පොලිසියේ කටේ පස්ද?

  👤  3635 readers have read this article !
2018-04-25

කුඩු සහ පස් සමඟ පාතාලයට ඇත්තේ සමීප සබඳතාවකි. පාතාලය සිදුකරන ඇතැම් ඝාතන පිටුපස කුඩු හා පස් ජාවාරම තිබෙන බව රහසක් නොවේ. ඉකුත් 21 වැනිදා අත්තනගල්ලේ පැවැති සංගීත සන්දර්ශනයකදී පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෑත කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවූ ඝාතනවලින් බහුතරය පස් ජාවාරම්කාරයන් අතර ඇතිවූ ගැටුම්වල ප්‍රතිඵලය.

කුඩු ජාවාරමට මෙන්ම ගම්පහ පස් ජාවාරමටද දේශපාලන රැකවරණය ලැබෙන බව නොරහසකි. ආණ්ඩු වෙනස් වුවද දේශපාලන රැකවරණයේ වෙනසක් වන්නේද නැත. නොඑසේ නම් 2015 ජනවාරියෙන් පසු ගම්පහ පස් ජාවාරම පොළොවට 'පස්' විය යුතුය. එහෙත් එසේ වී නැත. පස් ජාවාරම්කාරයෙක් සමඟ හැප්පුණු රාජ්‍ය ඇමැතිවරයකු වූ රන්ජන් රාමනායක පවසා තිබුණේ සිය ආසන සංවිධානයක ධුරය අහිමි වීමට 'පස්' ප්‍රශ්නය බලපෑ බවය.

දේශපාලනඥයන් පමණක් නොව පොලිසියද පස් ජාවාරම්කාරයන්ගේ මිත්‍රයෝ වෙති. ගම්පහ පොලිසි පමණක් නොව රටේම පොලිසිවල පස් මිත්‍රයන් සිටින බව ඊයේ දිනපතා 'මව්බිම' පළවූ පුවතකින් යළි යළිත් සනාථ වේ.

විකෘති කළ බලපත්‍ර උපයෝගි කරගෙන පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට පැය විසිහතරක් යෑමට මත්තෙන් ස්ථාන මාරුවක් ලැබීම ඒ සිද්ධියයි. පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ හොරණ පොලිසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ඒ.ටී. පෙරේරා ඉකුත් අප්‍රේල් පළමුවැනිදා තවත් කොස්තාපල්වරයකු සමඟ ගාලු පාරේ රාජකාරියේ යෙදී සිටියදී පස් පටවන ලද ටිපර් රථ දෙකක් පරීක්‍ෂා කර ඇත. එහිදී අදාළ බලපත්‍ර ව්‍යාජ අස්සන් යොදා සකස් කර ඇති බව පෙනී යෑම නිසා රථ අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්‍ෂණවලදී සනාථ වී ඇත්තේ ටිපර් රථවල ගමනාන්තය බලපත්‍රවල සඳහන් ස්ථානය නොවන බවත්ය.

ඊට දින හතරකට පසු කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයට කතා කළ පස් ව්‍යාපාරයේ හිමිකරු තර්ජනාත්මකව ප්‍රකාශ කර ඇත්තේ පැය විසිහතරක් ඇතුළත වෙනත් පොලිසියකට මාරුකර යවන බවය. පසුදිනම බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුවීම් නියෝග අනුව අදාළ කොස්තාපල්වරයා කළුතර දිස්ත්‍රික්කයේ හොරණ පොලිසියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල පොලිසියට මාරු කර යවා ඇත.

අප්‍රේල් පළමුවැනිදා හෙවත් මෝඩයාගේ දවසේ රාජකාරිය අකුරට කිරීම 'මෝඩ වැඩක්ද?' යන ප්‍රශ්නාර්ථය පොලිස් කොස්තාපල්ගේ හිතට වදයක් වීද නැත්ද නොදන්නා නමුත් මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ යැයි හිතවත් කිහිප දෙනකු හෝ ඔහුට කීවාට සැක නැත.

රට ගමන් කරමින් සිටින්නේ එවැනි කාලකණ්ණි දිශාවකටය. යුක්තියට ගරු කරන අකුරට රාජකාරි කරන්නන් මෝඩයන් බවට සමාජයෙන් ගැරහුම් ලබන අවාසනාවන්ත තත්ත්වයක් උදාවී තිබේ. තක්කඩියන්, බොරුකාරයන්, අපරාධකාරයන් වීරයන් ලෙස භෞතිස්ම කරන්නන් බහුල වෙමින් පවතින යුගයක අපි ජීවත් වෙමින් සිටිමු.

'පොලිසිය' ගැන පොදුවේ සමාජය තුළ ඇත්තේ අප්‍රසාදයකි. ඇති හැකි අයට එක විදියකටත් නැති බැරි අයට තව විදියකටත් 'පොලිසිය' සලකන බවට මතයක් ජනතාව තුළ ඇත. පොලිසියේ සමහරුන් ජරාව කන බව එනම් පගාව ගන්නා බවට බරපතළ චෝදනාවක් තිබේ. එවැනි පොලිසියක රාජකාරිය අකුරට කළ හොරණ පොලිසියේ නිලධාරියාට යුක්තිගරුක මිනිසුන්ගේ ප්‍රණාමය හිමිවිය යුතුය. පස් ජාවාරම්කාරයන්ට යටවී ඒ නිලධාරියාට පැය විසිහතරෙන් ස්ථාන මාරුවීමක් ලබාදුන්න වුන්ට යුක්තිගරුක මිනිසුන්ගේ පිළිකුල එල්ල විය යුතුය. පොලිස් කොමිසමක්ද තිබෙන රටක මෙවැනි දේ සිදුවීම ඉතා කනගාටුදායකය.

පොලිසිය දිගින් දිගටම වැඩ කරන්නේ මෙලෙස නම්, ඊනියා දේශපාලනඥයන්ගේ පිළිවෙත තවදුරටත් මෙයාකාර නම් ජනතාවගේ කටට පස් වැටෙන දිනය වැඩි අෑතක නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon