සුපිරි පිරි දෝලා

  👤  4678 readers have read this article !
2018-05-25

මෛත්‍රි ආණ්ඩුවේ නායකයා වුවද නිතරම කියන්නට උත්සාහ ගත්තේ 'යූඑන්පීයේ අය තමයි රට කරවන්නේ' කියලාය. එය මෛත්‍රිගේ පැත්තෙන් ගැලවිජ්ජාවට යොදාගත හැකි හොඳ උපක්‍රමයක්ය. කිසියම් විදියකින් එජාපය අතින් ආන්දෝලනාත්මක යමක් වී නම්, එය මඳක් ජනතාව අතර කතාබහට ලක්වන්නට ඉඩ හැර කුණු වුණාට පසු අතුල් පහරක් දෙන්නාක් මෙන් මෛත්‍රිට එක එක කතා කිව හැකිය. එය හරියටම 'අපි නම් ඔහොම කරන්නේ නෑ' වැනි උජාරු කතාවක් හා බැඳුණේ වෙයි.

ආර්ථිකය ගැනද මෛත්‍රිට ගැටලු ඇති බවත් 'මෙයාලගේ මේ ආර්ථික ප්‍රතිපත්ති අපට හරියන්නෙ නෑ' කියලා ශ්‍රී ලනිපයේ ප්‍රබලයන් හා කළ සමීප කතා බහ කිහිපයකදීම නෝක්කාඩු ස්වරූපයෙන් කීවේ 'අනේ මං ඕවාට නෑ - මං දැන ගත්තෙත් පත්තරෙන්' නේ යන සුපුරුදු කතාව සිහිපත් කරවමිනි. රටේ ජනාධිපති දන්නේ නෑ යැයි කීවද ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාය. ආණ්ඩුවේ ප්‍රධානියාය. ඒ ප්‍රධානියාට තමන්ගේ ආණ්ඩුවේ හැසිරීම ගැන එහෙව් කතා කියන්නට බැරිය. එසේ කීවේ නම් එය අසන, විමසන ජාත්‍යන්තරය ආණ්ඩුවේ ස්ථාවරය අවුල් සහගත බව සිතන්නට පෙලඹෙන්නේය.

'මෛත්‍රිට රට කරවන්න ඕනෑ නෑ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියට තවත් වතාවක් උත්සාහ කරන්නේ තනිකරම ශ්‍රී ලංකා එක බලවත් වෙච්ච, ඔක්කොම ඇච්චෝ බැච්චෝ ළං කර ගත්ත මෛත්‍රිවාදී ශ්‍රී ලනිප ආණ්ඩුවක්. ඒක තමයි ඔය එක එක අමුතු කතා කියාගෙන හීනියට යන්නේ.'
මෛත්‍රිගේ අමුතු ගමනක් ගැන ඉව අල්ලන එජාප ප්‍රබලයෙක් මෙසේ කියන්නේ ඒ යන ගමන ගැන හොඳින් දන්නා බව කියමිනි. එය සත්‍ය නම් මෛත්‍රිගේ මේ ක්‍රමයට අනුගත, උපායශීලී ගමනේ ස්වභාවය දැන් දැන් පෙනෙන්නට තිබිය යුතුය.

පසුගියදාක බුදුපිළිම රැසක් පිටරටකින් ගෙන් වූ පාර්ශ්වයකගේ අ‍ෙ¼දා්නාව වූයේ ඊට රේගු බද්දක් අය කරමින් අසාධාරණයක් කළ බවය. අසාධාරණ බව කියන්නේ බෞද්ධකම නොසලකා, බදු ගැසීමක් සිදුකළේය යන්නය. මාධ්‍ය ඕනෑවටත් වඩා එය උලුප්පද්දී එය දරුණු විවේචනයට හසු කෙරුණේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන්ය. රට පුරා මතයක් ගොඩනඟමින් 'යූඑන්පීයේ ඇමැතිවරු බුද්ධාගමට සලකන හැටි ඔන්න' කියා පතුරු ගැසුවේ කල්යල් බලාය. මෛත්‍රි කළ යුතුව තිබුණේ තමන්ගේම ආණ්ඩුවේ මුදල් ඇමැති කැඳවා, කිසියම් නීති විරෝධි දෙයක් වී නම්, රාජ්‍ය නායකයා හැටියට එය නිවැරැදි කිරීමටය. එය පසෙක තැබූ මෛත්‍රි මාධ්‍යයට පුවත් මවමින් 'ජනාධිපති නියමයෙන් අසවල් බද්ද අඩු කර බුදු පිළිම නිදහස් කරන්න කටයුතු කළා' යන්න ප්‍රකට කැරවූයේය.

මේ ඊයේ පෙරේදා තවත් ජවනිකාවක් රඟ දැක්වුණේය. ඒ බව අප දිනපතා පුවත්පත මඟින්ද තොරතුරු අනාවරණය කෙරුණේය. රජයේ වෛද්‍ය නිලධාරීන් රඟන්නේ මහින්දගේ කීමටය. ඒ සැලැසුම්වලට අනුවය යන්න රාජිත ඇතුළු මෛත්‍රි, ගෙන එන්න දර දිය ඇද්ද සමීපතමයන් නිතර නිතර මෛත්‍රිටම කියා තිබුණක්ය. එහෙව් පසුබිමක් ඇතැයි කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශයිලොක්ලා රොද බැඳී, මෛත්‍රි හමුවෙන්නට ගිහින් කීවේ.... අ‍ෙ¼දා්නා නැඟුවේ...

'ආණ්ඩුව සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් ගහලා රට කන්නයි යන්නේ. මේ රටේ රස්සාවල්වලට, ආර්ථිකයට, වෙළෙ¼දාමට බරපතළ හානියක් වෙන්නයි යන්නේ. ඒ විතරක් නෙවේ... මැලේසියාවත්, ඉන්දුනීසියාවත්, තායිලන්තයත් එක්කත් ගිවිසුම් ගහන්න යනවා. රට අනතුරක' කියලාය.
මෛත්‍රි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇත්තන්ගේ හිත හදා 'වැරැදිවෙලා තියෙනවා නම් මං ඒ ගිවිසුම අහෝසි කරන්න වුණත් ලෑස්තියි.

ලිඛිතව පැමිණිල්ලක් දෙන්න'ය කියා තිබුණේ තමන්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන් කැඳවා විමසීමක්ද සිදු කරන්නටත් පෙරය.

රටක් දියුණු කරන්නට ශ්‍රී ලනිපයේ ඇටුවම් බැහැපු, යල් පැනගිය පැරැණි ක්‍රමයට බැරි බව මහින්ද පවා තේරුම් ගෙන තිබෙන්නේය. ගෝඨා පවා කියන්නේ නිදහස් වෙළෙඳ ක්‍රමය ගැන දැන් තිබෙනවාටත් වඩා වෙනස් විදියකට සිතන්නට ඕනෑ බවය. රනිල්, මහින්ද, ගෝඨා එසේ සිතද්දී මෛත්‍රි යළිත් ශ්‍රී ලනිපය සමඟ ගල් යුගයට යන්නට කතා කිරීම පුදුමයකි.

කිසිදු රටක් තමන් අස්සන් කරන ගිවිසුමකින් අත ලෙවකන්නට පමණක් සෑහීමට පත්වන්නේ නැත. දෙපාර්ශ්වයම තමන්ගේ ගොඩ වැඩි කරගන්නට පෙලඹෙනවා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඔසවා තැබීමේ කර්තව්‍යයේදී අපට යම් අවාසි වීම් වුවද ඇතැම් තැන්වලදී නම්‍යශීලීව ආයෝජනයන් රටට යහපත් ලෙස ළඟා කරගත යුතුය. එතැනදී යම් අකටයුත්තක් වී නම් ගෙදරින් එළියටම බැස මහපාරේ දෙස් දෙවොල් තබා ගැනීම නොකළ යුත්තක් වන අතර මෛත්‍රිගේ මේ රංගනයෙන් ඔහු ළඟාවන මාවත සනිටුහන් කරන්නේය.

මෛත්‍රිගේ දේශපාලන භාවිතයට ද වසර ගණනක් ගතවී තිබෙන බැවින් ඔහුද මේ සැබෑවන් නොදන්වා නොවේ. එහෙත් එය අමතක කර වෙනත් න්‍යාය පත්‍රයකට කටයුතු කරන්නට ඔහු යෑමෙන් සිදු වන්නේ රටට අයහපතක්මය.

රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කරද්දී ප්‍රමුඛතාව අනුවත්, ආර්ථිකමය වශයෙනුත් ඉතා වැදගත්ව තිබුණේ තවමත් යෝජිත උතුරු අධිවේගී මාර්ගය හා මහනුවර දක්වා සම්බන්ධ වන අධිවේගී මාර්ගයය. එහෙත් දකුණට සලකා වැඩි වාසි ලබා ගන්නට මහින්ද දේශපාලන තීන්දුවක් ගෙන දක්ෂිණ අධිවේගය නිම කළේය. ඒ වෙද්දී මෛත්‍රි සිටියේද මහින්ද ළඟය. අත්වැරැදි ලෙස හෝ එවැන්නක් සිදු කළ මහින්ද එපාය කියා ආප්පද කා,

ශ්‍රී ලනිපයෙන් ඉවත් වූ මෛත්‍රි හරි දේ කවුරු කරන්නේ වුව ඊට උදවු දිය යුතුය. එහෙත් මහනුවරට දිවෙන අධිවේගයේ වැඩ වේගයෙන් සිදුකෙරෙද්දී මෛත්‍රි පාර්ශ්වයේ පිරිස් කුලප්පු වී, විවිධ චෝදනා කරමින් 'යූඑන්පීයේ අය අතින් අධිවේගයේ වැඩ නිමවීම' ට එරෙහිව ගතු කියන්නට වූහ. විවිධ කෙනෙහිලිකම් මැද මධ්‍යම අධිවේගය වේගයෙන් නිමවෙමින් තිබෙන්නේය. තමන්ගේම ආණ්ඩුවේ අය ගැන තමන්ගේම කල්ලියක් විසින් සිදුකරන කුහක වැඩවලට මෛත්‍රි උඩගෙඩි නොදිය යුතුය. යම් වරදක් වී ඇත්නම් එය නිවැරැදි කර සංවර්ධන ක්‍රියාවලිය නිවැරැදි කරවීමට උර දිය යුතුය. එය ඔහුගේ මුඛ්‍ය වගකීමක්ද වන්නේය.

මෛත්‍රිටද ආර්ථිකය හදාගෙන රට ඉදිරියට ගන්නට ඕනෑ වී ඇති බවට අදහස් පළ වුණත්, ඒ කොයි ක්‍රමයෙන් දැයි පැහැදිලි නැත. ඊටත් වැඩි කාල පරාසයක් ඔහුට ඉතිරි වී නැත.

පසුගියදාක මෛත්‍රි මුදල් ඉතිරි කර ගන්නට හොඳ වැඩක් කර තිබුණේය. ඒ රාජිතගේ තටු කැපීමකටය. රාජිත ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානය 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකු සහභාගි කරවීමට කර තිබූ නිර්දේශය මෛත්‍රි එක පෑන් පහරින් කපා දමා එය 14 දෙනකු දක්වා අඩු කළේය. එයින් යම් මුදලක් ඉතිරි කර දෙන්නට මෛත්‍රිට පුළුවන් වූවා විය හැකිය.

මෛත්‍රි ජනාධිපති පුටුවේ වාඩිවෙන්නට පෙර රට වටා කියමින් ගියේ රාජපක්ෂවරුන් ගත් මහ ණය කන්දරාව හා ගහපු කොමිස් ගැනය. කළ දූෂණ ගැනය. දැන් ඔහු ඒ ගැන වගේ වගක් දන්නේ නැති ගාණට සිටින්නේය. රාජපක්ෂවරුන්ට බනින දවසක් හොයාගන්නටවත් බැරි තරම්ය. එහෙව් මෛත්‍රි තමන් ළඟ උන්නු 16 දෙනා මහින්දගේ පැත්තට එකපාරටම යවන්නේ නැතිව දැනට විපක්ෂයේ වාඩි කරවා අල්ලන්නට හදන අඩව්ව ගැන මහින්ද බලා සිටින්නේ හොඳ හැටි විපරමේය. රනිල් බලා සිටින්නේද සීරුවෙන්ය.

'මේ දහසය දෙනා ඉන්නේ ශ්‍රී ලනිප බෝඩ්ලෑල්ල උස්සගෙන. ආණ්ඩුවෙ නෑ කිව්වට රහසින් රහසින් වගේ ආණ්ඩුවේ මෛත්‍රිගෙ වුවමනා හා රාජකාරි ඉටුකරදෙන ගමන් රඟපානවා. අපි ඒකාබද්ධෙට එකතු වෙන්නෙ නෑ. අපි තවම ශ්‍රී ලංකා එකේ කියන 16 දෙනා තවම මෛත්‍රිගෙ නූලෙන් නැටවෙනවා. හරියට ට්‍රෝජන් අශ්වයෙක් මහින්දගෙ බලකොටුව ඇතුළට යවලා වෙන්න යන්න දේ බලා ඉන්නවා වගේ වැඩක්. සමහර විට මහින්දවත් කපලා මෛත්‍රි වෙනම ගේමක් ගහන්න පිට පොට ගහනවා කියලත් ආරංචියි.'

ඒකාබද්ධයේම අයකු මේ හැංගිමුත්තම් සෙල්ලම ගැන සැක උපදවමින් කියන්නේ එවැනි කතාවක්ය. මේ අව්වස්සේ මෛත්‍රි පාර්ශ්වයේ කිසිවකුත් රු. 10,000කින් රාජ්‍ය සේවක වැටුප වැඩි වී ඔවුන්ගේ ආදායම වැඩි වූ අයුරු ගැන කතා කරන්නේ නැත. 2020 වන විට එම වැටුප් 107%කින් වැඩි වන බවත්, සමෘද්ධි වියදම 3.1% සිට 3.4% දක්වා වැඩි වූ බවත් ගැන කතා කරන්නේ නැත. රට පුරා උදාගම් ඉදිවෙන අයුරුත්, අධිවේගී මාර්ග ඉදිවෙන අයුරුත් ගැන කතා කරන්නේ නැත. ඇතැම් විට ඒ මෙම ව්‍යාපෘති මෙහෙයවන්නේ එජාප ඇමැතිවරුන් නිසා විය හැකිය.

මේ සියලු කාරණා මැද මෛත්‍රි තම පක්ෂය යැයි කියන ශ්‍රී ලනිපයේ මධ්‍යම කාරක සභාවටත්, දහසයේ කණ්ඩායටමත් කලකිරුණු ස්වරූපයෙන් පැවැසූ අදහසක් ගැනද තොරතුරු පළවන්නේය.

ඒ අනුව මෛත්‍රි දැන් කලකිරීමෙන්ලු. ශ්‍රී ලනිපයේ ඉදිරි කටයුතු සඳහා ගෙනා සාමාජිකයන්ටද නිදහස් තීරණයක් ගන්නට ඉඩ සලසන තැනකලු. ඒ අනුව පක්ෂය මහින්දට ඕනෑ කරන ආකාරයට ඉදිරි කාලයේදී හසුරුවාගෙන යන්නට ඉඩ හරින තැනකලු. එහි අදහස වන්නේ...

'ඕනෑ දෙයක් කර ගත්තාවෙ' යන අදහස විය හැකිය. එහෙත් දැන් මහින්දට නම් මෛත්‍රිගේ අශ්වයන්ගෙන් වැඩක් නැති තරම්ය. මෛත්‍රි ළඟ සිටින ඇච්චන් බැච්චන් නැතිවද මහින්දට ගමනක් යා හැකි තැනකය. පසුගියදා ජී.එල්. පීරිස් පොදුජන පෙරමුණ කාර්යාලයේදී එවැනි ඉඟියක්ද ලබා දුන්නේය.

'පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතුවීමක් ගැන හිතන්නවත් බෑ' ය කියා ජී.එල්. කීවේ 'මෛත්‍රි විනාශ කරපු, දැන් ඉතිරි වී තියෙන රොඩු ටිකත් එක්ක ගමනක් යන්න අපි ලෑස්ති නෑ. දැන් අපිට තනියම නියත වශයෙන්ම දිනන්න පුළුවන්' කියලාය. කෙසේ වෙතත් මෛත්‍රිගේ නියමිත කාලය නිමාවට පත්වූ පසු ඔහුට කරන්නට යමක් නැත. එබැවින් මේ ගත කරන කාලය උපරිම හොඳින් වැඩ කළ යුතුය. නොඑසේ නම් ආණ්ඩුව කරන්නට ඉඩදී කකුල් මාට්ටු නොදමා සිටිය යුතුය.

මෛත්‍රි හා දීග කෑ අය මහින්දට ඕනෑද නැද්ද යන්න තෝරා බේරාගැනීමට මහින්දට හොඳ පළපුරුද්දක් ඇතිවා සේම ඊට මෛත්‍රිගේ උදවුද ඕනෑ නැත. රනිල්ට ද මෛත්‍රිගෙන් දැන් වැඩක් නැත. මහින්දට කළ දේම තමන්ටත් කළ හැටි ඔහු දැන් හොඳින් දන්නේය. රට කරවීම කෙසේ වෙතත් මෛත්‍රිට ඉදිරි කාලය ගේම් ගසා තව තවත් අමාරුවේ වැටෙනවාට වඩා ඇඟ බේරාගෙන ජීවත් වීම හොඳය.

කාටවත්ම එපා වූවකු වනවාට වඩා ඉතිරි මෛත්‍රිට කෙටි කාලය හොඳින් හුස්ම ගෙන රටට යහපතක් සැලසෙන අයුරින් කටයුතුද කළ හැකිය.

මේ සුපිරි දෝලාවට නැඟ මෛත්‍රි ඉතිරි කාලයේවත් යහපත් ගමනක් යාවිද? කියන්න දන්නේ නැත.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon