ආණ්ඩුව අභ්‍යන්තරයේ පිපුරුමක් අත ළඟ !

  👤  5893 readers have read this article !
2018-05-20

කටාර් එමීර්වරයාගේ මාලිගයෙන් ගුවන්තොටුපොළට එවූ රාත්‍රි භෝජන සංග්‍රහය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරානයේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගියේ පසුගිය සතියේ සෙනසුරාදා දහවල්ය. ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට තිලක් මාරපන, රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ හා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුද එක්ව සිටියහ.

ඉරානය බලා යෑමට සෘජු ගුවන් සේවා නොවූයෙන් ජනාධිපතිවරයාගේ ගමන වැටී තිබුණේ කටාර් රාජ්‍යය හරහාය. ටෙහෙරානය බලා යන ගුවන් යානය සඳහා පැය තුනක පමණ කාලයක් කටාර් ගුවන් තොටුපොළේ සුවිශේෂී අමුත්තන්ගේ පර්යන්තයේ ගත කරන්නට ජනාධිපතිවරයාට සිදුව තිබිණි. ජනාධිපතිවරයා එහි යන විට කටාර් රාජ්‍යයේ ඉහළ නිලධාරියකුද පැමිණ සිටියේය.

"ඔබතුමාව අපි ඉතාමත්ම ඉහළින් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමා වෙනුවෙන් අපේ නායකතුමා එතුමාගේ මාලිගයෙන් දිවා ආහාරය මෙහි ගෙනැවිත් තියෙනවා."

ජනාධිපතිවරයා එම නිලධාරියාට ස්තුතිය පළ කරමින් කියා සිටියේ කටාරයේ එමීර්වරයා වන තමීම් බින් හමාඩ් අල් තානිට තමන්ගේ සුබ පැතුම් සමඟ ස්තුතිය පළ කරන හැටියටය.

එදින රාත්‍රි 10.30ට පමණ කටාරයේ සිට ටෙහෙරාන් ගුවන්තොටුපොළට ළඟා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස නවාතැන් ගන්නා එස්පිනාස් පැලස් හෝටලයට පැමිණෙන විට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න විය. ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මොහොමඩ් අනීස් මහතා ඇතුළු තානාපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය හා එස්පිනාස් පැලස් හෝටල් කළමනාකාරීත්වය විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන - ඇමෙරිකානු න්‍යෂ්ටික ගිවිසුම ඒකපාර්ශ්විකව අත්හිටුවීමෙන් අනතුරුව ඉරානයට පැමිණි පළමු රාජ්‍ය නායකයා වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාය. එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉතා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් එරට රජය ක්‍රියාත්මක කර තිබිණි.

ටෙහෙරානයේදී ඉහළම ආරක්ෂාව

එස්පිනාස් පැලස් හෝටලයේ 20 වැනි මහලේ සුවිශේෂී අමුත්තන් වෙනුවෙන් වෙන් කළ කාමරයක් ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම්ව තිබිණි. එදිනපෙරවරුවේ සිටම ඉරාන රජය හෝටලය සහ අවට ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබූ අතර හෝටලයේ 19 වැනි මහලේ සෑම කාමරයක්ම පාහේ දැඩි පරීක්ෂාවකට ලක් කෙරිණි.

කිසියම් රාජ්‍ය නායකයකු ඉරානයට පැමිණි විට එම රාජ්‍ය නායකයා පැමිණෙන රටෙහි ප්‍රභූ අරක්ෂක අංශය සතු ගිනි අවි එරට ආරක්ෂක අංශ භාරයට ගත්තද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ සහ ගිනි අවි එලෙසම තබා ගන්නට ඉරාන රජය අවසර ලබාදී තිබිණි.

ඉරාන ජනපති හසන් රුහානිගෙන් මෛත්‍රිට ඉහළම පිළිගැනීමක්

ඉරාන ජනාධිපති හසන් රුහානි හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ඇරැඹීමට නියමිතව තිබුණේ ඉරිදා පෙරවරුවේය. ඒ සඳහා සහභාගි වීමට ජනාධිපති නිල නිවෙස පිහිටි සදාබාද් මාලිගා පරිශ්‍රයට ජනාධිපතිවරයා පැමිණියේ පෙරවරු 9.15ට පමණය. මාලිගා පරිශ්‍රයේ පිවිසුම් ‍ෙදාරටුව අසල සිට ශ්‍රී ලංකා සහ ඉරාන ධජ රැගත් අශ්වාරෝහක පෙළපාළියකින් ජනාධිපති නිල නිවෙස වෙත කැඳවාගෙන පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව ඉරාන ජනාධිපතිවරයා විසින් උණුසුම්ව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව හමුදා ආචාර පෙළපාළියක්ද පරීක්ෂා කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සදාබාද් මන්දිරයේදී ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා එක්විය.

ජනාධිපතිවරුන් දෙපළ විනාඩි 45ක පමණ කාලයක් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා වැඩිදියුණු කිරීමට, නව තෙල් පිරිපහදු ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක තෙල් පිරිපහදු යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමට උපරිම සහාය ලබාදෙන බව ඉරාන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. ඔහු ඒ බව ද්විපාර්ශ්වීය හමුව අවසානයේ මාධ්‍ය අමතමින්ද කියා සිටියේය.

නොබැඳි පිළිවෙතට පැසසුම්

නොබැඳි පිළිවෙත අඛණ්ඩවම අනුගමනය කරමින් ස්වාධීනත්වය රැකගනිමින් සෑම රටක් සමඟම තවදුරටත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉරානයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට ආයෝජන සඳහා පැමිණෙන ලෙසත් ආරාධනා කළ ජනාධිපතිවරයා පසුගිය වසර 50ක කාලය තුළ ශ්‍රී ලංකාව වැඩියෙන්ම ඉන්ධන ලබාගෙන ඇත්තේ ඉරානයෙන් බවත් ඉරානය වැඩිපුරම තේ ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවත් සඳහන් කළේය.

එම ද්විපාර්ශ්වික හමුවෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මත්ද්‍රව්‍ය නිවාරණය, පර්යේෂණ හා ප්‍රමිති කටයුතු වැඩි දියුණු කිරීම, චිත්‍රපට හා රූපවාහිනි කර්මාන්තයේ ප්‍රගමනය සඳහා වන සංස්කෘතික මඟ පෙන්වීම, සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය යන කරුණුවලට අදාළ ගිවිසුම් පහක් අස්සන් කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් තිලක් මාරපන, විජයදාස රාජපක්ෂ හා වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරු එක්වූහ.

ඉරාන ආධ්‍යාත්මික නායක
අලි කමේනි - මෛත්‍රි හමුව

එදින පස්වරුවේ ඉරාන ආධ්‍යාත්මික නායක අලි කමේනි හා ජනාධිපතිවරයා අතර හමුවක්ද සිදු විය. ඉන් පසුව හෝටලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම සංචාරයට එක්ව සිටි මෙරට මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැය භාගයක පමණ කාලයක් සුහද කතාබහක නිරත විය. ඉන් අනතුරුව ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවකට සහ රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වූ ජනාධිපතිවරයා පසුදින පෙරවරුවේ සිය ඉරාන සංචාරය නිමා කළේය.

ඉන්නවාද? යනවාද? දින 7ක් තුළ දන්වන්න. මෛත්‍රි ශ්‍රී ලනිප 23ට දන්වයි

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබුණේ 17 වැනි බ්‍රහස්පතින්දාය. ඊට පෙර මෛත්‍රි ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කරන 23 දෙනාගේ කණ්ඩායමේ විශේෂ හමුවක් කැඳවීය. ආණ්ඩුව සමඟ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න ඔවුන් විසින් තීරණය කළ යුතු බවත් එසේ ඉවත්වීමට අදහස් කරනවා නම් ඒ සඳහා වූ නිශ්චිත සැලැස්මක් ඔවුන් විසින් පිළියෙල කොට තමන්ට ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දී ඇත.

ආණ්ඩුව එක්ක දීග කෑවා හොඳටම ඇතිලු

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව 17දා රාත්‍රියේ ජනාධිපති නිල නිවෙසේදී සභාපති මෛත්‍රිගේ නායකත්වයෙන් රැස්විය. මෙහිදී පසුගියදා විපක්ෂයේ අසුන්ගත් 16 කණ්ඩායමේ ජෝන් සෙනවිරත්න මන්ත්‍රිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ. දැනගන්නට තිබෙන ආකාරයට ජනපති මෛත්‍රි එම අදහස අනුමත කරමින් කතා කර ඇත.

තමා ජනාධිපති වශයෙන් ක්‍රියා කරන නමුත් ශ්‍රී ලනිපය දිගටම ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බව ඉන් අදහස් නොවන බව මෛත්‍රි පවසා තිබේ. දිගටම ආණ්ඩුවේ සිටීම පක්ෂයට අවාසි බව ජනපති මතය වී ඇත. අවස්ථා කිහිපයකදී අගමැති රනිල් ඉවත් විය යුතු බව සෘජුවම දැන්වූ නමුත් එය ඉටු නොවන බව පැහැදිලි වන අතර අගමැති ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පක්ෂයට අවාසිදායක බවද ජනපති පවසා ඇත. රාජ්‍ය බැංකුවක් විකිණීමට අගමැතිගේ සූදානමක් ඇති බවට ඉඟියක් ලැබී තිබෙන බවද මෛත්‍රි පවසා තිබේ.

තවත් හිටියොත් යන්න වෙන්නේ කුණු වෙලා

තමන් දින කීපයකට පෙර ආණ්ඩුවත් සමඟ කටයුතු කරන ශ්‍රී ලනිප 23 දෙනාගේ කණ්ඩායම හමුවූ බවත් ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද? ආණ්ඩුවෙන් ඉවත්වී කටයුතු කරනවාද යන්න ගැන ඔවුන්ගේ තීන්දුව දින 7ක් තුළ තමාට දැන්විය යුතු බවට ඔවුන් දැනුවත් කළ බවද මෛත්‍රි මෙහිදී පවසා තිබේ. මෙම දැනුම් දීම කරන විට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ හිටපු අගමැති දිමු ද රැස්වීමේ සිට ඇත. මෙහිදී ඇතැම් කාරක සභිකයන් පක්ෂය 2020 දක්වා ආණ්ඩුව සමඟ එක්ව සිටීම සුදුසු බවට අදහස් පළකර තිබේ.

"ඔව් ඉන්නවා නම් ඉන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න. අන්තිමට පක්ෂයට එළියට යන්න වෙන්නේ හොඳටම කුණු වෙලා" යැයි මෛත්‍රි්‍ර වේගවත්ව කියා ඇත.

චන්ද්‍රිකා පිට වී යයි
ජනපති මෛත්‍රිගේ ඒ ප්‍රකාශයත් සමඟ නැඟී සිටි චන්ද්‍රිකා හෑන්ඩ් බෑගය අතට ගෙන ශබ්ද නැඟෙන සේ පුටුව පස්සට දමා පිට වී ගොස් ඇත.

පක්ෂයේ විධායක මණ්ඩලය රැස්වී ශ්‍රී ලනිප වර්තමාන නිලධාරි මණ්ඩලය වෙනුවට තාවකාලික නිලධාරි මණ්ඩලයක් ජුනි මස 3දා තෝරා පත්කර ගන්නටත් මෙහිදී තීරණය කර ඇත. මෙම වසරේ සැප්තැම්බර් 2දා පක්ෂ මහා සම්මේලනය පවත්වන අතර ඊට පෙර සමස්ත ලංකා කාරක සභාව රැස්වී ස්ථීර නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කළ බවත් දැන ගන්නට ඇත.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වනු පිණිස ජනපති නිල නිවෙසට පැමිණ සිටි ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අධික ලෙස බීමත්ව පැමිණ සිටින බව දැකගන්නට ලැබුණේ

'මේ හවුලෙන් පක්ෂය නැතිවුණා' ආදී වශයෙන් ආඩපාලි කියන්නට වීම නිසාය. ඔහු පාලනය කරගැනීමට නොහැකි තරම් බීමත්ව සිටි බැවින් කාරක සභිකයන් කිහිප දෙනකු විසින් නිල නිවෙසින් එළියට වත්තන් කරගෙන ගියේය.

පිපිරුම අත ළඟ

ආණ්ඩුව අභ්‍යන්තරයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් වර්ධනය වන ප්‍රවණතාවන් කිසියම් මොහොතක පුපුරා යෑමේ ඉම වෙත ළංවෙමින් පවතින බව දේශපාලන අංශ පවසයි. දැනට ආණ්ඩුවේ වගකීම් දරන ඇතැම් ශ්‍රී ලනිප ඉදිරිපෙළ සාමාජිකයන් තවදුරටත් ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන්නට තීරණය කරනු ඇති බවද පැහැදිලිය. ඇතැම් විට සෙසු සාමාජිකයන් ආණ්ඩුවෙන් ඉවත්වන අවස්ථාවක ඔවුන් එජාපයට එක් වන්නටද ඉඩ තිබේ. කෙසේ වුවද ඉදිරි කාලය තුළ බරපතළ දේශපාලන පරිවර්තනයක් සිදුවීමට ඉඩ තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු බලයද බොහෝදුරට වෙනස් වීමට ඉඩ තිබේ.

අපි තවමත් රාජපක්ෂලාට
වඩා අඩුවෙන් ඉන්ධන දෙනවා

"මහින්ද රාජපක්ෂගේ කාලේ තෙල් බැරලයක් ඩොලර් 60යි. එතකොට පෙට්රල් රුපියල් 157යි. අද බොර තෙල් බැරලයක් ඩොලර් 78යි. ඒත් අපි රුපියල් 137ට දෙනවා. ඒ කියන්නේ අපි තවමත් රාජපක්ෂලාට වඩා අඩුවෙන් ඉන්ධන දෙනවා" අගමැති රනිල් කීවේ බ්‍රහස්පතින්දා අරලියගහ මැඳුරේදී ඇමැතිවරුන් හමුවූ අවස්ථාවේදීය.
"ඒ වුණාට ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රාජපක්ෂ මාධ්‍ය නඩය ජනතාව ඇවිස්සුවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

විදුලිය නැති 47,555 කට භූමිතෙල් 44 ගාණේ තිබුණු මිලටම දෙනවා. ධීවරයන්ටත් රුපියල් මිලියන 4000ක භූමිතෙල් තිබුණු මිලටම දෙනවා. ගයන්ත කරුණාතිලක කීවේය.

බස් ස්ට්‍රයික් එක නවත්තාගත්ත එක නම් ලොකු දෙයක්. ඒ වුණාට ගාස්තු වැඩි වීම 6.5%ක් මුලින් කියලා පසුව 12.5ක් වැඩි කළ එක ගැන මිනිස්සු ‍ෙදාස් කියනවා. විජයදාස රාජපක්ෂ කීවේය. ඒ ප්‍රශ්නයට නම් කිසිවකු උත්තර දුන්නේ නැත.
ගෝඨාභයගේ වියත්මඟ ෂැංග්‍රිලා එකේ තියන්න කෝටි ගණනක් වියදම් කළා. ඒ සල්ලි කොහෙන්ද කියලා රටට කියන්න ඕනෑ. රන්ජන් අලුත් මාතෘකාවක් දැම්මේය. කාගෙත් උනන්දුව ඊට යොමු විය.

ගෝඨාභය රටේ සම්පත් බේරා ගැනීම ගැන කතා කරන කොට මිනිස්සුන්ට මතක් වෙනවා කියලා බලයේ ඉද්දී කරපු මිග් යානා ගනුදෙනු, සුදු වෑන්, අතුරුදන් කිරීම් කතාව නිකන් පාපෝච්චාරණයක් වගේ තමා පෙනුණේ රන්ජන් යළිත් කීය.

"ගෝඨාභය බැසිල් අභිභවා යන්නැයි කැම්පේන් එක පටන් ගත්තේ මහින්දයි නාමලුයි ඒකට ඉඩදී සද්ද නැතුව ඉන්නවා. මොකද ජනාධිපතිවරණේ එන කොට ගෝඨයි බැසිලුයි දෙන්නම පිළුණු වෙලා" චමින්ද විජේසිරි කීවේය.

රාජ්‍ය මාධ්‍ය අවුරුදු තුනම හිටියේ මර නින්දේ
රාජ්‍ය මාධ්‍ය ගැන නම් කියලා වැඩක් නෑ. මේ අවුරුදු තුනම මර නින්දේ හිටියේ.

රූපවාහිනිය සුළුවෙන් හරි යමක් කළා. ඒත් සමහර ලොක්කන්ට තනතුරු දුසිම් භාගයක් විතර තියෙන නිසා එයාලා ජනමාධ්‍ය ගැන බැලුවේ නැහැ. පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කළ දවසේ අයි.ටී.එන්. එකේ පැය තුනක රාත්‍රි සංවාදයක් ගියා ඉතිහාසය පාසල් විෂයධාරාවෙන් ඉවත් කරනවා කියලා පුංචි ප්‍රවෘත්තියක් අල්ලාගෙන.

පළාත් ඡන්දයට නාම යෝජනා දුන්නු දවසේ මලයාලම් සිනමාව ගැන පැය තුනක සංවාදයක් ගියා පළාත් ඡන්දයේ අන්තිම සති තුනේ අයි.ටී.එන්. සභාපති රටෙත් ඉඳලා නෑ.

මුදල් ඇමැතිට ජනමාධ්‍ය ගැන බලන්න වෙලාවක් නැහැ. මේ පසුපෙළේ අපි කාගෙත් මතය චමින්ද විජේසිරි එක දිගටම එල්ල කළ ප්‍රහාරය සියල්ලෝම අනුමත කළහ.

‍ෙදාස්තරලා වර්ජනය කරන්නේ කොහේවත් යන සිංගප්පූරු ප්‍රශ්නයක් අල්ලගෙනලු

මේක හරි පුදුම ප්‍රශ්නයක්. ‍ෙදාස්තරලා කොහේවත් යන සිංගප්පූරු ප්‍රශ්නයක් අල්ලාගෙන වර්ජනයකට යනවා. සිංගප්පූරුව එක්ක ගහපු ගිවිසුමෙන් ලංකාවට අවාසියිලු. ඒ ගිවිසුම හරහා ලංකාවට එන්න පුළුවන් විශේෂඥයන් කළමනාකරුවන් කීපදෙනකුට විතරයි. වෘත්තිකයන්ට වෙනත් සේවකයන්ට එන්න බැහැ. කොච්චර තේරුම් කරත් ‍ෙදාස්තරලා පිළිගන්නේ නැහැ. පී. හැරිසන් කීවේය.

ඒ ගැන කරුණු පැහැදිලි කළේ අගමැති රනිල්.

"විපක්ෂයට අද බලය නැතිව පුදුම අමාරුවක් තියෙන්නේ. රටේ ඩොලර් බිලියන 11ක සංචිතයක් තියෙනවා. වැඩිම අපනයන ආදායම ලබා ගත්තේ අපේ ආණ්ඩුව, ඩොලර් දස ලක්ෂ 1900ක වැඩිම ආයෝජනය අපි ගෙනාවා. ණයත් ගෙවලා රටේ සංවර්ධනයටත් මුදල් යොදවනවා. ජනතාවට ඉක්මනින් මේ වැඩවල ප්‍රතිලාභ ලැබේවි.

වියත් මඟට මහ පිරිස්

'වියත් මඟ' දෙවැනි මහ සමුළුව පසුගිය ඉරිදා පැවැත්වුණේ ගාලුමුව‍ෙදාර ෂැංග්‍රිලා හෝටලයේදීය. එම සමුළුවට ෂැංග්‍රිලා ශාලාව පිරී ඉතිරී යන තරමට සෙනඟ එක්රැස්ව සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ වෙනත් ශාලාවක ඩිජිටල් තිරයක් සකසා එහි සිට ඉතිරි පිරිසට සමුළුව හා සම්බන්ධ වන්නට අවස්ථාව සලසන්නට සංවිධායකයන්ට සිදුවීමය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය පිළිබඳව කළ කතාව එහි සිටි ගිහි, පැවිදි බොහෝ දෙනකුගේ අවධානය දිනාගෙන තිබිණි.

"සුචී" ජාතික පාසලට සජිත්ගෙන් ජල පෙරහන පද්ධතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් බොහෝමයක පවතින ප්‍රශ්නයක් වන්නේ පිරිසුදු පානීය ජලය නොමැතිකමය. ඇතැම් පාසල් දරුවන් පානය කරන්නේ වැව්වල ජලය හා නළ ළිං. ඇතැම් නළ ළිංවල ජලයද මලකඩ රස නිසා බීමට ගත නොහැක. නිවාස ඇමැති සජිත් ඉකුත් සතියේ උදාගම්මාන දෙකක් විවෘත කරනු පිණිස හම්බන්තොට සංචාරය කළේය.

තංගල්ලේ, කඳුරු පොකුණේ "ඝතිරගම" සහ සූරියවැව, වැදිවැව, "සිරිසුභ ගම" එම ගම්මාන දෙකය. බැදිවැවදී උත්සවයට සහභාගි වූ හම්බන්තොට "සුචී" ජාතික පාසලේ සිසු සිසුවියන් සජිත් වටකර ගත්තේය. දරුවන්ගේ මැසිවිල්ල වූයේ සුචී පාසලේ වතුර බීමට නොහැකි බවය. එයට ඇති එකම විසඳුම වන්නේ අර්ණී ජල පෙරහන් යන්ත්‍රයක් සවි කිරීමය. ඒ සඳහා ලක්ෂ 20ක් වැයවේ. සජිත් එහි සිටම මිතුරකුට ඇමතුමක් ගත්තේය. කාරණය පැහැදිලි කළ විට මිතුරා ජල පෙරන යන්ත්‍රය ලබාදීමට කැමැත්ත පළ කළේය.

"ඔන්න දරුවනේ ඒ වැඩෙත් හරි"

සජිත් කියද්දී ළමෝ අත්පොළසන් දුන්හ.

ජනපති අපේක්ෂකයා කවුද? කියන සංවාදය උඩට ගන්නේ 20 යට ගහන්නලු?

ආරක්ෂක ලේකම් හැටියට සිටියදී ගෙඩිය පිටින්ම සින්නක්කරව චීනයට විකුණපු ආරක්ෂක හමුදා මූලස්ථානයේ හදපු ෂැංග්‍රිලා හෝටලයේ ඉඳන් රට ගොඩගන්න ආර්ථික වැඩපිළිවෙළ ගැන ගෝඨාභය රාජපක්ෂ කතා පවත්වනවා. විද්වත්තු අත්පුඩි ගහනවා. මෙයට වඩා විහිළුවක් තවත් තිබෙනවාදැයි ලාල් කාන්ත ප්‍රශ්න කළේ වර්තමානයේ රට මුහුණ දෙන අභියෝග ගැන ජවිපෙ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදීය.

අපි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේනවා කිව්වම ඒක යට කරන්න ගහන තුරුම්පුවක් ඕක. ව්‍යවස්ථා සංවාදය මඟහරින්න ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා සංවාදයක් උඩට ගන්න හදනවා. ජනාධිපති අපේක්ෂකයා හිතේ තියාගෙන න්‍යායපත්‍ර හදලා ඒක අවුල් වෙලා. ඒකයි මේ කලබලේ. අනුර දිසානායක කීවේය. හැමදාමත් අලුත් මූණු පුම්බලා උඩ අරිනවා මිනිස්සු රැවටෙනවා. ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි, රනිල් ඔක්කොම එකයි. මූණු මාරු කළාට එන්ජිම එකයි. ටිල්වින් කීවේය.

ගෝඨාභය ආලවට්ටම් දාලා ඉදිරිපත් කරන්නෙත් යූ.ඇන්.පී. ආර්ථික වැඩපිළිවෙළමයි. ඒක ඉතින් අමුතුවෙන් ගේන්න ඕනෑ නෑ. යූ.ඇන්.පී.එකටම උදවු කළා නම් ඉවරනේ" ලාල් කාන්ත කීවේය. ඒක හරි. වංචා දූෂණ ගැන හොයන්න තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියා උසාවි යන ගෝඨා වංචා දූෂණ ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තියෙනවා" දැයි විජිත හේරත් ඇසීය. වෙනත් මොනවත් නෙවෙයි මේ සිදුවන්නේ ශිෂ්ඨත්වය සහ අශිෂ්ඨත්වය අතර අරගලය යැයි නායක අනුර දිසානායක කීවේය.

ආණ්ඩුව හොරා කකා ජනතාවට බර පටවනවා

ඩීසල් ලීටරයක් ගොඩ බාන්නේ රු. 83.40ට ආණ්ඩුව 31.60ක් බදු ගහනවා පෙට්රල් ලීටරයක් ගොඩබාන්නේ 78.40ට. ආණ්ඩුවේ බද්ද 60.19යි. සංස්ථාව පාඩු ලබනවා කියා ආණ්ඩුව බදු ගහනවා. බද්ද නිසා මිල වැඩි වෙනවා. දේශපාලන ගුණ්ඩුවක් හැටියට 2015 මිල අඩු කළා. එදා ඉඳලා ටික ටික වැඩි කරනවා. දැනටත් රුපියල් 4,100ක් වෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ල තෙල් මිල නිසා තවත් මිල වැඩි වෙනවා. සාමාන්‍ය ජනතාවට මේ මිල වැඩි වීම ඔරොත්තු දෙන්නේ නැහැ. වසන්ත සමරසිංහ දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

තෙල් සංස්ථාව වැරැදි විදියිට තෙල් ගෙන්වලා කෝටි 1,400ක් පාඩු වෙලා. නස්ති කරනවා හොරා කනවා ආණ්ඩුව ඒ බර ජනතාව මත පටවනවා. බිමල් රත්නායක අදහස් දැක්වීය.

ජවිපෙ පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර 22දා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළේය.

මහින්දයි - ගෝඨයි ඉහළ යනවට පොහොට්ටුවේ ලොක්කෙක් බය වෙලා

පසුගිය අඟහරුවාදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර, රණවිරු දින සමරු උත්සවයක් පැවැත්වීමටද තීරණය විය.

උත්සව සංවිධාන කටයුත්ත භාර වූයේ පොහොට්ටුව නියෝජනය කරන ප්‍රබල චරිතයකටයි. රැස්වීමෙන් එළියට පැමිණි ඒ ප්‍රබල චරිතය මට ඕවා කරන්න බෑයි කියමින් යන්නට ගියේය. ඒ ප්‍රබල චරිතය වටා රොක්ව සිටින පිරිසක් කියා තිබෙන්නේ ඕවා කරන්න ගියොත් මහින්දයි ගෝඨයි තවත් ඉහළ යන එකයි වෙන්නේ. අවසානයේදී ඒකාබද්ධ විපක්‍ෂයෙන් රණවිරු සමරු උත්සවයක් පැවැත්වූයේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ අය කියන්නේ ප්‍රබල චරිතය වැඩෙන් කර ඇරි බවයි.

රණවීරගේ උපන් දිනයදා මහින්ද-සුසිල් කසුකුසු

ප්‍රසන්න රණවීරගේ උපන් දින සාදය වෝර්ටර්ස් ඒජ්හිදී පැවැත්වුණු අතර මහින්ද රාත්‍රි අටට පමණ එහි පැමිණියේය. බැසිල් සහ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ද සුසිල් ප්‍රේමජයන්තද එම සාදයට සහභාගි වී සිටිනු දකින්නට ලැබිණි.

මහින්ද සාදයට පැමිණෙත්ම දුටුවේ සුසිල්වය.

"කොහොමද සුසිල්?" මහින්ද ඇසුවේය.

"හොඳින් ඉන්නවා සර්" සුසිල් උත්තර දුන්නේය.

"කොහොමද ඔයාලගේ කට්ටිය? මහින්ද ඇසුවේ ඇමැතිකම් අතහැර 16 දෙනා ගැනය.

"අපි නම් ගාණට වැඩේ කරගෙන යනවා. හැබැයි අනෙක් කණ්ඩායම ඒකට කලබල වෙලානේ" සුසිල් පැවැසීය.

අනතුරුව මහින්ද සහ සුසිල්ට පමණක් සීමා වූ සාකච්ඡාවක්ද පැවැති අතර අනෙකුත් මන්ත්‍රිවරු ඒ දෙදෙනාට සාකච්ඡා කරන්නට ඉඩ සලසමින් එහෙ මෙහෙ වනු දකින්නට ලැබිණි. එම සාකච්ඡාව මිනිත්තු 20ක් පමණ පැවැති අතර සාකච්ඡාවෙන් අනතුරුව සුසිල් මහින්ද සමඟ ආහාර ගැනීමටද එක්විය. උපන් දින සාදයේ කේක් කපන්නට රණවීර සූදානම් වූ අවස්ථාවේදී ප්‍රසන්න ඇසුවේ "අෑ මල්ලි දැන් උඹ මේ කීවෙනි පාරටද කේක් කපන්නේ" කියාය. ප්‍රසන්න ඇසුවේ පසුගිය සතියේ පැවැති ගාමිණී ලොකුගේගේ උපන් දින සාදයෙදීත් රණවීර කේක් කපන්නට එක්වූ නිසාය. ඔවුන් දෙදෙනාගේම උපන් දිනය යෙදී ඇත්තේ එකම දිනකය.

16 ඉස්සරහට මොකද කරන්නේ අපි හරි. අනෙක් අය තවම නෑ සුසිල් කියයි

දිලුම්, නිරෝෂන්, රණවීර, සුසිල් ඇතුළු පිරිසක් එහි වූ අතර ඔවුන්ගේ අවධානය යොමු කෙරුණේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. දැන් ඉස්සරහට මොකද කරන්න යන්නේ ඇමැතිතුමා" ප්‍රසන්න ඇසුවේ සුසිල්ගෙනි.

"අපි නම් තීන්දුවක් අරන් ඉවරයි. අපි දැන් බලාගෙන ඉන්නේ අනික් කට්ටිය මොකද කරන්න යන්නේ කියලා" සුසිල් උත්තර දුන්නේය.

"ඔහොම බල බලා හිටියොත් නම් පරාදයි. අපි නම් කියන්නේ දැන් ඔබතුමාලත් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. දැන් තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නොවුණොත් ඔබතුමාලා කරපු කැපකිරීම්වලත් පළක් නැතිව යයි" ප්‍රසන්න පැවැසීය.

ඒකාලේ තෙල් බැරලයක් ඩොලර් 103යි. දැන් ඩොලර් 70යි. ආණ්ඩුව මිල අඩු කරන්නේ නෑ.

"ප්‍රසන්න අයියා කියන කතාව හරි. ආණ්ඩුව වට්ටන වැඩෙන් වැඩි කොටසක් අපි පසුගිය කාලයේ ඉටු කළා. ඉතුරු වැඩ ටික කරන්න ඔබතුමාලත් අපිට එකතු වෙන්න ඕනේ" දිලුම් පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව පීඩාවට පත්ව සිටීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. වහාම මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් කොළඹ කේන්ද්‍ර කොටගෙන ප්‍රධාන පෙළේ ජන රැලියක් පැවැත්වීමටත් මෙහිදී තීන්දු කෙරිණි.

"ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා ඒකේ අපවාදයත් දාන්න හදන්නේ මගේ කරට. ඒ අය කියන විදියට අපේ ආණ්ඩුව කාලේ මීට වඩා තෙල් මිල වැඩිලු. හැබැයි එයාලා කියන්නේ නැහැ. ඒ කාලේ ඩොලර් 103ට ගත්ත බොර තෙල් බැරල් එක දැන් ඩොලර් 70ට අඩුවෙලා කියලා. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නතර කළා නම් තෙල් මීට වඩා අඩුවට දෙන්න පුළුවන්" මහින්ද පැහැදිලි කළේය.

දිලුම් පැය 12ක් ත්‍රස්ත විමර්ශන අංශයේ

පසුගිය 15දා දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා තිබුණේ පසුගියදා දිගනදී හටගත් ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමටය. දිගන සිදුවීම අල්ලාගෙන දිලුම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක ආණ්ඩුව මුල සිටම සිටින බව පැහැදිලි වී තිබිණි.

ඒ අනුව මැයි 8දා පැමිණෙන ලෙස දිලුම්ට දැනුම් දී තිබුණත් එදින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමට නියමිතව තිබුණු බැවින් දිලුම් කළ ඉල්ලීම අනුව 15 වැනි දින පැමිණෙන ලෙසට ඔහුට දැනුම් දී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක් ඒ වන විට සිටියේ කොළඹින් පිටත බැවින් දිලුම්ගේ සහායට ත්‍රස්ත විමර්ශන අංශය අසලට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන්නේ කෙටි පණිවුඩයක් මාර්ගයෙනි.

ඒ අනුව එදින උදෑසන වන විට මන්ත්‍රිවරු 30ක් පමණ හෝටලය අසලට පැමිණ සිටියහ. දිලුම් පෙරවරු 10ට ත්‍රස්ත විමර්ශන අංශයට ගියේය. පැය 12කට ආසන්න කාලයක් දිලුම්ගේ කටඋත්තරය ලබාගෙන තිබිණි.

මහින්ද ළඟ දැවටෙන්න පොරකන ශ්‍රී ලනිප ඇත්තෝ

රද්‍ෙදාලුගම ප්‍රකට වි්‍යාපාරිකයෙක් ඉදිකල ව්‍යාපාරික ස්ථානයක් 17වෙනිදා විවෘත කලේ මහින්ද විසිනි එයට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම මෛත්‍රිපිලේද දේශපාලනඥයෝ පැමින සිටියෝය. විශේෂිතම කරුණ වූයේ 2015 ජනවාරි 8දා සිට මහින්ද වෙනුවෙන් පෙනී සිටි අයට වඩා මෛත්‍රි පාර්ශ්වය නියෝජනය කරමින් පැමිණ සිටි අය මහින්ද අසල සිටීමට පොරකනු දක්නට ලැබීමය. උත්සවයට පැමිණි මහින්ද විදුලි සෝපානයට ගොඩවන විටද එම තත්ත්වය දකින්නට ලැබිණි.

පසුගිය කාලය පුරාම මෛත්‍රි සමඟ එක්ව මහින්ද විවේචනය කළ පළාත් සභා මන්ත්‍රි උපාලි ගුණරත්න සියලු දෙනා පෙරළාගෙන විදුලි සෝපානයට නැඟ මහින්ද අසලින්ම හිට ගත්තේය. ඒ වන විට ප්‍රසන්න සිටියේ විදුලි සෝපානයෙන් පිටතය.

"ප්‍රසන්නත් එන්න" ප්‍රසන්න එළියේ සිටිනු දුටු මහින්ද ආරාධනා කළේය. "නෑ සර් මං පස්සේ එන්නම්. හැබැයි ඉතින් ඔය පොර කාලා නැඟපු සමහරුන්ට මේකේ ඉඩ තිබ්බට පොහොට්ටුවේ නම් නඟින්න ඉඩ තියෙයිද දන්නේ නැහැ" ප්‍රසන්න කීවේ පිරිස සිනහා ගන්වමිනි.

සනත් නිශාන්ත බලන්න
මහින්ද මීගමු හිරගෙදර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා දහවල් මීගමුව බන්ධනාගාරයට ගියේ මාස දෙකකට අධික කාලයක් තිස්සේ සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්තගේ දුක සැප බලන්නටය. මන්ත්‍රිවරයා හමුවී ටික වේලාවක් ඔහු සමඟින් කතාබහ කරමින් සිටි හිටපු ජනාධිපතිවරයා ආපසු එන්නට හැරුණේය.

නිශාන්ත මන්ත්‍රිතුමා මාස දෙකහමාරක් තිස්සේ වරදකට හිරේ ගිහින් හිටියා නම් කමක් නෑ. ඇප කොන්දේසියක් කැඩුවා කියලයි මෙච්චර කල් හිරේදාල තියෙන්නේ? එතැන සිටි අයකු කීවේය.

'ඇප කොන්දේසියක් කැඩුවා කියන එකට මෙච්චර කල් හිරේ දානවා කියන්නෙ ඒක මේ රටේ නීතියටයි, අධිකරණයටයි කරන අපහාසයක්' යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කීවේය.

හොරුන්ගෙත් හොරු ඉහළ තනතුරුවලට රිංගන හොර පාර කුමක්ද?

ජනාධිපතිවරයා විසින් දැව සංස්ථාවේ සභාපති තනතුරට පත්කොට දින කිහිපයකින් ඉවත් කළ අනුරුද්ධ පොල්ගම්පොළ තවත් මූල්‍ය වංචාවකට අසුවී මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඔහු මූල්‍ය වංචා ගණනාවකට හසුවූ වංචනිකයකු බව හෙළි කළේ 'මව්බිම' විසිනි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහනාම කෝටි 2ක අල්ලස් සිද්ධියට අත්අඩංගුවට පත්වීමත් අනෙක් පැත්තෙන් හිටපු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ පී. දිසානායක එම සිද්ධියටම පත්වීමත් ඒ වෙනුවට වෙනත් සොරකු පත්වීමත් ආන්දෝලනාත්මක සිදුවීම්ය. වැදගත් තනතුරුවලට කඩිමුඩියේ පත් කරන පුද්ගලයන් ගැන ජනතා විශ්වාසය හීන වෙමින් තිබේ. සොරුන් සහ වංචනිකයන් රජයේ ඉහළ තැන් වටා රොක් වීමම ජනතාවට ප්‍රශ්නයකි.

කොළඹ ගිනි උඩින් - යටින් දෙකෙන්ම නිවීම

කොළඹ නගරයේ ඇතිවන හදිසි ගිනි නිවීම සම්බන්ධව දැනට ගිනි නිවීමේ හමුදාව සිදුකරන කටයුතු තාක්ෂණික වශයෙන් ඉහළ තත්ත්වයට පත් කළ යුතු බව අගමැති රනිල් පසුගිය 15 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරි පත් කළේය. විශාල මහල් ප්‍රමාණයකින් යුතු ගොඩනැඟිලි සංකීර්ණ රාශියක් කොළඹ මේ වනවිට ඉදිවෙමින් තිබේ. ඊට සරිලන පරිදි ගිනි නිවීම් ඒකකයේ ධාරිතාව පුළුල් විය යුතු බව අගමැතිගේ අදහස විය. අවශ්‍ය අරමුදල් සඳහා යුරෝ මිලියන 10.5ක පොලී රහිත ණය මුදලක් ඔස්ටි්‍රයාවේ යුනිකේ‍රඩිට් බැංකුව ලබා දීමට කැමැත්ත පළකොට ඇති බවද පැවැසිණි. මෙහිදී අදහස් දක්වමින් ඇමැති ෆයිසර් පැවැසුවේ මෙවැනි කටයුතු සඳහා ණය මුදල් නොව හැකිතාක් ආධාර මුදල් යොදා ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවය. චම්පික රණවක ඇමැතිවරයා පැවැසුවේ ගිනි නිවීමේ තාක්ෂණය බොහෝ දියුණු වී ඇති අතර හෙලිකොප්ටර් යොදා ගනිමින් උඩින් වතුර දමා ගිනි නිවීමේ තාක්ෂණය ලොව බොහෝ රටවල් දැනට අනුගමනය කරන බැවින් ඒ ගැනද සැලකිල්ල යොමු කළයුතු බවය. අගමැතිගේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළේය.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට කෘතගුණ සැලකීමට හා එතුමා හඳුන්වා දෙන ලද සංගීත ආභාසය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අරමුණු කොට 'අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය නමින් ආයතනයක් පිහටුවීම සඳහා නව පනතක් ගෙන ඒමට මුදල් ඇමැති මංගල කළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලය අනුමත කළේය.

අනතුරට පත් පුද්ගලයන් හෙලිකොප්ටර් මඟින් මුදා ගැනීමේ පද්ධතියක්

හදිසි ගුවන් සහ තාක්ෂණික මුදා ගැනීමේ පද්ධතියක් ඇති කිරීමට සෞඛ්‍ය ඇමැති රාජිත ගෙනා යෝජනාවකටද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වනු පිණිස හෙලිකොප්ටර් 8ක් සහ තාක්ෂණික වාහන 25ක් මඟින් අවශ්‍ය සේවාවන් සැපයීමට සැලසුම් කර තිබේ. රුපියල් මිලියන 190ක් වන ඇස්තමේන්තු ගත පිරිවැයක් සඳහා අනුමැතිය ලැබිණි.

භූමිතෙල් සහනාධාරය කුඩා ධීවර යාත්‍රා සඳහා පමණයි

ඉන්ධන මිල වැඩිවීම හේතුකොට ගෙන ධීවරයන් මුහුණපාන ආර්ථික ගැටලුවකට පිළියමක් ලෙස භූමිතෙල් සහනාධාරය ලබාදිය යුතු බවට ධීවර ඇමැති විජිතමුනි ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. බහුදින යාත්‍රා සඳහා ඩීසල් සහනාධාරයත් ලබාදිය යුතු බවට විජිතමුනි ගෙනා යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර විරුද්ධ වූ බැවින් අනුමැතිය නොලැබිණි.

ෂයිලොක්ලාට මස් රාත්තල කපා ගන්නට ඉඩ දීම

ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව බස් ගාස්තු 6.5%කින් ඉහළ දැමීමට ආණ්ඩුව කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය. එහෙත් බස් සංගම් 15%කින් ගාස්තු වැඩි කිරීම අවශ්‍යම බව ප්‍රකාශ කළහ. ප්‍රවාහන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කළ අතර 15% නොදුන්නොත් දීපව්‍යාප්ත බස් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට බස් සංගම් තීන්දු කළේය. අවසානයේ ප්‍රවාහන අමාත්‍යාංශය බස් සංගම්වල පැත්ත ගත් අතර අවම ගාස්තුව රු: 12ක් කිරීමටත් ගාස්තු වැඩි කිරීම 12.5%ක් කරන්නටත් අනුමැතිය ලබාදුන්නේ ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියක්ද නැතිවය. ලබන 22දා කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ගැනීමට ප්‍රවාහන ඇමැති නිමල් බලාපොරොත්තුව සිටී.

සුනිල් හඳුන්නෙත්ති යළිත් කෝප් සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවටත් (කෝප්) රාජ්‍ය ගිණුම් කාරක සභාවටත් මුදල් පිළිබඳ කාරක සභාවලටත් එම සභාවල කලින් කටයුතු කළ සාමාජිකයන්ම පත් කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි. පාර්ලිමේන්තු වාරය අවසන් කිරීම නිසා එම කාරක සභා අහෝසි වී තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජමියතුල් උලමාවරුන්ගේ සංවිධානය සමඟ සාකච්ඡාවක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඉකුත් සතියේ උලමාවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව උලමාවරුන්ට වඩා ගෝඨාභයට වැදගත් සාකච්ඡාවක් බව පෙනෙන්නේ ගෝඨා ඔවුන්ගේ මූලස්ථානයට යෑම නිසාය. මෙරට මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ ඉහළම තීරණ ගන්නේ ජමියතුල් උලමාවරුන් විසිනි.

ජනාධිපති මහින්දගේ පාලන කාලයේ අලුත්ගම සිදුවීම්වල සිට මහනුවර දිගන සිදුවීම් දක්වා මුස්ලිම් ප්‍රජාවට විඳින්නට සිදු වූ හානි සහ හිරිහැර ගැන මුස්ලිම් නායකයන් ගෝඨාභය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් බොදුබල සේනා සංවිධානය සහ ගෝඨාභය අතර ඇති සම්බන්ධය ගැනද ප්‍රකාශ කර තිබේ. ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය පවසා ඇත්තේ කිරම විමලජෝති හිමියන්ගේ ආරාධනයෙන් ගාලු ප්‍රදේශයේ පන්සලක උත්සවයකට යෑම පදනම් කර ගනිමින් වැරැදි ප්‍රචාරයක් එකල දියත් වූ බවය.

උතුරේ ශෝක දිනය සහ රාජිත

පසුගිය 16 වැනිදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය හා තවත් සංවිධාන විශාල ආන්දෝලනයක් ඇති කළේය. සති අන්තයේ මාධ්‍ය හමු රැසක මාතෘකාව වූයේද රාජිතගේ කතාවය. උතුරු පළාත් සභාව මැයි 18 ශෝක දිනයක් බවට ප්‍රකාශ කර මළවුන් අනුස්මරණය කරන්න යොදා ගැනීම පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍ය රාජිතගෙන් ප්‍රශ්න කර තිබිණි. 'ප්‍රශ්නයක් නැහැනේ උතුරෙත් මැරුණෙ අපේ මිනිස්සුනේ. දකුණේ ජවිපෙත් විරු සමරු කරනවානේ ඉතින් වරද මොකක්දැයි' රාජිත කී බැවින් දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ප්‍රශ්නය ඇවිළිණි. රාජිතගේ ස්ථාවරය වූයේ උතුරේත් දකුණේත් මවුපියන්ගේ දරුවෝ මැරුණා. ඒ මිනිස්සු තමන්ගේ දරුවන් සැමරුවාවේ අපට මොකද යන්නය.

වෛද්‍ය සිසිල් බණ්ඩාර සේනාරත්න ලෙඩ ඇඳේ

ශ්‍රී ලනිප මූස්ථානයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වූ වෛද්‍ය සිසිල් බණ්ඩාර සේනාරත්න මහතා අසාධ්‍ය තත්ත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ 7වන වාට්ටුවේ සිටින බව දැනගන්නට ලැබී සෞඛ්‍ය ඇමැති රාජිත හදි සියේම එහි ගියේය. දේශපාලන වශයෙන් දෙදෙනා අතර දිගු මිතු දමක් පවතී. වහා අවශ්‍යතා සොයා බැලූ රාජිත මිතුරාට ඉක්මන් සුවය පැතීය.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon