නෑ මං මහණ වෙනවාමයි මහණ වුණොත් අපායෙ යනවද එහෙම වෙන්නෙ කොහොමද?

  👤  5372 readers have read this article !
2018-05-06

පාසලේ සිසුන් අතරද ආදරය දිනා සිටි ඔහුට එම සිසුන් කිව්වේ...
'අනේ ගුරුවරයෙක් වෙලා අපට උගන්වන්නකෝ ඔයාගෙන් ඉගෙන ගන්න අපි කැමැතියි' යනුවෙනි.
'නෑ... නෑ.... මම ගුරුවරයෙක් වෙන්නෙ නෑ. මට ඕනෑ මහණ වෙන්න. මං මහණ වෙනවාමයි.' හීන් බණ්ඩා තිර අදිටනින් සිසුන්ට පැවැසීය.

ඉමිහාමින්නේගම ගම්මානය ශ්‍රී සම්බුද්ධ ශාසනයට බුද්ධ පුත්‍රයන් රැසක් දායාද කළ ගම්මානයකි.
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිව වැඩ විසූ නුවර පෙතිගේපිටිය විහාරාධිපති ගුණරතන නාහිමි එහිම වැඩ විසූ ධම්මජෝති නාහිමි, මකුලේමඩ විහාරාධිපති ඉන්ද්‍රජෝති නාහිමි, තලකිරියාව විහාරාධිපති සුමංගල නාහිමි, නිලන්නොරුව විහාරාධිපති නාහිමියන් මෙන්ම නුවර යුගයේ වැඩ විසූ 'කුඩාපොල උන්නාන්සේ' නමින් සිරිලක පතළ කුඩාපොල නාහිමි මෙම පින්වන්ත ගම් පියසේ හැදී වැඩී මහණකමට නික්ම ගිය ශ්‍යාමෝපාලිවංශික නාහිමිවරුන්ය.

දිනක් නිලන්නොරුව විහාරාධිපති නාහිමියන් කළුබණ්ඩා උපාසක මහතාගේ නිවෙසට වැඩම කළහ. රාත්‍රිය එම නිවෙසේ වැඩ විසූ නාහිමියන්ට පසුදින හීල් දානය පිළිගැන්වූ පුංචි මැණිකා උපාසිකා මාතාව දන් වළ¼දා අවසානයේ සිය සැමියා සහ දරු මල්ලන්ද සමඟ ගෙබිම පැදුරක් එළා ඒ මත වාඩි වූහ.

'උපාසකම්මේ අපේ පන්සලට මෙච්චර කුඹුරු තියෙනවා. මෙච්චර මෙච්චර තේ වතු, රබර් වතු තියෙනවා. මේවා පරම්පරාවෙන් පිට යවලා බෑ. ඉදිරියට මේවා පවත්වාගෙන යන්න අපේ පවුලක කෙනෙක් මහණ කරගන්න වුවමනායි. මට මේ පවුලෙන් දරුවෙක් වුවමනායි මහණ කරගන්න.'

මේ ටික කන වැකුණ විගස පුංචි මැණිකා උපාසිකාව නාහිමිපාණන් වහන්සේට දුන්නේ ඍජු මෙන්ම දැඩි පිළිතුරකි.
'අපේ හාමුදුරුවනේ මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ.' නාහිමිපාණන් නිරුත්තර විය.
හීල් දානය නිමාවේ පින් අනුමෝදනාවට පෙර සිදු වූ මෙම කතාබහෙන් නිරුත්තර වූ නාහිමිපාණෝ පින් අනුමෝදන් කොට එම නිවෙසින් වැඩම කළහ.

'මහණ වුණොත් අපායෙ යනවද?' හීන් බණ්ඩා බියපත්ව සිතන්නට විය. 'එහෙම වෙන්නෙ කොහොමද? නෑ මං මහණ වෙනවාමයි. ඔහු නැවතත් තමන්ටම කියා ගනිමින් එම අදිටන තවත් ශක්තිමත්ව හද තුළ තැන්පත් කර ගත්තේය.
ගුණවත් වූ මවුපියන් වැඩිහිටියන් විසින් නිතර නිතර සිදු කෙරෙන මහ පින්කම්වලට සහභාගි වෙමින්ද නිතිපතා පාසල් යමින්ද නිලගම පන්සලෙන් ගාථා ඇවතුම් පැවතුම් ඉගෙන ගනිමින්ද හීන් බණ්ඩා ගත කළේ ඉතා තෘප්තිමත් දිවි පෙවෙතකි. මේ අර්ථවත් දිවි පෙවෙත වඩාත් හරවත් කරමින් ඉමිහාමින්නේගම සමාගම් ශාලාවේදී දහම් පාසලක්ද ආරම්භ විය. එහි ඉගැන්වීම් කටයුතුවල නිරත වූයේ කළුබණ්ඩා උපාසක මහතා හා ගමේ වැඩිහිටියන් කිහිප දෙනෙකි. සෑම ඉරු දිනකම නොකඩවා නොවරදවා දහම් පාසල් යන හීන් බණ්ඩා එම වැඩිහිටියන්ගෙන් නම් පොත, මඟුල් ලකුණ බුද්ධගජ්ජය, සකස්කඩ, නාමාෂ්ඨශතකය වැනි පොතපත පරිශීලනය කරමින් නිවැරැදිව මිහිරි උසස් හ¾ඩින් ශ්ලෝක කියන්නට ඉගෙන ගත්තේය.

ඒ 1948 වසරයි. එම වසරේ පෙබරවාරි 4 වැනි දිනය එළඹිණි. ශ්‍රී ලංකාවට නිදහස ලැබූ දිනය එදිනයි. එයට සමගාමීව සෑම ගමකම පිහිටි විහාරස්ථාන, පාසල්වල විවිධ ආගමික වැඩසටහන් හා ශීල ව්‍යාපාර දියත් කරන ලෙස රජයෙන් මෙන්ම විහාරස්ථානවලින් දැනුම් දීම් සිදු කෙරුණි. නිලගම පාසලට නම් ආගමික වතාවත් අලුත් දෙයක් නොවීය. නිලගම පන්සල සෙවණේ පාසල පිහිටීම එයට හේතුව විය. එහෙයින්ම අන් පාසල්වලට එහා ගිය පින්කම්, ආගමික වතාවත් එම පාසලෙන් සංවිධානය වන්නට විය. 1948 පොසොන් පුර පසළොස්වක
පුන් පොහෝ දින සිල් සමාදන් වන්නට කැමැති සිසුන්ට ඒ සඳහා ඉදිරිපත් වන්නැයි ලොකු ඉස්කෝලෙ මහත්තයා දන්වා සිටියේය. එදින වන විට නව හැවිරිදි වියේ පසුවූ හීන්බණ්ඩාට නම් සිල් සමාදන් වීම අලුත් දෙයක් නොවීය. ඔහුගේ පියාණන් සහ මෑණියන් පෝය හතරට සිල් සමාදන් වෙන්නේ ඔහු උපදින්නටත් පෙර සිටය.

පුංචි මැණිකා උපාසිකා මාතාවගේ මෑණියන් (හීන් බණ්ඩාගේ කිරිඅම්මා) ඔවුන් දන්නා දා සිටම සතර පොහොය නොකඩවා සිල් සමාදන් වන උපාසිකාවකි. ඇය සුදෝ සුදුවතින් සැරසී උතුරු සළුව පොරවා ගෙන පන්මල්ලද රැගෙන සන්සුන් ගමනින් සිල් සමාදන් වන්නට නිලගම පන්සලට යන හැටි හීන්බණ්ඩා බලා සිටින්නේ දැඩි ආශාවකිනි. "කිරි අම්මා සමඟ මටත් සිල්ගන්න තියෙනවා නම්" එසේ සිය දහස්වර සිතන හීන්බණ්ඩා වයස අවුරුදු නවයක් පිරුණු මොහොතේ තමන් තුළ ඇති බලවත් ආශාව අම්මාට මතක් කර සිටියේය.

ලබන සතියට
සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon