“රනිල් වික්‍රමසිංහ තවම යූඑන්පී නායකයාද?”

  👤  5522 readers have read this article !
2018-05-24

1994 මැයි 20 ජේ.ආර්. ජයවර්ධන මහතා රොටරි සාමාජිකයන් අමතා අපූරු කතාවක් කළේ ය. එම කතාවේදී ජේ.ආර්. නායකත්ව සාධක 2ක් ගැන කතා කළේ ය. පාඩම් 2ක් ඉගැන්වූයේ ය.

පළමුවැනි පාඩම

මම දීර්ඝ කාලයක් තිස්සේ මගේ නායකයන්ට දෙවැනි වී කටයුතු කළෙමි. ලෝකය පුරාම මිනිසුන් තමන්ගේ නායකයන් අබිබවා යෑමට කටයුතු කරන බව අපි දනිමු. අපි ඒ වගේ හැසිරීම් ධෛර්යවත් නොකළ යුතු බව මගේ අදහසයි. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසුන් විසින් මිනිසුන් සඳහා තෝරනු ලබන දෙයක් බැවිනි.

එක්තරා ශේ්‍රෂ්ඨ මිනිසෙක් වන වින්ස්ටන් චර්චිල් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් දෙවැනි පෙළ, තෙවැනි පෙළ නායකයෙක්ව සිටියේය. ඔහුට එංගලන්තයේ අගමැති වීමට හැකි වූයේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයට ළඟා වීමෙන් පසුවයි. නායකත්වයට, නායකයකු වීමට ඉවසීම අත්‍යවශ්‍ය දෙයක්.

මම අවුරුදු ගණනක් දෙවැනි පෙළ නායකයකුව ඉන්නා කාලයේ මගේ යාළුවෙක් මට කිව්වේ "ජේ.ආර්. කනගාටු වෙන්න එපා. දේශපාලනයේ තියෙන්නේ "ස්ටේයර්ස් රේස්" එකක් කියලා. ඒ කියන්නේ රේස් ඔට්ටුවක් කියලා. මම දන්නේ නෑ ඔබලාගෙන් කවුරුහරි ඔට්ටු අල්ලන කෙනෙක්ද නැද්ද කියලා. අපිට නුවරඑළියේ හැර තරග නෑ.

නමුත් රේස් ඔට්ටුවක් තියන්න තරගකරුවෙක්, මිනිහෙක් හරි අශ්වයෙක් හරි ඉන්න ඕන. අසල්වැසියාට ඉහළින් යන්න හරි, පයින් ගහන්න හරි, අනිකුත් අය අතුරුදන් වනතුරු හරි ඉන්න උත්සාහ කරන්න ඕන. එම නිසා දේශපාලනඥයකුට හොඳ සෞඛ්‍යයක් අවශ්‍යයි. ඔබගේ වකුගඩු, හෘදය ගැන බලන්න, ටිකක් කන්න, වැඩි වෙහෙසකාරී ව්‍යායාම් නොකරන්න, අවසානයේදී ඔබ "ස්ටේයර්ස් රේස්" එකේ තරගයෙන් දිනනවා. ඔබ දේශපාලනඥයෙක් නම් ඔබ නායකයා වනු ඇත.

ඒ රනිල් ආසම පාඩමකි. ජේ.ආර්. රොටරි සාමාජිකයන් අමතා කළ කතාවේ මුල් කෑල්ලකි. රනිල් රෑට නිදියන්නට පෙරත්, උදේ අවදි වූ විගසත් කියවන්නේ මේ කතාව නොවන්නට බැරිය. කතාව ඒ තරමට ජේ.ආර්.ගේ බෑනා වූ රනිල්ගේ හිතට වදින්නට ඇත. 1900දී එංගලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වන චර්චිල් වසර 63කුත් දින 260ක් මන්ත්‍රිවරයකුව සිට ගිනස් වාර්තා පොතට එක් වූයේ ය.

1943 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වන ජේ.ආර්. 1956 අන්ත පරාජයේ වසර දෙක හැර වසර 43ක් පාර්ලිමේන්තුවේ සිටියේ ය. චර්චිල්ගේ වාර්තාව නම් බිඳින්නට හැකි වූයේ නැත. ඒත් නායකත්වය නම් හොඳින් හෝ නරකින් රැක ගත්තේ ය.

ජේ.ආර්.ගේ බෑනා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එන්නේ 1977දී ය. මේ වනවිට ඔහුගේ පාර්ලිමේන්තු කාලය වසර 41කි. ජේ.ආර්. පහු කරන්න තව වසර 2කි. චර්චිල්ගේ වාර්තාව බිඳින්න තව වසර 22කි. ජේ.ආර්. ඉපදුණේ 1906 දී ය. දේශපාලනයෙන් සමුගන්නා විට ඔහුගේ වයස 82කි. චර්චිල් දේශපාලනයෙන් සමුගත්තේ වයස 81දී ය. රනිල් ඉපදුණේ 1949දී ය. දැන් ඔහුගේ වයස 69කි. ජේ.ආර්. නවත්තපු තැනට එන්න තව අවුරුදු 13ක් තිබේ. චර්චිල්ගේ ලෝක වාර්තාව බිඳින්න වෙන්නේ වයස 91දී ය. හොඳින් හිටියොත් ඒකත් වෙන්නට බැරි නැත. පසුගිය දා සමාජ ජාලාවල මේ ගැන අපූරු කතාවක් පැතිරුණේ ය. එහි සඳහන් වූයේ, අඟහරු ලෝකයට ගිහින් 2100දී නැවත පෘථිවියට ආ මිනිසෙක් ඇසූ ප්‍රථම ප්‍රශ්නය "රනිල් වික්‍රමසිංහ තාම යූඑන්පී නායකයාද?" යන්න ය.

දෙවැනි පාඩම

"තවත් සාධකයක් නම්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ජනතාවගේ සිතුම් පැතුම් සමඟ කොතරම් දුරක් යා හැකිද යන්නයි. ඒකාධිපතියකු මේ ගැන කරදර වන්නේ නැත. හමුදා නායකයකු ද මේ ගැන කරදර වන්නේ නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු මේ ගැන සිතිය යුතුයි. මම මාඕ සේතුංගේ ලිපියක් කියවලා තියෙනවා. ඔහු කියලා තියෙනවා "ප්‍රජාතන්ත්‍රවාදී" නායකයන් මිනිසුන්ගේ බඩගින්න ගැන සිතිය යුතුයි. මොනවද එයාලා කන්නේ? ඔවුන් ජීවත් වන්නේ කොහොමද? අඳින්නේ කොහොමද? කියා සිතිය යුතුයි" දෙවැනුව රජයේ ප්‍රතිපත්ති මූලික වෙයි. අපේ කාර්යය තුළ අපි ඡන්ද ගැන සිතිය යුතුයි. දෙවැනුව රජය ජනතාවගේ ජීවිතයට, පැවැත්මට අවශ්‍ය දේ දිය යුතුයි. මම මුහුණ දුන්නේ එයටයි.

අවුරුදු 50කට ප්‍රථම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් තිබුණු බව ලෝකය දැනගෙන සිටියා. අද සෝවියට් සමූහාණ්ඩුවේ සමහර ප්‍රදේශවල මිනිසුන් ඡන්ද බලය, ප්‍රජාතන්ත්‍රවාදය, බහුපක්ෂ ක්‍රමය පිළි අරගෙන. ලෝකයේ මොන තත්ත්වය තිබුණත් නායකයන්ගේ පාලනයේ විශේෂ කාලයන් පමණක් විමසීම සාධාරණ නැත.

උදාහරණයක් ලෙස අද ආණ්ඩුව පවතින තත්ත්වයට එදා අගමැති ඩී.එස්. සේනානායක මුහුණ දුන්නේ නැත. අද ආණ්ඩුවට ඩී.එස්. සේනානායක හීනෙන්වත් සිතුවේ නැති තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ රටට අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇතිවේ යැයි ඔහු එදා සිතන්නට නැත. සම්පූර්ණ ලෝකයම වෙනස් වී ඇත.

ඒ දිනවල අපේ විරුද්ධවාදී වූ සෝවියට් සමූහ ආණ්ඩුවේ න්‍යායන්, කොමියුනිස්ට් හා මාක්ස්වාදය වන්දනා කළෝ ය. නමුත් අද එතරම් නැතත් අපි සමහර ප්‍රශ්නවලට මුහුණ දුන්නා මට මතකයි. 1947 ඡන්ද ව්‍යාපාරයේදී අපිට ලොකු පින්තූරයක් මැවී තිබුණා පන්සල්, දාගැබ්, කෝවිල් විනාශ කිරීමට ඔවුන් විසින් උත්සාහ කරන බවට.

අද මම හිතන්නේ නෑ ඡන්දයේදී මේ දේවල් කිව යුතුයි කියලා. මොකද පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එක පාලකයකුට තවකකුගේ පාලනය විනිශ්චය කිරීමට පුළුවන්කමක් නෑ. ඔවුන්ට ක්‍රියාකාරී පාලනයේදී විවිධ ක්‍රම තියෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී වුණත් එක පිතිකරුවකු එයාගේ ක්‍රමයකට ලකුණු 100ක් ගන්නා විට තවත් පිතිකරුවකු වෙනත් ක්‍රමවලට ලකුණු 100ක් ගන්නවා. දෙදෙනාම එක්තරා ක්‍රමවලට ක්‍රීඩා කළත් දෙදෙනාම ලකුණු බින්දුව ගන්න පුළුවන්. ඒක යැපෙන්නේ හුඟක් දේවල් උඩ. රාජකීය විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට මමත් බින්දුව ලබාගෙන තියෙනවා. ඒ මගේ අත්දැකීම්. මෙම සිද්ධීන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. මම හිතනවා ඔබ කැමැති වේවි කියලා අපේ නායකයන් ගැන දැන ගන්න. ඊට එහා මට යා නොහැකියි. මට කියන්න පුළුවන් ඒ අයගෙන් අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ සිට ප්‍රේමදාස මහතා දක්වා ප්‍රජාතන්ත්‍රවාදයට ඔවුන් පැමිණියේ මහජනතාවගේ ඡන්දයෙන්, ඔවුන් ඡන්ද මත යැපුණා. ප්‍රජාතන්ත්‍රවාදය මත ඔවුන් ගෞරවයට පාත්‍ර විය යුතුයි. මම මෙහෙම කිව්වත් මෙය ලෝකයටම පොදුයි.

නමුත් මම කැමැතියි වැඩිපුර කතා කරන්න. මොකද මම නායකත්වය හා නායකයන් ගැන පොත්පත් හුඟාක් කියවලා තියෙන නිසා.

අවසාන වශයෙන් කිව යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු විසින් ඔහුගේ ආර්ථික පිළිවෙත අනුව ජනතාවගේ අවශ්‍යතාවන් සිතුම් පැතුම් තේරුම්ගත යුතුය. ආර්ථික උරුමය කෙතරම් දුරට තෘප්තිමත් කළ යුතුදැයි සලකා බැලිය යුතුය."

ඉහත ඔබ කියැවූයේ රනිල් ආස නැතිම පාඩමකි. ජේ.ආර්. රොටරි සාමාජිකයන් අමතා කළ කතාවේ අග කෑල්ලකි. රනිල් රෑට නිදියන්නට පෙරත්, උදේ අවදි වූ විගසත් මේ කතාව පෙරළා, නොකියවා පැත්තකින් තබයි. කතාව ඒ තරමට ජේ.ආර්.ගේ බෑනා වූ රනිල්ගේ හිතට අල්ලන්නේ නැත.

1977 මහ ඡන්දෙට කලින් ජේ.ආර්. ඡන්ද අපේක්ෂකයෝ සියලු දෙනාම කැඳෙව්වේ ය. කැඳවා කොළයක් අතට දී මෙසේ කීවේ ය. "මේක අපි දිනන ලොකුම ඡන්දය වෙන්න ඕන. ඒක නිසා මේක යන්තම් දිනලා බෑ. මට මේක දිනන්න හොඳ ටීම් එකක් ඕන. ඒකට දහදෙනෙක්ව තෝරන්න ඕන. ඒක කරන්න ඕන ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ කැමැති 10 මට ලියලා දෙන්න." රටේම ඉන්න අපේක්ෂකයෝ තමන් කැමැති 10 දෙනා තෝරලා දුන්නේ ය. එකට හිටියේ ප්‍රේමදාස, දෙක ගාමිණී, තුන හමීඩ්, හතර රොනී. ඒ ලිස්ට් එකේ දහදෙනා අතරවත් රනිල් හිටියේ නැත. අන්තිමට ජේ.ආර්. උඩින්ම දිනුවේ ය. 6න් 5ක බලයක් ගත්තේ ය. තනතුරු ටික නියමෙට බෙදුවේ ය.

ඒ ජේ.ආර්.ගේ නායකත්වයේ හොඳ කෑල්ල ය. රනිල්ට තිත්ත වූ කෑල්ල ය. රනිල් නොතේරුම්ගත් කෑල්ල ය. නායක පුටුවේ පැත්ත පළාතක හිටපු නැති රනිල් යූඑන්පී නායකයා වුණේ කණාවටය. ගාමිණිලා, ලලිත්ලා, අතුකෝරළලා අකාලයේ මැරුණු නිසාය. ඔවුන් මළ පසු නායකයා වූ රනිල් මළ පොත කියවන්නට පටන් ගත්තේ ය. ඒ ගාමිණි, ලලිත්, අතුකෝරළලාගේ නොව යූඑන්පියේ මළ පොත ය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon