සාහිත්‍ය හුයකින් නොබැඳුණු බිඳුණු හැරපොට

  👤  3511 readers have read this article !
2018-04-15

ඕනෑම කෘතියකින් සුළු හෝ යම් දෙයක් උකහා ගැනීමට හැකිනම් එය උකහාගෙන ජීවිතාවබෝධය තීව්‍ර කර ගැනීම පාඨකයා සතු කාර්යයකි. පාඨකයෙක් වශයෙන් ගිනිය හැකි ඕනෑම අයකුට එය අදාළ බව විවාද රහිතය. උක්ත කාරණාවට විචාරාක්‍ෂිය යොමු කරන කල්හි 'බිඳුණු හැරපොට" නම් කෘතියෙන් උකහා ගත හැකි ඔවුනගේ ජීවිතාවබෝධය තීව්‍ර කරවන අයුරේ යමක්, ඥානයක් උත්පාද වේද ඒ කෙබඳු එකක් වේදැයි යම් කුකුසක් පාඨකයා තුළ පහළ වනු ඇත. සාහිත්‍ය ඇසුරෙන් ජීවිතාවබෝධය පුළුල් වේ යැයි සඳහන් වන්නේද, එය එපරිදිම විය යුතු යැයි විශ්වාස කෙරෙන්නේද සැබෑ සාහිත්‍ය පරිශීලනයෙන් ජීවිතය සුපුෂ්පික වන බැවිනි.

ජීවිතය වටා භ්‍රමණය වන දුක් කම්කටොලුවලට හේතුභූත වන තතු විශ්ලේෂණය කරමින්, මිථ්‍යාව බැහැර ලමින් සමාජ ආර්ථික පෙරළියකට නැඹුරු කරවන අන්දමේ චින්තනයකට ජන විඥානය සාහිත්‍යානුසාරයෙන් පුබුදුවාලන්නේ නම් එය පරිපූර්ණ සාහිත්‍ය කෘතියක් සේ සැලකිය හැකිය. සාහිත්‍ය නිර්මාණයට කැපවන්නකු විශ්ව සාහිත්‍ය ඇසුරු නොකරන්නේ නම් ඔහු හෝ ඇය දූපත් මානසිකත්වයේ ගිලී සාහිත්‍ය හීනව මිය යෑම අනිවාර්ය කාරණයකි. අපේ ලේඛකයන් බොහෝ පිරිසක් විශ්ව සාහිත්‍ය අනධ්‍යයනය හේතුවෙන් මේ ඉරණමට මුහුණ පා සිටිනු දිස්වේ.

ඇතැම් ලේඛකයන් විශ්ව සාහිත්‍ය ඇසුරු කරන නමුදු එම පරිචය උපයෝගි කර නොගන්නා බවද එසේම පැහැදිලිය. තමන් පෙළන තතු වටහා ගනිමින් ඒවා අතික්‍රමණයට අවැසි ඥානය සම්පාදනය වන්නේද සුවිසෙස් ජීවිත අත්දැකීම් එකතු පහදු වන්නේද විශ්ව සාහිත්‍යයේ මිණි මුතු ඇසුරෙන් බව ඔව්හු අමතක කරති. 'බිඳුණු හැරපොට' කෘතිය පාඨකයනට තිළිණ කරන ඇම්.ඩී. දයානන්ද ලේඛකයාගේ සාහිත්‍යමය වෑයම ලෙස දැක්වෙන්නේ රාජ්‍ය සේවාවේ නිලධාරිවාදය ඉස්මතු වීම තුළ සාමාන්‍ය මහජනතාවට විඳින්නට සිදුවන නේක අතෝර ගෙනහැර පෑමය. ඒ වෙනුවෙන් දයානන්ද ලේඛක තෙමේ ස්වකීය රාජකාරි දිවියෙන් ලද අත්දැකීම් සම්භාරයද ආයෝජනය කරයි. එබඳු යහ අපේක්ෂාවකින් මඬනා ලදුව 'බිඳුණු හැරපොට' රචනා කරන ලේඛක දයානන්දගේ සිතැඟි ඔහු අපේක්ෂිත පරිදි සාහිත්‍යමය රූපාකාරයකින් මල් ඵල නොදැරූ බව සඳහන් කරන්නේ ඔහුගේම යහපත සලකා මිස ඔහු අධෛර්යය පත් කරවීම උදෙසා නොවේ. සාහිත්‍ය නිර්මාණයක් යනු අපූර්වයකි. එබැවින් ඒ වෙනුවෙන් කළ යුතු කැපකිරීම් අනන්තය. අප්‍රමාණය එබඳු කැප කිරීමක් හෝ කැපවීමක සේයාවක්වත් 'බිඳුණු හැරපොට' තුළින් පාඨකයාට දර්ශනය වන්නේද?

මෙතැනදී විදග්ධ පාඨකයාට මතුවන ප්‍රශ්න කිහිපයකි. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සාහිත්‍යමය පෝෂණයෙන් තොර ගුණ හීන, වාර්තාමය රචනාවන්ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අනුග්‍රහය ලැබීමය. දෙවැන්න එබඳු රචනාවන් පුස්තකාල සඳහා නිර්දේශිත කෘති සේ අනුමත වීමය.

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අනුග්‍රහය ලබන කෘති අගැයුම් මණ්ඩලයේ වැජඹෙන්නේ සාහිත්‍ය ප්‍රවීණයන් නොව සාහිත්‍ය හීනයන් බව හෝ හුදෙක් සාහිත්‍ය නිලධාරීන් බව කියාපෑමට තවත් සාධක අනවශ්‍යය.

එක් අතකට මෙහි පුදුම විය යුත්තක් නැත. අපගේ පළමු විධායක ජනාධිපති ඇසූ ප්‍රශ්නය වූයේ 'සාහිත්‍ය කන්නද?' යන්නය. අනෙකුත් ජනපතියන්ද ඊට නොවෙනස් බව සංස්කෘතික අමාත්‍යාංශයට දක්වන සැලකිල්ලෙන් පෙනෙන කාරණයයි. මෙබඳු කෘති බහුල වීමෙන් ශේෂව පවතින සාහිත්‍යමය කිරණ කදම්භයේ ආලෝකයද ක්‍ෂය වනු නොඅනුමානය. හැම නාළිකාවකින්ම සිල්ලරට විකිණෙන අවර ටෙලි නාට්‍ය රැල්ලේ ගතිකත්වයට පතපොත ද නැඹුරු වන ලකුණු දසතින්ම දර්ශනය වේ. 'බිඳුණු හැරපොට' රචනා කළ දයානන්දයන් කෙරෙහි අභ්‍යන්තර හෝ බාහිර පෞද්ගලික ගැටුමක් නිසා මෙබඳු ප්‍රශ්න නඟන්නේ යැයි කිසිවකුත් නොසිතිය යුතුය. අපට අදාළ වන්නේ කෘතියේ අන්තර්ගතය පමණය.

රචකයකුට විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණකරුවකුට භාෂාව අරබයා වෙසෙස් හුරුවක් අවශ්‍ය කෙරේ. ඒ ඒ රචනාවන්ට යෝග්‍ය පරිදි බස පරිහරණයට අවැසි ශක්‍යතාව ලේඛකයකුට නොමැත්තේ නම් ඔහු හෝ ඇයගෙන් පුවත්පත් වාර්තා මිස සාහිත්‍ය නිර්මාණ බලාපොරොත්තු විය නොහේ. එහෙත් සාහිත්‍ය වේශයෙන් එළිදකින පුවත්පත් වාර්තාවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ලේඛක දයානන්දව හුවා දක්වන නිලධාරිවාදය සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළත් ඔඩුදුවා ඇති බැවින් විය යුතු යැයි මධ්‍යස්ථ පාඨකයන් කල්පනා කළහොත් එහි වරදක් නැත. පද නොහොත් වචන ගැළපීමෙහිදී ලේඛකයා සතු කාර්යභාරය කුමක්ද? ඔහු ඒවා විවිධ ධ්වනිතාර්ථ නඟන සේ ගැළපීමට මනා පරිචයක් ඇත්තෙක් විය යුතුය. වචන මිශ්‍ර කිරීමෙහිදී අර්ථ, ශබ්ද, ධ්වනි, අනුප්‍රාසය යන මේ සියල්ලෙහි සම්මිශ්‍රණය හා ඒකමිතිය අරබයා සැලකිලිමත් වීම මැනවි. එමඟින් පාඨකයා තුළ ජනිත වන්නා වූ චමත්කාරජනක හැඟීම් පිළිබඳ හැඟීම් මාත්‍රයක් හෝ නොමැතිව භාෂාව පෙළ ගැසීම සාහිත්‍ය නිර්මාණය නොවන බව යළි යළිත් කිව යුතුද?

මෙහි බස හඩුය. අක්ෂර වින්‍යාසය අන්තිමය. මෙය ලේඛක දයානන්දට පමණක් විශේෂ වූවක් නොව බොහෝ ලේඛකයන්ට පොදු කාරණයකි. මෙහි ප්‍රධාන චූදිතයා අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර දෙවැනි ස්ථානය සංස්කෘතික අමාත්‍යාංශයට හිමිය. සමස්තයේ චූදිතයා පවත්නා ක්‍රමයයි. මේවා කොතෙක් අවධාරණය කළත් කිසි ඵලක් ප්‍රයෝජනයක් නොමැති බවද දනිමු. කිතුල් ගස් මැදීමේ කර්මාන්තය ආරම්භ කිරීමට කමැති කවුරුන් හෝ වේ නම් ඒ අයට 'බිඳුණු හැරපොට' අත්පොතක් වනු නියතය. එබැවින් 'බිඳුණු හැරපොට' නිෂ්ප්‍රයෝජන යැයි ඉවත දැමීමද නොහොඹී. රාජ්‍ය සේවාවේ නිලධාරිවාදය ඔඩුදුවා තිබෙන ආකාරය සාහිත්‍යානුරූපීව පාඨකයාට තිළිණ කළ කෘති කිහිපයක් මේ මොහොතේ පවා සිහියට නැඟෙන බැවින් 'බිඳුණු හැරපොට' යළි සකස් කර නව හැරපොටක් බැඳ ගන්නවා හැර කළ යුතු අන් යමක් වේදැයි සිතා බැලීම දයානන්දටම භාරය.

ප්‍රේමතිලක පේරුකන්ද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්