බල අවුරුදු සටන

  👤  3786 readers have read this article !
2018-04-15

සිංහල - හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 8.13ට යෙදී තිබේ. සිංහල අලුත් අවුරුද්ද දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට ජනයාගේ විසල් සංස්කෘතික මංගල්‍යය වූයේය. සිංහලයාගේ අලුත් අවුරුද්ද මේ වන විට ශ්‍රී ලාංකිකයාගේ අලුත් අවුරුද්ද බවට පත්ව තිබේ. එබැවින් ඉදිරි දින කිහිපය සිංහලයන්ට පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයනට සුවිශේෂී සැමරුම් දින වන්නේය.

බක් මාසය භාග්‍යවන්ත මාසය ලෙස සලකනු ලබයි. දකුණුදිග සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළව නව අවුරුදු උදාව සැමරුම සිදුකෙරේ. එය ජන ජීවිතය හා බැඳුණු අපමණ සොඳුරු අත්දැකීමක්ද වන්නේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මෙන්ම සාකල්‍යයෙන්ද අලුත් අවුරුද්ද වනාහි ජීවිතයේ නව ආරම්භයක් සේ සලකන්නට ජනයා හුරු පුරුදුව සිටිති. එය පවුලේ මෙන්ම රටේද ජන සමාජයේද නැවුම් ආකර්ෂණීය අවස්ථාවකි.

පුරවැසියන්ට අලුත් අවුරුද්දේ සෞභාග්‍ය හා සශි්‍රකත්වය ළඟා කර දීම අතීතයේදී රජ මැති ඇමැතීන්ට අත්හළ නොහැකි වගකීමක්ව තිබූ බව දෙදහස් පන්සිය වසරක අතීතය අපට පෙන්වා දෙයි. වර්තමානයේ එය එසේ වනවාද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ.

රජ මැති ඇමැතින් මතු නොව මහජන නියෝජිතයන්ද බලය බෙදා ගැනීම උදෙසා අතොරක් නැතිව සටන් වදින හුදෙකලා වූ රටක පුරවැසියන් බවට මෙරට ජනයා පත්ව සිටිති. සිරිත් පරිදි අවුරුදු පැමිණියේය. තුරුලිය වැල් නව අවුරුදු චමත්කාරයෙන් පිබිදී ඇත. කොවුලාගේ මියුරු කූජනය ඇසේ. එහෙත් රට කරවන ඇත්තෝ මේ කිසිවක් නොදකින නොඅසන අඳ බිහිරන් බවට පත්ව සිටිති. අලුත් අවුරුද්දට හාල් පිටි සීනි සිල්ලර බඩුවල මිල අඩුකර දෙන්නැයි කළ ඉල්ලීම් ඔවුනට ඇසුණේ නැත. ගම්බිම්වලට යන්නට ගමන් පහසුව සලසා දෙන්නැයි කීවා ඇසුණේද නැත. ගෑස් මිල වැඩි කළේය. පැට්රල් මිල වැඩි කළේය. වැඩ කරන ජනයා ගම්බිම්වලට යන්නට පෝලිම්වල දුක් විඳිති.

මාස ගණනාවක් තිස්සේ ඇසුණු දේශපාලන කලිකලහ තවමත් නිමා වී නැත. බක්මහ අකුණු පුපුරන හඬ ඇසේ. ආණ්ඩුවේ බක්මහ දීගය බිඳ නොවැටුණු බව කීවත් මේ දීගයෙන් වන යහපතක් නම් නැති බව නැවත නැවතත් තහවුරු වෙමින් තිබේ.
දුරදක්නා මානවවාදී දේශපාලනඥයන් තරම් ආශීර්වාදයක් රටකට වෙනත් නැත. ලංකාවේ එවැන්නන් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු කාරණයක් වී තිබේ. බලය උදෙසා සටන් වදින බලය උදෙසා සියලු තීන්දු තීරණ ගන්නා දේශපාලනඥයන් සමඟ අපි තවමත් සහවාසයේ යෙදී සිටිමු.

අප්‍රේල් මස 19 වැනිදා පූර්ව භාග 6.03ට යෙදෙන අවුරුදු නැකතින් නැඟෙනහිර දිශාව බලා පා තබා වැඩ කරන ජනයා රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑමට නියමිතය.

මහත්වරුනි, ප්‍රබෝධයෙන් පෙරමඟට පිවිසෙන ශ්‍රී ලංකාවාසී ජනයා සමඟ අත්වැල් බැඳ, මේ රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ වැඩ අරඹන්නට නුඹලා සූදානම් දැයි අපි රට කරවන දේශපාලනඥයන්ගෙන් අසමු. එය එසේ නොවේ නම් අලුත් අවුරුද්දේ සියලුම නරක දශා නුඹලාගේ හිස මතට පහත් වනු ඇති බව කියනවා හැරෙන්නට වෙනත් විකල්පයක් අපට නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon