වෙට්ටු නැති හෙට්ටු

  👤  4613 readers have read this article !
2018-05-04

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කල්ලිය තවදුරටත් රඳවා තබා ගෙන කැබිනට්ටුව තුළට දමා ගන්නට මෛත්‍රි කළ සියලු දේ වතුරේ ගියා සේය. කිසිවක් හරි නොගිය නිසා අවසානයේ දෙතුන් දෙනකු හෝ කැබිනට්ටුවට ගැනීමේ සියලු උත්සාහයන්ද ව්‍යර්ථ විය. ඒ වන තුරුම මෛත්‍රිගේ පාර්ශ්වයට ඇති ඇමැතිකම් සපුරාලීම කොයිකටත් වඩා අසීරු වුණේය. එය කොයි තරම් දැයි කියනවා නම් මෛත්‍රිගේ දෑත ශක්තිමත් කරන්නට එක්වූ මේ වන විටත් ආණ්ඩුවෙන් ඉවත් වූ අයකු කියන්නේ...

'ආණ්ඩුව තවදුරටත් පක්ෂ දෙකම එකතු වෙලා ගෙනියනවා නම් මෛත්‍රිටත් ශක්තියක් තියෙන බව පෙනෙන්න ඕන. ඒක රටට ඒත්තු ගන්වන්නත් ඕන. ඒත් 16 දෙනා ඉවත් වුණේ ඇයි ද කියලා මෛත්‍රි හරි හැටි තේරුම් අරන් නැති බවක් පෙනුණා. සමහර විට එයාගෙ අරුම පුදුම උපදේශකයෝ කියන්න ඇති දෙතුන් දෙනෙක් හරි ර¼දවා ගෙන කැබිනට්ටුව පත් කරමු කියලා. මෛත්‍රිත් ඒක තදින් හිතට ගත්ත වගක් අන්තිම මොහොත වන තුරුම පෙනුණා. එයා පුළුවන් තරම් උත්සාහ කළා. අන්තිමට එයා තේරුම් ගත්තා 16 දෙනාගෙන් කවුරුවත් ආයේ ගන්න බැරි බව. කැබිනට් මණ්ඩලයේ එයාගෙ පැත්තෙ පුරප්පාඩු ටික ඕනෑ විධියට සම්පූර්ණ කරන්න බැරි වුණේ ඒකයි. ඒකට මෛත්‍රිගෙ හිතට හරි නෑ' කියලාය.

ඒ ඔවුන්ගේ පාර්ශ්වයේ මතයය. එහෙත් මෛත්‍රිට සමීප වෙනත් ආරංචි මාර්ගවලට අනුව 'විද්‍යාත්මක පදනම' පෙරට දමා මෛත්‍රි පාර්ශ්වය පුළුවන් තරම් එජාපයේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් කපා කොටා එහාට මෙහාට කර දැමීමට පුදුමාකාර උනන්දුවක් දක්වා ඇත. ඒ සඳහා යෝජනා ගෙන ආ අය අතර 16 දෙනාගේ කල්ලියේ ඇමැතිකම් දැරූවන්ද සිටි බැව් කියැවේ. 'අතිශය වැදගත්' යැයි හැඟෙන ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් වෙනස් කිරීමට ලැබුණු උපදෙස් අනුව මහාමාර්ග විෂය, අධිවේගී මාර්ග අයත් වන ක්‍ෂේත්‍ර ගැන වැඩි උනන්දුවක් තිබිණි. ඒ අතර රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන කටයුතුත් ගැන වෙන කවරදාකවත් නැති කතා කෙරුණේය. යෝජනා බොහෝ තිබිණි.

එයට බෙහෙවින් හේතුවූයේ යැයි පැවැසෙන්නේ කිරිඇල්ලගේ අමාත්‍යාංශය බලවත් වීම හා ඒ හා බැඳීගත් උදවිය එය හසුරුවන ආකාරය පිළිබඳ බරපතළ විවේචනද තිබුණු බැවිනි. එහි කෙරුවාව කතා බහට ලක් කළ ප්‍රමුඛතමයකු වූයේ මහින්දගේ පිලට කඩේ ගියා යැයි කියැවෙන දූෂණ චෝදනා ඇති 16 කල්ලියේම තවත් ප්‍රබලයෙකි. ඒ කියන හැටියට කිරිඇල්ලගේ කෙරුවාවත්, එය පාලනය කළයුතු වීමත් බරපතළ ලෙස කතිකාවට ගන්නට ඉඩද තිබුණේය. යෝජනා හා චෝදනා බෙහෙවින් තිබුණේ රාජ්‍ය ව්‍යවසාය, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශවලටය.

දුමින්ද දිසානායක තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ රඳවා තබා ගැනීම සුදුසු නැතැයි මෛත්‍රි පාර්ශ්වයේම සුපිරි උපදේශකයන්ද කියා තිබිණි.

'කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩක් වූණේ නෑ' කියන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ මතයය. ගොවීන් තෘප්තිමත් නෑ, පොහොර ටික වෙලාවට දෙන්න බැරිවුණා. ඔබතුමාටත් මේ නිසා අපහසුතාවන්ට මුහුණ දෙන්න වුණා. ඒ නිසා 'දුමින්දගෙන් කෘෂිකර්මය ගලවමු' යැයි කියැවුණු යෝජනා එක පිට එක එන්නට විය. මෛත්‍රි එය තේරුම් ගෙන තිබුණු බවක් පෙනිණි. ඒ නිසාම මෙය යහපත් ලෙස කළමනාකරණය කරගන්නට මෛත්‍රිටද දුමින්ද ගෙන්වා පහදා දෙන්නටත්, එළැඹෙන තත්ත්වයට අනුගතව ඉදිරි පියවර තබන ආකාරය පිළිබඳවත් කරුණු පහදා දෙන්නට සිදු වුණේය.

ඒ අනුව දුමින්දට වෙනත් විෂයක වගකීම දරන්නට වේය යන්න මෛත්‍රි දැනවීය. ඒ අනුව එහි දුක්ගන්නා රාල වන්නට වූයේ මහින්ද අමරවීරටය. එයින් දුමින්දගේ බර මහින්ද අමරවීර පිට පැටවිණි. එහෙත් දුමින්දට පැවැරූ වාරිමාර්ග, ජල කළමනාකරණ, ආපදා කළමනාකරණ විෂයයන් හරහා මීටත් වඩා හොඳින් වැඩ කර පෙන්වන ලෙසට අවවාදයක් ද ලැබී තිබුණේය.

විද්‍යාත්මක පදනමකින් නොවූවත්, විවාදාත්මක වුවත් මෛත්‍රිට ක්‍රීඩා විෂයය දෙන්නට ෆයිසර් මුස්තාපා ඇර වෙන කෙනකු සොයා ගන්නට බැරි තරම් විය. ඒ නිසාම පළාත් සභා විෂය භාර ෆයිසර්ටම ක්‍රීඩාද කරන්නට සිදු වූයේය. ධීවර විෂයය විජිත් විජිතමුනිට පැවැරීමේ පැකිළීමක් නොවුණේ ඔහු මෛත්‍රිගෙන් පැවරෙන වගකීම් හරිහැටි ඉටුකරන්නට එස්.බී.ටත් වඩා ප්‍රමුඛයකු වූ බව පෙන්වා තිබුණු නිසාය. එහෙත් මෛත්‍රි විජයමුනිට දුන් ඇමැතිකම පිළිබඳව එජාපයේ කතා බහ වූයේ ඔහු අන් අයට වඩා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යන්නට රාජිත තරම් වෙහෙසක් ගත්, වැඩක් කළ හැකි අයකු වන නිසා මීට වඩා බලගතු ඇමැතිකමක් දිය යුතුව තිබුණු බවය. එහෙත් විජිත් විජිතමුනි වැටෙන්නේ මෛත්‍රිගේ ලැයිස්තුවට වන බැවින් එජාප නායකයාටද ඊට එහා දෙයක් විජිතමුනි වෙනුවෙන් කරන්නට බැරි වුණේය.

'මොනවා වුණත් විජිතමුනි හොඳ කතාකාරයා. එයා වටින්නේ අපට' යැයි එජාපයේ ප්‍රබලයන් කියන කතාද මේ අතර ඇසුණේය.

කැබිනට් සංශෝධනයේ විශේෂම තීරණය විජයදාස රාජපක්ෂය. 'අස්කරපුු විජයදාසට කොහොමද ඇමැතිකමක් ලැබුණේ?' යන්න කවුරු කවුරුත් මේ මොහොතේ කතා බහ කළද එය විශ්වාසභංගයටත් පෙර සිට වූ පෙර නිමිති පහළ කරමින් තිබූ තත්ත්වයක් බව අපට නම් රහසක් නොවේය.

ඔහු කඩාගෙන යනවා නම් මහින්ද ළඟට යා යුතුය. එහි අවසානය මහින්ද ආ කල ප්‍රබලම ඇමැතිකමක්ය. නැතිනම් ජනාධිපති අපේක්ෂකකමය යන හේතු ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ විජයදාසගේ භූමිකාව පැති කිහිපයකටම විහිදී ගිය බවට තොරතුරු වාර්තා විය. එහෙත් ඔහු මහින්දගේ ඔත්තුකාරයෙක්ය, මෛත්‍රිගේ ඔත්තුකාරයෙක්ය යන තොරතුරු පළ වුවද විජයදාස සිග්නල් දැම්මේ මහින්දගේ පැත්තට බවට වූ බර වැටෙන කතා වැඩිය. එහෙත් විශ්වාසභංගයේදී රනිල් වෙනුවෙන් වූ තීරණාත්මක සාකච්ඡා කිහිපයකදීම විජයදාස යළි හරවාගත හැකි බවට ලකුණු පළවිය.

තිස්ස අත්තනායකට වගේ කාලයක් දරදිය ඇද්ද කෙනෙක් නායකතුමා කපලා දැම්මා නම් ඇයි මේ විජයදාසට සමාව දෙන්නේ? යැයි එජාපයේ ප්‍රබලයන් අතර පවා කසු කුසු බොහෝ විය. එය සවන් වැකුණු හැම මොහොතකම නායකතුමාගේ තොරතුරු සනාථ කරන්නන් පැවැසුවේ 'තිස්ස අත්තනායක වෙන් වුණ විධියයි විජයදාස මතවාදීමය විධියට ගැටුණු විධියයි වෙනස්. ඒ නිසා විජයදාස මේ මොහොතේ නම්මවාගන්න එක අපට ශක්තියක්' ය කියලාය.

සැබැවින්ම මේ තිරනාටකය සකස් කළ මහ මොළකරුවා වූ රනිල්ගේ න්‍යායට අනුව නම් විශ්වාසභංගයම පමණක් නොව විජයදාසගේ යළි පැමිණීම හරහා 'ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්'ය යන පණිවුඩය ඒකාබද්ධයට සැපයීම ඉතා වැදගත් දෙයකි.

කරුණු එසේ නම් මෛත්‍රිගේද තදබල විරෝධතාවක් නැති බව දැනුණේ නම් රනිල්ට මෛත්‍රි හා කළ කැබිනට්ටුව පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවේදී විජයදාසව කපා හරින්නට ඕනෑ වන්නේ නැත.

'දැන් තියෙන්නේ අතීතයේ වැරැදි දැක දැක ඒවා සිහිකර ඒ දිහා බලාගෙන ගහබැන ගන්න එක නෙවෙයි. ඉතිරි කාලය ඇතුළේදී අපි පක්ෂයක් විධියට රටට වැඩක් කරලා පෙන්වන එකයි.'

රනිල් හා ඉතා සමීප ඇමැතිවරයකු පසුපෙළ මන්ත්‍රිවරුන් අතරටවිත් නිතර කියාපාන මේ අදහසද එකහෙළා බැහැර කළ නොහැකිය. රනිල්ට දැන් ඕනෑ වන්නේ කෙසේ හෝ නැති වී ගිය තමන්ගේ තත්ත්වය යළි රැකගන්නට කළ යුතුම දේ කෙසේ හෝ කිරීමටය. එහෙයින් ඔහු හා ඒ හැටි විරෝධතා නැති සරත් අමුණුගමට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ වැනි අමාත්‍යාංශ විෂයයන් කිහිපයක් හෝ ඊට වැඩි යමක් දුන්නද ඊට එරෙහිව ගැටෙන්නට යන්නට වුවමනා නැත.

'කලබල වෙලා පැනලා ගියාට දයාසිරි ශ්‍රී ලංකා එකට ගිහින් කර ගත්තෙ අපරාධයක්. අපේ පැත්තෙ හිටියා නම් එයා මීට වඩා ඉස්සරහට එනවා. සුජීව සේනසිංහත් ඉක්මන් ගමන් යන පාටයි. එයා ටිකක් තව තැන්පත් ගුණයත් ඉවසීමත් පුරුදු වුණා නම් තවත් වටිනවා. ඉලක්කය දැක දැක, ඒක ජයගන්න වෙර වීරිය කරන්න ඕන බව දැන දැනම විවේචන විතරක්ම කරකර ඉන්න ගියොත් ජයග්‍රහණය තමන්ගෙන් අෑතට යන්න පුළුවන්' ය කියා එජාපයේ ජේ‍යෂ්ඨයෙක් කියා සිටි කාරණාද මෙහිදී අමතක කළ නොහැකිය.

එසේ නම් එක්සත් ජාතික පක්ෂය කෙසේ කීවත් තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ යන පසුපෙළ එජාප මන්ත්‍රිවරුන්ගේ ආවේගාත්මක, ප්‍රහාරාත්මක කතාවලට පදනමක් නැත යන්න රනිල් පෙන්වා දී හමාරය.

රනිල් එයින් පෙන්වා දී ඇත්තේ 'මේ ටික කාලයේ එජාපයේ කණ්ඩායම හොඳින් වැඩ කර පෙන්නුවොත් ජයග්‍රාහී මාවතට එන්න පුළුවන්' ය කියලාය.

රවිට චෝදනාවලින් නිදහස් වනතුරු පක්ෂයේ තනතුරක් ලබා නොදී ආදර්ශවත් වූවා නම් රනිල්ගේ ඇරැඹුම හොඳ වන්නට තිබිණි. එහෙත් ඒකාබද්ධය හෝ මොන බද්ධය හෝ වැරෙන් පහරදී ජනතාව හමුවේ හෙළිදරව් කළ බැඳුම්කර මගඩියේ චෝදනා තවමත් අළු යට ගිනි මෙන් තිබෙන්නේය. එක්සත් ජාතික පක්ෂය වැදගැම්මක් ඇති පක්ෂයක්ය යන්න යළි ජනතාවට තහවුරු කරන්නට නම් කාටත් එක හා සමාන නීතිය පක්ෂය තුළත් ඇති කළ යුතුය.

'රනිල් තමන්ගේ කල්ලියක් පමණක් රැස්වෙලා මේ නූල් සූත්තර ප්‍රතිසංවිධානය මුවාවෙන් ආයෙත් ඇත්තටම නිල නොවන විධියට වැඩ කරන්න ගියොත් වෙන්නෙ ඡන්දෙදි හතර අතේ පරදින එකයි. රනිල් හිතුවක්කාර වීම පක්ෂයේ නියත ජයග්‍රහණයට බාධාවක්. ඒක එහෙම වීම මහින්දට පාවඩ දාලා බලයට එන්න ඉඩ ඇරීමක්.'

රනිල්ගේ හැසිරීම ගැන ඉවෙන් මෙන් දන්නා පැරැණි සාමාජිකයකු මේ ගැන කියන්නේ එවැන්නකි.

මේ තත්ත්වය මත මෛත්‍රිට ශ්‍රී ලනිපය හරහා ජනාධිපති වන්නට අද තත්ත්වය අනුව නම් ඉඩක් නැත. තිබුණද සටනක් ඇත්තේ මහින්ද හා රනිල් අතරය. ඉනුත් මහින්දට ඉදිරිපත් වන්නට බැරි නිසා චමල් හෝ ගෝඨා වැන්නකු ඉදිරියට එනු ඇත. ඒ නිසාම මෙවර නම් පක්ෂයේදී රනිල්ට වෙට්ටු දම දමා ප්‍රශ්නයෙන් ගැලවී කල් වරමින් ගේම් ගහන්නට ඉඩක් නැත. ඒ තරමටම මහින්ද රනිල්ගේ ඇසි පිය හෙළවීම පවා සිහිනුවණින් නිරීක්ෂණය කරමින් සිටින්නේය. රනිල් ගන්නා තීරණ 'රනිල් රක්නට පමණක්' නොව පක්ෂයත්, ජයග්‍රහණයත් රකින්නට ගත යුතුය. නැතිනම් මේ රනිල්ගේ අවසන් අවස්ථාව පමණක් නොව එජාපයට මතක ඇති කාලයක ආයේ බලයට එන්නට බැරි වන දෙයක් වන තත්ත්වයක්ද උදාවනු ඇත.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon