බුඳුන් වදාළ අපණ්ණක ප්‍රතිපදාවේ මහිමය දැනගන්න ඉඩක්

  👤  3734 readers have read this article !
2018-04-15

අපණ්ණක සූත්‍රය දෙසා ඇත්තේ සාලා නම් වූ ගමෙහි බමුණන්ටය. මෙහිදී බුදුරජාණන් සාලෙය්‍යක බමුණනට හේතු යුක්ති පදනම් කොට ගෙන ඇති වූ හෙයින් ආකාරවතී යැයි කිව හැකි වූ තම ශ්‍රද්ධාවට ලක්වූ ප්‍රියමනාප වූ කිසියම් ශාස්තෘවරයකු ඇද්දැයි අසති. බමුණන්ගේ පිළිතුර 'නැත' යනුය. එබඳු ශාස්තෘවරයකු නැති කල අපණ්ණක ප්‍රතිපදාව අනුගමනය කළ යුතු යැයි බුදුරජාණන් ඔවුනට අනුශාසනා කරති. අපණ්ණක ප්‍රතිපදාව කෙටියෙන් ගතහොත් එයින් කියැවෙන්නේ,

'ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත

හලොත් යෙහෙකි පව් කම් නොතබාම සිත'

යනුය. මෙයින් පරලොවක් ඇත කියා හෝ නැත කියා හෝ ස්ථීර නිගමනයකට නොබැස වුවද අකුසල් දුරුකොට විසීමේ අගය දැක්වෙයි. එහෙත් මේ සූත්‍රයෙහිම පරලෝකයක් කුශලාකුශලයන්ගේ විපාකත් ඇති බව පැහැදිලිවම කියා තිබේ. මේ සූත්‍රයෙහි ඇතැම් මහණ බමුණන් නැතැයි ද ඇතැමුන් ඇතැයිද කියා සිටින කරුණු පහක් දක්වා තිබේ. ඇතැම් මහණ බමුණෝ මෙසේ කියති.

1. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාකද පරලෝකය ද ඕපපාතික සත්ත්තවයෝද මේ ලෝකය හා පරලෝකය විශිෂ්ට ඥානයෙන් තමාම ප්‍රත්‍යක්‍ෂ කොට ලොවට හෙළි කරන මහණ බමුණෝද නැත.

2. ප්‍රාණඝාතාදිය කරන්නාට පවකුත් දානාදියෙහි යෙදෙන්නාට පිනකුත් සිදු නොවේ.

3. සත්ත්වයන්ගේ පිරිසුදු වීමටත් කෙලෙසීමටත් හේතුවක් ප්‍රත්‍යයක් නැත. සියලු සත්ත්වයෝ නියත සැප දුක් කොටසක් විඳ අහේතුක ව පිරිසුදු වෙති.

4. අරූප ලෝක නැත.

5. සම්පූර්ණ භව නිරෝධයක් නැත.

(මේ මත පිළිබඳවම වෙනත් සමහරු මීට ප්‍රතිවිරුද්ධ මත දරති)

මෙයින් වඩා දරුණු ප්‍රතිඵල දක්වා ඇත්තේ මුල් මත තුන සම්බන්ධයෙනි. මෙහි මුලටම සඳහන් භෞතිකවාදීන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේය. ිඔවුන් අකුසලයන්ගේ ආදීනවයත් කුසලයන්ගේ ආනිසංසත් නොදක්නා නිසා ඔවුන් කාය දුෂ්චරිතාදී අකුසලයන්හි යෙදීම බලාපොරොත්තු විය හැක්කකි. ඔවුනට ඇත්තාවූම පරලෝකය නැත්තේය යන දෘෂ්ටියක් ඇත. මෙය මිථ්‍යා දෘෂ්ටියකි... ඔවුහු ඇත්තාවූම පරලෝකය නැතැයි කියති. මෙය මිථ්‍යා වචනයකි. ඔවුහු පරලෝකය දන්නාවූ රහතුනට විරුද්ධව කටයුතු කරති... අසද්ධර්මයක් ලොවට දෙසති....මේ මිථ්‍යා දෘෂ්ටිය නිසා අනේක වූ ළාමක වූ අකුසල ධර්ම ඇති වෙයි මේ කොටස මේ සූත්‍රයෙහි එන්නේ බුදුරජාණන් වහන්සේගේම අදහසක් ලෙසය. ඊළඟට ඔවුන්ගෙන් බණ අසන නුවණැත්තකු කල්පනා කරන හැටි දැක්වෙයි. ිපරලෝකයක් නැති නම් කමක් නැත. පරලෝකයක් ඇති නම් මොහු මතු දුක් ඇති නිරයෙහි උපදී. පරලෝකයක් නැතත් මොහු මෙලොවදීම නුවණැත්තාන්ගේ ගර්හාවට ලක් වෙයි. පරලෝකය ඇති නම් මොහුට දෙලොවදීම පරාජයකිීී.

සෙසු පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන්ම ඒ මතයට අනුව මේ කරුණු මීට සමාන ලෙස දක්වා තිබේ.

මීළඟට සන්දක සූත්‍රයට සිත යොමු කරමු. මේ සූත්‍රය අනඳ හිමියන් විසින් සන්දක නම් පිරිවැජියාට දෙසන ලද්දකි. මෙහිදී අනඳ හිමියෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද අබ්‍රහ්මචරියවාස සතරකුත් ඇතැයි කියා ඒවා පහදා දෙති. අබ්‍රහ්මචරියවාස නම් නියම ආගමික ජීවිත නොවන ඒවාය. අබ්‍රහ්මචරියවාස ලෙස දක්වා ඇත්තේ බ්‍රහ්මචරියවාසයෙහි විශේෂ ප්‍රතිඵලයක් දැක්වීමට සමත් නොවන දහම්ය. මෙහි මුලටම දක්වා ඇත්තේ මරණින් පසු සත්ත්වයා ඉවර යැයි උගන්වන භෞතිකවාදයයි. භෞතිකවාදය සත්‍ය නම් ආගමික ජීවිතයක විශේෂ ප්‍රතිඵලයක් දැක්විය නොහැකි බව මෙහිදී කියා තිබේ. මේ අනුව සලකා බලන විට නියම ආගමික ජීවිතයක් සඳහා කුසලාකුසල කර්මවලට අනුව විපාක ලැබෙන මරණින් මතු ජීවිතයක පැවැත්ම පිළිගත යුතු බව නිගමනය කළ යුතුවේ. කෙබඳු ජීවිතයක් ගත කළත් මරණින් මතු හැමදෙනාම එකසේ කෙළවර වෙත් නම් විශේෂ මහන්සියකින් ගෙන යනු ලබන ආගමික ජීවිතයෙහි විශේෂ ප්‍රතිඵලයක් දැක්විය නොහැකිය. පරලෝකයක් නැතත් අකුසලයෙන් වැළැකීමේ සාන්දෘෂ්ටික සුවය ගැන පමණක් සලකා බලා අකුසලයෙන් වැළැකෙන්නන් සිටින්නේ ඉතා ටික දෙනෙකි. තවද සූත්‍ර සිය ගණනක සත්ත්වයා මරණින් පසුව කර්මානුරූපව උපදින බව දිවැසින් දැක ගත හැකි යැයි කියා තිබේ. මේ නිසා පුනරුත්පත්තිවාදය බුදුසමයට පටහැනිය, අනවශ්‍යය, යන මත දෙකම වැරැදි බව කිව යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon