියලා. දින 100කින් මම මේක අත්හරිනවා. මම මේක දෙනවා විධායක අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයාට. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් මිස, කාටවත් අගමැති පත් කරන්න බෑ. එහෙම නැත්නම් විශ්වාසභංගයක් ආවාම ‍ෙදාට්ට යනවා. එතකොට මේ උත්සාහ කරන්නේ මොකක්ද? අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට දෙන්නද?

මෛත්‍රි, මහින්දට-පක්ෂයට වඩා රටට ආදරය කළා ද? මහින්ද අඥාදායකයෙක් වේවි යැයි බියක් මෛත්‍රිට ඇතිවුණා ද? කියන්න දන්නේ නැත.

මහින්ද සමඟ රෑට ආප්ප කෑ මෛත්‍රි පසු දින රනිල්ට එකතු වූයේ ය. රනිල් මෛත්‍රි පෙරටු කරගෙන සටන දිගේලි කළේ ය. රනිල්ලාගේ ඇවෑමෙන් මෛත්‍රි ජනාධිපති පුටුවේ වාඩි වූවේය. මුළ සිටම රනිල් වැඩේ අතට ගත්තේ ය. 77 ව්‍යවස්ථාවෙන් බෙළහීන කළ අගමැති තනතුර රනිල් යළි බලාත්මක කර ගත්තේ ය. ඒ කියන්නේ රනිල් විධායක ජනාධිපතිව අල්ලේ නැටෙව්වා ද? කියන්නට දන්නේ නැත. එන පොට හොඳ නැති බව වැඩිකල් යන්නට මත්තෙන් මෛත්‍රිට වැටහුණේ ය. රනිල්ගේ වැඩ නිසා මුළු යහපාලන ආණ්ඩුවම පීචං වන බව තෙරුම් ගන්නට ඔහුට වැඩි දවසක් ගියේ නැත.

රනිල්ට එරෙහි විශ්වාසභංග විවාදයේදී මන්ත්‍රිවරයෙක් පැවැසුවේ රනිල් ජන වරම පාවාදුන් බවය. ඒ කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැත.

මෛත්‍රි නිරායුදය. එහෙත් අතේ සැඟවුණු කඩුවක් ඇත. කඩුවෙන් ඇන්නොත් ජනපති වෙන්න අත දුන් රනිල් ය. කඩුව අත්හැරියොත් පණ මෙන් රැක ගත යුතු රටය. වරද කරන්නේ කාටදැයි ඔහු තීරණය කළ යුතුව තිබුණේ ය.

ඉතිහාසයට පුරාවටම බෘෘටස්ලා සීසර්ලා වුණේ ය. සීසර්ලා බෘෘටස්ලා වුණේ ය. සීසර්ලා මරා දමන එක බෘෘටස්ලාගේ වගකීම ය. සීසර්ලා මරා දැමූ පසු සීසර්ලා නොවී සිටීමට බෘෘටස්ලා දැන ගත යුතු ය.විශ්වාසභංගය පරාජය විය. රනිල්ගේ අගමැතිකම බේරුණේ ය. බෘෘටස් කඩුව බිම දැම්මේ ය. සීසර් මඳ සිනාවක් පා රටට පස්ස හැරෙව්වේ ය. බෘෘටස් වැඩියෙන් ආදරේ කළේ සීසර්ට ද? රටට ද? කියන්නට දන්නේ නැත.

මේඝනාද

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon