වතු අධිරාජ්‍යයේ අණසක පැතිර වූ තොණ්ඩමන්ලාගේ පැටිකිරිය

  👤  4985 readers have read this article !
2018-05-13

දකුණු ඉන්දියාවේ මූනාපුඩාර් ගම්මානයේ කලාර් කුලයේ උපන් කුමාරවේල් ලංකාවට පැන එන්නේ වයස අවුරුදු 18 සපිරෙන්නටත් පෙරය. ඔහු ලංකාවට පැමිණි වසර හරිහැටි කීමට කිසිවකු නොදන්නා නමුත් ඒ 1873දී පමණ විය හැකි යැයි ඔහුගේ පුත් පසුකලෙක මෙරට ඇමැතිවරයකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුමාන කෙළේය.

ලංකාවට පැන ආ කුමාරවේල් එතැන් සිට කුමාරවේල් අම්බාලම් නොහොත් කරුපයියා යන නමින් පෙනී සිටියේය. ඔහු මෙරටට එන විට බි්‍රතාන්‍යයන්ගේ ප්‍රධාන වැවිල්ල වී තිබුණේ කෝපි වගාවයි. මෙරට කෝපි වතුවල වැඩ කරන්නට එකල ඉන්දියාවෙන් කම්කරු පිරිස් පැමිණි නමුත් ඔහු එසේ කම්කරු කණ්ඩායමකට එක් වූයේ නැත. ඒ වෙනුවට ගම්පොළ සිටි දුර ඥාතියකුගේ නිවෙසට ගොස් එහි සේවකයකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය.

එහෙත් එම නිවෙසේ ප්‍රධානියා සේවකයන් කෙරෙහි දැක්වූයේ ප්‍රියමනාප ආකල්පයක් නොවේ. ඒ ඔහු සේවකයන් තළා පෙළන්නකු වූ බැවිනි.

දිනක් ගෙහිමි ස්වාමියා බැහැරක ගොස් යළි නිවෙස තුළට පැමිණෙද්දී නිවෙසේ ‍ෙදාර විවෘත කරන විටම ඔහු දුන් පහරකින් වැළකී සිටීමට කරුපයියාට ‍ෙදාර අසල බිම දිගාවී සිටින්නට සිදු වූ බව පසුකලෙක තම පුතු වන සෞම්‍යමූර්ති (තොණ්ඩමාන්ට) පවසා තිබේ.

ඔහුගේ හිරිහැරවලින් බේරී සිටීම සඳහා ඔහු කළේ ගම්පොළ නිවෙසින් පිටවී කඩුගන්නාවේ කෝපි වත්තක සේවය කිරීම සඳහා පිටත්ව යෑමයි.

කඩුගන්නාවේ කෝපි වත්තේ වැඩ කරන කරුපයියාට දිනකට ලැබුණේ ශත 13ක වැටුපකි.

ජීවත්වීම සඳහා දැඩි සටනක නිරත වූ ඔහු තමාට ලැබෙන මුදල ඉතිරි කර ගැනීම සඳහා වරින් වර වතු මාරු කරමින් රැකියාවල නිරත වූයේය. කඩුගන්නාවේ කෝපි වත්තෙන් සමුගත් කරුපයියා බගවන්තලාවට ගියේය. අනතුරුව උඩුපුස්සැල්ලාවට ගියේය.
කම්කරු රස්සාවෙන් අමාරුවෙන් උපයා ගත් ශත කීපයක් ඉතිරි කර ඒවා උපයෝගි කර ගනිමින් ඔහු අමතර ආදායමක් ඉපැයීමට වෙහෙස ගත්තේය. දවසේ වැඩ නිම කළ පසු වතු කම්කරු පවුල්වලට අවශ්‍ය එදිනෙදා බඩු බාහිරාදිය පෙට්ටියක දමා එය හිස මත තබාගෙන වත්තෙන් වත්තට සැතපුම් ගණනාවක් ඇවිද යමින් ඒවා වෙළෙ¼දාම් කළේය.

පසුකලෙක කරුපයියා, පුතු සෞම්‍යමූර්ති අමතා පවසා ඇත්තේ 'තම හිස මත තට්ටය පෑදුණේ එසේ පෙට්ටියක දමාගෙන සැතපුම් ගණන් දුර බඩු හිස මත තබාගෙන ගිය නිසා' බවයි.

ඉන් පසුව ඔහු සංක්‍රමණය වූයේ ගෝර්ඩන් වත්තටය. එහෙත් වෙනදා මෙන් කම්කරුවකු ලෙස සේවය කරන්නට නොව කම්කරුවන්ගේ වැඩ පරීක්ෂා කරන්නටය. නැතහොත් 'කංකානිවරයකු' වශයෙනි. කම්කරුවන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කළා පමණක් නොව කරුපයියා, ගෝර්ඩන් වත්තේ කම්කරු කාන්තාවන් සමඟද සමීප සබඳතා පැවැත්වීම කාටත් රහසක් වූයේ නැත. කාන්තා ඇසුරට ලොල් වූ ඔහුට ගෝර්ඩන් වත්තේ පවුලක් සිටි බවද කියනු ලැබේ.

1890 වන විට ලංකාව පුරා කෝපි වසංගතය පැතිර ගොස් තිබිණි. වැවිලිකාර සුද්දන් මෙන්ම කම්කරුවන්ද අසරණභාවයට පත් මේ කාලයේදී කරුපයියා ගෝර්ඩන් වත්තෙන් ඉවත්ව අටබාගේ වත්තටත් අනතුරුව නුවරඑළියටත් පා තැබුවේය. නුවරඑළියට යන ගමනේදී හමු වූ කරණවෑමියකු ඔහුට කියා ඇත්තේ රම්බොඩ වැවෙන්ඩන් වත්තට කම්කරුවන් පිරිසක් සංවිධානය කිරීමට පුද්ගලයකු අවශ්‍යව ඇති බවයි. අතීත ද්‍රවිඩ ජන කතාවක සඳහන් වන්නේ ගමනක් යන විට අතරමඟදී කරණවෑමියකු හමුවුවහොත් ඒ ගමන අශුභදායි වනු ඇති බවයි. එහෙත් කරුපයියාට වාසනාව උදා කරන්නට සමත් වූයේ මෙකී කරණවෑමියාගේ මුණගැසීමය.

කරණවෑමියාගේ ආරංචිය අනුව රම්බොඩට යන කරුපයියාට වැවෙන්ඩන් වත්තේ රස්සාව ලැබෙයි. වසර ගණනාවක් වත්තෙන් වත්තට ඇවිද යමින් කම්කරුවන්ගේ වැඩ පරීක්ෂා කරමින්, ලද සුළු වැටුපින් කොටසක් ඉතිරි කරමින් ඒ මුදල් පොලියට දෙමින් වතු කම්කරුවන්ට එදිනෙදා අවශ්‍ය බඩු වෙළෙ¼දාම් කරමින් කරුපයියා එතෙක් ගත කළේ අති දුෂ්කර ජීවිතයකි.

අනතුරුව වැවෙන්ඩන් වත්ත පමණක් නොව රම්බොඩ කඳුවැටිය අවට තිබූ තවත් වතු 7ක ප්‍රධාන කංකානිවරයා ලෙස කරුපයියාට සේවය කරන්නට හැකි වූයේය. එකවර වතු කීපයක වැඩ පරීක්ෂා කිරීම නිසා කරුපයියා මුදල් පොලියට දීමෙන්ද අතමිට සරු කර ගන්නට සමත් විය. එහෙත් ඔහුට වුවමනා වූයේ මුදල් පොලියට දෙන නම්බුකාර ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටීමටය.

මෙකල බැංකුකරුවන් සේ මිනිසුන්ට ණය ලබා දෙමින් මූල්‍ය ගනුදෙනු කටයුතුවල යෙදුණු ද්‍රවිඩයන් අතරින් බි්‍රතාන්‍ය වැවිලිකරුවන් විශ්වාසය තබා තිබුණේ නාට්ටුකොට්ටායි චෙට්ටියාර්වරුන් හා පිල්ලෙයි යන වාසගම සහිත ද්‍රවිඩයන්ට පමණි.

මේ නිසා කරුපයියාද තම නමේ අගට 'පිල්ලෙයි' නාමය එක්කර ගත්තේ වැදගත් මූල්‍ය ව්‍යාපාරිකයකු සේ ස්ථාපිත වීමටය.
මේ අවධියේ කරුපයියා පිල්ලෙයි කංකානි වශයෙන් සේවය කළ වැවෙන්ඩන් වත්තේ අයිතිකාරිය වී සිටියේ එංගලන්තයේ විසූ ඕවන් මෙනෙවියයි. ඇය වෙනුවෙන් වත්ත පාලනය කළේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමයි.

වැවෙන්ඩන් වත්තට විත් 19 වසරක් ගතවෙද්දී ඔහු සතුව සැලකිය යුතු මුදලක් අත රැඳී තිබිණි. ඔහු කෙළේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට රුපියල් 75,000ක් දී වත්තේ අයිතිය ලබා ගැනීමය.

ඉංග්‍රීසි යුගයේ තේ වත්තක අයිතිය හිමිකර ගත් බි්‍රතාන්‍යයන් නොවූ කිහිප දෙනා අතරට එක්වූ කරුපයියා පිල්ලෙයි, කාතිරායි නමැති කාන්තාවක හා සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය. ඇය කරුපයියාට දාව දරුවන් සත් දෙනකුට උපත දුන්නාය. එහෙත් මේ සම්බන්ධය ඔහුගේ දකුණු ඉන්දීය ඥාතීන් පිළිගත්තේ නැත. ඒ නිසා විවාහයක් සඳහා ඔහු යළි මූනාපුඩාර් බලා පිටත්ව ගියේය.

(ඉන්දියාවේ උපන් සෞම්‍යමූර්ති ලංකාවට ඇවිත් තොණ්ඩමාන් නම ගත් හැටි ලබන සතියේ)
බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon