ඩොක්ටර් මහතීර් සහ කන්ඩක්ටර් තකතීර්

  👤  4319 readers have read this article !
2018-05-17

මහරගමින් 138 බස් එකට ගොඩ වූයේ කොටුවට යන්නට ය. මා ඉඳගත් අසුනට ඉදිරිපස අසුනේ සිටියේ තරමක තලත්තෑනි මිනිසකු සහ මැදිවියේ මිනිසකු ය. දෙදෙනාම සිටියේ කතාවක ය. කතාව දේශපාලනය ය.

"මහතීර් දින්නානේ..."

"ඔව් නේ ඒක මාර වික්ටරි එකක්"

"වයස 92ක් වෙලත් මේ මිනිහා දින්නානේ... හැබැයි මෑන් ටිකක් ඒකාධිපතියා"

"ඒකාධිපතියෙක් නෙමෙයි, පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා ඒ වෙලාවේ..."

"ඇයි එහෙම කියන්නේ?"

"ඇයි දන්නේ නැද්ද? මෙහේ මහ බැංකු හොරකමට නොදෙවැනි හොරකමක් එහේ අගමැතිත් කළානේ. ඩොලර් කෝටි ගාණක ගැහිල්ලක් ඒකත්. එහේ මිනිස්සුන්ටත් මෙහේ මිනිස්සුන්ට වගේම තමයි. ආණ්ඩුව එපා වෙලා තිබ්බේ. මහතීර් හදලා දුන්නු රට නජිබ් කෑවා කියලා තමයි කියන්නේ. බදු ගහලා, බඩු මිල වැඩි කරලා, මහා පරිමාණ ගැහිලි ගහලා... මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වෙට රටේ ආර්ථිකය වැට්ටුවා. මිනිස්සුන්ට අගමැති එපා වෙලයි තිබ්බේ."

"ඒක ඇත්ත. අගමැති නජිබ් රසාක්ට රටින් පිට වෙන්නත් තහනම් කරලා. අවුරුදු 60ක් බලයේ හිටපු මහ පක්ෂයක් මිනිහා නිසා විනාස වුණා"

"පක්ෂෙයි රටයි ගොඩ දැම්මේ ඩොක්ටර් මහතීර්. කන්ඩක්ටර් නජිබ් පක්ෂෙයි රටයි දෙකම කෑවා. කොන්‍ෙදාස්තරලාට ‍ෙදාස්තරලා වෙන්න බෑනේ..."

"මෙහෙත් ඔය කරුමෙම තමයි. රනිල් රටයි ආර්ථිකෙයි දෙකම කෑවා. මිනිහත් කොන්‍ෙදාස්තර වගේ තමයි..."

දෙදෙනාම මහ හයියෙන් සිනාසුණහ.

මිනිස්සු කතා වෙන්නේ එහෙම ය. කතාව ඇත්ත ය. අවුරුදු 15කට කලින් මහතීර් ගෙදර යන්නේ විශ්‍රාම සුවය විඳින්නට ය. වසර 60ක් රට පාලනය කළ මහතීර්ගේ පක්ෂයේ නායකයා, අගමැති නජිබ් රටට කරන විනාසය මහතීර්ට බලා ඉන්නට බැරි විය. ඔහු තීරණයක් ගත්තේ ය. 2016දී පක්ෂයෙන් ඉවත් වුණේ ය. "මේ රට ආත්මාර්ථකාමී මිනිසුන් විසින් විනාශ කරනු දැකීම මට පිළිගන්නට බැහැ. ඔවුන් තමන් ගැන විතරක් සිතා මහජන මුදල් සොරකම් කරනවා" යැයි කියූ මහතීර් "අපේක්ෂාවේ සන්ධානය" නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තේ ය. වසර 2ක් ඇතුළත අපේක්ෂාවේ සන්ධානය ජයග්‍රහණය කරා අධිවේගී ගමනක් ආවේ ය. 2018 ජනවාරි මාසයේදී ඡන්දය ඉල්ලන බව කියා මාස 5ක් ඇතුළත ඡන්ද දායකයන් මහතීර් වටා රොක්වුණේ ය. ඔවුන්ට වෙන විකල්පක් තිබුණේ නැත.

මැලේසියාව ආර්ථික සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනා මහතීර් වසර 22ක් රට පාලනය කළේ ය. නූතන මැලේසියාවේ පියා ඔහු විය. නමුත් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන ඔහුගේ ආඥාදායකත්වය නිසා ඔහුට එරෙහිව දේශපාලන විරුද්ධවාදීහු පෙළ ගැසුණහ. 2008දී අගමැතිකම ඔහුගේම ගෝලයා නජිබ් රසාක්ට බාර දී මහතීර්ට ගෙදර යන්නට සිදු විය.

කුකුළු කොරටුව බාර දුන්නේ නරියාට බව මහතීර්ට වැටහෙන විට කල් වැඩිය. විශ්‍රාම ගිය මහතීර්ට නිවී හැනහිල්ලක් තිබ්බේ නැත. ජනතාව ඔවුන්ගේ කරපිටින්ම නැවතත් මහතීර් බලයට ගෙනාවේ ය.

මහතීර් දිනවද්දී මැලේසියාවේ මිනිසුන් පක්ෂය බැලුවේ නැත. වයස බැලුවේ නැත. ඒකාධිපතියාද කියා බැලුවේ නැත. මිනිසුන්ට ඒවා වැඩක් නැත. මිනිසුන්ට ඕනෑ දෙයියනේ කියලා කාලා, ඇඳලා නිදහසේ ඉන්න පුළුවන් නිවහල් රටක් ය. ණය බර නැති රටක් ය. හොර බොරු නැති පාලනයක් ය. මඩි තර නොකරන, රටේ සල්ලි පිල්ලි නොගහන දේශපාලකයන් ය. මහතීර් දිනුවේ පොල් ලෙලි න්‍යායෙන් ය. ඒ තරමට මැලේසියානු ජනතාවට නජිබ්ගේ ආණ්ඩුව එපා වී තිබිණි.

මහතීර් ඒකාධිපතිවාදී ලක්ෂණ පෙන්නුම් කළ නායකයෙකි. ඒත් රටේ දේශපාලන ස්ථාවරභාවය නොසෙල් වී තිබුණේ ය. මැලේසියානු ආර්ථික සංවර්ධනයට එය ලොකුවට බල පෑ කාරණාවකි. ලංකාවට හෙණයට හිටියෙත් මේ කාරණාවම ය. ඒකාධිපති පාලනයක්, පවුල් පාලනයක්, දූෂිත පාලනයක් කියා මහින්ද එළවා සිරිසේන-වික්‍රමසිංහ හවුල රට බාරගත්තේ ය. බාර ගත් රට ඔවුන් දෙදෙනා බෙදා ගත්තේ ය. ආර්ථිකය බදා ගත්තේ රනිල් ය. රනිල් ආර්ථිකය කෙළින් කටින් හිටවනවා කියා දණින් වට්ටවා හොම්බත් බිම ඉලුවේ ය. මහ බැංකුව එළිපිටම හූරගෙන කෑවේ ය. එතැනින්ම ආණ්ඩුව පිරිහුණේ ය. අගමැති පිරිහුණේ ය. පහුගිය පළාත් සභා මැතිවරණයෙන් ගමේ ජනතාව ආණ්ඩුවට පල නොකියා පලා බෙදුවේ ය.

කන්ඩක්ටර්ලා කතා කරන්නේ ඩොක්ටර්ලා වගේය. ඒත් ඩොක්ටර්ලා කරන දේවල් කන්ඩක්ටර්ලාට කරන්නට බැරි ය. ඩොක්ටර් මහතීර්ලා කරපු වැඩ කන්ඩක්ටර් තකතීර්ලාට කරන්නට බැරි ය.

මහතීර් හදලා දීපු රට නජිබ්ට යස අගේට කරගෙන යෑමේ හැකියාව තිබිණි. එසේ තිබියදීත් රජයේ අරමුදල් මහ දවල් කොල්ල කෑවේ ය. මෛත්‍රි-රනිල් රට බාර ගන්නා විට රටේ දේශපාලන ස්ථාවරභාවය හොඳටම තිබුණේ ය. ආර්ථිකය හදනවා, පිට රටින් ආයෝජන ගේනවා කිය කියා රනිල් පාරම්බෑවා විතරය. කරපු බක්කක් නැත. අන්තිමට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටේ සල්ලි බිලියන ගණනක් හොරුන්ගේ සාක්කුවල හැංගුණා විතර ය.

නජිබ්ලා රටට කරපු අපකීර්තියෙන් රට ගලවාගන්න මැලේසියාවේ ජනතාව වයසක මහතීර් නැවත ගෙනාවේ ය. රනිල්ලා කරපු අපකීර්තියෙන් රට ගලවාගන්න ලංකාවේ ජනතාව කාව ගෙනේවිද කියා කියන්නට දැන්ම කල් වැඩි ය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්