වෙඩි ශබ්දය ඇසෙන විට මා “නයි නටවන්නාගේ චිත්‍රය” රස විඳිමින් සිටියා - ලේක්හවුස් මාධ්‍යවේදියා කියයි

  👤  4391 readers have read this article !
2018-05-13

සහකාර පොලිස් අධිකාරි අයියර් විසින් දෙන ලද නියෝගයට අනුව 1959 සැප්තැම්බර් 25 වැනි දින පස්වරු 1.30ට අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගෙන් කට උත්තරයක් ගැනීම සඳහා පිටත්ව ගියා. පොලිස් රේඩියෝ කාර් රථයකින් මහ රෝහල වෙත ගිය ගමනට පොලිස් පරීක්‍ෂක ඩී. ඩී. විජේසිංහද සහභාගි විය.

මහ රෝහලේදී මම අගමැති ලේකම් ඩන්කන් ද අල්විස් හමුවුණෙමි. ඒ වන විට අගමැතිතුමා ශල්‍යාගාරයේ සිටින බව දැන්වූ ඒ මහතා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සුදුසු තත්ත්වයක අගමැතිවරයා නැති බවද දන්වනු ලැබුවේය. ඒ අනුව අප දෙදෙනාට ඒ.ඉ.ර්ථී අයියර් විසින් පවරන ලද රාජකාරිය ඉටුකළ නොහැකි විය. මෙහිදී රෝහලේ සිටි සහකාර පොලිස් අධිකාරි ආටිගල මහතා සිද්ධිය ඇසින් දුටු අයකු මුණ ගස්වන බව දන්වමින් අයි. එන්. ඩබ්ලිව්. විජේසිංහ නමැති අයකු මා වෙත යොමු කළේය. මා රෝහලේ සිටින අතර ප. ව. 1.50 ට පමණ අගමැතිතුමාට වෙඩි තැබූ භික්‍ෂුව වශයෙන් හැඳින්වූ අයකු රෝහලේ ඇඳක (ඉබපඥබජඩඥප) දමා තල්ලු කරගෙන යන අන්දම දුටුවෙමි. පස්වරු 1.55ට සාජන්ට් සිල්වා සහ පො. කො. මාටින් භාරයේ තිබූ අගමැතිට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නඩු භාණ්ඩ කිහිපයක් මාහට පෙන්වන ලදී. රිවෝල්වරයක්, ප්ලාස්ටික් කවරය සහිත දින පොතක්, ජැකට්ටුව සහිත සාක්කු ඔරලෝසුවක් එහි වූයේය. එම භාණ්ඩ අයි. එන්. ඩබ්ලිව්. විජේසිංහ මහතාට මා විසින් පෙන්වන ලදුව ඔහු විසින් එම භාණ්ඩ උක්ත සිදුවීමට අදාළ භාණ්ඩ වශයෙන් හඳුනා ගත්තේය. ඉන්පසු මම අයි. එන්. ඩබ්ලිව්. විජේසිංහගේ ප්‍රකාශය සටහන් කර ගතිමි.

අංක 45 මැද පාර, මට්ටක්කුලිය සහ 115 ගැට්ටුවාන පාර, කුරුණෑගල යන ලිපිනයන්හි පදිංචි ඉග්නේෂස් නතානියල් විභූති විජේසිංහ යන වයස අවු. 50 වූ අය 1959.09.25 ප. ව. 2.35 ට කරන ලද ප්‍රකාශය.

ඉහත ලිපිනයේ පදිංචි මම ලේක්හවුස් පුවත් පත් ආයතනයේ අගමැතිතුමා ආවරණය කරන මාධ්‍යවේදියා වෙමි. මම මාධ්‍ය ආවරණය පිණිස නිතර අගමැති නිවෙසට යන එන අයෙක්මි. වසර ගණනාවක සිටම මා අගමැති බණ්ඩාරනායක මහතා දැන හඳුනන්නෙමි. රාජකාරි කටයුතු සඳහා මෙන්ම පෞද්ගලික කාරණා සඳහාද මා රොස්මිඩ් වලව්වට එන අතර බංගලාවේ නිදහසේ හැසිරෙන කෙනෙකි. උක්ත සිදුවීම වූ දින පෙ.ව. 9.30ට පමණ මම රොස්මිඩ් බංගලාවට ගියෙමි. මා එහි ගියේ බස් රියේ ගොස් ටවුන්හෝල් එකෙන් බැස පාගමනින්ය. මා යන විට අගමැති නිවෙසේ ගල්ඔය මණ්ඩලයේ විජේබාහු විජේසිංහ මහතා කිහිපදෙනකු සමඟ කතා කරමින් ආලින්දයේ සිටිනු දුටුවෙමි. අගමැතිතුමා ඇමරිකන් තානාපති සමඟ සාලයේ කතා කරමින් සිටි අතර මම වැරැන්ඩාව දිගේ පුස්තකාල කාමරයට ගියෙමි. ආලින්දයේ පුටුවක බෞද්ධ භික්‍ෂුවක් සිටි බවද මා දුටුවා. මීට ටික වේලාවක පෙර රෝහලේ ඇඳක තබාගෙන යනවා දුටු තැනැත්තා එම භික්‍ෂුව යයි මට හැඳිනිය හැකිය. තවත් භික්‍ෂුවක් සහ රාජ නීතිඥ ඇන්. ඊ. වීරසූරිය මහතාද අගමැතිතුමා හමුවීමට පැමිණ සිටියා. රොස්මිඩ් වලව්වේ මිදුලේ මෝටර් රථ කිහිපයක් තිබූ අතර තැන තැන කිහිපදෙනකු කතා කරමින් සිටියා.

පෙරවරු 10.00ට පමණ ඇමරිකානු තානාපති සමඟ පෝටිකෝව යටට පැමිණි අගමැතිතුමා ඒ මහතා මොටෝරියට නංවා ආලින්දයේ සිටි වීරසූරිය මහතා අසලට ගොස් ඔහු සමඟ කතා කරනවා මා දුටුවා. විජේබාහු විජේසිංහ මහතා ඔහුගේ මේසයේ කිසියම් වැඩක යෙදී සිටියා. පුස්තකාල කාමරයට ගිය මම එහි ඇති නයි නටවන මිනිසකුගේ අලංකාර තෙල් සායම් චිත්‍රය රස විඳිමින් සිටියදී ආලින්දය දෙසින් මට එකවරම වෙඩි ශබ්දයක් ඇසුණා. මා ‍ෙදාර අතරින් බලද්දී අගමැතිතුමා පැත්තකට ඇලවී නිවෙස තුළට හැරී දිව යන අන්දම දැක්කා.

අගමැති බණ්ඩාර නායක ඝාතනය සම්බන්ධව අප විසින් සොයා ගත් තොරතුරු ඇතුළත් විශේෂ ලිපියක් අද 'මව්බිම' ප්‍රධාන පත්‍රයේ පළවන බව සලකන්න.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon