බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ..,

  👤  5318 readers have read this article !
2018-04-08

බයිසිකලේ, බයිසිකලේ
දුප්පත් අපගේ බයිසිකලේ//
අව්වේ වැස්සේ වෙනසක් නොතකා
මහ මඟ පැදයන බයිසිකලේ//
දුප්පත් පොහොසත් භේදය නොතකා
හැමට පිහිට වෙයි සියලු කලේ//


අපගේ කුඩා කල වින්සන්ට් ද පෝල් පීරිස් ගායනා කළ මෙම මියුරු ගීතය ගුවන් විදුලියේ නිතර අසන්නට ලැබිණි. එය මුවග නිතර රැඳුණු ගීයක් බවටද පත්ව තිබුණේය. ඊට හේතුව බයිසිකලය එකල අපේ පවුලේ සාමාජිකයකු වන තරමටම හෘදයාංගමව බැඳී සිටීම විය යුතුය. එකල බයිසිකලයක් නැති ගෙදරක් මෙන්ම බයිසිකලයක් නැති ගමනක්ද නොවීය. බයිසිකලයක ලගේජයේ වාඩිවී ගමන් නොකළ අත්තම්මා කෙනකු හෝ ගමක සිටියේ නැත.


ඉහත සින්දුවේ කියැවෙන්නේද බයිසිකලය දුප්පත් පොහොසත් භේද නොසලකා හැමට පිහිට වන බවයි. මේ ඡායාරූපයේ බයිසිකලය පැද යන තැනැත්තා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. දේශපාලන ගමන දශම බින්දුවයි දෙකෙන් පටන් ගත් ප්‍රේමදාස කොළඹ නාගරික මන්ත්‍රිවරයකු වෙන්නට පෙර බයිසිකලය පැද නොගිය කොළඹ පාරක් නැති බව කියති. ඩී.එෆ්. කාරියකරවන ඔහුගේ දසක සතක මතක පොතේ කියා තිබුණේ ඔහු ප්‍රේමදාස මහතාත් පොල්ලේ තියාගෙන වල්පොළ රාහුල හාමුදුරුවන් හමුවන්නට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට බයිසිකලය පැදගිය බවයි.


මෙහි දැක්වෙන දුලබ ඡායාරූපයේ සිටින්නේ ප්‍රේමදාස මහතාය. වර්තමාන දේශපාලනඥයන්ද ඉඳහිට පාර්ලිමේන්තු පාරේ බයිසිකල් පදිති. ඒ යනවිට ආරක්‍ෂක භටයෝ දහයක් පහළොවක් ඔහු වට කරගෙන පයින් දුවති. එසේ යන්නේ දේශපාලනඥයා මහ පාර මැද පත බෑවුණොත් අල්ලා ගැනීම ඔවුන්ගේ රාජකාරිය නිසා විය හැකිය. ඡායාරූපයේ ප්‍රේමදාස මහතා බයිසිකලයේ වාඩි වී සිටින්නේ එය එකල ඔහුගේ වාහනය නිසාය.

ඔහු අසල සිටින්නේ හේමා ප්‍රේමදාස මහත්මියයි. ප්‍රේමදාස මහතා සරම හා කමිසයෙන් සැරසී සිටින අතර හේමා මහත්මිය එකල බොහෝ කාන්තාවන් ඇඳි සරල ඇඳුමකින් සැරසී සිටී. ප්‍රේමදාස මහතා සිටින්නේ සුපිරි ප්‍රාඩෝ රථයක සිටිනවාටද වඩා නිහතමානී ආඩම්බර මුහුණකිනි. ප්‍රේමදාසගේ 7ශ්‍රී 5959 බයිසිකලය තරමක වැඩි දියුණුවූ අවස්ථාවකි. කුඩා මෝටරයක් සවිකළ මේ බයිසිකලය එකල ගම්වල මිනිස්සු හැඳින්වූයේ මදුරුවා යන නමිනි. ඊට පසුව තැපැල් නයින්ටි ස්කූටර් ආදී වශයෙන් මෝටර් සයිකල් දක්වා භාවිතය වෙනස් වූයේය.

ශ්‍රී ලාංකිකයා පසු කලෙක හුරු පුරුදු වූ තුප්පහි සංස්කෘතියට අනුව තමන් පාවිච්චි කරන වාහනය තමන්ගේ බල පුළුවන්කාරකමේ, ලොකුකමේ, මහන්තත්තකමේ සංකේතය හැටියට යොදා ගනිති. ඒ නිසා ලෝකයේ වැඩිම මිල ගණන් සහිත බෙන්ට්ලි, ඇස්ටන් මාර්ටින්, ලැම්බොගිනි ආදී කෝටි හත අට වටිනා මෝටර් රථ කොළඹ නගරයේ දුවයි. ලංකාවේ වැඩිම මිල ගණන් සහිත වාහන පාවිච්චි කරන්නේ දේශපාලනඥයන්ය. අමාත්‍යාංශ මාරු වෙන මාරුවෙන වාරයක් පාසා අලුත් ඇමැතිවරයාට අලුත් වාහනයක් ගෙන්වීම පළමුව සිදු කෙරේ. එයට හේතුව කලින් හිටි ඇමැතිගේ නිල වාහනය පාවිච්චි කරන්නට අලුත් ඇමැති කැමැති වුවත් ඔහුගේ බිරින්දෑ ඊට අකැමැති වීමය.


'තමුසේ ඕකෙ ගියාට අරකි පස්ස රත් කරපු එකේ මට නම් යන්න බෑ ඔන්න' යැයි භාර්යාව කීවිට ඇමැතිවරයා අලුත් වාහනයක් ඇණවුම් කරන්නට අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දෙන්නේය. මේ මොනවා වුවත් කවුරුත් දැනගත යුතු සත්‍යයක් තිබේ. අපේ ගමේ ඇක්මන් අයියා අදත් පදින්නේ ඔහුගේ මුදලින් ඔහු මිලදී ගත් ඔහුගේම බයිසිකලයයි. නමුත් අපේ රටේ ජනපති, අගමැති, මැති ඇමැතිලා යන එන කළු වීදුරු දැමූ සුපිරි වාහන ඔවුන්ට අරන් දෙන්නේත් ඇක්මන් අයියලා නැත්නම් ඩුබායි රටේ ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරන ලිලියට් ගෙනෙන විදේශ විනිමයෙනි. ඇක්මන් තමන්ගේ වාහනය පදින අතර ජනපති, අගමැති, ඇමැතිවරු ඇක්මන්ලා අරන් දුන් වාහන පදිති. ඇත්ත කතාව ඒකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon