උතුර - දකුණ එක්වී එක් පහනක් දල්වමු!

  👤  4293 readers have read this article !
2018-05-21

ගෞතම බුදුන් වහන්සේ යුද්ධය ප්‍රතික්‍ෂේප කළ සේක. 'රෝහිණී' නදියේ ජලය සමඟියෙන් බෙදා ගැනීමට නොහැකිව ගැටුමකට මුල පිරීමට සැරැසුණු ශාක්‍ය - කෝලිය දෙපාර්ශ්වයට යුද්ධයෙන් වෙනුවට සාමයෙන් ප්‍රශ්නය විස¼දා ගන්නා ලෙස උන්වහන්සේ අනුශාසනා කළේ එනිසාය.


යුද්ධය උත්කර්ෂයට නැංවිය යුතු සොඳුරු ක්‍රීඩාවක් නොවේ. කුමන අරමුණකින් කළද එය තිරශ්නය. ම්ලේච්ඡය. පිළිකුල් සහගතය. ජන ඝාතක කුරිරු යුද්ධය මනුෂ්‍ය සමාජයෙන් තුරන්කර දැමිය යුතු ප්‍රපංචයකි. ඛේදවාචකය වන්නේ බුදුන්වහන්සේ තෙවරක් වැඩිය බව පැවසෙන බෞද්ධාගමිකයන් බහුතරයක් වෙසෙන මෙරටද තිස් අවුරුදු යුද්ධයකට මැදිවීමය. ඒ හැරුණු කොට 1971 හා 1988 - 89 ලේ වැකි අවි ගැටුම් දෙකකට ද මුහුණ දීමය. මේ සියලු ගැටුම් මෙරට වෙසෙන සහෝදරයන් අතර සිදුවීම කෙතරම් අවාසනාවන්ත කාරණයක්ද?


දකුණේ හටගත් 1971 හා 88-89 කැරැලි දෙකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ 'අප්‍රේල්' හා 'ඉල්මහ' නමින් විරු සමරු දෙකක් පවත්වා මියගිය සිය සගයන් සමරද්දී උතුරේ ඊළාම් කැරැල්ලේදී මරණයට පත්වූවන් වෙනුවෙන් සෑම වසරකම නොවැම්බර් මාසයේ 'මහා විරු දිනය' (මා වීරර් නාල්) නමින්ද, මැයි මාසයේදී 'මුල්ලිවයික්කාල් දිනය' නමින්ද විරු සමරු පවත්වයි.


ජ.වි.පෙ. විරු සමරුවලට කිසිවකු විරෝධයක් නොදක්වන්නේ යළි සන්නද්ධ අරගලයන් නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබීමත් එවැනි අන්තයක් කරා ජ.වි.පෙ. නොයන බවට විශ්වාසයක් පොදු ජනතාව තුළ මෙන්ම පාලකයන් තුළද ඇතිවී තිබෙන නිසාත්ය. එහෙත් 'උතුර' ගැන තවම දකුණට ඇත්තේ සැකයකි. එල්.ටී.ටී.ඊ.ය යළි සංවිධානය වී හෝ වෙනත් කණ්ඩායමක් සංවිධානය වී හෝ සන්නද්ධ බෙදුම්වාදී අරගලයක් ඇරැඹීමට ඉඩ ඇතැයි දකුණේ සැළකිය යුතු පිරිසක් විශ්වාස කරති. ඒ විශ්වාසය තහවුරු වන ආකාරයට උතුරේ අන්තවාදී දෙමළ නායකයන්ද හැසිරෙයි. මත පළ කරයි. අනෙක ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණ මෙරට නීති විරෝධී ලෙස සැලැකේ. ඉකුත් 18 වැනිදා උතුරේ පැවැති විරු සමරුව මතභේදයට තුඩු දෙන්නක් වූයේ එනිසාය.


යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සැමරීම මිස එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමක් සිදුනොවන බව ඇතැම් දෙමළ නායකයන් පැවැසුවද ඔවුන්ගේ සැමරුම් 'දින' එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධය. මෙවර උතුරේ ඇතැම් දෙමළ නායකයන් විසින් මැයි 18දා හඳුන්වාදී තිබුණේ ජනසංහාරක දිනය නමිනි. යුද්ධයේ අවසාන දිනවල ගැටුමට මැදිවී සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියයෑම ඊට හේතුව ලෙස ඔවුහු පවසති. මියගිය සංඛ්‍යාව දරුස්මාන් කමිටු වාර්තාවට අනුව නම් 40,000කට ආසන්නය. ශ්‍රී ලංකා රජය පවසන්නේ ඒ සංඛ්‍යාව 7,000කට වඩා අඩු බවය. මේ සංඛ්‍යා ලේඛන ප්‍රශ්නය දකුණටත් අදාළය. 88-89 භීෂණයෙන් ජ.වි.පෙ. සාමාජිකයන් ඇතුළු සාමාන්‍ය වැසියන් 60,000කට අධික සංඛ්‍යාවක් මියගිය බව ජ.වි.පෙ.

පැවැසුවද රජය පවසන්නේ ඒ සංඛ්‍යාව 20,000ක් පමණ විය හැකි බවය. දෙතැනම ඇත්තේ දේශපාලන කාරණයකි.
උතුරේ යුද්ධයෙන් කී දහසක් මිය ගියද ඒ සියලුදෙනා මේ රටේ ඉපදී හැදී වැඩුණු ලාංකිකයෝ වෙති. එල්.ටී.ටී.ඊ. වේවා, ආරක්ෂක හමුදාවල වේවා මරණයට පත් වුණේ ආබාධිත වුණේ අපේම දූ පුතුන්ය. ජ.වි.පෙ. හා පාලකයන් අතර ඇතිවූ ගැටුමෙන් දකුණේ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වෙද්දී එල්.ටී.ටී.ඊ හා පාලකයන් අතර හටගත් ගැටුමෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වුණේ උතුරේ ජනතාවය. පාසල් වයසේ දරුවන් පවා බලහත්කාරයෙන් බඳවා ගනිමින්, අසාධාරණ ලෙස බදු අයකරමින්, රජයේ දේපළ විනාශ කරමින්, යටිතල පහසුකම් බිඳ දමමින්, සිය මතයට වචනයකින් හෝ විරුද්ධ වන්නන්ට වධ බන්ධන දෙමින්, නොඑසේ නම් මරාදමින් අන්තවාදී ජාතිවාදී පාලනයක් පවත්වාගෙන ගිය එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කිරීම අනිවාර්යයෙන් කළ යුතුව තිබුණක් බව අවිවාදිතය. එල්.ටී.ටී.ඊ.යේ පැසිස්ට් දේශපාලනය අවසානයේ දෙමළ ජනතාවට 'විමුක්තිය' නොව 'විනාශය' උරුම කර දුන්නේය. ජනාධිපතිවරයා විරු සමරු උළෙලේ ප්‍රකාශ කළ පරිදි ප්‍රවීණ දෙමළ නායකයන් වන අප්පාපිල්ලේ, අමිර්තලිංගම්, නීලන් තෙරුචෙල්වම්, ලක්ෂ්මන් කදිර්ගාමර් පමණක් නොව රාජිනි තිරාණගම ඇතුළු විද්වතුන්, කලාකරුවන් රැසක් එල්.ටී.ටී.ඊ.ය නිසා දෙමළ සමාජයට අහිමිවිය.


එහෙත් දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් දේශපාලන විසඳුමක් තුළින් තෘප්තිමත් වනතුරු ඔවුන් තුළ බලපවත්වන 'ජාතිකවාදී' හැඟීම් යටපත් නොවනු ඇත. දකුණ ඒ කාරණය දැන්වත් අවබෝධ කර ගත යුතුය. එහෙත් ඊට ඉඩ නොදෙන්නේ උතුරේ හා දකුණේ සිටින බලලෝභී අන්තවාදී මුග්ධ ඊනියා දේශපාලනඥයන් රොත්තය. අවුරුදු 70ක් පුරා දෙමළ හා සිංහලයා අතර භේද ඇති කරමින් බලය තහවුරු කරගත් මේ දේශපාලනඥයන් තිස් අවුරුදු ජන ඝාතක යුද්ධයට වගකිව යුතුය. ඒ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කළ ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේද පැහැදිලිව සඳහන් කර තිබිණි.


ඇත්තෙන්ම මැයි 18 වීර දිනයක් ලෙස නොව ශෝක දිනයක් ලෙස සැමරිය යුතුය. ඒ තිස් වසරක කුරිරු යුද්ධයෙන් දිවි අහිමි වූ, ආබාධිත වූ, දුකට, වේදනාවට, හිරිහැරයට පත්වූ සියලු ලාංකිකයන් වෙනුවෙනි. මියගිය සිය ප්‍රියයන් වෙනුවෙන් වැලපුණු උතුරේ හා දකුණේ මවුවරුන්ගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ ඇස්වලින් ගලාගිය කඳුළේ ජාති භේදයක් තිබුණේ නැත. ඒ හදවත්වල නැඟුණු වේදනාවට භාෂාවක් තිබුණේද නැත. යුද්ධයෙන් මියගියේ එකම රටක දෙපසට බෙදුණු මිනිසුන් බව අපි තේරුම් ගත යුතුය. එලෙස තේරුම් නොගන්නා තරමටම දකුණේ මෙන්ම උතුරේ අන්තවාදීන්ට යළි හිස එසවීම පහසු වනු ඇත. ජාති, ආගම්, කුල, ප්‍රදේශ, පක්‍ෂ වශයෙන් බෙදී ගැටුමට යෑම නොව කළ යුත්තේ නොගැළපීම්, විරෝධතා, නොපෑහීම් මකා දමමින් ලාංකේය ජාතියක් ලෙස එක්සත් වීමය. එක්සිත් වීමය. යළිත් මේ රට යුද්ධය නමැති නරා වළට ඇදවැටීම වැළැක්වීමට නම් එය අත්‍යවශ්‍යය.


අහඹු පෞද්ගලික ගැටුමක් එක් ජාතියකට අයත් දේපොළ විනාශ කිරීම දක්වා ක්ෂණයකින් ව්‍යාප්ත කිරීමට තරම් ජාතිවාදී හැඟීම් විසකුරු වූ සමාජයක සංහිඳියාව, මිත්‍රත්වය ඇති කිරීම අතිශය දුෂ්කරය.


ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවල සාමාජිකයන් 'ත්‍රස්තවාදය' පරාජය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම ඊනියා දේශපාලනඥයෝ ප්‍රමුඛ අන්තවාදීන් විසින් දේශපාලන බලය ලබා ගැනීම උදෙසා පාවිච්චි කිරීමට ඉඩ නොදීමට ජනතාව සබුද්ධික විය යුතුය. යුද්ධයේ අමිහිරි මතකය අමතක නොකළ යුත්තේ ඒ සඳහාය.
ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ හේතුඵල වාදයට අනුව 'ඵලය' නොව පෙර 'හේතුව' සොයා බැලිය යුතුය. 'ඵලය' විනාශ කර කාලයක් ගතවී තිබේ. දැන් කළ යුත්තේ 'හේතුව' විනාශ කිරීමය. එය යුද්ධ කරන තරම් පහසු නැත.


උතුර - දකුණ එකතු වී එක පහනක් දල්වන දිනයක් උදා කරගත යුතුය. ඒ සඳහා දායක වන්නන් මතු දවසක වීරයන් ලෙස පිදුම් ලබනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon