අගමැතිට වෙඩි තබන බව පැයකට කලින් කියූ දැරිය කවුද?

  👤  5224 readers have read this article !
2018-04-15

බණ්ඩාරනායක අගමැති ඝාතනය සම්බන්ධ නිල නොවන කතා රැසක් පසුගිය අවුරුදු 57ක කාලය තුළ රට වැස්සන් අතර කතාබහට ලක්වෙමින් තිබේ. එවැනි කතා වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රභූ සමාජය තුළ පවතින ඒවා බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඉන් කිහිපයක් හෝ යථෝක්ත කාරණය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ දැනගැනීම පිණිස මෙහිලා සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.

එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් විශ්‍රාම ලබා සිටි පොලිස් අධිකාරිවරයකු වූ ලයනල් ගුණතිලක මහතාගේ නිවෙස පිහිටා තිබුණේ කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ අංක 65 දරන රොස්මිඩ් වලව්ව ඉදිරිපිටය. එනම් අගමැති නිවෙස ඉදිරියෙන් පාරේ අනෙක් පැත්තේය. සිඩ්නි, ඩිකී, ස්ටැන්ලි, සොයිසලා මෙන්ම ඔසී කොරයාද ලයනල් ගුණතිලකගේ මිතුරෝය. 1959 සැප්තැම්බර් 25 උදේ අගමැතිට වෙඩි තබා මිනිත්තු දෙක තුනක් ඇතුළත නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා එහි පැමිණ සිද්ධිය ඇසින් දුටු සියල්ලන් එළවා දැමූ බව නඩුවේදී හෙළිවිය.

තල්දූවේ සෝමාරාම හිමි අත්අඩංගුවට ගනු ලැබුවේද ඔහු විසිනි. සිදුවීම ඇසින් දුටු පිරිස පහළොවක් විස්සක් පමණ වුවත් පොලිසිය ඇසින් දුටු සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළේ තිදෙනකු පමණක් යැයි ලූෂන් වීරමන්ත්‍රි අධිනීතිඥවරයා විත්තිය වෙනුවෙන් ප්‍රකාශ කළේය. පොලිස් අධිකාරි සිඩ්නි ද සොයිසාගේ පැමිණීම විය නොහැකි අහඹු සිදුවීමක් යැයි පෙන්වූ ඔහු පැවැසුවේ පොලිස් අධිකාරිවරයා එවකට කොළඹ ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූවකුද නොවන බවය. මෙම අවාසනාවන්ත සිදුවීම කිසියම් නියම කරගත් වෙලාවක සිදුවනතුරු ලයනල් ගුණතිලක මහතාගේ නිවෙසේ රැඳී සිටි හෙතෙම එය සිදුවූ වහාම රොස්මිඩ් වලව්වට ඇතුළු වන්නට ඇතැයිද වීරමන්ත්‍රි සැක පළ කළේය.

නීතිඥ සේනක වීරරත්න මහතා ලියුම්කරු සමඟ පැවැසුවේ එවකට අනුර බණ්ඩාරනායක සමඟ රාජකීය ප්‍රාථමිකයේ උගත් තමා 26 දින රාත්‍රියේ රොස්මිඩ් වලව්වට යනවිට සිඩ්නි ද සොයිසා සාක්කුවල අත් දමාගෙන අගමැති දේහය වටේ සෙමෙන් ගමන් කරමින් සිටි බවය. බණ්ඩාරනායක ඝාතන නඩුවේ ප්‍රධානම සාක්ෂිකරුවා වූ නිවන්තිඩියේ ආනන්ද හිමි වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි නියෝජ්‍ය පොලිස්පති විසින් එළවා දැමීමෙන් පසු කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ එදින රාත්‍රියේ නතර වී සිට ඇති අතර පසුව ලසසප නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් දුන් උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දුන් බවද නඩු විභාගයේදී හෙළි විය.

මෙම සිදුවීමට අදාළව තවත් අමුතු කතාවක් ලියුම්කරුට නොබෝදා දැනගන්නට ලැබිණි. එය මෙසේය. කොළඹ 7 පෙදෙසේ ඉහළම පෙළේ බාළිකා විද්‍යාලයක පහළ පන්තියක එවකට ඉගෙනුම ලැබූ දැරියක විසින් එම කාරණය පවසා තිබිණි. දැන් ඇය 65 හැවිරිදි ප්‍රභූ කාන්තාවකි. සැප්තැම්බර් 25 වැනිදා උදේ 8.00ට ඇය කොන්වන්ට් එකට ගිය විට ඇය අසල අසුන්ගන්නා මිතුරිය ඇගේ කනට කර මෙසේ පවසා තිබේ.

"ඔයාට මම බඩුවක් කියන්නද..? ඔයා දන්නවද වැඩක් අද බණ්ඩාරනායක අගමැතිට වෙඩි තියනවා"

මේ කතාවේ බරපතළකමක් කුඩා දැරියක වූ ඇයට එම අවස්ථාවේ වැටහී නැත. එහෙත් මිතුරිය එසේ පවසා හරියටම පැයකට පසු අගමැතිට වෙඩි තබා ඇති බව ඇය පසුව දැන ගත්තාය. ජීවිතයේ යම් යම් කාලවල මතකයට පැමිණෙන මෙම සිදුවීම ඉංගීි්‍රසි පුවත්පතක පළවූ ලිපියක් කියවීමේදී නැවත මතකයට නැඟුණු බව ඇය පවසා ඇත. අදාළ කාරණය පැවසූ තැනැත්තිය බණ්ඩාරනායක මහතාට ඥාති සබඳතා ඇති ක්‍රිස්තියානි ප්‍රභූ පවුලක අයකු බවද ඇය සඳහන් කර තිබේ.

දැනට කොළඹ 7 විජේරාම පාර එවකට හැඳින්වූයේ මැකාර්ති පාර නමිනි. මැකාර්ති පාරේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ ටී.යූ. ද සිල්වා මහතා විසින් වන අතර 1958 බුරුම තානාපතිව සිටි පාලිවින් මහතා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ටී.යූ. ද සිල්වාට දායකත්වය ලබාදී තිබේ. විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉරිදා දිනයන්හි පැවැත්වූ භාවනා පුහුණු පන්තිවලට කොළඹ 07 බෞද්ධ ප්‍රභූ පවුල්වල දරුවන් සහභාගි වී ඇත. ඒ අනුව සිය දරුවන් තිදෙනා වූ අනුර, චන්ද්‍රිකා, සුනේත්‍රා ද භාවනා පුහුණුවට යැවීමට සිරිමා බණ්ඩාරනායක මැතිනිය කටයුතු කළාය. පී. ද ඇස් කුලරත්න මහතාගේ දරුවන් වූ අතුල, සංජය හා සංජීවද, සේනක වීරරත්ත, ගිරිජා රාජපක්ෂ ආදී බොහෝ දරුවෝ භාවනා මධ්‍යස්ථානයට පැමිණියෝය. ඔවුන් අතර දැනට ලංකාවෙන් බැහැරව ජීවත්වන සිඩ්නි ද සොයිසා මහතාගේ දියණියකද සිටියාය. චන්ද්‍රිකාගේ හා සුනේත්‍රාගේ මිතුරියක වූ ඇය මෙම කතාවට අනුව විශේෂ තැනැත්තියක වන්නේ ඇය කතෝලික ආගම අදහන පවුලක තැනැත්තියක වූ නිසාය. ඇය භාවනා පුහුණුව ලැබීම නොගැළපෙන අභව්‍ය කාරණයකි. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුවද රොස්මිඩ් වලව්වේ දරුවන් විපස්සනා භාවනාවට ගිය අතර එහිදී චන්ද්‍රිකා සහ ගිරිජා රාජපක්ෂ අතර සම්බන්ධයක්ද හටගෙන ඇත. ඊට බණ්ඩාරනායක මැතිනිය තදින් විරුද්ධ වූ බව ලියුම්කරු සමඟ පැවැසුවේ අධිනිතීඥ එම්.බී. රත්නායක මහතාය. එම විරුද්ධත්වයට හේතු වූයේ ගිරිජා රාජපක්ෂ හා සොයිසා පවුල් අතර ඥාති සම්බන්ධයක් පැවැතීම යැයිද රත්නායක මහතා පැවැසීය. කෙසේ වුවද එකල බෞද්ධාලෝක මාවතේ සිදුවූ මෝටර් රිය අනතුරකින් ගිරිජා රාජපක්ෂ මරණයට පත්ව ඇත.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon