ජනවහරේ බැඳී - හද ගැඹුරේ රැඳී තුඩ තුඩ රැව් දිදී පානා අරුත් සැදී

  👤  3649 readers have read this article !
2018-04-15

ලංකාවේ මෙන්ම ලෝකයේද විවිධ ජන කොටස් අතර විවිධ විශ්වාස සහ මතිමතාන්තර බොහොමයක් තිබේ.

බිම නොලගින උසක ලගින කුකුළා ගෙදරක සිටීම විශේෂයෙන් සුදු කුකුළකු සිටීම වාසනාවේ සංකේතයක් බවත්, එසේම සුදු ගවයකු සිටීමද වාසනාවක් බවත් සලකන ලදී.

වැදගත් ගමනක් පිටත්වන විට කුකුළා හැඬලීම එය සාර්ථක වන බවට පෙරනිමිත්තක් සේ ඔවුහු සැලකූහ. අනිකක් තබා කුකුළු රුව සහිත පිත්තල පහනක් ගෙයක තිබීමත් වාසනාවක් බව ඇදවූහ. එය සෞභාග්‍ය උදාකරවන සලකුණක් සේ සැලකූහ. අලි, ඇතුන් ඉදිරියට හමුවීම වාසනාවක් හෙවත් සුබ නිමිත්තක් ලෙස මීට බොහෝ කලකට පෙර සිට සලකන ලද බව පෙනේ.

'ගෘහාශ්‍රිත සත්ත්වයකු වූ බල්ලා පිළිබඳව ද අපේ ඇත්තන් තුළ විවිධ විශ්වාස ගොඩනැඟී තිබිණි. ගමනක් පිටත් වන විට බල්ලා කන්පට ගැසුවොත් ඒ ගමන සාර්ථක නොවේ. එනිසා ටික වේලාවක් නැවතී සිට යෑම අපේ අයගේ සිරිතයි. කෑරලා හැ¾ඩීමද ගමනක අසාර්ථක භාවය කියාපාන තවත් සලකුණක් බව ඔවුහු සිතූහ. උදෑසන තනි පොල්කිච්චකු දැකීම ද අසුබ ලකුණක් බව එදා මිනිසුන් සිතූ අතර ඔවුන්ගේ යුගලයක් දැකීම සතුටුදායක එකකි. බස්සා, බකමූණා සහ උලමා හැ¾ඩීමද අසුබ දනවන කරුණු ලෙස සත් කෝරල වැසියෝ සිතූහ. එසේම කණකොකා තුන්වරක් කෑ ගසාගෙන ගෙය උඩින් පියාඹා යෑම අසුබ පෙරනිමිත්තක් බව ගැමියෝ විශ්වාස කරති.

කපුටා පිළිබඳව ද අපේ ඇත්තන්ගේ විවිධ විශ්වාසයන් තිබිණි. ගෙය ඉදිරියේ ගසක අත්තක හිඳ කපුටා හඬන විට නෑදෑයන්ගේ පැමිණීමක් දනවන බව සිතති. මලහිරු බසින යාමයේ ගේ ඉදිරිපස සිට කපුටා හැ¾ඩීම අසුබ ලකුණකි. දිරාගිය අත්තක හිඳ කපුටා හැ¾ඩීමද අසුබ කරුණක් විය.

දෙමලිච්චන් රංචුවක් මිදුලේ කෑ ගැසීම ළඟ වැසි එන බව කියන සංකේතයකි. පරවියෝ, ගේ කුරුල්ලන් සහ මී මැසි ජනපදයක් නිවෙසට පැමිණීම සුබ නිමිති ලෙස සැලකූ බව පෙනේ. එහෙත් ඔවුන් නිවෙස හැරදමා යෑම අසුබ නිමිත්තක් බව කියති.

කළු බළලෙකු ඉදිරියට හමුවීම අසුබ පෙරනිමිත්තක් ලෙස සත් කෝරල වැසියෝ සැලකූහ. අමිහිරි හඬකින් බළලුන් පොරකන ශබ්දය අසුබ එකකි. එහෙත් බළලාගේ ඉදිරියේ සිට මුහුණ පිසදැමීම නෑසියන් එන බවට පෙරනිමිත්තක් බව බොහෝ දෙනා සලකනු ලැබේ.

බල්ලන් උඩුබුරා දැමීමෙන්, නරියන් හූ හඬ දීමත් අසුබ දේ ලෙස සත් කෝරල වැසියෝ සැලකීමට පුරුදු වී සිටිති.

නිවෙසට කබරගොයකු පැමිණීම අසුබ ලකුණක් ලෙස සැලකුවද තලගොයකු පැමිණීම සුබ ලකුණක් බව විශ්වාස කරනු ලැබේ. ගැර¾ඩියකු හෝ නයකු ගෙට පැමිණීමද අසුබ ලකුණක් සේ අපේ පැරැන්නෝ සැලකූහ.

තවද ඇත්, අස්, රිය, පාබළ යන පිරිස ඉදිරියට හමුවීමත් සුදු ගවයා, හංසයා, මොනරා යන සතුන් හමුවීම ද සුබපල දායක බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

තුඹසක් තුළින් මෙරුවන් මතුවීම, ගුල්වල සිටින කුහුඹු වර්ගවලට පිහාටු ලැබී ඉගිළීම ද වර්ෂාව ළඟ එන බවට පෙරනිමිති ලෙස අපේ පැරැන්නෝ විශ්වාස කළ බව පෙනේ. එසේම උකුස්සන් අහසේ පියාසර කිරීම, ඔවුන් කෑ ගැසීම්, හිකනලුන් කෑ ගැසීම වර්ෂාවක පෙරනිමිති ලෙස එදා අපේ මී මුත්තෝ සලකා තිබේ.

බස්සා වහලයට වැටීම අසුබ නිමිත්තකි. ඉර බසින විට බස්සකු ගේ ඉදිරිපිට ගසක සිට දින කීපයක් කෑ ගැසීම අසුබ ලකුණක් ලෙසද අපේ පැරැන්නෝ විශ්වාස කළහ.

රාත්‍රි කාලයේ කිරළා බිම අසල පහතින් සිට නාද කරන්නේ නම් එක්කෝ උෟරකු වන නිසා විය හැකිය. නැතහොත් නිශාචර සර්පයකු නිසාය. මිනිසෙක් ගමන් කරන විට කිරළා හඬනුයේ අහසේ තරමක් ඉහළින් පියාසර කරමින් බව අපේ අය දනිති.

සතුන්ට පරිසරය පිළිබඳ පුදුමාකාර අවබෝධයක් ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. අපේ මුතුන්මිත්තෝ කාලයක සිට ඒ බව තේරුම් ගෙන සිටියහ. පරිසරයේ ඔවුනට නිතර දක්නට ලැබෙන පක්ෂීන් කුරා කුහුඹුවන්, ගවයන්, බල්ලන්, නරියන් වැනි සතුන්ගෙන් ඔවුහු පරිසරයේ හා කාලගුණයේ වෙනස්වීම් අවබෝධ කරගෙන සිටියහ.

මහ කන්නයේ වැස්ස පුරන විට බටහිර අහස ගුරු දැමීම වැසිපල අඩුවන ලකුණක් ලෙස ඔවුහු දුටහ. මේ දැක්ම නුවර කලාවිය ප්‍රදේශයට ද හරි බව සමහර ලෝඛකයෝ තමන්ගේ පොත්වල සටහන් කොට තිබේ. පැරැණි කියමනක් තියෙනවා මහ කන්නයේ අහස ගුරු දාලා තිබුණොත් "මීගොන් විකුණල දඩ බල්ලෝ ඇති කරන එක හොඳයි කියල" ඒ කියන්නෙ වැසිපල අඩු නිසා නැවත දඩයමේ යන්ට වෙනව කියන එකයි.

මේ වැස්ස ගැන කතා කරනවිට අපේ පැරැණි අයගෙ මෙන්න මේ වාගේ විශ්වාසයක් තිබිල තියෙනවා. සාමාන්‍යයෙන් බිනර කළුවට පෙර කපුටිය පැටව් දානවලු. පැටව් ගණන එකානම් වැසිපල හොඳටම අඩුලු. පැටව් දෙන්න නම් සාමාන්‍යයෙන් වැසි ලැබෙනවලු. පැටව් තුන්දෙනා නම් හොඳට වැසිපල තිබේලු.

තවත් කතාවක් තියෙනවා වඩු කුරුල්ලන් ගැන. සාමාන්‍යයෙන් වඩු කුරුල්ලා කූඩු සාදන්නේ වැව් තාවුල්ලේ තියෙන ගස්වල. ඒ ගසේ පහළින් කූඩු එල්ලෙන්ට හදල තියෙනව නම් වැසිපල අඩුයිලු. ගසේ ඉහළින් කූඩු හැදුවොත් වැස්සට වැව පිරෙන කොට කූඩුවලට වතුර අල්ලනවලු. ඒකලු ඉහළින් කූඩුව සාදන්නෙ. ගසක ඉහළට වෙන්නට වඩු කුරුල්ලා කූඩුව තනා තිබේ නම් වැස්ස හොඳට වැහැලා වැව පිරෙන බව අපේ ගැමියො අත්දැකීමෙන් දන්නව. ඒක නිසා වඩු කුරුල්ලා වැව පිරෙන කොට තම කූඩුව ජලයට යට වෙන්ට පහළින් හදන්නේ නැති බව අපේ පුරාණ ඇත්තෝ කියනවා.

උකුස්සා ද අපේ ජනතාවට සන්නිවේදන සපයන සතකු බව අපේ පැරැන්නෝ හඳුනාගෙන සිටියහ. උකුස්සා මිනිස් වාසයෙන් තරමක් අෑත් වී සිටින පක්ෂියෙකි. උකුස්සන් කීපදෙනකු අහසේ සැරිසරමින් කෑ ගසන්නේ නම් වර්ෂා කාලය ළඟ එන බව සත්කෝරල වාසීන්ගේ විශ්වාසය විය. ඊට පෙර වර්ෂාවෙන් ආරක්ෂා කරගත යුතු දේවල් තිබේ නම් ඒවා නොතෙමෙන ලෙස ප්‍රවේශම් කර ගැනීමට එදා අපේ අය සැලකිලිමත් වූහ.

එක් එක් සතුන්ගේ කෑ ගැසීම අනුව ඒ හඬ කවර සතකුගේ ද උෟ එසේ කෑ ගසන්නේ කවර හේතුවක් නිසාද යන්න තේරුම් ගැනීමට අපේ පැරැණි අය දැන සිටියහ. මුවාගේ ශබ්දයට අපේ අය එදා කීවේ පොලුහන් දීම යනුවෙනි. මුවන් කරුණු කීපයක් සඳහා පොලුහන් දෙන බව අත්දැකීමෙන් පැරැන්නෝ තේරුම් ගත්හ. ඒවා අතර පහත සඳහන් දේ ඇතුළත්ව තිබේ. එනම් මුවා උගුලක පැටලීම, කොටියකුට හසුවීම, වැල් ගොල්ලක පැටලීම, මුව නෑම්බියක් ගෙන්වා ගැනීම යන කරුණු නිසාය.

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon