කවිය කාගෙවත් පරවේණියක් නෙවෙයි

  👤  3587 readers have read this article !
2018-04-15

1. කොහොමද ඔබ මුලින්ම කවි ලියන්න පෙලඹෙන්නේ?

මිනිස්සු දේවල් කරන්න ගන්නේ හේතුවක් ඇතුව. නැතිනම් අහේතුකව. මම කවි ලියන්න ගන්නේ හේතු ඇතිව. එකක් තමයි දීලීප් කුමාර ලියනගේගේ ඇසුර. අනෙක කවියට නිමිති වට පිටාවේ ඕනෑ තරම් තිබුණා. කවිය ලොකුවට අත නොගහපු මුල් කාලේ කවි ලියන්න නොවටිනා දේවලුත් කවි බවට පෙරළුණා.

2. කවියකුට ඕනෙම නිමිත්තක් නිර්මාණශීලීව කවියක් බවට පෙරළන්න පුළුවන්. ඔබ කියන ඔබේ වටපිටාවේ තිබුණු "විශේෂ කවි නිමිති" මොනවාද?

නිමිතිවල විශේෂයක් නෑ. ලියන විධියෙන් සහ මතුකරන දේවල්වලින් තමයි කවියට රහක්, බරක්, පාටක් වැටෙන්නේ. මහා කාරණාවල නැති බරක් ක්ෂුද්‍ර සිද්ධීන් ඇතුළේ තියෙන්න පුළුවන්. කන්දක් කඩන් වැටෙද්දී ඒ කම්පනය මතු කරන කවියට වඩා ගහකින් කොළයක් හුළඟට වැටෙද්දී ලියවෙන කෙටි කවියක මහා කම්පනයක් සහ ගැඹුරු අරුතක් මතුවෙන්න පුළුවන්. මට හේතු වුණේ ආත්ම මූලික කාරණා. කාලයත් එක්ක අපි ගුහාවෙන් එළියට එනවා. ඊට පස්සෙ සමාජ මූලික කාරණාව ඉව කරනවා.

කොහොමත්ම කවි ලියන දෙයක් නෙවෙයි. ලියැවෙන දෙයක්. වැඩබිමේදී, පාරේදී, ගෙදරදී, මේ කොතැනක වුණත් මාව හාරන පාරන ගස්සන නිමිත්තක් හදවතේ ඇමිනුණොත් කවි ලියැවෙනවා. හැබැයි ගොඩක් හෙමින්.

3. ටිම්රාන් කීර්ති කියන්නේ ලංකාවේ සුවිශේෂී කවි සලකුණක්. කෙහොමද ඇත්ත ජීවිතයේ ඇත්ත චරිත මේ තරම් සහෘදයා කම්පනය කරවන්න ජීවමාන කරන්නේ අකුරුවලින්?

නූතන කවිය කියන්නේ විශාල සිතුවමක්. විවිධ කවියෝ, කිවිඳියෝ තමුන්ගේ පාටවලින් ඒ සිතුවම වර්ණ ගන්වනවා. හැම පින්සල් පාරකම මොනවා හරි දෙයක් තියෙනවා. සමහර වෙලාවට දීප්තිමත් සමහර වෙලාවට දුර්වර්ණයි. හැබැයි මේ වර්ණ එකතුවී පොදුවේ එළිය අඳුරු තැන් පාඨකයන්ගේ විඳුම් පිළිවෙළ අනුව විවිධ මානයන්ගෙන් කියවගන්න පුළුවන්.

මට කියන්න දේවල් ගොඩක් තිබුණා. පහසුම ප්‍රකාශන මාධ්‍ය කවියනේ. වෙනත් මානයන්වල නිර්මාණකරුවන්ගෙත් උපත තියෙන්නේ කවිය. කවියෝ, කිවිඳියෝ ලියන්නේ තමුන්ගෙන් නිදහස් වෙන්න. මාත් එහෙමයි. ඒත් ඉතින් අපි එළියට අපේ කවි දෙනවා නම් කවි කියවන මිනිස්සුන්ට නතරවෙන්න තැන් ඒවගේ තියෙන්න ඕනා. මිනිස්සුන්ගේ විත්ති කතා කවියට ගෙන එන එක තරමක් අමාරු වැඩක්. සතුටු සිනා සුසුම් තැවුල්වල භවික චිත්‍ර කවියට ගේද්දී අපි අත්දැකීම් හීනතාවයකින් පෙළෙනවා නම් අපේ කවි සිරුරු වැනෙන්න ගන්නවා. මං විඳපු ජීවන අත්දැකීම් කවියට ගේද්දී විශ්වාසයකින් ලියන්නේ. මගේ කවිය ඒඅඊ වෙලා නැතුව ඇති තාම. හැබැයි මං දන්නවා ගලක් උඩින් කාලයක් යද්දී අඩි පාරක් හැදෙන බව. මිනිස්සුන්ට මගේ කවි දැනෙනවා නම් ඒක මහා සතුටක්.

4. සෑම කවියකම කවියා නියෝජනය කරන ජීවන දෘෂ්ටියක් අඩංගුයි. ඒ ජීවන දෘෂ්ටිය වඩා නිවැරැදි සහ පුළුල් තැනකට ගෙනියන්න මොනවගේ කරුණු කාරණාද ඉවහල් වෙන්නේ?

කවියකුගේ ජීවන දෘෂ්ටිය සවිඥානිකව හෝ අවිඥානිකව කවිවල තැවරෙනවා. කවිය හුදු වචන හරඹයකටම ගියාම බාහිර ආකෘතිය තොරණක් වගේ පත්තු වෙනවා නිවෙනවා.

ළං වෙලා බලද්දී බල්බ් විතරයි. ජාතක කතාව නෑ. මෑතම වකවානුව ගත්තහම කිවිඳියන්ගේ කවිවල මේ දෘෂ්ටි උෟනතාව පෙනෙන්නට තිබෙනවා. කවියෝ මරු කිවිඳියෝ අවුල් කියලා නොවෙයි මේ කියන්නේ. සුරේඛා සමරසේන ගත්තම එයා ලියන්නේ ලොකු කියවීමක් ඇතුළේ කියලා පේනවා. එයාගේ ජීවන දේශපාලන දෘෂ්ටිය බලෙන් ඔබ්බපු එකක් නොවෙයි. අනිත් එක කවියන්ගෙ රැඩිකල් වචන හොරකං කරගෙන නොවෙයි ලියන්නෙ. එයාට හොඳ කියවීමක් තියෙනවා සමාජ දේශපාලන චලනයන් ගැන. විපුලි, අනුරාධා, කල්පනා කියන කිවිඳියන්ගේ කවිවලදීත් ගැඹුරු ජීවන අරුත් මතුකරන කවි මුණ ගැහෙන්නේ දෘෂ්ටිමය ප්‍රබලත්වය සහ ස්වීයත්වයක් කරා යන්න පුළුවන් ප්‍රාමාණිකත්වයක් ජීවිතයට කාන්දු කරගෙන තියෙන හින්දා. කවියන්ට කිවිඳියන්ට කියලා බෙදීමක් නෑ. අපි සියලු දෙනාගෙම කවි සමීප රූපෙකට ගනිද්දී අපේ ජීවන දැක්මේ දිග පළල අඩු වැඩි වශයෙන් පොළා පනිනවා.

5. ඔබේ ප්‍රකාශය ඇතුළේ එක්තරා දුරකට කිවිඳියන්ට කරන චෝදනාවකුත් තියෙනවා වගේ. විශේෂ හේතුවක් තියෙනවාද ඔවුන්ගේ ජීවන දෘෂ්ටියේ උෟනතාවට? කොහොමද ප්‍රවීණ කවියෙක් විධියට ඒක ඔබ විග්‍රහ කරන්නේ?

නෑ. මං එහෙම කිවිඳියන්ව විශේෂ කරලා දැක්වූවා නොවෙයි. ලියනගේ අමරකීර්ති මහත්තයා නව කවි සලකුණෙන්" මොනිකා රුවන් පතිරණගෙන් පස්සේ කිවිඳියන්ගේ හිඩැස ගැන පුළුල් විග්‍රහයක් කරලා තියෙනවා. අපි හුඟදෙනෙක් පිරුණු කවියෝ නොවෙයි නේ. ඉතාම විචිත්‍ර කිවිඳියෝ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. කාලයත් එක්ක එයාලා තමුන්ගේ මුද්‍රාව තියලා යයි. ප්‍රමාණාත්මක කවි ගොඩක් ලියන්න හදනවට වඩා දැනෙන කවි කිහිපයක් හරි ලියන්න උත්සාහ කරන එක වටිනවා. අනෝමා රාජකරුණාව මට මේ වෙලාවේ

මතක් වෙනවා. කොහොමටත් කවිය බරපතළ වැඩ බිමක් කියන කාරණාව ඔළුවෙ තියා ගත්තම අපි හැමෝටම හොඳ උත්සාහයක් ගන්න පුළුවන්. කවිය කාගෙවත් පරවේණියක් නොවෙයි. කාංසියට කවියක් ලියන එකයි ගැඹුරු ප්‍රකාශන මාධ්‍යයක් විධියට කවිය අල්ලගන්න එකයි දෙකක්. පිරිමින්ට වඩා ගැහැනුන්ට සමාජ අභියෝග, පීඩනය වැඩියි. අපි හැම වෙලේම කිවිඳියක ගෙන් බලාපොරොත්තු වෙන්නෙ අපිව හූරන කවියක්. ඒ කවිය ලියන්න අර කිව්ව තියුණු ජීවන දැක්ම ඕන. එහෙම ලියන කිවිඳියෝ ඉන්නවා. නමුත් අඩුවක් තියෙන්නෙ.

6. නිර්මාණකරුවෙක් එක්තරා සීමාවකදී ක්‍රමයෙන් හුදෙකලා වෙනවා කියලා මට හිතෙනවා. ඒක තමන් විසින්ම තමා තුළ සිදුකරන්නා ආත්ම අරගලයක්ද? එහෙම නැතිනම් වෙනත් යමක්ද?

මෙහෙමයි. ඒ සීමාව මොකක්ද කියලා මං හරියටම දන්නෙ නෑ. කවියෙක් විධියට මටත් යම් හුදෙකලා ගතියක් දැනෙන තැන් තියෙනවා. අපි අපිටම සහ ලෝකයට සංවේදී වෙද්දී කවිය අපිව හොයාගෙන එනවා කියලා මට හිතෙන්නෙ. මට මාවම නොදැනෙන තැනකදී ලෝකයට ඇරුණු ඇහැක් ගැන කතා කරලා තේරුමක් නෑ. ඇත්ත, අපිට දේවල් මඟහැරෙනවා. වරදිනවා, පැටලෙනවා. එහෙම කියලා ලෝකය නතර වෙන්නෙ නෑ. මිනිස්සු ඉස්සරහට යනවා. උදාසීනකම ඇතුළෙ කවිය මියැදෙන්නෙ නෑ.

බන්දුජීවගේ කවියක වගේ බතල වැල් ආලපාළු වුණත් බතල අල හුස්ම ගන්නවනේ. ආත්ම අරගලයකට වඩා මම ඒක දකින්නෙ උදාසීන ශීත සමයක් විදියට.

7. ලංකාවේ වර්තමාන කවිය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? මේ පවතින්නේ සමාජය විසින් ඉල්ලා සිටින කවියමද?

පවතින කවිය ඉල්ලා සිටිනවද කියන දේ මට එච්චර බලපෑමක් කරන්නේ නෑ. කවියෙක් උත්සාහ කරන්න ඕනෙ සමාජයට වඩා ඉස්සරහින් කවිය තියන්න. මම කියන්නේ ඉල්ලා සිටින කවිය වෙනුවට බලපෑම් සහගත කවියක් ලියන්න. එහෙමත් නැතිනම් ෆ්‍රේම් එක කඩන කවියක් ලියන්න. ප්‍රචාරකවාදී හෝ උපදේශාත්මක කවියක් ගැන නෙවෙයි කියන්නෙ. මනුස්ස ජීවිතය ඔසවන කවියක් ගැන. මේ මොහොතේ පවතින කවිය ගැන කතාකරන්න වෙන්නේ කාලයත් එක්ක. යුද සමයේ ඇතැම් කවියෝ කවිය තියුණු විධියට මුදා හැරියා. මේ මොහොත දේශපාලනිකව එක්තරා නිර්වින්දනයකට ලක්වෙලා වගේ. මොකුත්ම දැනෙන්නේ නෑ. ඒ හින්දා මහින්ද යුගයේ තරම් තියුණු හඬක් කවි ඇතුළේ නෑ. හැබැයි අනෙකුත් මානයන් තුළදී විචිත්‍ර කවි වගේම පොලඹවන සුලු කවි ගොඩක් ලියැවුණා. කිසියම් නිද්‍රා සහගත බවකුත් පොළා පනිනවා. කවීන්ගේ අනන්‍යතා අර්බුදයක් වර්ධනය වෙනවා වගේ දැනෙනවා. සුබවාදීව බලන්න බැරි තත්ත්වයක් නම් පෙනෙන්නේ නෑ.

8. පුද්ගල නාම යුගයන් කියන්නේ පියවරෙන් පියවර රට අරාජිකත්වයට ඇදලා දාපු එකක්. වෙනස් මුහුණුවර හරහා ඒ ඒ යුගයන් ඇතුළේ විවිධාකාර පිපිරීම් ඇතිවෙනවා. ජාතිවාදී මුහුණුවර මේ දැන් පවතින නමුත් යටපත් කරගෙන ඉන්න වාතාවරණයක්. ඒකෙදී පුරවැසියෙක් සතු වගකීම "කවියෙක්" භාර ගන්න ඕනෙ කුමන ආකාරයටද? ඇත්තටම ඔහුට කාර්යභාරයක් තියෙනවාද?

බෙදීම්වල මුල ශිෂ්ටාචාරයේ මුලටම යනවා. ලිංගිකත්වය අනුව බෙදෙනවා. සංස්කෘතිය අනුව බෙදෙනවා. බෙදීම්වල අඳුරු ප්‍රකාශනය තමයි බිඳීම්. ජාතිය ආගම අනුව බෙදෙද්දී බෙදෙන්නේ මනුෂ්‍යත්වයේ පාදම. ජාතියකට ආගමක හරය හරියට කාන්දු වෙනවා නම් එතැන තියෙන්න ඕනේ දියුණු සංස්කෘතියක වියමනක්. මේ මොහොතේ ලෝකය පුරාම මේ වියරුව හමා යනවා. දියුණු දැක්මක් ඇතුව ගනුදෙනු බේරගන්න අතළොස්සක් රටවල් සිතියමේ අපූරුවට පවතිනවා.

මේ මොහොතේ රට පාලනය කරන්නේ අප්සට්ම සෙට් එකක්. එයාලව තෝරන ජනතාවත් හුඟක් වෙලාවට අප්සට්. කවියන්ට සමාජ වගකීමක් තියෙනවා. මේ අප්සට් චින්තනය ජ්තචබ කරන්න පුළුවන් ස්වරයක් සුසර කරගන්න ඕනේ මුලින්ම. පවතින මොහොත ගැන අවදියෙන් ඉන්න ඕනෙ තොටිල්ලේ පැද්දෙන්නේ නැතුව. ජාතිවාදය කියන්නෙ අන්තවාදයේ දිගුවක්. ලංකාවේ හැම ආගමක්ම අන්තවාදය වෙත වේගයෙන් තල්ලු වෙනවා. හරියට ලිස්සන බෝට්ටුවේ යනවා වගේ. කවියන්ට මේ මොට්ටුවෙන් පැනගන්න බැරි වුණොත් පස්ස බිම ඇනිලා කොන්දත් කඩාගත්තම බෙලහීන කවි ලියවෙයි. ඒක හරි වේදනාවක්.

9. කවියෙන් ආරම්භ කරපු නිර්මාණකරුවෝ අතරකදී ලේඛනයේ සහ සාහිත්‍යයේ තව තව ඉසව් අතික්‍රමණය කරනවා. ඔබ කවිය තුළමද?

කවිය තමයි මම තරමකටවත් දන්න මාධ්‍යය. දේවල් අතපත ගාලා හැදුණු මොකක්දෝ එකක් ඇරෙන්න හදාගත්ත දෙයක් මට නෑ. තව තියෙනවා නම් තියෙන්නෙ දැනුම පිළිබඳ අර්බුදයක් විතරයි. වඩුබාස් උන්නැහෙලා වෙලාවකට ලොකු ලී බඩු හදලා ඉතිරි වෙන ලී කෑලිවලින් බංකු පොඩි හදලා දානවා විනෝදෙට. හැබැයි පිළිවෙළට. මහ සතුටක සාරය එතැන තියෙනවා. මමත් එහෙම පුංචි උත්සාහයන්වල ඉන්නවා. ඒ ඇරෙන්න නවකතා කෙටි කතාවලට යන්න තරම් දියුණු භාෂාවක් මම ළඟ නෑ.

10. ඇයි ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පෙනී නොසිටින්නෙ. ඒවා නොසලකා හරින්නෙ? සාමාන්‍යයෙන් කලාකරුවෝ තමන්ගෙ නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න ඒවා පාවිච්චි කරනවා.

මාධ්‍ය තුළින් නිර්මාණ ගැන විතරක් එළියට ගියාම ඇති කියලා හිතුණා. මාව දන්න මාධ්‍ය මිත්‍රයෝ මාත් එක්ක අමනාප වෙන්නෙ නෑ. ඒවා මඟහරිනවා කියලා.

මට තේරෙන්නේ නෑ

ගඟ ගලයි මූදට
නොනැවතී එක තැන
පෙම්බරීගෙන් වෙන්වුණ
ලූලෙක් හැරෙයි ඇළකට

දිගම දිග ගමනක්
ගඟ කියා කෙටි කළේ කොහොමද
වතුර වතුරට දියවුණ
ලුණු රස රහස මුහුද ද?

ආඳෙකුගෙ වංහුං
තෝරෙකුට යන්නේ කවදද
පෙතියෙකුට හාල් මැස්සෙක්
මුණ ගැහෙන්නෙම නැතුවද?

මෝරෙකුගෙ ඇස් යට
අමුත්තක් දැක්කද?
ඉවුරුබඩ කිඹුලන්
මොනව හරි රැක්කද?

ශිෂ්ටාචාරේ ගෙනියන්න
මුහුද මිනිසුන්ව මැව්වද?
උල්පත් හොයන්නෙම
ලෝකයට එව්වද?

හඳෙන් සීතල ගෙන එන්නේ
කට කපල වතුරද?
හඳේ හාවා අඳින්නට
කලින් රස්නෙද?

කඳු අතර තැනි අතර
නැති වුණ දෙයක් හෙව්වද?
වැහි වතුර ගඟට පැන
පැහැදුන් යමක් වැහුවද?

සංලාපය - දිනූ රාජගුරු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon