16ද? රට ද?

  👤  3758 readers have read this article !
2018-04-13

රනිල්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේදී ඊට සහාය පළ කරමින් පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන් 16 බේරාගන්නා තියුණු සටනක මෛත්‍රි නිරතව සිටි මොහොතකි. එකී දහසය දෙනා කැබිනට්ටුවේ තබාගැනීම සදාචාරාත්මක නැතැයි කියමින් රනිල්ද කිසියම් තද ස්ථාවරයක සිටියේය. ඒ අතරේ ඒකාබද්ධයේ ගොඩට ඒ පිරිස ඩැහැගන්නා අපේක්ෂාවෙන් මහින්දද සීරුවෙනි. මෙම තත්ත්වය මත රට එක තැන ගල් වී අස්ථාවර වී 'රටේ දැවෙන ප්‍රශ්නය 16 බේරා ගැනීමද?' යන්න විමසන තරමට ජනතාව ආවේගයෙනි. සිංහල - දෙමළ අවුරුද්ද එළැඹෙන්නේ මෙවැනි හිත් රිදවීම්, වේදනාවන්, අපේක්ෂාභංගත්වයන් මැදය.

රටේ නායකයා මෛත්‍රිය, මෛත්‍රි පාර්ශ්වයේ ප්‍රබලයන් යැයි කියාගන්නවුන්ගේ හිතෛෂීවන්තයන් මෙන් පෙනී සිටින්නවුන්ගේ අර්ථකථනය අනුවද 'ජනාධිපතිතුමා කැබිනට් එකේ නායකයා වගේම රටේ නායකයාය අගමැති කැබිනට් එකේ තවත් එක් සාමාජිකයෙක් විතරයි' යන්නද ප්‍රබලව ඉස්මතු කරවමින් කෙරෙන කතාය. එය එසේ වෙද්දී රට තොටේ ඇහෙන තවත් කතාවක් ඇත. එය මෙසේය.

'මෛත්‍රිපාල ජනාධිපතිට ඒකපාර්ශ්විකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති හැටියට වැඩ කරන්න බැහැ. එහෙම කරන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ. එතුමා ජනධිපති වූයේම යූඑන්පිය ප්‍රමුඛ පක්ෂ සන්ධාන කිහිපයක වගේම සිවිල් සංවිධාන රැසක් කරතියාගෙන රට වටේ දුවලා උපරිම වැර යොදලා දිනෙව්ව නිසයි. ඒ නිසා එතුමාට කියන්න බැහැ. ශ්‍රී ලනිපයේ දහසය රකිනවා කියලා. දහසය රකින්න නෙවි අපි එතුමාව ජනපති කළේ. දහසය වයින් වෙලා තමන්ගෙ අගමැතිට එරෙහිව සදාචාර විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව කටයුතු කළාම වෙන ජනාධිපතිවරුන්ට වඩා නිර්පාක්ෂිකව තීන්දුවක් ගන්න මෛත්‍රි ජනාධිපතිට පුළුවන් වෙන්න ඕන. ඒකට හේතුව තමයි එතුමා පුළුවන් තරම් මහින්ද රාජපක්ෂව පතුරු ගහලා, එම චරිතය කළු කරලා. රට පුරා ගිහින් වැරැදි කියලා පැරැද්දුවෙ මෛත්‍රි ජනාධිපතිතුමා නම් එහෙම නෙවේය, පිරිසුදු ජනාධිපතිවරයෙක් වෙනවාය, නිර්පාක්ෂිකය, කාටත් සාධාරණය කියලනේ. දැන් එතුමා හැසිරෙන්නෙ තමන්ගෙ උපාය උපක්‍රම වැරැදිලා අතේ පත්තු වුණාම කෙනෙක් හැසිරෙන විධියටයි. මේක ඡන්දය දුන් නොදුන් සමස්ත රටේ ජනතාවට කරන අපරාධයක්.'

රට තොට කතාබහට ලක්වෙන සාරාංශගත කතාව එයම නිසා තවදුරටත් මෛත්‍රිට සිහි නුවණින් තමන් සිටිය යුතු තැන සිහිපත් කරදීමටත් තමන් ජනාධිපති වුණොත් ඉන් පසු කරන කියන දෑ විස්තර කර රටටත් ජනතාවටත් කීවේ දැයි සිහිපත් කරවීම වටින්නේය.

'මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී නාම යෝජනා දීලා යන කොට මහින්ද මගේ අතට අත දෙන්න බොහොම උත්සාහ කළා. මම දුන්නෙ නැහැ. බොහොම බලෙන් උත්සාහ ගත්තත් මගේ අත ගන්න මම නියම සිංහල බෞද්ධයෙක් වගේ අත් දෙකම උස්සලා ආචාර කරගෙන නොසැලී හිටියා.

මෛත්‍රිපාල සිරිසේන
2014.12.10 දින
(එජාප නීතිඥ සංගම් රැස්වීමේදී)

'මේ සටනේදී මහජනතාවට තියෙන්නේ සරල ප්‍රශ්නයක්. රට රකිනවාද? පවුල රකිනවාද? රට රකිනවා නම් හංසයාට. පවුල රකිනවා නම් බුලත් කොළයට. පසුගිය කාලයේ අපේම ඇමැතිවරු මගෙන් ඇහුවා කී දෙනකුට සර් කියන්නද කියලා. ඇයි මහින්ද - බැසිල් - ගෝඨාභය - නාමල් ඔය ඔක්කොම ජනාධිපතිවරු, රටේ ජාතික ධනය, භාණ්ඩාගාරය, රාජ්‍ය වත්කම් 60%ක් තියෙන්නේ මේ තුන්දෙනා අතේ.'

මෛත්‍රිපාල සිරිසේන
2014.12.23
(රඹුක්කනදී)

'ගොවි පවුලක උගත් දරුවකු ලෙස ගොවි ජනතාවගේ ප්‍රශ්න මම දන්නවා. මම කෘෂිකර්ම ඇමැති ලෙසත් සෞඛ්‍ය ඇමැති ලෙසත් හිටපු කාලයේ කැබිනට් එකට යෝජනාවක් ගෙනාවා වකුගඩු රෝගයට බලපාන වල් නාශක, කෘමි නාශක ගේන්න එපා කියලා. ඒ යෝජනාව ගෙනාපු හැම අවස්ථාවකම මම අසරණ වුණා. රාජිත, දුමින්ද, පාඨලී වගේ ඇමැතිවරු මට සහයෝගය දුන්නත් රජ පවුලේ ඉන්න යුුව රජෙක් මේ බහුජාතික සමාගම් නියෝජනය කරන නිසා ඒ යෝජනා යටපත් වුණා. ඒ වගේම තමයි දුම්කොළ ජාවාරම්කාර සමාගම් හා ඔෟෂධ ජාවාරම්කාර සමාගම් රකින්න ඉස්සරහට එන්නෙත් මේ යුව රජ.'

මෛත්‍රිපාල සිරිසේන
2014.12.16 දින
(ගල්ගමුවේදී)

'මම ශ්‍රී ලනිපයේ සභාපතිකම භාර ගත්තාම යූඑන්පී අය කල්පනා කළා අපි පත් කරපු ජනාධිපතිතුමා ශ්‍රී ලනිපයේ සභාපතිකම ගත්තේ මොකද කියලා. ශ්‍රී ලනිපයේ අය කල්පනා කළා පක්ෂයෙන් එළියට ගිහින් යූඑන්පී සහායෙන් ජනාධිපති වෙලා මොකටද ශ්‍රී ලනිප සභාපතිකම ගත්තේ කියලා. මම මුලපුරන්නේ ඓතිහාසික කාර්යභාරයකට හාමුදුරුවනේ. අපේ න්‍යාය පත්‍රයේ අංක එක විය යුත්තේ දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය නොවේ. අපේ න්‍යාය පත්‍රයේ අංක එක විය යුත්තේ රට සහ ජනතාව, දේශපාලන පක්ෂය ගැන කල්පනා කළ යුත්තේ ඊට පසුවයි.

මෛත්‍රිපාල සිරිසේන
2015.01.21
(සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උළෙලේදී)

'නඟුලට දෑත හුරු මට ජනාධිපති වුවත් ගොවි ජනතා සිතුම් පැතුම් අමතක වී නෑ. මොන ප්‍රශ්න ආවත් රට ගොඩදාන එක අතාරින්නේ නෑ'

මෛත්‍රිපාල සිරිසේන
2016.07.25දා
(මොරහකන්ද කළුගඟ වේල්ලේ නිදන් තැන්පත් කිරීමේ උළෙලේදී)

'ජනතාවට හුඹස් බියක් මවා පාමින් ආණ්ඩුවේ අස්ථාවර බවක් නිර්මාණය කිරීමට අන්තවාදීන් උත්සාහ දැරුවත් ඒක කිසිදාක ඉටු නොවන සිහිනයක්.'

මෛත්‍රිපාල සිරිසේන
2016.03.27දා
(ජනමාධ්‍ය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී)

'යහපාලන ආණ්ඩුව ගඟක් වගේ ඉදිරියට යනවා මිස ආපසු හරවන්න බෑ. මොන තාලේ විරෝධතා පෙළපාළි ගියත් මේ ආණ්ඩුව වෙනස් කරන හීන දකින්න එපා'

මෛත්‍රිපාල සිරිසේන
2016.03.19දා
(ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මහ සමුළුවේදී)

'අපේ ගොවීන් හතර වටේටම ණය වෙනවා. හොඳ මිලක් ලැබෙන්නේ නෑ. නවීන තාක්ෂණික දැනුම නෑ. ඔවුන්ගේ ජීවිතත් දුක්බරයි ගොවි රජුන් - බේරාගන්නවා.'

මෛත්‍රිපාල සිරිසේන
2016.06.03දා
(පොළොන්නරුවේදී)

'ඇතැමුන්ට රිදුණත් රටට අවශ්‍ය දේ කරනවා. බලය තහවුරු කරගන්න මානසිකත්වයක් මට නෑ.'

මෛත්‍රිපාල සිරිසේන
2016.06.13දී
(ගෝලීය කටයුතු පිළිබඳ විද්වත් සමුළුවේදී)

මෙසේ කියාගෙන පැමිණි ජනාධිපතිට දැන් මෙසේ වැඩ කළ හැකි දැයි කෙනකුට අහන්නට සිතෙන්නේය. මහින්ද කෙතරම් දූෂිතද ඒ තරමටම ඔහු පිටු දැකිය යුතු බවත් ඒ නිසා ඔහුට අතට අතදී තමන්ගේ අත අපිරිසුදු කර ගන්නට කැමැති නැති වග මෛත්‍රි කියද්දී ශ්‍රී ලනිපයේම හද බැඳගත්තවුන්ට දරාගන්න බැරි තරම් වූයේ මහින්ද ශ්‍රී ලනි පාක්ෂිකයන්ගේ සදාදරණීය නායකයා වූ නිසාය. එහෙව් පක්ෂයක නායකයාට අතට අත දෙන්නට අකැමැති වූ මෛත්‍රි ඒ නායකයාට බොහෝ හිතවත්, ඒ නායකයා රකින්නට මෛත්‍රි ළඟට වී සිටින්නවුන් රැකගන්නට යන්නේ අහවල් බක්කක් නිසා දෝයි මේ කොයි පැත්තටත් නැති ජනතාව විමසන්නේය.

ජනතාව ඡන්දය දුන්නේ යහපාලනයක් ගෙන එන්න නම් මෛත්‍රි මේ විදියට කරන්න හදන්නේ ඒ යහපාලනය රකින්න නම් ජනතාව තව තවත් ඔහු කෙරෙහි කලකිරෙන්නේය.

ගොවි පවුලක උපන් දරුවකු නිසා තමන්ට ගොවියන්ගේ ගැටලු හඳුනා ගැනීම අපහසු නැතැයි කිව්වද තමන්ගේ කණ්ඩායමේ ක්‍රියාධරයන්ටම ගොවියාට පොහොර ටික වෙලාවට දීගන්නට නොහැකි වුණේය. එය ගල්යිෆොසේට් තහනමක් ගෙනත් පොහොර වෙනුවට මුදල් දෙන්නට ගොස් අස්වැන්නද අඩු වුණේය. පොහොර බෑග් වැඩි මිලට ගන්නවත්, පොහොර ටික වෙලාවට ගන්නටත් බැරි වන තරමට ගොවියා නන්නත්තාර වූයේය. එහෙත් එයින් ගොවිජනතාව කිපී මැතිවරණ ප්‍රතිඵලයට අනුව මෛත්‍රිගේ පිලට දුන්නු සැලකිල්ලේ හැටියට තත්ත්වය වටහා ගන්නට පුළුවන්ය.

පක්ෂය නොව රට වැදගත් යැයි කී මෛත්‍රි දැන් රකින්නේ රට නොව පක්ෂය බවටත් නැඟෙන චෝදනාවලින් ඔහුට දැන් ගැළවී ගන්නට බැරි තැනකය. ඔහුට පක්ෂයත් රටත් යන දෙකම රකින්නට බැරි යැයිද දැන් දැන් රකින්නට ගිය ශ්‍රී ලනිපයද තුනට කැඩී යන තරමට ප්‍රතිඵල ලැබී තිබෙන්නේ යැයි චෝදනා නැඟෙන්නේය.

අන්තවාදීන්ගෙන් යහපාලන ආණ්ඩුවට චෝදනා නැඟෙන්නේ යැයි කියූ මෛත්‍රි ඔවුන් මොනවා කළත් යහපාලනයත් ආණ්ඩුවත් කඩා වැටෙන්නට ඉඩ නොතබන්නේ යැයි කීවද දැන් දැන් මෛත්‍රිම ඒ යහපාලනය කඩා දමන්නට හීන් සීරුවේම කටයුතු කරන්නේ යැයි චෝදනා නැඟෙන්නේය. බලය රැකගන්නට කටයුතු කරන්නේ නැතැයි කී මෛත්‍රිම දැන් දැන් තමන්ගේ අභිමතය පරිදි බලය රැකගන්නට, 16 දෙනා රැකගන්නට වෙර දැරුවේ යැයිද චෝදනා නැඟෙන්නේය.

කෙසේ වෙතත් දැන් මෛත්‍රිට තමන් ළඟ සිටි, තමන් රකිනවා යැයි කියමින් බොරු රඟපෑම් කළ, මහින්ද වෙනුවෙන් රහසින් කඩේ යන අයත් රකින්නට සිදු වී ඇතැයිද එසේ ඔහු ඔවුන් රකින්නේ නම් තමන් කලින් කියා තිබෙන කතා බොරු දැයි ජනතාවට අහන්නට සිදුවන්නේය.

රනිල්ද රනිල්ගේ පිලද මෛත්‍රි ජනාධිපති කරවන්නට ඡන්දය දුන් ජනතාවද දැන් මෛත්‍රිට ඕනෑ නැති නම් මේ පිරිස ඔහුට එරෙහි වීමත්, වෛර බැඳ ගැනීමත් රටට හොඳ නැත. දූෂිතයා යැයි කියූ මහින්දත් මහින්දගේ පිරිසත් මහින්දට කැමැති ජනතාවත් ඕනෑ නැත්නම් ඔවුන්ද මෛත්‍රිට එරෙහි වීමත්, වෛර බැඳ ගැනීමත් වළක්වන්නට බැරිය. අන්තිමට මෛත්‍රිට කවුරුවත්ම නැති වන්නේය.

මේ සියල්ල පසෙකින් තබා මෛත්‍රි ගෙන එන්නට සිවිල් සංවිධාන හරහා දැවැන්ත මෙහෙවරක් කළ ක්‍රියාධරයකු වූ මහාචාර්ය සරත් විජේසූරියගේ ප්‍රකාශයකින් මේ සටහන නිම කිරීම වටින්නේය.

'ජනපති සිරිසේන කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් තොරවය. ඔහු මේ රට තල්ලු කර ඇත්තේ අරාජිකත්වයකටය. රාජ්‍ය පාලනය තිබෙන්නේ ඉතාම භයානක තැනකය. 2015 ජනවාරි 8 ලැබූ ජනවරමට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පයින් ගසමින් ඔහු එය ඔප්පු කර ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දී බලයට පැමිණි චන්ද්‍රිකා එය කළේ නැත. මහින්දද එසේමය. එම පොරොන්දුව බරපතළ ලෙස කඩ කිරීමට වගබලාගත්තේ මෛත්‍රිපාල සිරිසේනය. මේ පුටුවේ වාඩිවන සෑම කෙනකුම බලයට ඇති කරගන්නේ පුදුම තණ්හාවක්මය.'

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon