එජාපයයි ශි්‍රලනිපයයි හොරගල් අහුලන ජනපති අපේක්ෂකයා කවුද?

  👤  5887 readers have read this article !
2018-05-13

උදේනි සමන් කුමාර

8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අභිමානවත්ව ඇරඹෙයි

ජනපති මෛත්‍රි ඉකුත් සතියේ සහභාගි වූ පළමු රාජ්‍ය උත්සව අවස්ථාව වූයේ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය සාම්ප්‍රදායිකව ආරම්භ කිරීමය. ප.ව 1.55ට පමණ අශ්වාරෝහක හමුදා කණ්ඩායම් සහ පෙරගමන් රථ පෙරටු කොටගත් පෙරහැරකින් ජනාධිපති මෛත්‍රි සහ ජයන්ති සිරිසේන මහත්මිය පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වූහ. හමුදා උත්තමාචාර පිරිනැමුණු අතර ආචාර වෙඩි මුර 21ක්ද පවත්වනු ලැබීය. සැසිවාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රි සභා ගර්භයේදී ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.

"අප රට දැන් මුහුණදී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජය ගත යුතු අවධියක බව ජනපති සිය කතාවේදී සඳහන් කළේය.

එහි ප්‍රමුඛතාව යථාර්ථයක් කර ගැනීමට නම් ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන්ම ආණ්ඩුව හා විපක්ෂය අතර බලතරගයද සමනය කරගත යුතු යැයි"ද ජනපති කීය.

මඩකලපුවේ ශ්‍රී ලනිප මැයි රැළිය

පසුගිය 7 වැනිදා උදය වරුවේ මෛත්‍රි සිටියේ පොළොන්නරුවේය. විවෘත කිරීමේ උත්සව කීපයකටම සහභාගි වූයේය. මින්නේරිය දේවාලයේ දේව ප්‍රතිමාව විවෘත කිරීමද ඒ අතර විය.

හත්වැනිදා පස්වරුවේ ආණ්ඩුව තීරණය කළ පරිදි මැයි රැලි පැවැත්විණි. ප.ව 3.30 වෙද්දී ජනපති ශ්‍රී ලනිප මැයි රැලිය පැවති චෙන්කල්ලඩි ක්‍රීඩාංගණයට ළඟාවිය. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. එය නැගෙනහිර ජනතාවට කරන ලද ගෞරවයක් බවත් ඉතිහාසයේ ප්‍රථම වරට මැයි රැලියක් මඩකළපුවේ පැවැත්වෙන බවත් මෛත්‍රි සිය කතාවේදී සඳහන් කළේය.

2020 දි යනවා බොරු

වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ තමා 2020දී විශ්‍රාම නොයන බවට මෛත්‍රි කළ ප්‍රකාශයයි.

2020දී මම විශ්‍රාම යන්නේ නැහැ. රට වෙනුවෙන් කරන්න තියෙන වැඩ රාශියක් තියෙනවා. මා විශ්‍රාම යන්නේ ඒ වැඩ සියල්ල අවසන් කිරීමෙන් පසුවයි. මා විශ්‍රාම යන කතාව සමාජ මාධ්‍ය ජාල විසින් ප්‍රචාරය කෙරෙන්නක් මා ඔබෙන් ඉල්ලන්නේ පිරිසුදු දේශපාලනඥයන් හැම දෙනාම රට වෙනුවෙන් කළයුතු වැඩ කරන්නට මා සමඟ එක්වන ලෙසයි" යනුවෙන්ද ජනපති මෛත්‍රි පැවැසීය.

ලක්ෂ්මන් යාපා මන්ත්‍රිවරයාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය පැවැතියේද 7 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රි ලාහෝටලයේදීය. නව යුවළ වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස අස්සන් කරන්නට නියමිතව සිටියේ ජනපති මෛත්‍රි සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. චෙන්කල්ලඩි මැයි රැලිය නිමා වන විට නියමිත වෙලාව පසුවී තිබිණි. රෑබෝ වූ බැවින් හෙලිකොප්ටර් ගමනද අවලංගු විය. ගුවන් යානයකින් රත්මලානට පැමිණි ජනපති ෂැංග්‍රිලා හෝටලයට ළඟා වන විට රාත්‍රි 8.00ත් පසුව තිබිණි. පස්වරු 7.00කුත් ගාණට යෙදී තිබූ නැකතට සාක්ෂියට අස්සන් කළ ගෝඨාභයද පිටව ගොස් තිබූ බැවින් මෛත්‍රි සාක්ෂියට අස්සන් තැබුවේ නැකතට සෑහෙන වෙලාවකට පසුවය.

තෙල් මිල වැඩි කළොත් ගමට යන්න බැරි වේවි

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වූයේ ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෑමේදීය. සාකච්ඡාව ආරම්භ වූ විට ඇමැතිවරු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේ මේ මොහොතේ තෙල් මිල ඉහළ දැමීම සමස්ත ආර්ථිකයටම බලපෑමක් වනු ඇතැයි යන අදහසිනි. රාජිත, මංගල, අර්ජුන, පාඨලී අදහස් දැක්වූ අතර වැඩි දෙනාගේ මතය වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ග්‍රාමීය ආර්ථිකයට බරපතළ පහරක් එල්ලවනු ඇති බවය. ගමට යෑමට බැරි තත්ත්වයක් උදාවනු ඇතැයිද ඇමැතිවරු කීහ. ඉන්ධන මිල සූත්‍රය ගැන ඉදිරිපත් වූ කරුණුද අවුල් සහගත විය. ඉන්ධන මිල සම්බන්ධයෙන් එදින රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රි තීරණය කළේය.


ජනාධිපති නිල නිවෙසේදී එකී සාකච්ඡාව පැවැති අතර ඊට ඛනිජ තෙල් ඇමැති අර්ජුන. මුදල් ඇමැති මංගල සහ ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සහ සංස්ථාවේ නිලධාරීහුද සහභාගි වී සිටියහ. පවතින තත්ත්වය අනුව තෙල් මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය වුවත් වෙනත් විසඳුමකට යා හැකිද යන්න සොයා බැලීම වැදගත් යැයි ඇමැති අර්ජුන කීවේය. 2015 බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 45 _ 50 අතර තිබූ නමුත් දැනට ඇ. ඩො. 75 _ 80 දක්වා ඉහළ ගොස් ඇති බැවින් පාඩුව දරාගත නොහැකි තත්ත්වයක පවතින බවද හෙළිවිය.

ජනාධිපති මෛත්‍රි පැවසුවේ දැනට ඉන්ධනවලට අයකරන බදු අඩුකළ හැකිද යන්න ගැඹුරින් විමසා බලන ලෙසය. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඒ සම්බන්ධව කරුණු දක්වද්දී ජනපති නුරුස්නා ස්වභාවයෙන් අදහස් පළ කරන්නට වූයෙන් ඔහු කෝපයට පත්ව සිටි බව පෙනුණි. සාකච්ඡාව අවසන් වූයේ බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයෙනි.

ෆොන්සේකාගේ සමාව භජනය

බදාදා කැබිනට් රැස්වීමෙන් පසු ජනපති ලේකම් කාර්යාලයේ සිය කාර්යාලයට යනවාත් සමඟම සිවු දෙනෙක් පසු පසින් එහි ගියේය. අගමැති රනිල්, මලික් සමරවික්‍රම, සරත් පොන්සේකා සහ රංජිත් මද්දුම බණ්ඩාර ඒ සිවුදෙනාය. කතාව ආරම්භ කළේ පොන්සේකාය.

"සර් මගෙ අතින් වරදක් වුණා. මම ඔබතුමා අපහසුවට පත් කරන අදහසින් කළ විවේචනයක් නෙවෙයි. එහෙම අදහසක් මා තුළ නැහැ"

පොන්සේකා කියාගෙන ගියේය.

"ඔව් ඔව් ඉතින් වේදිකාවල කරන කතානෙ. කොහොමත් කවුරු වුණත් කතා කරද්දි ප්‍රශ්න ඇති නොවන විදියට කතා කරන එකයි හොඳ" ජනපති මෛත්‍රි කාර්යාලයෙන් පිටත්ව යෑමට සැරසෙමින් පැවැසීය.

ජනාධිපතිවරයා ඉරාන නිල සංචාරය සඳහා බ්‍රහස්පතින්දා පස්වරුවේ පිටත්ව ගියේය. මේ අතර රාජ්‍ය දැව සංස්ථාවට නව සභාපති වශයෙන් පත්කළ අනුරුද්ද පොල්ගම්පොලගේ තනතුර අත්හිටුවන නියෝගයක්ද ජනපති ලබාදී තිබිණි.

වෙරළෙ ඉන්න එකම කෙල්ල ඔයා නෙවෙයි

පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය සරත් අමුණුගම අපූරු කියමනක් ගෙනහැර පෑවේය.

'වෙරළෙ ඉන්න එකම කෙල්ල ඔයා නොවෙයි" (කධභ චපඥ දධබ ඊඩඥ ධදතර ඨඪපත චබ ඊඩඥ ඡඥචජඩ) අමුණුගම කීවේ අද ලෝකයේ ආයෝජකයන්ට ආයෝජනය කිරීමට ස්ථාවර දේශපාලන තත්ත්වය සහිත රාජ්‍යයන් ඕනෑ තරම් තිබෙන බවයි. අපි විතරයි ඉන්නේ. ඔවුන් අපිව සොයාගෙන එයි කියා හිතන්න එපා කියාය. ඇමෙරිකාවෙ ට්‍රම්ප් ගෙනියන විදේශ ප්‍රතිපත්තිය නිසා ඇමෙරිකාවටත් ආයෝජකයෝ යනවා. අපේ ප්‍රශ්න අවසන් කරගෙන අපි හැමෝම එකතුවෙලා රට සංවර්ධනය කරන්න තීරණය නොකළොත් ආයෝජකයො අපේ රට දිහා හැරිලවත් බලන එකක් නැහැ. අමුණුගම කීවේය.

ගාමිණී දිසානායක බැසිල්ට මහවැලියේ රැකියාවක් දුන්නාලු

මැයි දිනයට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු නොපැමිණීම ගැන විවිධ පුද්ගලයෝ නවීන්ගෙන් අදහස් විමසන්නට වූහ.

"කවුරුවත් මැයි දිනය කඩාකප්පල් කරන්න ඕන කියලා හිතාගෙන වර්ජනය කළේ නෑ. දැන් මගේ මල්ලි, මයන්තත් මැයි දින සැමරුමට ආවේ නෑ. ඔහු කලින් සූදානම් කරගෙන තිබූ කැනඩා සංචාරයකට ගිහින් තිබුණා. ඔහු මේක කඩාකප්පල් කරන්න හිතාගෙන රට ගියා නෙවෙයි. මේ ආකාරයට තමයි සමහර අයට එන්න බැරි වුණේ" නවීන් පැහැදිලි කළේය.

මේ අතර 2020දී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දේශපාලන කට කතා ගැනත් නවීන්ගේ අවධානය යොමුවී තිබුණේය.

"2020දී බැසිල් එනවා නම් හොඳයි. එතකොට මටත් කියන්න ගොඩක් දේවල් තියෙනවා. එදා පුංචි නවීන් බලාගෙන ඉන්නකොට මගේ පියාගෙන් ඔහු මහවැලියේ පත්වීමක් ගත්තා. රුපියල් හත්දහස් පන්සියයක වැටුපක් ලබමින් සිටි ඔහු කෝටිපතියෙක් වුණේ කොහොමද කියලා කියන්න වෙනවා" නවීන් කීවේය.

ගලයිෆොසේට් තහනම ඉවත් කරගන්න නවීන් ගෙන ගිය සටන

ජපානයේ තානාපතිවරයා නවීන් හමුවීමට පැමිණියේ ජපානයට අපනයනය කරන තේ නිෂ්පාදනය ගැන අවධානය යොමු කිරීමටය. ග්ලයිෆොසේට් තහනම සමඟින් ජපානයේ තේ වෙළෙඳපොළ අහිමිවීමේ අවදානම ගැන එහිදී අවධානය යොමු කෙරිණි.

"ග්ලයිෆොසේට් තහනම තේ හා රබර් ක්ෂේත්‍රයන්ට අදාළව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නවා. මේ වන විට අදාළ තීන්දු අරගෙන අවසන්" නවීන් සිය ස්ථාවරය පැහැදිලි කළේය.

ඇමෙරිකානු තානාපතිවරයා සමඟ නවීන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණේ බ්‍රහස්පතින්දාය. එහිදී දෙරට අතර වන ද්විපාර්ශ්වික සම්බන්ධතා ගැන වැඩි අවධානයක් යොමු වුණේය.

තවත් මාස 36කට රබර් හා තේ වගාව සඳහා පමණක් ගලයිෆොසේට් තහනම ඉවත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. එම තීරණයට එරෙහිව ඇමැති රාජිත තදින් කරුණු දක්වා තිබිණි.

ජාතික පාසල් සඳහා නව නීති මාලාවක් ගෙන ඒම සඳහා ඇමැති අකිල ගෙනා යෝජනාවකටද ක්‍රීඩා ඇමැති ෆයිසර් සමඟ කැබිනට් මණ්ඩලයේ උණුසුම් කතා බහක් ඇතිවිය. මංගල හා රාජිත අතර කතාබහ උණුසුම් වූයේ දුම්වැටි හා මද්‍යසාර විෂය සම්බන්ධවය.

අල්ලසකාරයෝ කොටු වෙද්දී එතැන සිට මාරු වූ ඥාතීන් කවුද?

අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැඳුරට පැමිණ සිටි මැති ඇමැතිවරු නිලධාරීන් හා පක්ෂ හිතවතුන් මෙන්ම මාධ්‍යවේදීන් කීපදෙනෙක් සමඟද කතාබහ කරමින් සිටියේය.

"ජනාධිපතිතුමා ළඟම හිටපු පගාකරයෝ දෙන්නා අල්ලස් එකට කොටු වීම ගැන මිනිස්සු සුභවාදී තැනකයි ඉන්නේ. තරුණ ඥාතීන් දෙන්නෙක් එතන ඉඳලා මාරුවෙලා කියලා ආරංචියි. මේ වැඩේ අගමැතිතුමාට පටවලා ජනාධිපතිතුමා එක්ක කොටවන ව්‍යාපාරයකුත් ගියා." එජාප නීති අංශ නිලධාරියෙක් කතාවට මුල පිරුවේය.

"අවුරුදු 2ක් මේ පරීක්ෂණ කරලා තියෙනවා. අනික හොරු අල්ලන්න කියලා ජනාධිපතිතුමාම මුළු රටෙන්ම ඉල්ලුවානේ." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.
පෙළපාළි නැති රැලිය අලුත් සංකල්පයක් ලු

"එජාප මැයි රැලිය ගෘහස්ථ ක්‍රීඩාංගණයක තිබීමයි පෙළපාළියක් නැතිවීම ගැනයි විපක්ෂය මඩ ගහන්න ගත්තා. අපි අලුත් සංකල්පයක් මත වැඩ කරපු එක එයාලට තේරුණේ නෑ. අනික මේ පාර කොයි පක්ෂයක්වත් පෙළපාළි ලොකුවට කළේ නෑ." නවීන් දිසානායක කීදේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.

"පෙළපාළි හැමදාම ගියේ පක්ෂයේ දේශපාලන හයිය පෙන්වීමටයි. අපි මේ පාර මේ බොරුව රටට පැහැදිලි කළා. ඒක නොතේරෙන අය කෑගහාවි. ප්‍රශ්නයක් නෑ." අගමැති කීය.


"ෆොන්සේකාගේ කතාවට ලොකු චියර් එකක් ලැබුණා. සජිත්, නවීන් ඇතුළු තරුණ නායකයෝ පක්ෂයට විශාල ශක්තියක් බව මැයි දිනයේදී රටට ඔප්පු කළා." ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"රවි කරුණානායකට මම විශේෂයෙන් ආරාධනා කළා. එතුමා ආවේ නෑ. කතාවකුත් වෙන් කරලා තිබුණේ. මේ ජනාධිපති දිනවලා මේ ආණ්ඩුව හදන්න එජාප අපි කට්ටිය එකතු වෙලා කරපු කැපවීම කියලා රවිට ලොකු ජනතා ප්‍රසාදයක් ගන්න තිබුණ අවස්ථාව මඟ ඇරියේ ඇයිද කියලා තේරෙන්නේ නෑ." මහ ලේකම් අකිල විරාජ් කීවේය.
16 විපක්ෂයට ගියේ සෙංකෝලය තියන්න පෙර නිසා ඒක ගණන් ගන්න බෑ

 

"ශ්‍රී ලනිප මන්ත්‍රිවරු 16 දෙනා විපක්ෂයට ගියේ සෙංකෝලය තියලා කථානායකතුමා වාඩි වෙන්න කලින් නිසා ඒ අය කේ‍රාස් ඕවර් කළා කියලා පිළිගන්න බැහැ.

ජනාධිපතිතුමාගේ කතාව ඉවර කළාම අනික් පැත්තට යන්න තරම්වත් ඒ අයට කොන්දක් නෑ කියලයි සමහරු කියන්නේ" නවින් දිසානායක කීවේ සිනා මැදය.
"එජාප ශ්‍රී ලනිප සම්මුති රජයේ කථානායක හා නියෝජ්‍ය කථානායක පක්ෂ 2ට බෙදෙන නිසා ජනාධිපතිතුමාගේ පණිවුඩය එනකම් මොකුත් කරන්න අමාරු බව කථානායකතුමා කිව්වා නේද?" ගයන්ත කරුණාතිලක ඇසුවේය.


"තිලංග යළි පත් කළොත් ආණ්ඩුවේ හා විපක්ෂයේ හැම පැත්තෙම බොහෝ අය ඊට විරුද්ධ වේවි. නියෝජ්‍ය කථානායකයකුට තම පක්ෂ තීන්දුව අනුව ඡන්දය දිය හැකි වුවත් යම් ප්‍රශ්නයක්දී පක්ෂග්‍රාහීව වැඩ කරන්න බෑ." නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.

මිනීමැරුම්වලට වඩා ජනතා මුදල් ගසා කෑම බරපතළයි.


"නව මහාධිකරණ පිහිටුවලා බරපතළ නඩු දිනපතා අහන ක්‍රමවේදයට අදාළ පනත සම්මත වීම රටම ලැබූ ලොකු ජයක්. ඉස්සර බරපතළ නඩු බව කිව්වේ මිනී මැරුම්වලටයි. අද ජනතා මුදල් ගසා කෑම් පවා ඒ ගණයට වැටෙන බව සමාජ පිළිගැනීමක් ඇතිවෙලා නිසා මේ පනත හරහා රටට විශාල සේවයක් වේවි. වැරැදි නොකරපු කවුරුත් මේකට බය වෙන්න දෙයක් නෑ. අනික මේ පනත මේ ආණ්ඩුව යටතේ විතරක් නෙවෙයි මුළු අනාගතයටම බලපානවා. "විජයදාස රාජපක්ෂ කීදේ අගමැති ඇතුළු සියලුදෙනා පිළිගත් අතර නව පනත ගෙන ඒමට හා පාර්ලිමේන්තුවේදී ඒ වෙනුවෙන් මතවාදීව පෙනී සිටීමට ඇමැති විජයදාස ලබා දුන් සහාය ගැනද එහිදී සියලු දෙනා ඔහුට ස්තුතිය පළ කළහ.


රවි කරුණනායකට ඇමැති ධුරය ලබා දීම ගැනද එහිදී අවධානය යොමු විය. අල්ලස් ගැන සෙවීම අල්ලස් කොමිසමේ කටයුත්තක් විනා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඔහුට අදාළව නීතිපති නිර්දේශ ගනු ලබන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව පදනම් කරගනිමින් පමණක් බවත් එහිදී කරුණු එළිවිය.


අතාවුල්ලාගෙයි හිස්බුල්ලාගෙයි පිහිටෙන් ශ්‍රී ලනිපය මැයි රැලිය ගොඩදාගත්තාලු


ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සමරුව මෙවර පැවැත්වුණේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදීය.


සංවිධාන කටයුතු කරට ගෙන ක්‍රියා කළේ බැසිල්ය. රෝහිත, ප්‍රසන්න ඇතුළු කණ්ඩායමක්ද ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන රමේෂ් සහ මොහාන්ද මැයි දින සමරුව සාර්ථක කරගැනීම වෙනුවෙන් කටයුතු කළහ.


මැයි දින පෙළපාළිය ආරම්භ කෙරුණේ සවස 1.30ට පමණය. රටේ විවිධ ප්‍රදේශවලින් ආ ජන ගංගාව සමනල ක්‍රීඩාංගණය වෙත පෙළපාළියෙන් ගමන් කළහ. මහින්ද පෙරදා රාත්‍රිය ගත කළේ තංගල්ලේය. තංගල්ලේ සිට මැයි දිනයට සහභාගි වීමට මහින්ද ගාල්ල බලා ආවේ හෙලිකොප්ටරයෙනි.


ගාල්ලට ආ මහින්ද කෙළින්ම ගියේ ගාලු කොටුව තුළ වෙසෙන සිය ඥාතියකුගේ නිවෙසටය. මැයි දින සමරුවට මහින්ද ආවේ එහි සිටය. ඒ වන විටත් සමනල ක්‍රීඩාංගණය ජන ගංඟාවකින් වැසී ගොස් තිබුණු අතර එදින මහින්ද රැලිය අමතා නිමවන විටත් පෙළපාළි අවසන්ව තිබුණේ නැත.


විමල්, මහින්දානන්ද, ගම්මන්පිල, ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත, නාමල් ඇතුළු පිරිස මැයි දින වේදිකාවට වී කතා කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. විශේෂයෙන් එදින පැවැති මැයි රැලි සම්බන්ධයෙන් මන්ත්‍රිවරු අදහස් පළ කළහ.


"ඒකාබද්ධ විපක්ෂයේ තරම කොච්චරද කියනවා නම් ජනාධිපතිගේ පක්ෂය මඩකළපුවට තල්ලු කරලා අගමැතිගේ පක්ෂය ගෘහස්ථ ක්‍රීඩාගාරයකට කොටු කරන්න පුළුවන් වුණා" ප්‍රසන්න කතාවට මුල පිරුවේය.


"ඒක හරි. මොනම දුර්වල කාලයකවත් එක්සත් ජාතික පක්ෂය පෙළපාළියක් නැතුව මැයි දිනය සැමරුවා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම යූ.ඇන්.පී. ඉතිහාසයටම හෝල් එකක් ඇතුළේ මැයි දිනය සැමරුව පළමු වතාවත් මේකම වෙන්න ඇති" විමල් පැවැසීය.


"අගමැතිට එහෙම වෙනකොට ජනාධිපතිවරයාට වුණේ මඩකළපුවට දුවන්න. අන්තිමට පුරසාරම්කාර ඇමැතිලා කොච්චර හිටියත් මැයි දිනය පවත්වාගන්න වුණේ. අතාවුල්ලාගෙයි, හිස්බුල්ලාගෙයි පිහිටෙනුයි. ඒ දෙන්නා නැත්නම් ජනාධිපතිවරයාටත් වෙන්නේ බී.එම්.අයි.සී.එච්. එකේ මැයි දිනය පවත්වන්න තමයි" උදය කීවේය.
මාළුවා නහින්නේ කට හින්දා ලු

"වෙනදා නිදහස් පක්ෂයේ මැයි දිනයේ ඉස්සරහින්ම ඉන්නේ නිදහස් පක්ෂ වෘත්තීය සමිති. මේ පාර ඒ කවුරුත් නැහැ. කම්කරුවෝ නැතුව පාක්ෂිකයෝ ටිකක් විතරක් ගෙනල්ලා මැයි දිනය සමරන තැනට දැන් නිදහස් පක්ෂය වැටිලා ඉවරයි." පවිත්‍රා කීවාය.
"ජනාධිපතිවරයාට තිබුණේ දුමින්දගේ අනුරාධපුරයේ හරි මහින්ද අමරවීරගේ හම්බන්තොට හරි මැයි දිනය තියන්න. මොකද ඒ ඒ අය කියන කතා ඇහුවාම හිතෙන්නේ පක්ෂයට ලොකු බලයක් තියෙනවා කියලානේ කයිවාරුව නවතී එහෙම තිබ්බා නම්" ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

"ජනාධිපතිවරයාත් දන්නවා කොළඹ මැයි දිනයක් තියලා ගොඩයන්න බැරි බව. ගිය පාර ගාල්ලේ තිබ්බ එකත් අන්තිම අසාර්ථකයිනේ. ඒ හින්දා අතාවුල්ලා අල්ලාගෙන මඩකළපුවට පැනගත්තා." මහින්දානන්ද පැවැසීය.

"එදා අපි ගෝල්ෆේස් පිට්ටනියට ගෙනාපු සෙනඟ දැකලා පිස්සු වැටුණු දුමින්දලා, අමරවීරලා කිව්වේ ඊළඟ මැයි දිනය ගෝල්ෆේස් එකේ තියනවා කියලයි. අන්තිමට වුණේ මඩකළපුවට ගිහින් ජාමේ බේරගන්නයි. ඕක තමයි කියන්නේ කට හින්දා තමයි මාළුවා නහින්නේ කියලා" රෝහිත පැවැසීය.

අල්ලස් ගත් ලොක්කන්ට මාංචු නොදැම්මේ ලොකුකම නිසාද?

"ආණ්ඩුවේ අය මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ නිලධාරීන්ට බොරු චෝදනා කර කර හිටියට ලොකුම හොරු ඉඳලා තියෙන්නෙත් ඒ අය ළඟමනේ" විමල් පැවැසුවේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

"ඒ දෙන්නා ඉල්ලලා තියෙන අල්ලස කෝටි 100ක්. ඒක 56 වෙනකම් අඩු කරගෙන තමන්ගේ කොටස ගණන් කරමින් ඉද්දී තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. අපිට ආරංචි විදියට නම් ඉතුරු කෝටි 50 යන්නේ වෙන කෙනකුගේ සාක්කුවට කියලයි" මහින්ද පැවැසීය.

"හිටපු ආණ්ඩුවේ කවුරු හරි අත්අඩංගුවට ගත්තම මාංචු කුට්ටම් දාලා මාධ්‍යටත් එන්න කියලා කුදලාගෙන ගියාට මේ අයට නම් මාංචු දාලා තිබ්බේ නැහැ. සමහර විට ලොකු තැන්වලට සම්බන්ධ නිසා වෙන්නත් ඇති" නාමල් පැවැසීය.

ගාමිණී ලොකුගේගේ මතකාවර්ජන

ගල්කිස්ස හෝටලයේදී මතකාවර්ජන නමින් උත්සවයක් පැවැත්වුණේ ගාමිණී ලොකුගේගේ දේශපාලන ජීවිතයට වසර 35ක් පිරීම හා 75 වැනි ජන්ම දිනය වෙනුවෙනි. මෙම උත්සවයට රාජපක්ෂ පවුලේ මහින්ද, චමල්, ගෝඨාභය සහ බැසිල් යන සහෝදරයන් සිවු දෙනාම සහභාගි වී සිටීම විශේෂත්වයකි.

සහෝදරයන් සිවු දෙනා එකට අසුන් ගෙන සිටියදී ප්‍රසන්න, දිලුම්, ශෙහාන්, පියල් ඇතුළු තරුණ මන්ත්‍රිවරු කණ්ඩායම තවත් මේසයක අසුන් ගෙන සිටියහ. එතැන සිටි පියල් කීවේ "පේනවා නේද හතර දෙනා එකට ඉන්න අපූරුව. මොනවා වුණත් රාජපක්ෂලාගේ සහෝදරකම් කඩන්න නම් කාටවත් බැහැ" කියාය.

"දැන් එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඉවරයක් නැති ගැටුම්. ඒ ගැටුම් යටගහන්න හදලා තියෙන කතාව තමයි ඒකාබද්ධයෙත් ගැටුම් කියන එක. රාජපක්ෂවරුන්ට ජනාධිපති අපේක්ෂකත්වයට රණ්ඩු සරුවල් කරගන්න දෙයක් නැහැ. ඒ අය තනතුරු තිබ්බත් නැතත් ජනතාවගේ හිත්වල ජීවත් වන පිරිසක්. හැබැයි ඔය බොරු ආරවුල් ගැන කටකතා හදන අයට මේක පෙන්නන්න තියෙනවා නම් මරු" ප්‍රසන්න පැවැසීය.

මරික්කාර්ගේ කනට ගහන්න ලොකුගේ දුවගෙන ගිය හැටි මහින්ද මතක් කරයි.

උත්සවය අතරතුර ලොකුගේගේ ලේලියන් දෙදෙනාට මහින්ද කීවේ "ලොකුගේ මන්ත්‍රිතුමා නම් හරිම හිතුවක්කාරයා. කවුරු හරි ගහන්න ආවොත් එයත් අරින්නේ නැහැ. ගැහුවොත් ගහනවා. බැන්නොත් බනිනවා. ඒ වගේ චරිතයක් තමයි මේ" කියාය.

"ඒක නම් ඇත්ත තමයි සර්. තාත්තා ඉස්සර වගේම දැනටත් එහෙමම තමයි" ලේලියෝ කීහ.

"මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ ලොකුගේ හිටියේ එක පැත්තක. මම හිටියේ අනෙක් පැත්තේ. හැබැයි අද රට වෙනුවෙන් අපි දෙන්නම ඉන්නේ එකම පැත්තේ" මහින්ද අතීත කතාවක් සිහිපත් කළේය.

"මතක නැද්ද එදා මරික්කාර්ට කනට ගහපු හැටි. කොල්ලෙක් වගේ නැඟිටලා දුවගෙන ගියේ" මහින්ද සිනහා වෙමින් සිහිපත් කළේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙනි.

"මම ලොකුගේ ඇමැතිතුමාට සලකන්නේ එකම දෙයක් නිසයි. එදා මහින්ද මහත්තයා ජනාධිපතිවරණය පැරදිලා ගෙදර යන කොට ලොකුගේ ඇමැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳගෙනයි කිව්වෙ අපි ආයෙමත් ජනාධිපතිතුමාව දේශපාලනයට ගේන්න ඕනේ කියලා. මම හිතන විදියට එතුමා තමයි ඒ කතාව මුලින්ම කිව්වේ. ඒ නිසයි සර් මම එතුමට ගරු කරන්නේ" ප්‍රසන්න සිහිපත් කළේය.

විපක්ෂයට ගිය 16ට පාර්ලිමේන්තුවේදී උණුසුම් ප්‍රතිචාර

පසුගිය 8දා පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි 16 දෙනා උණුසුම් ලෙස පිළිගත්තේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසිනි. රතු පලස හරහා මුලින්ම ගමන් කළේ සුසිල් ප්‍රේම්ජයන්තය. ඊළඟට පිළිවෙළින් අනුර, එස්.බී., දයාසිරි ආදී පැමිණියහ. ජයවේවා, ජය වේවායි කෑගසමින් මේසවලට තට්ටු දමමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රීති ඝෝෂා නඟන විට ගිය එක හොඳයි අනේ සාදු අනේ සාදු කියමින් එජාප පසු පෙළ කෑගහන්නට විය. ඒ සමඟම හූ....හූ....හඬක්ද ඇසුණි. හූ.....හඬ ආවේ ආණ්ඩු පක්ෂ පසු පෙළ දෙසිනි


දැන් නියමයි මේ පැත්ත සුද්ද වුණා. ලෙඩ්ඩු ටික ගියා යනුවෙන් කීවේ තුෂාර ඉඳුනිල්ය


"ඇයි ඔයා නැඟිට්ටේ මේ පැත්තට එන්නද? එන්න එපා ආවත් ගන්නේ නෑ" ඉන්දික අනුරුද්ධ තුෂාරට පිළිතුරු දුන්නේය.

16 නිසා 4ක් මුල් පුටුවලට

16 කණ්ඩායම විපක්ෂයට යෑම නිසා ආණ්ඩු පක්ෂයේ කීපදෙනකුට උසස්වීම් ලැබී තිබිණි. උසස්වීම් කීවාට ඒවා පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන්වලට මාරු වෙන්නට ලැබුණු පුටු පේළි උසස්වීම්ය. ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ, තෙවැනි පෙළ අසුන්වල මෙතෙක් සිටි කැබිනට් ඇමැතිවරු හතර දෙනකුට මේ චාන්ස් එක ලැබී තිබිණි. වජිර අබේවර්ධන, තිලක් මාරපන, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ ඒ හතර දෙනාය. ඔවුන් වෙනදාට වඩා ගැම්මෙන් සිටිනු පෙණිනි.
දිවංගත ජනපති ප්‍රේමදාස ජන්ම දින සැමරුමට රට පුරා චෛත්‍ය 25ක්

ජුනි 23දාට හිටපු ජනපති ප්‍රේමදාස ජන්ම දිනය යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා ග්‍රාමීය මට්ටමින් චෛත්‍ය 25ක් සඳහා මුල්ගල් තබන්නට නිවාස ඇමැති සජිත් තීරණය කර ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

"සර් ඊට වඩා හොඳ නැද්ද ජනාධිපතිතුමා සිහිකර එක් ස්ථානයක එක් චෛත්‍යයක් ගොඩනැඟුවොත්"

රැස්ව සිටි නිලධාරීන් අතරින් එක් අයෙක් කීය.
"මගේ තාත්තා ගම්වල ඇවිදපු දුප්පත් මිනිස්සු එක්ක ජීවත් වුණු දුප්පත් පන්සල්වලට ආධාර උපකාර කළ කෙනෙක්. බෞද්ධාගමික ප්‍රබෝධය සඳහා එතුමා ගෙනගිය වැඩ කොටසයි ඉදිරියට ගෙන යන්න ඕනෑ. ඒ නිසා මම සතුටු නෑ එක තැනකට සීමා වෙන්න. ඒ නිසා චෛත්‍ය ඉදිකිරීම ගම් මට්ටමින් පුළුල්ව සිදු කිරීමය ආගමික වශයෙන් වැදගත් වෙන්නේ" ඇමැති සජිත් පිළිතුරු දුන්නේය.

"එහෙම හැම දිස්ත්‍රික්කයකම ආගමික සිද්ධස්ථාන ඉදිකරන්න බැහැ නේද?" මෙහිදී තවත් අයෙක් අදහස් පළ කළේය.

"එහෙම හිතන අයෙක් ඉන්නවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා බලන්න. බෞද්ධාගමික උන්නතිය යටපත් කරන්න කාටවත්ම බැහැ"

ඇමැති සජිත් ඊටද පිළිතුරු දුන්නේය.

"මේ රටේ ඕනම තැනක බෞද්ධ චෛත්‍ය ඉදිකරන්න බාධාවක් නැහැ. මම ඒක ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනවා."

මඩකළපු ශ්‍රී ලනිප මැයි රැලියට ගිය දයාසිරිලා වැට අයිනේ

විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලනිප 16 කණ්ඩායමේ මන්ත්‍රිවරු මැයි රැලිය දා මඩකළපුවට ගියේය. එම පිරිසටත් වේදිකාවේ අසුන් පනවාතිබූ නමුත් වේදිකාවට ගොඩවුණේ එස්.බී. සහ සුමේධා පමණි. දයාසිරි, තිලංග ඇතුළු සෙස්සෝ වැට අයිනට වී බලා සිටියේය. දයාසිරිලා වැටේ සිටින බව වේදිකාවේ සිටි ජනාධිපති මෛත්‍රිත් දුටුවේය. මාධ්‍යවේදීන්ටද එය කුතුහලය දනවන කාරණයක් විය.

"මන්ත්‍රිතුමා රැලියට ආවා නම් මොකද එළියේ ඉන්නේ වේදිකාවට යන්නකෝ"

මාධ්‍යවේදියෙක් දයාසිරිට කිට්ටුකොට ඇසුවේය. තිලංග ඇතුළු නඩයම සිටියේ එක පොකුරටය.

"නෑ ඉතින් මෙතනත් හොඳයි. අපි රැලියට ආවනේ"

දයාසිරි ෂේප් වෙන්න බලාගෙන උත්තරයක් දුන්නේය.

"අන්න එස්.බී. වේදිකාවේ ඉන්නවා"

දයාසිරිට කියන්නට දෙයක් තිබූ බවක් නොපෙණුනි.

"අනුර යාපා හිටපු ඇමැතිතුමාගේ පුතාගේ වෙඩින් එක අද. ඒකට යන්නත් තියෙනවා. බයිරෝඩ් යන්නත් එපැයි. අපි ටිකක් ඉඳලා යනවා" හෙතෙම පැවැසීය.
ඒගොල්ලෝ ජනාධිපතිතුමා සතුටු කරන්න මැයි රැලියට ඇවිල්ලා අනික් පැත්තෙන් මහින්ද මහත්තයා සතුටු කරන්න වැට අයිනේ ඉන්නවා" එහි සිටි අය කසු කුසු ගෑවා.
කොළඹ මැයි පෙළපාළි ජවිපෙට සින්නවූ හැටි

එජාපය මෙවර මැයි පෙළපාළි ගියේ නැත. රැලියට පමණක් සීමා විය. ඒකාබද්ධ විපක්ෂය ගාලු ගිය අතර ශ්‍රී ලනිපය මඩකළපු ගියේය. කොළඹ වීදි කම්කරු පන්තියේ රණ හ¾ඩින් පුරවන්නට සිදුවූයේ ජවිපෙටය. ඔවුහු වෙනදා මෙන්ම දැඩි විනයකින් යුත් ආකර්ෂණීය මැයි පෙළපාළියක් සංවිධානය කර තිබිණි. බොරැල්ල කැම්බල් පිටියෙන් ඇරැඹි දැවැන්ත පෙළපාළිය බී.ආර්.සී. පිට්ටනිය දක්වා ගමන් කළේ අලංකාර සන්දර්ශන රථ කිහිපයක්ද පෙරටු කොටය.

ජවිපෙ මැයි රැලියට එක්වීමට විදෙස් නියෝජිතයන්ද පැමිණ සිටියෝය. ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිත නිකොලිස් සෙරටතිස්. නේපාල කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පශුපති චවුලගේත් මධ්‍යම කාරක සභික, රබීන්ද්‍ර අධිකාරි, ඕල් ඉන්දියා ෆෝවර්ඩ් බ්ලොක් මධ්‍යම කාරක සභික කදිරවන් විරු මාණ්ඩි ස්වීඩන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික එමානුවෙල් එලියාසන් යන විදෙස් නියෝජිතයෝ ජවිපෙ නායකයන් සමඟ පෙළපාළියේ ගමන් ගත්හ. හදිස්සියේ ඇද හැලුණු වර්ෂාවද නොතකමින් ජවිපෙ නායකයන් මෙන්ම සාමාජිකයන්ද ඊට මුහුණ දුන් අන්දම දුටු විදෙස් නියෝජිතයෝ ජවිපෙ විනය හා අධිෂ්ඨානය ගැන මහත් සතුටට පත්වූහ.

20 සංශෝධනය ගැන
බිල්ලෝ මවනවා

ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත 20 සංශෝධනය තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 20 අඩංගුව තවමත් රටට ඉදිරිපත් නොවූ තත්ත්වයක් තුළද ඒ පිළිබඳව පුළුල් සංවාදයක් මතුව තිබේ. ඇතැම් පිරිස් විසින් 20 විකෘති කරමින් මත පළ කිරීම පිළිබඳවත් 20 පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජවිපෙ නායකයෝ පසුගියදා විශේෂ සාකච්ඡාවක නිරත වූහ. "20 තවමත් පාර්ලිමේන්තුවට නොදාපු තත්ත්වයක් ඇතුළෙත් සමහරු මේ ගැන බිල්ලෝ මවනවා. සමහරු විකෘති කරුණු ඉදිරිපත් කරනවා. ජනතාව නොමඟ යවන ප්‍රකාශ කරනවා" විජිත හේරත් කීවේය. "අපි මේ ගැන පුළුල් සංවාදයක් හදන්න ඕනෑ. 20 සංශෝධනයේ තියෙන කරුණු ගැන ජනතාව දැනුවත් කරන වැඩසටහනක් හදන්න ඕනෑ. සම්මන්ත්‍රණ මාලාවක්, විද්වත් හමු වගේම මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කරන්න පුළුවන්. හැම ක්‍රමයක්ම යොදාගන්න ඕනෑ. වැරැදි මත පරාජය කරන්න ඕනෑ. ජනතාව නොමඟ යවන්න ඉඩ දෙන්න බැහැ. ටිල්වින් සිල්වා කියා සිටියේය.

"සමහරු රට ගැන තියෙන ඇත්ත ආදරය නිසා 20 ගැන කතා කරනවා. තවත් සමහර බංකොලොත් දේශපාලකයෝ තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය අවුල් වෙන නිසා කෝපයෙන් කලබල වෙලා 20ට බුරා පනිනවා. කොහොම නමුත් මේ ගැන අදහස් පළ කරන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මොකද මේ පිළිබඳ සංවාදය උඩට ගන්න මේවා උපයෝගී වෙනවා. ඒ වගේම ජනතාවට බලපාන සංශෝධනයක් නිසාම සියලු දෙනාට අදහස් දක්වන්නත් අපි වේදිකාවක් හදන්න ඕනෑ." අනුර දිසානායක යෝජනා කළේය.


විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ජනතාව පස්වරක් ඡන්දය පාවිච්චි කළා

"තවත් සමහර අය විධායක ජනාධිපති ධුරයේ හොඳ නරක ගැන දැන් වාද කරන්න හදනවා. ඒ සංවාදය යල් පැනලා. ඇත්තටම දැන් සංවාදය තියෙන්නේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයේ කරුණු කොහොම වෙන්න ඕනද කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මේ වෙන කොටත් ජනවරම් 5ක් ලැබිලා තියෙනවා. 1994, 1999, 2005, 2010 වගේම 2015දීත් පත්වුණු ජනාධිපතිවරුන්ට මේ වෙනුවෙන් ජනවරමක් ලැබුණා. විශේෂයෙන් මෛත්‍රිපාල මහත්තයාට ලක්ෂ 62ක ජනතාවගේ ජනවරමක් තියෙනවා මේ වෙනුවෙන්. ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වුණෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම." බිමල් රත්නායක කීවේය. "අපි මේ ගැන සංවාදයක් හැදුවම වැරැදි මත පරාජය කරන්න පුළුවන්. ඒ වගේම ආගමික නායකයන් එක්ක, දේශපාලන පක්ෂ සමඟ, සිවිල් සංවිධාන සමඟ මේ සාකච්ඡා ගෙන ගියොත් අපේ කෙටුම්පතේ කරුණු ගැන ඔවුන් දැනුවත් කරන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්න ඕනෑ." විජිත හේරත් කීවේය. ඒ වෙනුවෙන් 20 පිළිබඳව ජනතාව දැනුවත් කරන පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ඉදිරියේදී දියත් කිරීමට තීරණය කෙරිණි.

මෛත්‍රිගේ රාජාසන කතාවට වියදම විතරයි රටට වැඩක නෑ

8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය පසුගියදා 8දා ආරම්භ විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව මෙසේ පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය ආරම්භ විය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර කසුකුසුවක් ඇති විය. ජවිපෙ මන්ත්‍රිවරු, ඇමැතිවරු මේ කතාබහ අතර වූහ. "පුදුම වැඩේ කතාවෙන් පස්සේ තේ එකට ආරාධනා කරන්න ඕනෑ ජනාධිපතිතුමා. එයාගේ සංග්‍රහයට එයාවත් නැහැනේ. කතාව ඉවර වෙලා යන්න යනවා" ඒකාබද්ධයේ මන්ත්‍රිවරයෙක් රූපවාහිනි තිරය පෙන්වමින් කීවේය" ජනාධිපතිතුමාගේ කතාවේ ඇති දෙයක් නැහැ. අඩුම තරමේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ ගැන කියන කොටවත් ඒ අය අත්පුඩිවත් ගැහුව්වේ නැහැ. ආණ්ඩුවේ සමහර ඇමැතිවරු නිදිකිරා වැටෙනවා. මුහුණුවල කිසිම සිරියාවක් දැක්කේ නැහැ. ඒ නිසා වෙන්නැති තේ එකටවත් හිටියේ නැතුව ගියේ" වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. "කෝටි ගාණක වියදම් ගියා. මෛත්‍රිගේ කතාවෙන් රටට වැඩකුත් නැති වුණා. ආණ්ඩුවට වැඩකුත් නැති වුණා. අපි බලාගෙන හිටියා අඩුම තරමේ පාර්ලිමේන්තුව කල් තිබ්බේ මොකටද කියලාවත් කතාවේ තියෙයි කියලා. ඒකත් නැහැ. බොරු වැඩක් සල්ලිත් නාස්ති වුණා. ඇත්තටම වුණේ පාර්ලිමේන්තුවේ වැදගත් වැඩ ටිකක් ප්‍රමාද වුණු එක විතරයි" විජිත හේරත් කීවේය.

අමරවීරට රාජගිරියේ සුපිරි ගොඩනැඟිල්ල එපාලු

දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමැති වශයෙන් සිටියදී අමාත්‍යාංශය සඳහා බද්දට ගත් රාජගිරියේ ආන්දෝලනාත්මක සුපිරි ගොඩනැඟිල්ලේදී නව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පසුගියදා වැඩ ආරම්භ කළේය. ඇමැති අමරවීර එහිදී ප්‍රකාශ කළේ විශාල මුදලක් ගිලදමන සුදු අලියකු බඳු ගොඩනැඟිල්ලක් තමන්ට අනවශ්‍ය බවය. කෘෂිකර්ම අමාත්‍යාංශයට එහි යෑමට සිදුවූයේ පාර්ලිමේන්තුවෙන් කරනු ලැබූ ඉල්ලීමක් නිසා බවත් ඇමැති කීය. එම ගොඩනැඟිල්ල බද්දට ගෙන තිබුණේ 2016 නොවැම්බරයේදී දෙවසරක් සඳහා වූ බදු මුදල රුපියල් මිලියන 826කි. මෙම ස්ථානය කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගැනීමට සිදුවූයේ පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට එතෙක් සිටි ස්ථානයෙන් ඉවත් වීමට සිදුවීම නිසා බවට ඇමැති අමරවීර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරියගේ හිත රිදී තිබිණි.
කථානායක හැටියට මම තවමත් අඳින්නේ චමල්ගේ පරණ නිල කබායමයි කරු කියයි

එය එසේ නොවන බවට කථානායකවරයා ප්‍රකාශයක් කර තිබිණි. පාර්ලිමේන්තුවට අවශ්‍ය අමතර පහසුකම් සඳහා බිම් මහලේ ගරාජයෙන් කොටසක් එක්කර ගැනීමට කටයුතු සැලසුම් කර තිබූ බවද කරු පවසා ඇත. තම පාලනය යටතේ පාර්ලිමේන්තුව මහජන මුදල් උපරිම වගකීමෙන් විනිවිද භාවයෙන් යුතුව පරිහරණය කරන තැනක් බවට පත්කළ බව ජයසූරිය පවසා ඇත. රජයේ අන් සියලු ආයතනවලට පූර්වාදර්ශය සපයන ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව පවත්වා ගැනීමට වෙහෙසුණ බවද හෙතෙම පෙන්වා දී ඇත. "මා කථානායක ධුරයට පත්වූ විට කථානායක වෙනුවෙන් අලුත් නිල කබායක් මැසීමටවත් මා ඉඩ දුන්නේ නැහැ. එය අනවශ්‍ය වියදමක් සේ සලකා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා භාවිත කළ පැරැණි කබාය සුදුසු පරිදි සකස් කර භාවිතයට ගත්තා. එපමණක් නොවෙයි චමල් පාවිච්චි කළ නිල රථයම සුළු අලුත්වැඩියා කිහිපයක් කර මගේ පාවිච්චියට ගෙන කථානායක නිල රථයක් සඳහා වැයවන මුදල පාර්ලිමේන්තුවට ඉතිරිකර දුන්නා. රටේ බොහෝ දෙනෙක් මේ කරුණු දන්නේ නැහැ." යනුවෙන් කථානායක කරු ජයසූරිය පවසා තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon