රෙද්දක් ඇඳගෙන මම කොහොමද රවිට ඇමතිකමක් දෙන්නේ -ජනපති

  👤  6342 readers have read this article !
2018-05-06

උදේනි සමන් කුමාර

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානිගේ රට හොල්ලපු අල්ලස් මගඩිය

රටම හොල්ලන අල්ලස් කතාවකින් පසුගිය සතිය නිමා විය. අල්ලස් දැලට කොටු වූයේ ලේසි පහසු තැනැත්තන් නොව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපතිය. නම්වලින්ම සඳහන් කරතොත් ආචාර්ය ඉඳිකැටිය හේවගේ කුසුම්දාස මහනාම සහ පියදාස දිසානායකය. මේ දෙදෙනාම රාජ්‍ය පරිපාලන සේවාවේ ඉහළ තනතුරු දැරූවන්ය. මහනාම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් තනතුර දැරූ අතර පියදාස දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ඔහු පසුව මෑතක් වනතුරුම ඇයගේ ලේකම් ධුරයේ කටයුතු කර ඇත.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1962 වසරේ එවකට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක පාලනය සමයේ ආරම්භ කළ අතර 1977 එ.ජා.ප. පාලන සමයේ එහි නිෂ්පාදන ඇන හිටියේය. එතැන් පටන් සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර දහස් ගණනක භූමිය වනාන්තරයට යටවූ අතර ගොඩනැඟිලි හා වටිනා යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝජනයට නොගෙන තිබිණි. ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් ලෙස කන්තලේ සීනි කර්මාන්ත ශාලාව රජය විසින් එම්.ජී. ෂුගර් ලංකා (පෞද්ගලික) සමාගමට පවරා ඇති අතර කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැඟිලි සහ යන්ත්‍ර සූත්‍ර නිදහස් කිරීමට මෙම අති විශාල අල්ලස් මුදල ඉල්ලා තිබේ. ඉහත සමාගමේ කළමනාකාර කේ.ආර්.ඩී. නඩරාජා මේ පිළිබඳ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට ලබාදී ඇත. මිලියන 540ක අල්ලසක් ඉල්ලා පසුව එය මිලියන 100 දක්වා අඩු කොට අත්තිකාරම් වශයෙන් මිලියන 20ක් ලබා ගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇත. කොළඹ ටාජ් සමුද්‍රා හෝටල රථගාලේදී අදාළ ගනුදෙනුව සිදුවී තිබේ.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ජනපති උපදෙස්

අල්ලස් ලබාගත් තැනැත්තන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ උදවිය බව අවසන් අවස්ථාව දක්වාම අල්ලස් කොමිසමේ නිලධාරීන් දැන සිට නැත. ඔවුන් දැනගත් වහාම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු දැනුවත් කර තිබේ. රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් පුවත ළැව් ගින්නක් මෙන් පැතිරී යෑම ඇරැඹුණු මොහොතේ ජනාධිපති මාධ්‍ය අංශයටද දුරකතන ඇමැතුම් ගලා එන්නට විය. පුවත සත්‍යයක් බව තහවුරු කරගත් එහි නිලධාරීහු ඒ පිළිබඳව වහාම ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්හ.

පුවත දැනගත් ජනාධිපතිවරයා දැඩි කෝපයෙන් යුතුවම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අමතා එම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය.

''මිනිස්සු යහපාලනය බලයට පත් කළේ හොරු දූෂිතයෝ නීතිය හමුවට පමුණුවන්න. අපි ස්වාධීන කොමිෂන් සභා පත් කළේ ඒකට එසේ නොවුණා නම් මෙවැනි අල්ලස් ගැනීම් කවදාවත් අහු වෙන්නේ නෑ. අමතක කරන්න එපා රටේ ජනතාව මේ හැම දෙයක්ම විමසිල්ලෙන් බලා ඉන්නවා.'' මෛත්‍රි කාර්ය මණ්ඩලය සමඟ පවසා ඇත.
රවීට ඇමැතිකමක් නොදුන්නේ ජනපති විරුද්ධ වූ නිසා බව රනිල් කියයි.

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙන් පසු එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරු කිහිපදෙනකු අගමැති රනිල් හමුවී.

''ඔබතුමා ඇයි රවීට ඇමැති කමක් නොදුන්නේ යැයි ප්‍රශ්න කර තිබේ.''

''තිබෙන පත්වීම් මිස අලුත් පත්වීම් නොදෙන බව ජනපති කීවා. ඒකයි රවීට ඇමැතිකමක් නොලැබුණේ'' රනිල් පැහැදිලි කර තිබේ.

රනිල්ගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවූ එ.ජා.ප. මන්ත්‍රිවරු පස් දෙනකු පසු දින ජනාධිපති හමුවී තිබේ. එඩවඩ් ගුණසේකර, ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන ඒ අතර වූහ.

''ඇයි සර් රවීට ඇමැතිකමක් නොදෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ'' ඔවුන් ජනපති මෛත්‍රිගෙන් විමසා ඇත.

''ඔයගොල්ලෝ දන්නවා බැඳුම්කර ජනාධිපති කොමිෂමේ වාර්තාව නිකුත් වුණම ජාතිය අමතලා ප්‍රකාශයක් කළා. මම එදා කිව්වේ රවි කරුණානායක කරපු වැරැදිවලට නඩු පවරනවා කියලයි. මම කොහොමද රෙද්දක් ඇඳන් රවි කරුණානායකට ඇමැතිකම් දෙන්නේ. ඒක නම් මගෙන් කීයටවත් සිද්ධ වෙන්නේ නෑ. මම එයාට ඇමැතිකම් දෙන්නේ නෑ. ඒ ගැන මීට පස්සේ මගෙන් අහන්නත් එපා'' මෛත්‍රි දැඩි ස්වරයෙන් කියාගෙන ගිය්ය.

රවි වෙනුවෙන් සටන් කරන රනිල් එ.ජා.ප.ය පසුපෙළ වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි?

මේ අතර නැවත මෛත්‍රි හමුවූ රනිල් රවිට ඇමැතිකමක් ලබාදීම ගැන විමසා තිබේ. එහිදී ජනපති පෙරළා ප්‍රශ්න කර තිබෙන්නේ.

''ඇයි ඔයා තනි මිනිහෙක් වෙනුවෙන් මේ තරම් සටන් කරන්නේ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ මොන තරම් යෝජනා තිබෙනවද ඇයි? ඒ අය වෙනුවෙන් සටන් නොකරන්නේ'' මෛත්‍රිගේ ප්‍රශ්නයට රනිල් නිරුත්තර වී ඇත.

16 කණ්ඩායම බරටම වැඩ

ඇමැති ධුර අත්හල ශ්‍රී ල.නි.ප. 16 කණ්ඩායම ඉකුත් සතියේ මහ නායක හිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව දී.මු. ජයරත්න ඇතුළු ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්ද හමු වූහ.

වාර්තා වන අන්දමට ඔවුන් ලබන සතියේ හිටපු ජනපති මහින්ද ද හමුවීමට නියමිතය 16 කණ්ඩායම 8 වැනිදා පාර්ලිමේන්තු විපක්‍ෂයේ අසුන් ගන්නවා ඇත. ඔවුන් පවසන අන්දමට මැයි 7 වැනිදායින් පසුව ශ්‍රී ලනිපය ශක්තිමත් කරන පියවර රැසකට ඔවුන් දායක වනු ඇත. ඉදිරි මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ඉදිරිපත් කරන අතර පක්ෂයේ ඉදිරි පෙළ තනතුරුවල වෙනස්කම් රැසක් සිදු කිරීමටද 16 කණ්ඩායම බලාපොරොත්තු වේ.

ජාතික ආණ්ඩුව අච්චාරුවක් කියූ විජයදාසටත් ඇමැතිකමක්

ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක් තුළ හෘද සාක්ෂියට එකඟව සිටිය නොහැකි බව ප්‍රකාශ කරමින් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වූ විජයදාස රාජපක්ෂ නැවත ඇමැති ධුරයක දිවුරුම් දී එළියට පැමිණි විට මේ හදිසි වෙනසට හේතුව කුමක් දැයි මාධ්‍ය ඔහුගෙන් ප්‍රශ්න කළේය.

"කිසිම හදිසියක් නෑ. ජනාධිපති, අගමැති මා කෙරේ විශ්වාසය තබා මට ආරාධනය කළා. මම ඇමැති ධුරය භාරගත්තා.' විජයදාස කීය.

ඔබ ඇමැතිකම අත්හැරියේ ජාතික ආණ්ඩුව 'අච්චාරුවක්' කියලා කුමක්ද මේ වෙනස.

'ආණ්ඩුවේ සන්දර්භය හුඟක් වෙනස් වෙලා.'

'මෙවැනි ආණ්ඩුවක කටයුතු කිරීම ලැජ්ජාවක් බව ඔබ එදා අධිකරණ ඇමැතිකම අත් හැර යමින් කීවා.'

'දේශපාලනඥයන් එවැනි ප්‍රකාශ කරනවා. මහජනයාට සේවය කළ හැකි ඕනෑම මොහොතක එය ඉටු කළ යුතු නිසා ඇමැති පදවිය භාරගත්තා."

එෆ්.සී.අයි.ඩී. දන්සල

වෙසක් පොහොය යෙදී තිබූ අප්‍රේල් 29දා තංගල්ල කාල්ටන්හිදී සිරිත් පරිදි පෝදින ධර්ම දේශනය පැවැත්විණි. නාමල් පෙනෙන්නට සිටියේ නැත. මහින්ද නාමල්ට දුරකතන ඇමැතුමක් ගත්තේය.

'කොහෙද ඉන්නේ.'
'මම මේ එෆ්.සී.අයි.ඩී. එක ගාව ඉන්නවා. නාමල් උත්තර දුන්නේය.

'අද එතැනත් දන්සලක්ද' මහින්ද ඇසුවේය.
'ඔව්. ඉතින් ආණ්ඩුව අපිට දෙන තරමක් දෙන්නේ දන්සල් නේ තාත්තේ. එන්න කියා තිබුණා. ආවා. නාමල් කීවේය.

ෆොන්සේකාට වනජීවී ඇමැතිකම දුන්නේ වන වදින්නලු.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම 1 වැනිදා සවස මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. මහින්ද, දිනේෂ්, වෙල්ගම, විමල්, පවිත්‍රා, ප්‍රසන්න ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී විශේෂ අවධානය යොමු කෙරුණේ එදින උදෑසන සිදුකෙරුණු ඇමැති මණ්ඩල සංශෝධනය සහ ගාල්ලේදී පැවැත්වීමට නියමිත මැයි දින සැමරුම ගැනය.

'ඔන්න ආණ්ඩුව දැන් විද්‍යාත්මක ක්‍රමයට ඇමැති මණ්ඩලයක් පත් කරලා' ප්‍රසන්න කතාවට මුලපිරුවේය.

ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා අවුරුදු තුනක් තිස්සෙම තිබිලා තියෙන්නේ කිසිම විද්‍යාත්මකභාවයක් නැති ඇමැති මණ්ඩලයක් කියලා' පවිත්‍රා ඇසුවාය.
'ඔව් ඒකනේ ආණ්ඩුව පුන පුනා කියන්නේ මේ පාර නම් විද්‍යාත්මකයි කියලා. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නේ නිකම් හොරු නෙවේ කම්බා හොරු. මේ සෙට් එක කොහොම අනලා දැම්මත් විද්‍යාත්මක වෙන්නේ නැහැ. එහෙම නම් මේ අය ගෙදර යවලා අලුතෙන්ම ආණ්ඩුවක් පත් කරන්න වෙයි' ප්‍රසන්න පැවැසීය.

'ආණ්ඩුවේ අනෙක් ඇමැතිවරුන් නම් මම දන්නේ නැහැ. හැබැයි වනජීවී ඇමැතිකම නම් දීලා තියෙන්නේ ගැළපෙනම කෙනාට' මහින්ද කීවේය.
දැන් ඉතින් වන වැදිලා ඉතුරු කාලෙ ගත කරන්න පුළුවන්. වෙල්ගම කීය.

බඩු මිල අඩු කරන්න කීවාම කැබිනට් සංශෝධනයක් ගෙනාවා
'ජනාධිපතිවරයා අවුරුදු තුනකට ඉස්සර බලයට ආවේ මිනිසුන්ට සුරංගනා කතා ගණනාවක් කියලයි. හැබැයි මිනිසුන්ට දීපු පොරොන්දු එකක්වත් තාම ඉටුකරලා නැහැ. එයාට තව ජනාධිපති ධුරයේ ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ මාස පහළොවක විතර කාලයක්. ඒ කාලෙත් කුට්ටම අන අනා ඉන්නේ නැතිව වැඩක් කළා නම් තමයි හොඳ' ප්‍රසන්න පැවැසීය.

'මේ ආණ්ඩුව දුවන්නේ බොරුවෙන්. රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න මේ වගේ රඟපෑම් කරන එක ආණ්ඩුවේ පුරුද්දක් වෙලා. එක්කෝ ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙයි. නැත්නම් ඇමැති සංශෝධනයක් කරයි. එහෙමත් නැත්නම් පක්ෂ ප්‍රතිසංවිධානයක් කියයි.' වෙල්ගම කීවේය.

'මිනිසුන්ට ජීවත් වෙන්න විධියක් නැතිව ඉන්න කොට මේ වගේ නාඩගම් නට නටා ඉන්න එක ගැන ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ. දැන් කොයි මනුස්සයද ආණ්ඩුවට කිව්වේ ඇමැති සංශෝධනයක් කරන්න කියලා. මිනිස්සු බඩු මිල අඩු කරන්න කිව්වම ආණ්ඩුව කරන්නේ ඇමැති මණ්ඩලය සංශෝධනය කරන එක. මේවට වඩා විහිළු තව තියේද? දිනේෂ් පැවැසීය.

'මොනවා කරන්නද ඉතින් වැඩ බැරි ටාසන්ලා ටිකක් නේ මේ ආණ්ඩුව රන් කරන්නේ.' පවිත්‍රා කීවාය.

'එක්කෝ මේ රට පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් කෙනකුට දීලා යන්න ඕනේ. මේ සෙල්ලම් කරන්නේ රටක් ජාතියක් එක්ක' දිනේෂ් පැවැසීය.
'ඒ කතාව හරි. මේ විධියට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. මේ අය මේ කරන විනාශය ආපසු හරවන්න ලෙහෙසි නැහැ. එයාල නම් සෙල්ලම් කරලා යයි. අන්තිමට අමාරුවේ වැටෙන්නේ මිනිස්සුයි' මහින්ද පැවැසීය.

'පාර්ලිමේන්තු සැසිය කැඳවන ගැසට් එක හරියට ගහගන්න බැරි ආණ්ඩුවකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුන්' එකම ගැසට් එක තුන්පාරක් ගහන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ලොකු තැන්වල දැනුම හින්දා තමයි' ප්‍රසන්න පෙන්වා දුන්නේ.

'ආණ්ඩුවට හොඳ වැඩ බැරි වුණාට පුහු වැඩවලට නම් ඕනේ තරම් මොළේ තියෙනවා. වෙසක් දිනය වගේම කම්කරු දිනයත් කල්දාපු එකෙන් රටම අවුලකට ගියා' දිනේෂ් පැවැසීය.

අපි දෙන්නා එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ

ඩිජිටල් පහසුකම් සහ විදේශ රැකියා කටයුතු නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර සිකුරාදා සිය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේය. නියෝජ්‍ය ඇමැතිවරයා වෙනම කාර්යාලයක් ආරම්භ නොකොට ඇමැති හරින් ප්‍රනාන්දුගේ කාර්යාල මේසයේම පුටුවක් තබාගෙන කඩදාසි අස්සන් කොට ඇමැති අතට භාර දුන්නේය.

අවුලක් නෑ මල්ලි අපි සහෝදරයොනේ සහයෝගයෙන් වැඩ කරමු හරීන් කීවේය.

මරිකකාර්ට වූ හදිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 'සිරස' වෙසක් කලාපය විවෘත කිරීමට එක් වූයේ පසුගිය ඉරිදාට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දිනයේය. එය විවෘත කර වෙසක් කලාපය නැරැඹීමෙන් අනතුරුව එහි සිටි එ.ජා.ප.යේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්.එම්. මරික්කාර්ට ජනාධිපතිවරයා කතා කළේය.

''මරික්කාර් මන්ත්‍රිතුමා මගෙත් එක්ක පොඩි ගමනක් යමුද?

''යමු සර්''
යන්නේ කොහෝ දැයි නොවිමසාම මරික්කාර් ජනාධිපතිවරයාගේ වාහනයට ගොඩවූයේ. බේ්‍රබෘෘක් පෙදෙසින් පිටත් වූ ජනාධිපතිවරයා රැගත් වාහනය කොල්ලුපිටියට ළඟා වී අරලියගහ මැඳුර පැත්තට හැරවීය.

''සර් මන්දිරේටද මේ යන්නේ''

මරික්කාර් ඇසූ පැනයට ජනාධිපතිවරයා හිස සලා ඔව් යැයි කීවේය.

මරික්කාර්ගේ හිත චංචල වුවද ඔහු ඒ බව ජනාධිපතිවරයාට අඟවන්නට ගියේ නැත. ජනාධිපතිවරයා අරලියගහ මැඳුරට ළඟා වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා පිළිගන්නට පෝටිකෝව අසලට පැමිණ සිටියේය.

වාහනයෙන් බැස්ස ජනාධිපතිවරයාට අගමැතිවරයා ආචාර කර පිළිගත්තේය. මරික්කාර් වාහනයෙන් බැස්සේ අගමැතිවරයා ජනාධිපතිවරයා ද සමඟ අරලියගහ මැඳුර ඇතුළට යන්නට හදන මොහොතේය.

කිසිම නායකයෙකුට රට වටේම ගිහින් එන්න පාරක් හදන්න බැරිවුණා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් පොහෝ දිනට පසුදින පස්වරුවේ කොළඹ හුනුපිටිය ගංගාරාමයට පැමිණියේ එහි වෙසක් කලාපය විවෘත කරන්නටය. එහි සමාරම්භක මොහොතේ අනුශාසනාවක් කළ ගංගාරමාධිපති ගලබොඩ ඥානිස්සර හිමිපාණන් කීවේ නිදහසින් පසු මේ රට පාලනය කළ නායකයන් කොපමණ සිටියත් ඒ කිසිදු නායකයකු කොළඹ සිට මේ රටවටා ගමන් කළ හැකි පාරක් හදන්නට අසමත් වූ බවය.

පොඩි හාමුදුරුවන්ගේ මේ කතාවට හිටපු ජනාධිපතිවරයා සිය කතාවේදී මෙසේ පිළිතුරු දුන්නේය.

''අපේ හාමුරුදුවනේ, කොළඹින් පටන් ගත්තාම මේ රට වටේම ගිහින් එන්න පුළුවන් කාපට් පාරවල් අපි හදලයි තියෙන්නේ''

''නෑ... නෑ... ජනාධිපතිතුමා මම කිව්වේ රට වටේ ගිහින් එන්න පුළුවන් එක පාරක් හදන්න කාටවත් බැරි වුණා කියලයි''

මහින්දගේ කතාවට බාධා කළ පොඩි හාමුදුරුවෝ කීහ. එහෙම පාරක් හදන්න නම් අපේ හාමුදුරුවනේ.. මටම බලයට එන්න වෙනවා.. වෙන කවුරුවත් නම් ඔය වැඩේ කරන එකක් නෑ. යනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දුන්නේ උත්සව සභාවේ සිටි අයවළුන්ගේ මුවගටද සිනහ එක් කරමිනි.

අමරදේව නාමය ගිලිහී යන්නට ඉඩ නොතබන බව සජිත් කියයි

මෙරට කීර්තිධර මහා සංගීතවේදියා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ නම රාජ්‍ය ගම්මානයකට යෙදුණු දුර්ලභ අවස්ථාවක් පසුගියදා හම්බන්තොට සිරිබෝපුරෙන් වාර්තා විය. නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් ඉදිවූ 60 වැනි උදාගම නම්කර තිබුණේ ශ්‍රී අමරදේවගම නමිනි.

ශ්‍රී අමරදේවගම ජනතා අයිතියට පත් කළ අවස්ථාව වර්ණවත් වූයේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කළ ප්‍රකට කලාකරුවන් රැසක් පැමිණ සිටීම හේතුවෙනි. සුභානි, ප්‍රියංවදා දියණියන් හා රංජන පුතුද කැටුව විමලා අමරදේව මහත්මියද උත්සවයට එක්වීම සිරිබෝපුර ජනතාවට සුවිශේෂ අත්දැකීමක් විය. මෙහිදී විශේෂ සමරු දේශනය පැවැත්වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අමරදේව හඬ එෆ්.එම්. නාළිකා තුළින් වියැකී යන සෙයක් දැනෙන බව ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දෙමින් ඇමැති සජිත් කීවේ අමරදේව නාමය කිසිදා මැකී නොයෙන බවත් සෑම දිස්ත්‍රික්කයකම අමරදේවයන්ගේ නමින් ගමක් බිහි කිරීමට තමා කටයුතු කරන බවත්ය.

රංගෙ බණ්ඩාරට ඇමැතිකමක් දෙන්න කවුරුවත් පොරොන්දු වුණේ නෑලු

බ්‍රහස්පතින්දා පෙරවරුවේ නායක රනිල් හමුවූ එජාපයේ ඉදිරිපෙළ කීප දෙනෙක් සාකච්ඡාවක යෙදී ඇත. කතාවට මාතෘකා වූයේ කැබිනට් සංශෝධනය නිසා අතනින් මෙතැනින් එල්ල වන ‍ෙදාස් පරොස් හා ගල් මුල් ගැනය.

"ඇමැති මාරුව ගැන පක්ෂයේ සුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචන කරනවා. ඒ ගැන සැලකිලිමත් වුණොත් හොඳයි" නවීන් කීවේය.

"රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැති කමක් ලැබුණෙ නෑ කියලා. එතුමා චෝදනා කරනවා" චමින්ද විජේසිරි පැවැසීය.

"නැහැ නැහැ කවුරුවත් එතුමාට එහෙම පොරොන්දුවක් දීලා නැහැ. අඩුම තරමෙ වෙන කවුරුවත් හරි එහෙම ඉල්ලීමක්වත් කරලා නෑ" එජාප නීති අංශ නිලධාරියෙක් කීය.
"අකිලට ඉතුරු වුණේ අධ්‍යාපනය විතරයි. සංස්කෘතික කෑල්ල ගලවලා විජේදාසට දුන්නා. එක අතකට ඒකත් හොඳයි. මහ ලේකම් කමේ වැඩවලට වෙලාව ඉතුරු වෙනවා" නවීන්ගේ කතාව අගමැති රනිල් අනුමත කළ බව පෙනුණි.

"මහින්ද රාජපක්ෂලා පටවපු සයිටම් අර්බුදය විසඳන්න මට සිද්ධ වෙනවා" විජේදාස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කීවේය.

ඇමැති මාරුව විද්‍යාත්මකද කියලා ජනමාධ්‍ය උසුළු විසුළු කරනවා" සජිත් ප්‍රේමදාස කීවේය. විද්‍යාලුකූල බව පේන්නේ විෂයයන් බෙදුවාමයි. එතකන් ඉවසන්න වෙනවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"අපේ අය කරන ප්‍රකාශ ජනමාධ්‍ය විකෘති කරනවා. ප්‍රශ්න ඇති වන්නේ ඒ නිසයි" දයා ගමගේ ඉදිරිපත් කළ ප්‍රශ්නයට උත්තර දුන්නේ මහ ලේකම් අකිලය.

"එජාප විකල්ප නායකයා කවුද?

විකෘති කරන ප්‍රකාශවලට අපි උත්තර දෙන ක්‍රමවේදයක් ළඟදීම හදනවා" ඔහු කීය.

"එජාප විකල්ප නායකයා කවුද කියලා පක්ෂයේ පසුපෙළ අහනවා" දයා ගමගේ රනිල්ට ප්‍රශ්නයක් දැමීය.

"නායකත්වයට කවුරුවත් ඉදිරිපත් වුණෙත් නෑ. විකල්ප නායකයා එළි කරනවට කැමතිත් නෑ. නම අහන්නේ ඇයි කියා මට තේරෙන්නේ නැහැ- අගමැති රනිල් කීය.

වැලි අංගගේට සාගල දෙහි කපයි

යොවුන් බක් මහ උළෙල මෙවර පැවැතියේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක දීය. ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කළ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ අගමැති රනිල්ය. රනිල් පැමිණීමට නියමිතව තිබුණේ පෙ.ව. 10.00ටය. තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක නියම කරගත් පරිදි පෙ.ව. 7.30ට උත්සව භූමියට පැමිණියේ උදෑසනම නියමිත තරග ආරම්භ කරන්නටත් සංවිධාන කටයුතු නිරීක්ෂණයටත් විය යුතුය. සාගල වහා තරුණ සේවා සභාවේ සභාපති වැලිඅංගගේව කැඳවුවත් ඔහු ඒ වනතුරුත් පැමිණ සිටියේ නැත. තරුණ සංවිධානවල නියෝජිතයෝ උත්සව භූමියට පැමිණ සිටියත් නියමිත තරග ආරම්භ කිරීමේ සංවිධාන කටයුතුද ඇණහිට තිබූ අතර සාගල එක් එක් අංග නීරීක්ෂණයට ඇවිද ගියේය. උත්සවයේ සජීවී විකාශනය ඇරැඹීමට සූදානම්ව සිටියත් තරුණ සේවා සභාපති පෙ.ව. 8.30 වනතුරුත් එහි පැමිණියේ නැත.
අගමැති උත්සව සභාව අමතන ප්‍රධාන වේදිකාවද තවමත් සවිකර නැත. තවත් අඩ හෝරාවකට පසු වැලිඅංගගේ එන විට සාගල සිටියේ කේන්තියෙන් පුපුරමිනි.

"ඔහොමද වැඩ කරන්නේ. මම වෙලාවට එනව නම් ඇයි? ඔයාට බැරි. අමතක කරන්න එපා අපි තරුණයො එක්කයි වැඩ කරන්නෙ. අපි ඇදේට යන ගමන් ඒ අයට කෙළින් යන්න උගන්නන්න බෑ. කෝ කීයටද තරග පටන් ගන්නෙ. කෝ අගමැතිතුමාගෙ වේදිකාව කොහේ ඉඳන්ද එතුමා කතා කරන්නේ. මේ ජාතික යොවුන් බක් මහ උළෙලද?. සාගල අංගේට දෙහි කපන්නට විය.

"අන්න හරි ඔන්න දැන්නම් ඇමැතිතුමා කෙවිට අතට ගත්තා. ඔහොම යං"

අසල සිටි මාධ්‍යවේදියකු කියනවා ඇසිණි. අගමැති රනිල් එන විටත් වේදිකාවේ වැඩ නිමා කරන්නට තරුණ සේවා සභාවට බැරි විය. රනිල් සභාව ඇමැතුවේ පසෙක වූ හතර පස් දෙනකුට ඉඩ ඇති කුඩා වේදිකාවක සිටය.

යාපනයේ ජවිපෙ මැයි රැලියට ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ නායකයෙක්

දශක ගණනාවකට පසු යාපනේ රතු මැයි රැලියක් පැවැත්වීම සුවිශේෂී සිදුවීමක් වූයේය. රැලිය සංවිධාන කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මුණාටුක්කුලි ක්‍රීඩාංගණයේ සිට යාපනය නගර සභා පිටියට ඇදුණු පෙළපාළිය අර්ධද්වීපයේ ප්‍රජාතන්ත්‍රවාදී වපසරිය පුළුල්ව ඇති බව පෙන්නුම් කළේය. අනුර ඇතුළු ජවිපෙ නායකයන් සමඟ තමිල්නාඩුවේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ නායකයකුද ගමන් කළේය. ඔහු සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඒ සවුන්දර් රාජන්ය. තවත් විශේෂ සිදුවීමක් වූයේ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ද ජවිපෙ නායකයන් සමඟ පෙළපාළියට එක්වීමය. දෙමළ සන්ධාන මැයි රැලියට යමින් සිටි සුම්තිරන් කෙටි දුරක් ජවිපෙ පෙළපාළියේ ගමන් කොට නික්ම ගියේය. එය දකුණේ සති අන්ත මාධ්‍ය හමුවල ප්‍රධාන මාතෘකාවක් බවටද පත් විය.

ඇමැතිකම් දෙන අයට ලැජ්ජත් නෑ ගන්න අයට ලැජ්ජත් නෑ

රටේ ජනතාවට ජනාධිපති එක එක කතා කියනවා. කැබිනට් එක විද්‍යාත්මක කරනවා කීමත් ඒ වගේ කතාවක්. දුමින්දගෙ ඇමැතිකම අමරවීරට දුන්නා අමරවීරගෙ එක සොයිසට දුන්නා. සොයිසගෙ ඇමැතිකම දුමින්දට දුන්නා. මේක කොහොමද විද්‍යාත්මක වෙන්නේ" විජිත හේරත් ප්‍රශ්න කළේය. ජවිපෙ නායක කමිටු හමුවේදීය. බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී ඔවුන් සති අන්තයේ රැස්විණි.

කට්ටියක් ආණ්ඩුවෙන් කඩාගෙන ගියාට පස්සේ ඇමැතිකම් ටික කාට හරි බෙදන්න ආණ්ඩුවට ඕන වුණා. ඒක විජ්ජාවක් කරන්නයි හැදුවේ. අන්තිම කැබිනට් එකෙන් පන්නපු විජේදාසටත් ආයෙත් බුලත් දුන්නා දෙන අයට ලැජ්ජත් නෑ. ගන්න අයටත් ලැජ්ජත් නෑ" හඳුන්නෙත්ති කීවේය.

අවුරුදු තුනට හතර පාරක් කැබිනට් මණ්ඩලය වෙනස් කළා අවුරුදු 5කට ඇමැති මණ්ඩලයක් හදා ගන්න බැරි ජනාධිපතිලා අගමැතිලා රටකට මොකටද?" ටිල්වින්් සිල්වා කීවේය.

20 වැනි සංශෝධනයට විරුද්ධව කෙකර ගාන්නේ දේශපාලන ගේම් අවුල් වෙන නිසා

20 මොනව තියෙනවාද දන්නෙත් නෑ. 20 ගැන බොරු භීතියක් හදන්න උත්සාහ කරනවා. හේතුව මේ අයගේ ඔළුවල තියෙන බල ව්‍යාපෘතිය මේකෙන් අවුල් වෙන නිසා" ජවිපෙ නායක අනුර කීය.

20න් 13 වැනි සංශෝධනයේ ජනාධිපතිට පැවරෙන බලය ඉවත් වන්නේ නෑ. විධායක අගමැති කෙනෙක් නිර්මාණය වෙන්නෙත් නැහැ. කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට තමා බලය පැවරෙන්නේ මේ අය මිනිසුන්ගේ ඔළුවලට විස දානවා" බිමල් කීවේය.

තමන්ගේ දේශපාලන ගේම් අවුල් වන නිසා සමහරු මේකට විරුද්ධ වෙනවා. කෙටුම්පත ගැන අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා යද්දී මේ තත්ත්වය වෙනස් වෙයි" ටිල්වින් සිල්වා කීවේය.

මෛත්‍රි, මහින්ද, පෙරටුගාමීන්, බොදුබල සේනා ලාල් කාන්තගේ මවගේ මළ ගෙදර

පසුගි සති අන්තයක පැවැති ජවිපෙ ලාල් කාන්තගේ මවගේ මළ ගෙදරට දේශපාලන අංශවල පවතින ගැටලු නොසලකා සියලුම පාර්ශවයන් සහභාගි වීම සුබවාදී ලකුණක් ලෙස බොහෝ දෙනා කතා කරනු දැකිය හැකි විය. අගමැති රනිල් සහභාගි නොවූවද දුරකථනයෙන් ශෝකය පළකර තිබිණි. මහින්ද නම් කියා තිබුණේ ලාල්ගේ අම්මයි තාත්තයි ශ්‍රී ලංකා කාරයෝ නිසා තමා වැඩ නතර කර එහි පැමිණි බවය.

දුමින්ද දිසානායකත් සමඟ පැමිණි මෛත්‍රි බොහෝ වේලා ලාල් සමඟ කතා කරමින් සිටි අතර වැඩි ඉඩක් වෙන්වූයේ ජවිපෙ ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනය. පෙරටුගාමීන්ගේ සංවිධානයේ දුමින්ද නාගමුව ඇතුළු නායකයන් කීප පොළක්ම පැමිණ සිටිනු දක්නට ලැබිණි. කලක සිට ජවිපෙන් අෑත්ව සිටින දඹර අමිල හිමියෝ ජවිපෙ අනුරත් සමඟ දිග කතා බහක යෙදී සිටියහ. මළ ගෙදර පාංශකූලය පිරිනැමීමේ කටයුතු මෙහෙයැවීම ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පැවැරීමද විශේෂ අවස්ථාවකි. උන්වහන්සේගේ ධර්ම දේශනය පැමිණ සිටි සියල්ලෝම අගය කළහ.

නායකයා ඉතින් මම්ම තමා

ලාල්ගේ මවගේ අභාවය ගැන දුරකතනයෙන් ශෝකය පළ කළ අගමැති රනිල් පක්ෂ ප්‍රතිසංවිධානය නිසා කාර්යබහුල බව කීවේය. ලාල් ඒ ගැන ඇසූ විට ඒ වනවිටත් එළියට නොපැමිණ තිබූ පක්ෂ ප්‍රතිසංවිධානය ගැන අතිශය සීක්‍රට් තොරතුරු කීපයක්ද රනිල් ලාල් සමඟ කීවේය.

"අකිල ලේකම් වෙලා. කබීර් සභාපති වෙලා. නවින් ජාතික සංවිධායක වෙලා" රනිල් කීය.
"එතකොට අගමැතිතුමා අලුත් නායකයා කවුද?" ලාල් ඇසුවේ රනිල් දුරකතනය විසන්ධි කරන්නට පෙරය. නායකයා ඉතින් මම්ම තමයි කියූ රනිල් දුරකතනය විසන්ධි කළේය.

කරු ඇලපත්ගම යයි

'ඇලපත්ගම' පිහිටා තිබෙන්නේ අනුරාධපුර මහ විලච්චියේය. එගම් වාසී දිළිඳු ජනයා වෙනුවෙන් මාදුළුවාවේ සෝඵිත හිමියන් ආරම්භ කළ ඇලපත්ගම දැන් හැඳින්වෙන්නේ 'මාදුළුවාවේ සෝභිත නාහිමි ගම' වශයෙනි. අද එහි භාරකරු වන කතානායක කරු ජයසූරිය මහතාය. කරු ඉන්දීය ආධාර ඇතිව තවත් ගෙවල් 300ක් ඇලපත්ගම ඉදිකරවයි. අලුත් අවුරුද්දට ඇලපත්ගම නෑයින් බලන්නට කතානායක පසුගිය දිනෙක ගියේය. තුටු කඳුළින් පිරි දෙනෙත් ඇතිව ගම්වැස්සෝ එතුමා පිළිගත්හ.

ලෙස්ටර්ගේ අවමඟුලදා ඉසුරගේ නෝක්කාඩුව

අග්‍රගණ්‍ය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවයෙන් ඉකුත් සති අන්තයේ රටම ශෝක විය. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැති අවමඟුල් උළෙලට රාජ්‍ය නායකයන් දෙදෙනා මෙන්ම විවිධ තරාතිරම්වල සිනමා රසික පිරිස් එක් වූහ. මහ සඟරුවනද පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුද පැමිණ සිටියෝය. අවමඟුල් පෙරහර අඟහරුවාදා දහවල් නිවෙසින් පිටත් විය. ලෙස්ටර්ගේ පාසල වූ ශාන්ත පීතර විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායම චිත්‍රපට සංස්ථාව අසල සිට ඉදිරියෙන් ගමන් ගත්හ. කලාකරුවන් ඥාතීන් පිරිවරාගත් අවමඟුල් පෙරහර නිදහස් චතුරස්‍රයට පැමිණෙන විට සිනමාවේදියාගේ දෙණ මහජන ගෞරවය පිණිස තැන්පත් කරන්නට විශේෂ පීඨීකාවක් ඉදිකර තිබිණි. දේහය පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව හමුදා ගෞරවාචාර දක්වමින් සිවු කොනෙහි යුද භටයෝ සිවු දෙනෙක් පහතට යොමු කළ රයිපල් සහිතව සිට ගත්හ. ඒ අවස්ථාවේ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා ප්‍රමුඛ ඇමැතිවරු එහි සිටියහ. ඔවුන් ගෞරවාචාර දක්වනු පිණිස එහි පැමිණි සිටියා විය යුතුය. හදිසියෙම එතැනට පැමිණි ආචාර්ය සෝමරත්න දිසානායක ගෞරවය දක්වන අය පීඨිකාවට නඟින්න එපා කරුණාකර වටෙන් ගමන් කරන්න යැයි උපදෙස් දුන්නේය.

එම උපදේශය පළාත් සභාවේ නායක පිරිසට දිරවූයේ නැති බව ඔවුන් උස් හ¾ඩින් කතා කරමින් සිටි ආකාරයෙන් පැහැදිලි විය. අන්තිමේද පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය රේණුකා බාලසූරිය මහත්මිය දැක ඇයට අප්‍රසාදය පළ කළේය.

"ඔයාගෙ මහත්තය දන්නවද මම කවුද කියලා එයා මේකෙ අයිතිකාරයද අපිට යන්න කියන්න...."

වේගයෙන් කියාගෙන ගිය ඔව්හු නිදහස් චතුරස්‍ර ගොඩනැඟිල්ලේ නොනැවතී පහළටම බැස ගියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon