බොරුව රජ වීම හා ඡන්ද දායකයාගේ වගකීම

  👤  4161 readers have read this article !
2018-04-17

2018 අප්‍රේල් මස 12දා ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක කියැවුණේ ශ්‍රී ලංකාව 2017 වසරේ අත්කරගත් 3.1%ක වර්ධන වේගය වසර 16කට පසු එනම් 2001ට පසු ලංකාව විසින් අත්කරගත් අඩුම වර්ධන වේගය බවයි. මෙසේ ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වන්නට සිදු වූයේ සාමාන්‍යයෙන් කාලීන ආර්ථික දත්ත ලබා ගැනීමට විශ්ලේෂකයන් විසින් භාවිත කරනු ලබන මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා දිගින් දිගටම ප්‍රමාද වීමය. මීටත් වඩා විශාල ගැටලුව නම් තවදුරටත් මේ ආයතන විසින් පළ කරන වාර්තා විශ්වාස කළ හැකි දැයි සැකයක්ද දැන් දැන් මතුවෙමින් තිබීමයි.

උදාහරණයක් වශයෙන් මෙම වසරේ මාර්තු මස 15 වැනිදා තම වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ 2017 වසරේ ආර්ථික දත්ත පළ කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැය 24ක් තුළ එම වාර්තාව තම වෙබ් අඩවියෙන් ඉවත් කරගත්තේ මන්ද යන සැකය අපට මතුවෙයි. ඉවත් කරගැනීමට පෙර එම වාර්තාව කියැවූ අයකුටද දැක ගත හැකි වූයේ 2016 දී 4.4%ට පහත වැටී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2017දී 3.1 දක්වා අඩුවී තිබුණු බවයි. අනෙකුත් දර්ශකවලින්ද පෙනෙන්ට තිබුණේ රටේ ආර්ථිකය පිළිබඳ අඳුරු චිත්‍රයකි. මෙම වාර්තාව වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කවුරුන් හෝ නියෝග කළේ රටේ ආර්ථිකය හැසිරවීමේ නියමුවා වන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ජනතාවගෙන් සත්‍ය වසන් කිරීමට රජයේ කාට හෝ අවශ්‍යතාවක් තිබුණු නිසා විය හැකිද?

පසුගිය ආණ්ඩුව සමයේ සාමාන්‍යයෙන් මාර්තු මාසය වන විට නිකුත් වන වාර්ෂික මහ බැංකු වාර්තා පසුගිය වසර දෙකේම ජුනි, ජූලි මාස දක්වා ප්‍රමාද විය. එසේ ප්‍රමාද වූයේ සැබෑ දත්ත වාර්තා කරනවා වෙනුවට දත්ත වෙනස් කිරීමේ උත්සාහයක යමෙක් යෙදී සිටින නිසා දැයි සැක කිරීමට යම් හේතු සාධක අවසානයට නිකුත් වූ 2016 මහ බැංකු වාර්තාව තුළ දක්නට ලැබිණි.

අපි එක් උදාහරණයක් ගෙන බලමු.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් යම්කිසි ආදායම් මාර්ගයක් ලැබෙන රැකියාවක හෝ ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සිටින්නේ මිලියන 8.3ක් පමණි. එය වයස 15ට වැඩි ජනගහනයෙන් 53.8%පමණ වේ. 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව 2016 අවසන් වන විට 7,948,000ක පමණ ජනතාවක් යම් රැකියාවක නිරත වී සිටින අතර 2015 දී එම පිරිස 7,831,000ක් පමණ විය.

මේ අනුව 2016 මහ බැංකු වාර්තාව පෙන්වන්නට උත්සාහ කර තිබුණේ 2015 සිට 2016 දක්වා කාලය තුළ රටේ අලුතින් රැකියා අවස්ථා 1,17,000ක් පමණ ජනිත වී ඇති බවයි.

නමුත් ගැටලුව වූයේ 2016 මහ බැංකු වාර්තාවේ සඳහන් වන 2015 රැකියා ප්‍රමාණය 2015 දී මහ බැංකුව විසින්ම නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන සමඟ නොගැළපීමයි.
2015 මහ බැංකු වාර්තාව අනුව 2015 අවසන් වන විට රටේ රැකියා කළ ජනගහනය 8,554,000 විය. මේ අනුව 2016 දී ඇත්තෙන්ම සිදු වී තිබුණේ රැකියා ප්‍රමාණයේ වැඩිවීමක් නොව අඩුවීමකි. මින් පැහැදිලිවම මතුවන සැකය නම් ජනතාවගෙන් සත්‍ය වසන් කිරීම සඳහා යමෙක් විසින් 2016 වසරේ වාර්තාවේ සඳහන් විය යුතු 2015 රැකියා ප්‍රමාණය හිතාමතාම අඩු කොට පෙන්නුවාද යන්නයි.

2016 මහ බැංකු වාර්තාවේ සංඛ්‍යාලේඛන සමඟ ගණිත සෙල්ලම් දැමූ අයට ඔවුන් විසින්ම නිකුත් කරන ලද 2014 හා 2015 මහ බැංකු වාර්තා වෙනස් කිරීමේ හැකියාවක් නොතිබිණි. එම වාර්තා දෙකටම අනුව 2014 මේ රටේ රැකියා 8,424,000ක් තිබිණි. මහ බැංකු වාර්ෂික වාර්තා දෙකකම එකම අගය සඳහන් වන නිසා එය නිවැරැදි දත්තයක් ලෙස අපට පිළිගැනීමට සිදුවේ.

එසේ නම් ඇත්තටම සිදු වී ඇත්තේ 2014දී 8,424,000ක්ව තිබූ රැකියා ප්‍රමාණය 2016 වන විට 7,948,000ට අඩු වී තිබීමයි. වසර 5ක් තුළ රැකියා 10 ලක්ෂයක් බිහි කිරීමට පොරොන්දු වී බලය ගත් යහපාලන රජය තමුන්ගේ පළමු වසර දෙක තුළ රටට රැකියා 467,000ක් අහිමි කොට තිබිණි. මෙම තිත්ත ඇත්ත වසන් කිරීමට කවුරුන් හෝ උත්සාහ කළ බවක් පෙනී යයි.

වත්මන් පාලනය යටතේ ජනතාවට බොරු කීමට ඉදිරිපත් වී ඇති රාජ්‍ය ආයතන ගොන්නට පසුගියදා එක්වූ තවත් ආයතනයක් වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයි.
ශ්‍රී ලංකාවට 2017 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1630ක විදේශ ආයෝජන ලැබුණු බවත් එය 2014 වසරේ රටට ඇදී ආ ඇමෙරිකානු ඩොලර් මිලියන 1610ක ආයෝජන ප්‍රමාණයට වඩා වැඩි බවත් පුවත්පත් නිවේදන පළ කරමින් ජනතාව රවටා යහපාලන ආණ්ඩුවට බොරු ලකුණු දමාගැනීමේ ප්‍රයත්නයක් ආයෝජන මණ්ඩලය හරහා දියත් වී ඇති අයුරු පසුගිය දිනවල දක්නට ලැබිණි. පුවත්පත් නිවේදන නිකුත් කරමින් මේ බොරුව ජනගත කරන ලද්දේ ආයෝජන මණ්ඩලයේ වත්මන අධ්‍යක්ෂ ජනරාල් ලෙස වත්මන් ආණ්ඩුව විසින් පත්කරනු ලැබ මසකට රුපියල් ලක්ෂ අටහමාරක පමණ ඉහළ මාසික වැටුපක් ලබන පුද්ගලයකු විසිනි. ඔහු කර තිබුණේ සම්පූර්ණයෙන්ම ජනතාව මුළා කිරීමකි. මෙහි සත්‍යය වූයේ 2017 වසරේ ආයෝජන මණ්ඩලය වාර්තා කොට ඇති ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1321ක්ම පසුගිය රජය සමයේ අස්සන් කළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ෂැංග්‍රිල්ලා වැනි ව්‍යාපෘතිවලින් ලැබුණු ආයෝජන වීමයි. වත්මන් ආණ්ඩු පාලන කාලයට අදාළ වූයේ ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 309ක් පමණි. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 309ද ඇමෙරිකානු ඩොලර් මිලියන 292ක්ම හම්බන්තොට වරාය වසර 99කට බදු දී ලබා ගත් මුල් වාරිකය විය. ඒ අනුව වත්මන් ආණ්ඩුව යටතේ 2017දී ඇත්තටම අලුතින් ලබාගෙන ඇති ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් වැනි ඉතා සුළු මුදලක් පමණි. දේශපාලනඥයන් බොරු කීම අපට පුරුදුය. එහෙත් වැඩ නොකර බොරු වැටුප් ලබන තක්කඩි නිලධාරීන් තම වැටුප සාධාරණීකණරය කිරීමට හා දේශපාලන වාසි ලබාගැනීමට රටට බොරු කීම අකැමැත්තෙන් හෝ පිළිගත හැකිද?

දැන් අපි යළිත් මූලික කරුණ දෙස අවධානය යොමු කරමු. වත්මන් ආණ්ඩුව යටතේ කුමන සංඛ්‍යා ලේඛනය පිළිගන්නට දැයි දැන් ජනතාවට ගැටලුවක් මතු වී ඇත.

දේශපාලන වේදිකාවල බොරු කීම සෑම ආණ්ඩුව යටතේම අප දැක ඇතත් වගකිව යුතු රාජ්‍ය ආයතන ජනතාවට බොරු කීම අලුත් හා භයානක තත්ත්වයකි. බොරුවෙන් බලයට විත් බොරුවෙන් පාලනය ගෙන යෑම පුරුද්දට ගොස් ඇති නිසා ඉතුරු කාලයත් බොරුවෙන්ම ගෙවන්නට වත්මන් පාලන තන්ත්‍රය තීරණය කරන බව නිසැකය.

ලංකාව අද මුහුණපා ඇති බරපතළම ගැටලුව නම් අදක්ෂ, අකාර්යක්ෂම හා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂිත දේශපාලන නායකත්වයයි. දිනෙන් දින පරිහානියට යමින් තිබෙනා ජාතික ආර්ථිකය ගොඩගන්නේ කෙසේද යන්න පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක්වත් වත්මන් පාලකයන්ට ඇති බවක් නොපෙනේ. වසර 3ක් තුළ එකිනෙකාට නොගැළපෙන ආර්ථික සැලැසුම් 9ක්ම රටට ඉදිරිපත් කිරීමෙන් වත්මන් ආණ්ඩුව පෙන්වාදුන්නේ ඇත්තෙන්ම කියනවා නම් රට ගොඩගැනීමට ඔවුන්ට කිසිදු සැලසුමක් නැති බවයි. වැඩ බැරි දාසලාට කළ හැකි එකම දෙය තමුන්ගේ බැරිකමට අනුන්ට ‍ෙදාස් කීම නිසා මුල් වසර 3ම ඔවුන් ගත කළේ පසුගිය රජයට ‍ෙදාස් පවරමිනි. නමුත් දැන් ඔවුන්ගේ පාලන කාලයෙන් 50%ක් අවසන් නිසා තවදුරටත් මේ අඳෝනාවට සවන් දෙන්නට රටේ ජනතාව සූදානම් නැත. ඒ නිසා ආණ්ඩුව දැන්වත් වැඩ පටන්ගත යුතුය.

නමුත් නොහැකියාව බෙහෙත් දී හෝ බලි තොවිල් කර හෝ සනීප කළ හැකි අසනීපයක් නොවන නිසා ඉතුරු පාලන කාලය තුළත් වත්මන් ආණ්ඩුවෙන් නම් රටට අවැඩක් මිස වැඩක් බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලිය.

රටේ තවමත් යම් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරුව ඇති නිසා ආණ්ඩුව මොන මැතිවරණය කල් දැම්මත් ව්‍යවස්ථානුකූලව කල් දැමිය නොහැකි ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 19දාට පෙර පැවැත්වෙනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2020 මාර්තු මාසයට පෙර වත්මන් පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි නිසා වත්මන් පාලන ක්‍රමය වෙනස් කිරීමේ

පළමු අවස්ථාව 2019 එළැඹෙන ජනාධිපතිවරණය වනු ඇත. ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සිදුවීමට නම් එක්කෝ පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය යුතුය. එසේත් නැත්නම් වත්මන් පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රිවරුන්ගෙන් 2/3ක්ම 19 වැනි ව්‍යවස්ථාවෙන් නියම කොට ඇති වසර 4 1/2 සීමාවට පෙර පාර්ලිමේන්තුව විසිරවීමට එකඟ විය යුතුය. දේශපාලනය යනු ඉතා අවිනිශ්චිත විෂයක් නිසා මේ ඕනෑම දෙයක් සිදුවීමට මෙන්ම සිදුනොවීමට ඉඩ ඇත.

නිදහසින් පසු ලංකාව ආණ්ඩු ගණනාවක් විසින් පාලනය කොට ඇතත් තවමත් මේ රට දියුණු රටක් බවට පත්කිරීමට ඒ කිසිදු පාලන තන්ත්‍රයක් සමත් වී නැත. අපට පසුව නිදහස ලබාගත් බොහෝ ආසියාතික රටවල් මේ වන විට අප අභිභවා බොහෝ ඉදිරියට ගොස් ඇති බව රහසක් නොවේ. ඒ වෙනසට හේතුව අපේ රටේත් එම රටවලත් දේශපාලනඥයන්ගේ වෙනස බව තේරුම් ගැනීමට අපහසුවක් නැත. සාම්ප්‍රදායික දේශපාලනඥයන් විසින් යළි යළිත් අපව මුළා කිරීමටත්, රටක් ජාතියක් වශයෙන් අපව පරාජය කිරීමටත් වගකිව යුත්තේ ඔවුන්ව යළි යළිත් බලයට පත්කරන ජනතාවම නොවේද?

"රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට ගැළපෙන පාලකයන්ය" කියා වරක් සුප්‍රකට ප්‍රංශ ජාතික දාර්ශනිකයකු හා ලේඛකයකු වන ජෝෂප් ඩී. මේස්ට්‍රෙ පැවැසීය. මේ අදහස තරමක් සංශෝධනය කළ හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා වරක් කීවේ ඡන්ද දායකයන්ට ලැබෙන්නේ ඔවුන්ට ගැළපෙන දේශපාලනඥයන් කියායි. එසේ නම් වසර 70ක් පුරා ලංකාවට ලැබුණේ අපේ රටේ ඡන්දදායකයන්ට ගැළපෙන දේශපාලනඥයන් විය යුතුය. ඒ අනුව ඔවුන් රටට මෙතෙක් කළ දේ ගැන සෑහීමකට පත් නොවන්නේ නම් පළමුව වෙනස් විය යුත්තේ ඡන්ද දායකයන් නොවේද?

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon