ලෙස්ටර්-සුමිත්‍රා සහ බොරළුගොඩ නෑයෝ

  👤  4717 readers have read this article !
2018-05-13

මෙහි දැක්වෙන්නේ තරමක් පැරැණි ඡායාරූපයකි. එහි ජාතික ඇඳුමින් සැරසී උපැස් යුවළක් පැලැඳ සිටින්නේ ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ නියමුවා වූ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතාය. දකුණු පසින් සුමිත්‍රා ගුණවර්ධන මහත්මියත් වම් පසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් සිටී. වම් කෙළවරේ සිටින්නේ චිත්‍රපට නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහය. ලෙස්ටර් සුමිත්‍රා යුවළ සමඟ පිලිප්ගේ සම්බන්ධය බොහෝදෙනා නොදනී. ලෙස්ටර් සිනමාවේදියාගේ අවමඟුල් උත්සවයේ මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු පවුලේ ඇත්තන්ගේ මැදිහත්වීමද ඇතැමුන්ට කුතුහලය දනවන කාරණයක් වී තිබිණි.

ඉංගී්‍රසියෙන් හිතන ක්‍රිස්තියානි පවුලක උපන් ඉංගී්‍රසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ රැකියාව කළ ලෙස්ටර්ට වම් ඉවුරේ තිබූ සම්බන්ධතාව කුමක්ද යන්නත් ඇතැමුන්ට ප්‍රශ්නයකි. මේ ප්‍රශ්න සියල්ලටම එකවර පිළිතුරු ලැබෙන දළ සටහනක් මේ සමඟ ඉදිරිපත් කරමි.

මේ කතාවේ මුල්තැන හිමිවන්නේ ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන බොරළුගොඩ රාලහාමිටය. බොරළුගොඩ සිංහයා නමින් ප්‍රකට වූයේ ඔහුය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැඟී සිටි බොරළුගොඩ රාලහාමි 1915දී මාර්ෂල් ලෝ නීතිය යටතේ මරණීය දණ්ඩනයටද නියමව සිටියේය.

බොරළුගොඩ රාලහාමිට දූ පුතුන් දස දෙනකු සිටියහ. ඔවුහු පිළිවෙළින් සොපායා, එමලි, හැරී, පිලිප්, ඇලිස්, රොබට් කරලැයින්, ඇග්නස්, සේරා සහ කරුණා වූහ. එනම් ගැහැහු දරුවන් හත් දෙනෙක් සහ පිරිමි තුන් දෙනෙකි. ඇමෙරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බොරළුගොඩ රාලහාමිගේ සිව්වන පුත්‍රයා වූ පිලිප් ගුණවර්ධන එංලන්තයේදී ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය හා එකතු විය. පිලිප්, රොබට් සහ කරලැයින් මෙන්ම පිලිප්ගේ බිරිය වූ කුසුමා සහ රොබට්ගේ බිරිය රූපාද එමලිගේ දියණිය වූ විවියන් ගුණවර්ධනද ඇය විවාහ වී සිටි ලෙස්ලි ගුණවර්ධනද 1935 පිහිටු ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක නායකයෝ වූහ.

දෙවැනි ලෝක යුද්ධය සමයේ 1943දී අධිරාජ්‍ය ආණ්ඩුව ලංකා සම සමාජ පක්ෂය තහනම් කළ අවස්ථාවේ ඉන්දියාවට පලාගිය වමේ නායකයන් අතර පිලිප්, රොබට්, කරලැයින් හා කුසුමා යන බොරළුගොඩ පවුලේ ඇත්තන්ද වූහ.

පිලිප්ගේ වැඩිමල් පුතා ඉන්දික උපන්නේ ඉන්දියාවේදීය. පිලිප්, රොබට් බි්‍රතාන්‍ය ආණ්ඩුවේ අත්අඩංගුවට පත්ව ඉන්දියාවෙදිත් ලංකාවේදිත් ඇන්.ඇම්. පෙරේරලා සමඟ සිර බත් කෑවේය.

පිලිප් සහ ඔහුගේ බිරිය කුසුමාද ඔවුන් දෙදෙනාගේ පුතුන් වූ ඉන්දික, දිනේෂ් සහ ගීතාංජනත් එමලිගේ දියණිය විවියන් සහ ඇලිස්ගේ පුතා මහේන්ද්‍රත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු වූහ. හැරීගේ දියණිය සුමිත්‍රා එංගලන්තයේදී චිත්‍රපට සංස්කරණ පිළිබඳ අධ්‍යාපනය ලබා ලංකාවට ආවාය. ලෙස්ටර් සමඟ විවාහ වූ ඇය සිංහල සිනමාව වෙනුවෙන් කැපවූවාය. කරලැයින් විවාහ වූයේ යාපනේ කයිට්ස්වල තරුණයකු වූ ඇන්තනී පිල්ලේ සමඟය. ඉන්දියාවේ පදිංචියට ගිය ඇන්තනී ලෝක් සභාවේ මන්ත්‍රිවරයකු විය. ලෙස්ටර් හා සුමිත්‍රාගේ මානවවාදී තෙවැනි ඇස නිර්මාණය වන්නට බොරළුගොඩ පරපුරේ අක්මුල් ඉවහල් වූවා නිසැකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්