ඓතිහාසික රෝහණ රාජ්‍යයේ සාක්ෂි රැසක් විසිරුණු සීත කන්ද ආරණ්‍ය

  👤  3452 readers have read this article !
2018-04-15

උෟව පළාතේ මොනරාගල දිසාවේ මොනරාගල නගරයට සැතපුමක් පමණ දුරින් මේ ස්ථානය පිහිටියේය. නගරයේ ඇති බස් නැවතුම්පොළ ළඟින් කුමාරවත්ත දක්වා ඇති මාර්ගයේ මඳ දුරක් ගොස් රබර් ස්ටෝරුව අසලින් හැරී ලැයින් අතරින් ගිය පසු ‍ෙදාළක් හමුවේ. ඉන් එගොඩව තව ටික දුරක් කන්ද නැඟි පසු සීතාකන්ද ආරණ්‍යයට පැමිණිය හැකිය. මේ කඳු ගැටය මොනරාගල කඳු වැටියේම කොටසකි.

මේ කොටස වෙනම සීතාකන්ද යනුවෙන් හැඳින්වෙන්නේ සීතා කුමරියට සම්බන්ධයක් ඇති නිසා නොවේ. වැරැදි ව්‍යවහාරයකි. එය සීතකන්ද විය යුතුය. මේ කන්ද සීත ගතියෙන් වඩා යුක්තය. එහි සෑම තැනම පිරිසුදු ජල උල්පත් තිබේ. විශාල ගල් කුළු හැමතැනකම එකට යාව පිහිටා ඇත. ඒවායේ පිහිටි කුහර දුර්ග පුදුම එළවනසුලුය. මේ කුහර මිනිසුන් සියයකට වුවද සැඟවී සිටිය හැකි තරමේ ඒවා වෙයි. එසේම ඒ තුළින් දිය උල්පත්ද ගලා යයි. කන්දේ පසෙකින් ගලා බස්නා සීතල පිරිසුදු ජලය රැඳී ‍ෙදාළ කුමාර‍ෙදාළ යන ඓතිහාසික නමින් හැඳින්වෙයි.

මේ කඳුවැටියේ සිවුරැස් සැතපුම් භාගයක් පමණ ප්‍රදේශයක විසිරී ගිය නටබුන් සීතාකන්ද පූජනීය භූමියට අයත් වේ. මෙහි මුල් කොටස දැන් රබර් වත්තක් ලෙස වගා කර ඇති කොටසකට අයත් වෙයි. එහි සාමාන්‍ය ප්‍රමාණයේ ලෙනක් ඉදිරියෙන් ගල්කණු සිටුවා බිත්ති බැඳ සකස් කර විහාර ගෙයක් තනා තිබේ. එය ගරා වැටී කණු ගැලවී ගඩොලු විසිරී ඇත. එම සුන්බුන් ගොඩැල්ල මත ප්‍රතිමාවක කොටසක් වෙයි. එය ශෛලමය බුද්ධ ප්‍රතිමාවකි. දැනට ඇති කොටස අඟල් 34ක් උස් වේ. හිස පාද ආදිය නැත. මෙහි දර්ශනීය ලෙන් විහාරයක් තිබී විනාශ වී ගිය බව පෙනේ. වගාව නිසා පුරාවස්තුවලට මහත් සේ හානි සිදුව ඇත.

මේ ලෙන් විහාරයට යාර 300ක් පමණ උතුරට වන්නට කන්දේ අනෙක් කොටස පිහිටියේය. මෙහි ලෙන කටාරම් කොටා තිබේ. දකුණු පැත්ත හා වයඹ දිග පැති ලෙන හැටියට වෙයි. මෙහි ලෙන පිහිටි ගලට යාව ඇති තවත් ගල් කුළකි. මේ ගල් කුළු දෙකම යොදා ගනිමින් ලෙන තට්ටු කිහිපයකට සිටින සේ සාදා තිබුණු බවක් පෙනේ. ඉන් එක් තට්ටුවකට නැඟීමට පර්වතයේම නෙළන ලද පියගැට පෙළ දෙකක් වෙයි. ඉන් එකක් පියගැට 16ක්ද අනෙකේ පියගැට 12ක්ද වේ. ලෙනේ පැරැණි යුගයේ සාදන ලද 18 රියන් ඔත් පිළිමයක් විය. මැටි හා ගඩොලු මේ සඳහා යොදා තිබිණි.

එසේම ඉදිරිපස අඩි 3 උස අඩි 3 පුළුල් පැරැණි බිත්තියද ඉවත් කර තිබේ. ලෙන සුද්ද කරන කල එහි පස් යට තිබී පහත සඳහන් දේ ලැබී ඇත.

අඬු සහිත හක් බෙල්ලෙක්, මෙය තුළ බුදු පිළිම 2ක් විය. ඉන් එකක් අඟල් 3/4ක් ද අනෙක් අඟලක්ද උසය. ඉතා සියුම් ලෙස මේ පිළිම කලාත්මකව සාදා තිබේ. එසේම කුඩා නිල්කැට 1, රතුකැට 5, අඟල් 1/4 පුළුලු රන්පත් ඉරු කැබලි 1, සිවුරැස් කුඩා පච්ච ගල් 1, මාල ඇට 10, විශාල මාල ඇට 1, පිළිමයේ නිධාන කර තිබී ඇත.
මෙහි තවත් පිළිම කිහිපයක් හමුවී තිබේ.

මෙය රැස් වළල්ල සහිතව ගලින් නෙළා තිබේ. උස අඟල් 15කි. ආසනයේ පිටුපසින් බෝධියද නිරූපණය කරයි. සිරසින් වෙන්වුවද කැබලි දෙකම තිබේ.
මැටියෙන් කළ පිළිමයකි. කැබලි 3ට තිබී මෑතදී පාස්සා ඇත. එය උස අඟල් 4කි.

මේ පිළිමය මෙරට කිරිගරුඬ ගල යැයි භාවිත පාෂාණ වර්ගයෙන් කර තිබේ. එහි පසුතලයේ බෝධිය නිරූපිතය. මෙය අඟල් 2 උස වේ.

පැරැණි මැටි පහනක්, පැරැණි යකඩ තලයක්, පැරැණි කාසි 1ක්, වෙඩි උණ්ඩ හැඩය ඇති අඟල් 1/2 දිග රවුම් ඊයම් කැටයක්, ලෝහයෙන් සෑදූ භාජන පියනක්, උදලු තල 2ක්, මන්නයක් යන මේ ද්‍රව්‍ය තිබිණි. තවත් පුරාවස්තු තිබෙන්නට ඇති බව පෙනේ. එහෙත් අක්‍රමවත් හෑරීම නිසා ඒවා විනාශ වන්නට ඇත. බුදු මැඳුරු ලෙනට පහළ ගල් ලෙනක ඇති පොකුණක තිබී ලැබුණු පිත්තල තැටියක් හා පිත්තල පහනක්ද මේවාට එක්කර තිබේ. තවත් ඉහළ ලෙනක තිබී මැටි කරඬු රැසක් ලැබී ඇත. මේවා කුඩාය. චාම්ය. මින් හතරක් හොඳින් තිබේ.

විහාර ලෙන තුළ ඔත් පිළිමය අසලින් තිබුණු බුද්ධ ප්‍රතිමාවක කොටසක් දැනට ලෙනට යාව ඇති පර්වතයට හේත්තු කර තිබේ. මෙය අඩි 4ක් උසය. සිරස නැත. දෙදණ ළඟින් වෙන්වී ඇත. මෙම ශෛලමය පිළිමයක කොටසකි. විහාර ලෙන් ‍ෙදාරටුව අසල සඳකඩපහණ ගලෙකි. එය රේඛා සටහන් පමණක් ඇති චාම් වූවකි.

ඉහතින් කී ලෙනට බටහිර අතින් අඩි 80ක් පමණ දිග චතුරශ්‍ර ගොඩනැඟිල්ලක ශේෂ දක්නට ලැබේ. පැළුෑ ගලින් කළ අත්තිවරම් හා ගල්කණු, පියගැට උළුවහු පඩි කඳන්, පාදදෝනි, කණු, පාදම්ගල් හා ගඩොලු මහත් රැසක් තිබේ. මේ ගොඩනැඟිල්ල ගරා වැටුණාට පසු මෑත යුගයක එහි කොටස් අක්‍රමවත් ලෙස ඉවත් කිරීමෙන් එහි ස්වරූපය විනාශ වී ඇති බව පෙනේ. මේ හැර කන්දේ ලෙන් කිහිපයකම පියගැට, ගල් ආසන හා උළුවහු පඩිකඳන් හා පියගැට පෙළවල වෙනත් ශේෂ දක්නට ලැබේ. මෙහි හැම පර්වතයකම කිසියම් ප්‍රයෝජනයක් සඳහා ගොඩනැඟිලි හෝ වෙනයම් එවැනි යමක් සකස් කර තිබූ බවක් පෙනෙන්නට තිබේ. එක් පර්වතයක සිට තවත් පර්වතයකට ගල්වලින් කළ පාලමකි.

මෙහි පැතලි වූ විශාල පර්වතය මත ගොඩනැඟිල්ලක් සෑදීමට සාරන ලද වළවල් විශාල ප්‍රමාණයක් ඇත. ලී කණු භාවිතයෙන් විශාල ශාලාවක් වැන්නක් මෙහි ඉදිකර තිබෙන්නට ඇත. විහාර ලෙනට වයඹ පැත්තේ වූ ලෙනේ කොටස දැනට භික්ෂු වාසයකි. කන්දේ තැන තැන තිබී හමුවූ පුරාවස්තු මෙහි තැන්පත් කර තිබේ. ඒ අතර මැටි භාණ්ඩ කිහිපයක්, කැටයම් සහිත මැටි පතුරු කොත් කැබලි, මැටියෙන් කරන ලද පහන් කණුවක කොටසක් ආදිය දක්නට ලැබේ.

මෙහි කටාරම් කොටන ලද ලෙන් සමූහයක්ම ඇතත් පුදුමයකට මෙන් එකම ලෙනකවත් ලිපියක් නැත. එහෙත් කෙටි පර්වත ලිපි දෙකක් ඇත. එයින් එකක් ලෙනක් පිහිටි ගලක පැත්තක පේළි දෙකකට වන්නට කොටා ඇත. අනෙක් ලිපි ලෙනේ විහාරය අසල බුදු පිළිම කැබැල්ල තබා ඇති පර්වතයේ බෑවුමේ කොටා ඇත. මේ ලිපිය මුල් ලිපියට වඩා විශාලය. ලිපි දෙකින්ම කියැවෙන්නේ ස්ථානයට කරන ලද පූජාවන් පිළිබඳ තොරතුරු බව පෙනේ. මේවා තවමත් පිටපත් කර නැත.
සීතාකන්ද පූජනීය ස්ථානයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම අනාවරණය වී නැත. මෙහි කිසිදු ගවේෂණයක් කර නැති බැවින් මේ පුරාවස්තු ගැන ඇති වාර්තාව මෙය පමණක්ද විය හැකිය. ඒ නිසා මේ පිළිබඳව මඳ වශයෙන්වත් විමසීම වැදගත්ය. මේ ස්ථානයේ ආරම්භය පො.වර්ෂ පූර්ව පළමුවැනි ශතකය තරම් අතීතයටයේ. මෙහි ඇතැම් ලෙන්වල කටාරම් කෙටීම, එම යුගයේ කර ඇති බව පෙනේ. මුලින්ම භික්ෂුන්ගේ ආරණ්‍ය සේනාසනයක් වශයෙන් ආරම්භ වී ඇත. පො. වර්ෂ 4 වැනි සියවස පමණ වනවිට මෙහි විහාර කර්මාන්තය කෙරී තිබේ. බුදු පිළිම දෙකක නිමාව මේ යුගයේ කලා ලක්ෂණ පෙන්වයි. සෙල්ලිපි දෙක 8-9 සියවස්වලට පමණ අයත් වන බව පෙනේ. මේ කාලය තුළ මහායාන බලය රෝහණයේ පූජනීය ස්ථානවලට තදින් බලපෑ යුගයකි. ඔත් පිළිමය මේ යුගයෙන් පසුව නිර්මාණය කරන්න ඇත. එහි ශේෂය තිබූ ගඩොලු ආදිය මෑත යුගයට අයත් ලක්ෂණ ඇති බව පෙනේ.

මේ ස්ථානය 14 වැනි සියවස වනවිට සම්පූර්ණයෙන් වනයට බිලිවන්නට ඇත. එහෙත් පොළොන්නරු යුගයේ මොනරාගල ප්‍රදේශයේ දේශපාලන වශයෙන් වැදගත් තැනක් ගත්තේය. 1. විජයබාහු කුමරු සොළීන්ට විරුද්ධව කළ සටනේදිත් 1 පරාක්‍රමබාහු රජු ලංකාව එක්සත් කිරීමට කළ සටනේදීත් මොනරාගල ප්‍රදේශයේ බෙහෙවින් වැදගත් වී ඇත. කලක් අටදහස් රටේ අගනුවර වූ උදුන්‍ෙදාර මොනරාගල අසල වූ බව පිළිගැනීමයි. මේ යුගයේ මේ කඳුවැටියේ හැම තැනම බළකොටු පිහිටා තිබූ බවට සීතා කන්දෙන් සාධක ලැබේ. එහි සෑම ගල් කුලකම ඇති ගොඩනැඟිලි තිබූ බවට ඇති ලක්ෂණ මෙහිලා ප්‍රධාන තැනක් ගනී. පිහිටි ගල් මත ලී භාවිතයෙන් විශාල ශාලා වැනි ගොඩනැඟිලි මෙහි තනා ඇත. එමෙන්ම ගල් කුළු අතරින් සෑදී ඇති සුවිශාල කුහර ආරක්ෂා ස්ථාන ලෙස භාවිත කළ බවට කරුණු පෙනේ. මරගල වැසි බුද්ධ සෙනෙවියාගේ බළකොටුව මේ සීතාකන්දේ පිහිටි බවට සිතිය හැකිය. ඔහු සොළීන්ට විරුද්ධව දැඩි සේ ක්‍රියා කළ සෙනෙවියකි. මේ කාලයෙන් පසු ස්ථානය වල් බිහිවී ගියේය.

ඉංගී්‍රසීන්ගේ කාලයේ වෙල්ලස්සේ විමුක්ති අරගලයට සම්බන්ධ රණවිරුවකු වන බූටෑවේ රටේරාල මේ ප්‍රදේශයේ සිටි බව කියති. ඔහු කුඹුක්කන් ඔය ඇසුරු කර හීන් දිවුලන, කුඩා දිවුලන හා මහ දිවුලන නමින් වැව් කිහිපයක් කරවා ඇත. වෙල්ලස්ස අරගලයේදී සැඟවී සිටි ස්ථානයක් හැටියටද මේ ස්ථානය ජනශ්‍රැතියට එක්වී තිබේ. සීතාකන්දෙන් ගලා යන කුමාර‍ෙදාළ රජදරුවන් දිය නෑ තැනක් හැටියටද මේ ජනශ්‍රැතිවල කියැවෙයි. වතු වගා ව්‍යාපාරය පැතිරයත්ම මෙහි වනාන්තරය බිලිගනිමින් කොකෝවා හා රබර් වගා වන්නට විය. බුදු ලෙන 1969 පමණ වනතුරු වත්තේ පෝර ගබඩාව වූයේය. 1977 සිට නැවත වාරයක් මෙහි භික්ෂු වාසයක් විය. නවකමින් යුත් බුදුලෙන සහ ආවාස ලෙන හා නා තුරු සෙවණ මැද රෝපිත බෝධි අංකුරය හැර මෙහි වෙනත් නූතන ඉදිකිරීමක් නැත. සුළු ආරණ්‍ය සේනාසනයක් ලෙස මෙය පවත්වාගෙන යයි. මෙහි සියලු පුරාවස්තු
ගවේෂණය කර වාර්තා ගත කළ යුතුව ඇත.

සැකසුම - එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්