මඟුල් ගෙදරදී හමුවී මෛත්‍රී, මහින්ද,රනිල්, ගෝඨා කතා කළේ මොනවාද?

  👤  5719 readers have read this article !
2018-05-27

උදේනි සමන් කුමාර

ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර අවබෝධතා ගිවිසුමක්

අමාත්‍ය මණ්ඩල රැස්වීම සිරිත් පරිදි අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර හමුදා සහයෝගිතාව වර්ධනය කෙරෙන ගිවිසුමක් සඳහා වූ යෝජනාවක් ජනපති මෛත්‍රි ඉදිරිපත් කරන ලදුව එය අනුමත විය. දෙපාර්ශ්වය අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරමින් අදාළ ශක්‍යතා වර්ධනය සඳහා ව්‍යුහයක් සැකසීම මෙම අවබෝධතා ගිවිසුමෙහි අරමුණ වේ.

ගෝල්ඩන් කී මුදල්
ගෙවන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නෑ

ගෝල්ඩන් කී මූල්‍ය ආයතනයේ කඩා වැටීම හේතුවෙන් අසාධාරණයට පත්වූ තැන්පත්කරුවන්ට සහන ලබාදීමේ කැබිනට් පත්‍රිකාවක් මුදල් ඇමැති මංගල ඉදිරිපත් කර තිබිණි. ඇමැති සරත් අමුණුගම ඊට විරුද්ධව කරුණු දැක්වීය.

"මූල්‍ය ආයතන ඉල්ලන ඉල්ලන විදියට අපි කොහොමද සල්ලි දෙන්නේ. රටේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න දහසක් තිබෙනවා. එහෙනම් මුලින් ඒ ගැන බලන්න වෙනවා. මෙහෙම සල්ලි දෙන්න ගියොත් මහ බැංකුවට මොකද වෙන්නේ. අපි ගෝල්ඩන් කී එකට සල්ලි දෙනවා නම් ඒවා නැවත අයකර ගන්නා ක්‍රමයක් තිබිය යුතුයි. මතකද? මර්කන්ටයිල් කෙඩ්‍රිට් එකත් මේකම කළා."

සරත් අමුණුගම කීවේය.

"මේක මම ඉදිරිපත් කරපු පත්‍රිකාවක් නෙවෙයි. හිටපු මුදල් ඇමැතිගෙ පත්‍රිකාවක් දැනුයි ඉදිරිපත් වෙන්නේ" මංගල පැහැදිලි කළේය. කෙසේ වුවද ඊට කැබිනට් එක තීරණයක් ගත්තේ නැත.

අර්තාපල් ගොවීන්ට සහන ලැබෙන්නේ නැහැ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව කම්කරු ඇමැති රවීන්ද්‍ර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. රජය සපයන අර්තාපල් බීජ නොසුදුසු වීම නිසා විශාල වශයෙන් පාඩු සිදුවීම, වගා පාළුව, ලබාගත් බැංකු ණය ගෙවා ගත නොහැකි වීම නිසා ඔවුන් අසීරුතාවට පත්ව සිටින බව පෙන්වා දෙමින් ණය කපා හරින ලෙස පත්‍රිකාවෙන් ඉල්ලා තිබිණි.

මුදල් ඇමැති මංගල ඊට විරුද්ධ වූයේය.

"මේක මා දකින්නේ ඉතාමත් නරක පූර්වාදර්ශයක් හැටියටයි. අස්වැන්න පාළු වුණා කියා එහෙම ණය කපා හරින්න බැහැ." මංගල පැවැසීය.

අනුමැතිය නොලැබිණි.

විදේශීය ආයෝජකයන්ට දැනට දී තිබෙන සහන හොඳටම ඇති ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන විදෙස් ආයෝජකයන් සහ සමාගම් සඳහා සහනදායී විශේෂ බදු ක්‍රමයක් සකස් විය යුතු බවට මහ නගර ඇමැති චම්පික පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

මංගල සහ මලික් දෙදෙනාම ඊට විරුද්ධව කරුණු දැක්වීය.

"විදේශ ආයෝජකයන්ට ආණ්ඩුව මොනතරම් සහන ලබාදී තිබෙනවාද? තවත් සහන අවශ්‍ය නෑ දීලා තියෙන හරිය හොඳටම ඇති"

මෙහිදී චම්පික හා මංගල අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය.

"තත්ත්වය ඒක නම් විදෙස් ආයෝජකයන්ගේ පැමිණීම අපේක්ෂා කරන්න එපා" චම්පික කීය.

ඉරානයට දමන සම්බාධකවලට අපි බය වෙන්නේ ඇයි?

ඉරානයෙන් ගෙන්වූ බොර තෙල් සඳහා මුදල් ගෙවිය යුතුව තිබෙනවා. නමුත් දැන් ඉරානයට සම්බාධක පනවලා. මේ තත්ත්වය උඩ අපි ගෙවීම් කරනවාද නැද්ද යන්න ගැන නීතිපති උපදෙස් ලබා ගත්තොත් හොඳයි" ඛනිජ තෙල් ඇමැති අර්ජුන පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අදහස් දැක්වීය.

අර්ජුනගේ කතාවෙන් ජනපති මෛත්‍රි කෝපයට පත්විය.

"මොන පිස්සුද ඔයා මේ මොනවද කතා කරන්නේ. ඉරාන තෙල් පිරිපහදුවලට ගෙවන්න. නීතිපති උපදෙස් අවශ්‍ය නෑ ඒකට. මම නියෝග කරනවා ඔයා ගෙවන්න. දන්නවද මේ වෙද්දි යුරෝපා රටවල් ඉරානය එක්ක කොයිතරම් ගනුදෙනු කරනවද. වහාම ඒ ගෙවීම් කරන්න. ජනපති කීය.

ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද?

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අමාත්‍යාංශ කටයුතු සම්බන්ධ පත්‍රිකාවක් දමා තිබිණි.

"වජිර ඇමැතිතුමා ලංකාවටම දිසාපතිවරු පත් කරන්නේ ගාල්ලෙන්ද? ජනපති එක් වරම ප්‍රශ්න කළේය.
ජනපතිගේ කතාවට මුළු කැබිනට් මණ්ඩලයම මහා හ¾ඩින් සිනාසුනේය.

අපි තීන්දුවක් ගත්තා නේද ජාතික මට්ටමෙන් සුදුස්සන්.... තෝරා ගන්න'

'ඔව් සර්'

'ගාල්ල ගැනත් තීන්දුවක් ගත්තා නේද'

'ඔව් සර්'

'කොළේ වහලා මාතරට දාලා ගාල්ලේ වැඩ බලන්න කිව්වා නේද?'

'නෑ සර්'

'නැත්තෙ මොකද මම දන්නවා වැඩේ සිදුවූ විදිය.'

සන්ධාන ලේකම්කම සුසිල්ටත් ශ්‍රී ලනිප මහ ලේකම් කම එස්.බී.ටත් යන හැඩ ජුනි 3 දිනට යෙදී තිබෙන ශ්‍රී ලනිප ප්‍රතිසංවිධානය ගැන දේශපාලන අංශවල දැඩි උනන්දුවක් ඇති බව පෙනේ.

පසුගිය ශ්‍රී ලනිප මධ්‍යම කමිටු රැස්වීමේදී ප්‍රතිසංවිධානය පිළිබඳ නිශ්චිතවම සඳහන් කර තිබිණි. දැනට පවතින තත්ත්වය තුළ පක්ෂයේ කැඩී බිඳී විසිරී සිටින කොටස් යම් තැනකට ගෙනඑන අභිප්‍රායෙන් සභාපති මෛත්‍රි කටයුතු කරන බව පෙනේ. ප්‍රතිසංවිධානයේදී මහ ලේකම්වරුන් දෙදෙනාම ඉවත් කරනු ඇති බවට අදහස් පළ වේ. ශ්‍රී ලනිප මහ ලේකම්කමට එස්.බී. හෝ අනුර ප්‍රියදර්ශන පත් කරන්නට ඉඩ තිබේ. දැන ගන්නට ඇති අන්දමට සන්ධාන මහ ලේකම්කම සුසිල්ටම ලැබෙන්නට ඉඩ ඇත.

ශ්‍රී ලනිප ප්‍රතිසංවිධානය ගැන උනන්දුවෙන් සිටින අයෙක් ප්‍රශ්නයක් මතු කළේ මෙයට පෙර මෛත්‍රි විසින්ම තනතුරුවලින් පහකළ සුසිල් සහ අනුර යාපා මෛත්‍රි විසින්ම නැවත පත් කරයිද යන්න සැක සහිත බවය.

ඊට ස්ථීර පිළිතුරක් තුන් වැනිදාට පසුව ලබාදිය හැකිය.

රජුට ළං වන විට ජනතාව අෑත් වෙනවා ජනතාවට සමීප වන විට රජු අෑත් වෙනවා.

පසුගිය සතිය මුලදී ශ්‍රී ලනිප 16 කණ්ඩායම මහින්ද හමුවන්නට යොදාගෙන තිබිණි. අනුර යාපා විදේශගතව සිටි බැවින් සාකච්ඡාවට සිටියේ 15කි. ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් සාකච්ඡාවට ආවේ මහින්ද පමණය. 16 කණ්ඩායමේ අරමුණු සහ ඉලක්ක පැහැදිලි කළේ එස්.බී. විසිනි.

'අපි ආණ්ඩුවෙන් එළියට ආවේ එජාපය සමඟ සම්මුතිවාදී ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි නිසයි. අපි වැඩ කරන්නේ එජාපය පරදවා පුළුල් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහායි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට වැඩ කිරීමට අපට ගැටලුවක් නැහැ. අපි සූදානම් ඔබතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න.'
එස්.බී. ප්‍රකාශ කර තිබේ.

'අපට ප්‍රශ්නයක් තියෙනවා. පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. අපිව ගනන් ගන්නේ නැහැ. අපේ සම්බන්ධයක් අනවශ්‍ය බව පවසමින් හෙළා දකිමින් කතා කර තිබෙනවා' දයාසිරි මෙහිදී ප්‍රශ්නයක් මතු කර ඇත.

'ඒව ගනන් ගන්න එපා. පොහොට්ටුව ගොඩනැඟෙන පුළුල් සන්ධානයේ එක් පක්ෂයක්. ඔයාලා වැඩ කරගෙන යන්න. ඔයාලගෙ වැඩ සටහන් වෙනම කරගෙන යන්න' මහින්ද කියා ඇත.

'ඔබතුමා තවම ශ්‍රී ලනිප අනුශාසක. අපි තවමත් පක්ෂයේ. එස්.බී. කීය.'

'ඒක හරි. ශ්‍රී ලනිපය ආරක්ෂා කර ගන්න' මහින්ද පවසා ඇත.

'මට මතකයි මම කම්කරු ඇමැති කාලේ උපන් දිනේකට අනුරාධපුර ගිය වෙලාවේ ලංකාරාමයේ නායක හාමුදුරුවන් හමුවන්න ගිය අවස්ථාවක උන්වහන්සේ මට හොඳ උපදෙසක් දුන්නා.' අපි රජුට සමීප වෙන කොට ජනතාව අපෙන් අෑත් වෙනවා. අපි ජනතාවට ළං වන විට රජු අපෙන් අෑත් වෙනවා.' අන්න ඒක මතක තියාගෙන වැඩ කරන්න. මහින්ද කීවේය.

හෘදය සාක්ෂියේ නිදහස

ශ්‍රී ලනිප 16 කණ්ඩායම ගෙනයන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න 26 මාතර උයන්වත්ත පිටියේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එය නම් කර තිබුණේ 'හෘදය සාක්ෂියේ නිදහස' යනුවෙනි.
ලක්ෂ්මන් යාපා, ඩිලාන්, තිලංග, තාරානාත් ආදීන්ද රෝහණ ලක්ෂ්මන් පියදාස, ගාමිණි සමරනායක මහාචාර්යවරුද සම්මන්ත්‍රණය ඇමැතීමට නියමිතව තිබිණි.

යසෝදරාගේ මංගල උළෙලට පැමිණි රාජකීය අමුත්තෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියේ එහි පැවැත්වෙන 'දිවයින ඉරිදා' පුවත්පතේ කතුවර අනුර සොලමන්ස්ගේ දියණිය යසෝදරාගේ විවාහ මංගල උළෙලට සහභාගි වීමටය. එහි සුවිශේෂී අමුත්තන් සඳහා වෙන් කළ මේසයේ හිටපු ජනාධිපතිවරයා අසුන්ගන්වන්නට සොලමන්ස් මහතා කටයුතු කළේය.

මහින්දගේ පැමිණීමත් සමඟ මංගල උළෙලට පැමිණ සිටි අමුත්තන් වරින් වර පැමිණ හිටපු ජනාධිපතිවරයා සමඟ ඡායාරූපවලට පෙනී සිටින්නට විය. මඳ වේලාවකින් ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරියකු පැමිණ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා හමුවිය. ඔහු කීවේ හිටපු ජනාධිපතිවරයා අසුන්ගත් මේසය වෙන්කර ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවය.

"එතුමාව එතැන වාඩි කළේ මඟුල් ගෙදරට ආරාධනා කරපු කෙනා. ඒ නිසා කීයටවත් ඒ තැන වෙනස් කරන්න බෑ."

ලොකුබණ්ඩාර මහතාගේ එම පිළිතුරෙන් පසු ජනාධිපති ආරක්‍ෂක අංශය කළේ සොලමන්ස් මහතාව දැනුවත් කර ලහි ලහියේම වෙනත් මේසයක් සූදානම් කිරීමට පියවර ගැනීමය.

මෛත්‍රි-මහින්ද සාක්‍ෂිකරුවෝ වෙති

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මංගල උළෙලට පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ කතාබහ කරමිනි. සිය අසුන වෙත නොගිය ජනාධිපතිවරයා කෙළින්ම හැරුණේ විවාහ ලියාපදිංචිය සඳහා සූදානම් කර තිබූ මේසය දෙසටය. දෙපාර්ශ්වය වෙනුවෙන් විවාහයට අස්සන් කරන්නට නියමිතව තිබුණේ ජනාධිපතිවරයාටත්, මහින්ද රාජපක්‍ෂ මහතාටත්ය. ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවුණු මොහොතේ ඉතා සුහදශීලීව "ආයුබෝවන්" යැයි කියමින් ආචාර කරගත්හ. ඔවුන් දෙපළ කතාබහ කරමින්ම මනාල යුවළ දෙසට ගියහ.

මේ වන විට වාසුදේව නානායක්කාර, චම්පික රණවක, රියර් අද්මිරාල් සරත් වීරසේකර ආදීහුද එහි පැමිණ සිටියහ.

විවාහයට අස්සන් කිරීමෙන් පසු මෛත්‍රි-මහින්ද දෙපළ නව යුවළ සමඟ ඡායාරූපයකටද පෙනී සිටියහ.

එම අවස්ථාව වන විට වාසුදේව නානායක්කාර, හිටපු ඇමැතිවරයාද එහි පැමිණ සිටියේය. මහින්ද රාජපක්‍ෂ මහතාට එදින මංගල උත්සව 13කටත් ගෙට ගෙවැදීම් උළෙලකටත් සහභාගිවීමට ආරාධනා ලැබී තිබිණි.

"මට තව මඟුල් ගෙවල් කීපයකටම යන්න තියෙනවා. මම දැන් යනවා".

"මේ ඔබතුමාට උදවු කරන කට්ටියනෙ. තව ටිකක් ඉන්න එපායැ" ජනාධිපති මෛත්‍රි කීවේය.
"මම ආවේ ඔබතුමා එන්නත් පැයකට කලින්" යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දුන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි පැමිණියේ තවත් මඳ වේලාවකට පසු හිටපු ජනාධිපති පිටව යෑමට සූදානම් වන අවස්ථාවේය.

ඔබතුමා ඇයි යන්නේ, පත්තරවල පිටු ගණන් ලියන්න දේවල් අද මෙතැන තියෙනවා."

"කොලම්වල ලියන්න ඕනතරම් දේවල් මේ දවස්වලට මේ ගොල්ලන්ට තියෙනවා". මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දුන්නේය.

ඔයා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හොරකම් කළා නේද රනිල් ගෝඨා ගෙන් අසයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එහි පැමිණියේ මඳ වේලාවක් ගතවෙද්දීය. ජනපති, අගමැති, දිනේෂ් වාසු හා ගෝඨාභයද වාඩි ගත්තේ එකම මේසයේය. අධික වැසි පීඩාවෙන් සිදුවී ඇති හානිය ගැනත් ඊට පිළියම් යෙදූ ආකාරය ගැනත් බොහෝ දේ එහිදී කතාබහ කළහ.
'ඔයා මගේ ආර්ථික ප්‍රතිපත්තිය හොරෙන් ගත්තා නේද?' අගමැතිවරයා සිනාසෙමින් ගෝඨාභයගෙන් ඇසුවේය.

'අපි නම් හොරෙන් අරන් නෑ. හැබැයි ඒ වගේ නෙවෙයි අපි බොහොම ප්‍රායෝගික ආර්ථික දර්ශනයක් ගැනයි කියන්නේ.'

ගෝඨාභයද සිනාසෙමින්ම කීවේය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මංගල උළෙලින් කලින්ම නික්ම ගියේ තවත් එවැනි අවස්ථාවකට සහභාගිවීමට තිබූ නිසාය. සුසිල් ප්‍රේම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම, ෆයිසර් මුස්තාපා, රිෂාඩ් බදියුදීන්, මනූෂ නානායක්කාර, රන්ජන් රාමනායක මැති ඇමැතිවරුද එහි පැමිණ සිටියහ.

ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ පාර්ලිමේන්තුවටත් ඔප්පුවක් නැතිලු

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය සහිත දියවන්නා ඔය මැද ඉඩමට ඔප්පුවක් නැති බව හෙළි වී තිබෙන්නේ නොබෝදාය. 1981 අප්‍රේල් මස 29 දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදුව මේ දක්වා අවුරුදු 37ක් නිසි ඉඩම් ඔප්පුවක් පාර්ලිමේන්තුවට තිබී නැත. ජයවර්ධන මහතා විසින් තඹ සන්නසක් පරිත්‍යාග කර ඇති නමුත් එය රටේ නීතියට වලංගු බල කඩදාසියක් නොවේ. ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තු පරිශ්‍රය සඳහා වූ අක්කර 12යි රූඩ් 1යි පර්චස් 32ක ඔප්පුව ජුනි 5දා කථානායක කරු ජයසූරියට භාර දීමට නියමිතය.

20 වැනි සංශෝධනයෙන් ජනපති සතු බලතල රැසක් කැබිනට් මණ්ඩලයට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන්නේ නම් 2020 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජවිපෙ යෝජනා කර තිබේ. එකී සංශෝධනයට අනුව ජනාධිපති සන්තකයේ පැවැති තානාපතිවරු පත්කිරීම, කොමසාරිස්වරු පත් කිරීම, වරදකරුවන්ට සමාව දීම ආදී බලය කැබිනට් මණ්ඩලයට පැවරේ. ඇමැති තනතුරු දැරීමට ජනපති සතු බලයද අහෝසි කෙරේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනාධිපතිවරයා සතු බලතල එසේම පවත්වාගෙන යෑමට යෝජනා කර තිබේ. ජනාධිපති සතු මුක්තිය දැනට පවතින ආකාරයෙන් තිබෙන අතර ජනාධිපති ඉවත් කිරීමේ ප්‍රතිපාදනද සංශෝධනය නොවේ.

ඒකාබද්ධ විපක්‍ෂය ඉන්ධන මිල වැඩිවීම පිළිබඳ විවාදයට සම්බන්ධ නොවෙයි

ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ජ.වි.පෙ. කථානායකවරයාට දැනුම් දුන්නේ පසුගිය 21 වැනිදාය. බඩු මිල ඉහළ දැමීමට එරෙහිව ජ.වි.පෙ. 22දාට දින නියම කර තිබූ උද්ඝෝෂණය රටේ ඇතිවූ අයහපත් කාලගුණය නිසා අත්හිටුවීමටද ජ.වි.පෙ. 21දා තීරණය කර තිබිණි. මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය ගංවතුර හානි පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියේය. එය ගාලගෝට්ටියක් වූ විට විවාද දෙකම එකම අවස්ථාවේ ගනිමු යැයි ජ.වි.පෙ. බිමල් යෝජනා කළේ ප්‍රශ්න දෙකම එක සමානව ජනතාවට වැදගත් නිසාය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය 22දා විවාදය ඇරැඹෙද්දී සභාවෙන් පිටව ගියේය.

කාල් මාක්ස් 200 වැනි සංවත්සරය ටිල්වින්, නලින්ද නේපාලයේ විජිත චීනයේ

කාල් මාක්ස් 200 වැනි ජන්ම දින සංවත්සර උත්සවයකට සහ ආර්ථිකයේ නව්‍යතා පිළිබඳ විශේෂ වැඩසටහනකට චීන කොමියුනිස්ට් පක්‍ෂයෙන් ලද ආරාධනය පරිදි ජ.වි.පෙ. විජිත හේරත් 24දා චීනය බලා ගියේය.

නේපාලයේ ආණ්ඩු බලය හිමි එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්‍ෂයේ විශේෂ ආරාධනය පරිදි ජ.වි.පෙ. ටිල්වින් සිල්වා සහ නලින්ද හේරත් මෙම සතියේ නේපාලයට යති. ඔවුන් 30, 31 කාල්මාක්ස් 200 සමරු උත්සවයටද සහභාගි වනු ඇත.

2030 දක්වාම එජාපය ඉදිරියට ගෙනයන නායකයෝ දැන් හරි

එජාප තනි ආණ්ඩුවක් පිහිටුවනවා. රටේ නායකත්වයත් අපි අතට ගන්නවා. ඉදිරි අවුරුදු 1 1/2 තීරණාත්මකයි. අපි කවුරුත් එකාවන්ව වැඩ කරමු. නවීන් දිසානායක එම වේගවත් කතාව කළේ එජාප ජාතික සංවිධායක තනතුරේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් සිරිකොතේ පැවැති උත්සවයකදීය. බ්‍රහස්පතින්දා උදෑසන එම උත්සවයට අගමැති රනිල්, සජිත්, රවි, අකිල ඇතුළු නායකයන් රැසක්ම එක්ව සිටියහ.

"දැන් ඉතින් බයක් නැහැ. 2030 වෙනකම්ම පක්ෂය ඉදිරියට ගෙනියන්න පුළුවන් තරුණ නායකයන් පිරිසක් අපට ඉන්නවා.

"විපක්ෂයට ඉන්නේ යුද්දෙට බයේ ඇමෙරිකාවට පැනලා ගිය විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විතරයි." අගමැති රනිල් කීවේය. රනිල්ගේ කතාව අනුමත කරමින් එහි සිටි සියල්ලෝම කැකිරි පැළුවෝය.

රනිල් කරපු සැර කතාව

නවීන්ගේ උත්සවයෙන් පසු අගමැති රනිල් ගියේ පාර්ලිමේන්තුවටය. රනිල් අගමැති කාර්යාලයට ඇතුළු වනවාත් සමඟම ලක්ෂ්මන් කිරිඇල්ල එහි පැමිණියේය.

"මට එන්න බැරි වුණා මෙහේ වැඩ නිසා" කිරිඇල්ල කීවේය.

"වැඩේ හොඳට ගියා. සජිත්, අකිල, රවි ඔක්කොම ළං කරගෙන නවීන් උත්සවය සංවිධානය කර තිබුණා.මමත් සැර කතාවක් කළා." රනිල් කීය.

මාත් නවීන්ට සුබ පැතුවා. කිරිඇල්ල කීය.

ප්‍රාදේශීය සභා ඡන්ද කාලෙ ගෝඨා ලංකාවේ හිටියෙත් නැහැ. ඇමෙරිකාවට වෙලා කූල් එකේ හිටයේ. ඡන්දෙට වැඩ කළෙත් නැහැ. ඒත් දැන් ජන්දෙ දිනුවට පස්සෙ ගෝඨාගෙ සෙට් එක පොහොට්ටුව අතට අරන්. ඇතුළෙ ලොකු කචල් යනවා කියලා තමයි අපිට ආරංචි. කිරිඇල්ල අලුත් කතාවක් ඇද්දේය.

16 කණ්ඩායම මෛත්‍රි එක්ක ඉන්න බව මුලින් කිව්වා, දැන් මහින්දට සෙට් වෙලා "ශ්‍රී ලනිපයෙන් කැඩුණු 16 කණ්ඩායම ජනාධිපතිතුමා එක්කම ඉන්නවා කිය කියා තමා මුලින් හිටියේ. දැන් බලනකොට මහින්ද එක්ක සෙට් වෙලා එළිපිටම කොකා පෙන්වනවා" ගයන්ත කීවේය.

"අපි නම් ඔය කට්ටිය ලෑස්ති වෙන්නේ ඕකට බව දැන සිටියා." එහි සිටි බොහෝ දෙනෙක් කීහ.

"බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා" ගයන්ත කීය.

මළගිය ඇත්තන්
සැමරීම ආණ්ඩුවට නවත්තන්න බැරිලු

"උතුරේ මියගිය ත්‍රස්තවාදීන් සමරන්න ආණ්ඩුව ඉඩදුන්නා කියලා මේ දවස්වල ලොකු මඩක් යනවා" ගයන්ත පැවැසීය.

"දකුණේ කැරලිවලින් මියගිය අය ජවිපෙ සමරනවා. සැමරුම් උත්සව හැම අවුරුද්දෙම තියනවා. මැරුණු උදවිය සමරන්න ඒ පවුල්වල අයට අයිතියක් තියෙනවා. අපට ඒක නවත්වන්න බැහැ" කිරිඇල්ල කීවේය.
"රට බෙදනවා කිව්වොත්, ඒ වෙනුවෙන් ක්‍රියා කළොත්, අවි ආයුධ අරන් කැරලි ගහන්න ආවොත්, නීතිය කැඩුවොත් ඒක නවත්වන එක ආණ්ඩුවේ වගකීම. එහෙම නැතිව මිනිස්සු පන්සලකට, කෝවිලකට ගිහින් තමන්ගේ මළගිය ඥාතීන් සමරන එක නවත්වන්නේ කොහොමද. එ්ක කරන්න බෑ." අගමැති රනිල් පැවැසීය.

"2019 ලංකාව ගෙවන්න ඇති ණයවලින් 77%ක්ම මහින්ද ගත්ත ණයලු. ඔක්කොම රු. මිලියන 4,285ක් ගෙවන්න තියෙනවලු. මුදල් ඇමැති මංගල විවාදයට එන්න කියලා මහින්දට අභියෝග කළා. ණය ගැන මිසක් දූෂණ ගැන වචනයක්වත් විවාදයේදී කතා නොකරන බවත් දැනුම් දුන්නා. ඒක මාරයි.
මංගල එක්ක පටලැවිලා ගෝඨාභයත් හොඳට අහගත්තා විජේසිරි කීය.

"වියත් මඟ ප්‍රාතිහාර්ය ජාතික ආර්ථික වැඩපිළිවෙළක් බව කිව්වේ කඩේ යන මාධ්‍ය විතරයි. මලික් ඇමැතිතුමා ඒකට ලස්සනට උත්තර දුන්නා. ඒක මේ රජයේ දැක්ම බව. ඒක කාබන් කොපියක් බව දැන් රටම දන්නවා." විජයදාස රාජපක්ෂ කීවේය.

"ඔබතුමා ඉපලෝගම පුරාවස්තු විනාශය බලන්න යෑම හරි වැදගත් කවුරුත් අගය කරනවා" දයා ගමගේ කීය.

"වියත් මඟ කියන්නේ් ජාතිවාදයේ, ආගම්වාදයේ හා භීෂණයේ තෝතැන්නක්. ජනතාව ඒක දන්නවා." විජයදාස රාජපක්ෂ කීය.
ලූෂන් පුෂ්පරාජ් වියානා නුවර සිට සජිත්ට කතා කරයි

ඉකුත් සති අන්තයේ වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල 'භාරති කෝට්ටම්' සහ 'සුරබිනගර්' නව උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වීමට යමින් සිටි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ජංගම දුරකථනයට හදිසි ඇමැතුමක් ආවේය.

'සර්, මම ලූෂන් පුෂ්පරාජ්. ඔස්ටි්‍රයාවේ ඉඳන් කතා කරන්නේ.... ඔන්න මම සර්ට වෙච්ච පොරොන්දු ඉෂ්ට කළා.' සජිත් මේ කතාවෙන් අන්ද මන්ද විය. ලූෂන් නොනවත්වාම කතා කරගෙන ගියේය.

''මම 19 වැනිදා වියානා නුවර තිබුණු ඔස්ටි්‍රයානු ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියට සහභාගි වෙලා 'රිදී පදක්කම' දිනා ගත්තා. යුරෝපයේ වර්තමාන කායවර්ධන ශූරයා ආමින් ජංග්ල්වත් පැරැද්දුවා''

'නියමයිනේ. මගේ උණුසුම් සුබ පැතුම්' සජිත්ට කියැවිණි. එවර ලූෂන් කීවේ 'සර් තමයි මට අතහිත දුන්නේ. කාත් කවුරුත් නොසලකපු මට රුපියල් ලක්‍ෂ තිස් ගාණක් වටිනා ගෙයක් දීලා, මාව ධෛර්යවත් කරපු එක ගැන මම සර්ට සදා ණයගැතියි' කියාය. 'කවදාද ආපහු ලංකාවට එන්නේ' සජිත් අසද්දී ලූෂන් කීවේ 'මාසේ අන්තිමට එනවා' කියාය. 'ඒ ආවහම මම ඔයාට ලෝකයේම නොම්මර 1ට එන්න උදව්වක් කරනවා' සජිත් කීවේය.

අපි වැඩ කරනවා වෙනත් අය බෝඩ් ගහගන්නවා
"මෙදා පාර ගංවතුර ආපදාවලට ආණ්ඩුව කඩිනම් පියවර ගත්තා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සියල්ල ආවරණය කෙරෙනවා. ප්‍රදේශවල ආණ්ඩුව කරන වැඩ ගැන මන්ත්‍රිවරු දැනුවත් නැහැ." එජාප මන්ත්‍රි මරික්කාර් අණ්ඩු පක්ෂ රැස්වීමේදී කීවේය.

හේෂාන් විතානගේද මරික්කාර්ගේ කතාව අනුමත කළේය.

"පසුගිය ගංවතුර වෙලාවේ ගාල්ලේ බෙන්තර, ඇල්පිටිය ප්‍රදේශයේ හානි වූ මාර්ග සියල්ලම අපි මැදිහත්වෙලා ප්‍රතිසංස්කරණය කළා.

අන්තිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බෝඩ් ගහගත්තා. ඒක අනුමත කරන්න බෑ." ගයන්ත කීවේය.

ඔව්, ඒ කතාව හරි. කවුරුවත් වැඩ කරන්නයි වෙන කෙනෙක් නම දාගන්නයි ඉඩ දෙන්න බෑ. ඕන නම් කාගෙවත් බෝඩ් නොදා ඉඳිමු. ඒක වඩා හොඳයි. මන්ත්‍රිවරු රැසක්ම ගයන්තගේ කතාව අනුමත කළහ.

ණය ගැන විවාදයකට එන ලෙස මංගල - මහින්දට අභියෝග කරයි

රජයේ ණය තත්ත්වය ගැන ප්‍රසිද්ධි විවාදයකට එන ලෙස මුදල් ඇමැති මංගල හිටපු ජනාධිපති මහින්දට ඇරයුම් කර තිබේ. ඔහු පවසන්නේ හිටපු මුදල් ඇමැතිවරයා මහින්ද බැවින් මෙම විවාදය සඳහා සුදුස්සා මහින්ද බවය. ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසුව වර්ෂයක් තුළ ගෙවීමට ඇති වැඩිම රාජ්‍ය ණය ප්‍රමාණය මේ වසරේ ගෙවිය යුතුව ඇති බවය. ගෙවීමට තිබෙන මුළු ණය ඇ. ඩොලර් මිලියන 2,845ක් වන බවද මංගල සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
මේ අතර මංගලට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවකදී මහින්දානන්ද ප්‍රකාශ කළේ ණය ගැන කතා කළ යුත්තේ මංගල සමඟ නොව අර්ජුන මහේන්ද්‍රන් සමඟ බවය.

ඒකාබද්ධයේ ක්‍රිකට් තරගය
ගුවනින් පැමිණ
නැරඹුවේ කවුද?

ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයට ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභාමන්ත්‍රිවරුන් රැස් වූයේ මහින්්ද රාජපක්ෂ නිදහස් කුසලානය සඳහා වන මහා ක්‍රිකට් ගැටුමටය. මේ තරගය සංවිධානය කර තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරන මුහුණුපොතේ පිරිසක් විසිනි. මුලින්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා මුහුණුපොතේ සාමාජිකයන් කණ්ඩායම් 8කට බෙදුණි.

තරගය ආරම්භ වීමෙන් පසු තරගය විස්තර ප්‍රචාර භාර ගත්තේ විමල් වීරවංශය. විමල්ගේ විස්තර ප්‍රචාරය හමුවේ සමහරු බඩ අල්ලා ගෙන සිනාසෙනු දක්නට ලැබිණි. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයට උඩින් හෙලිකොප්ටරයක් ගමන් කරන විට විමල් කීවේ ඒකාබද්ධය දෙපිල බෙදී තරග කරන ආකාරය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා උඩු ගුවනේ සිට නරඹමින් සිටින බවය. තවත් විටෙක තවත් හෙලිකොප්ටරයක් යද්දී විමල් කීවේ එහි යන්නේ අගමැතිවරයා බවය. 62 වැනි වරටත් සාගල හමුවී අගමැතිවරයා කොළඹ පැමිණෙන බව විමල් කීවේය.

එක් කණ්ඩායමකට තරග කරමින් සිටි ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා දුවද්දී දැවී යෑමට හසුකර ගත්තේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයාය "ආ ඒක ගම්පහ ප්‍රශ්නයක්." ඒක ඒ අය විසඳ ගනීවී." විමල් කීවේය.

තරගය ජයග්‍රහණය කළේ දෙහිවල නගරාධිපතිවරයාගේ කණ්ඩායමය. අනුශූරතාව හිමි වුණේ වීරවංශ නායකත්වය දුන් කණ්ඩායමටය. තරගාවලියේදී විමල් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.

ආණ්ඩුව එවන බෝලවලට ගහන එක නවත්තලා ආණ්ඩුව ගෙදර යවන්න
වැඩ කරමු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 18 හා 19 වැනි දෙදින ඉතා කාර්යබහුල වූයේය. ඒ විජයග්‍රහණය සැමරුම් උත්සව ගණනාවකට සහභාගි වීමට තිබූ නිසාය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ රණවිරුවන්ට පින් පැමිණවීම හා විජයග්‍රහණය සැමරීම ස¼දහා සියක් නමක් විෂයෙහි පැවැති සංඝගත දක්ෂිණාවකටද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේය. එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතාය. ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර යන මන්ත්‍රිවරු ඒ සඳහා එක්ව සිටියහ.

"මේ ආණ්ඩුව රණවිරු උත්සව පවත්වන එක සීමා කරලා කරන්නේ ලොකු අපරාධයක්. ආණ්ඩුවට ඕනෑ මේ යුද ජයග්‍රහණය මිනිසුන්ට අමතක කරවන්න. සංහිඳියාවට මුවා වෙලා ආණ්ඩුව මේ කරන්න හදන්නේ ඒකයි." ප්‍රසන්න කීවේය.

"ඔව් ඒක ඇත්ත. අපි මේ සැමරුම දිස්ත්‍රික් මට්ටමින්, සංවිධානය කරන්න ඕනෑ. ආණ්ඩුව මේක අමතක කරවන්න මොන දේ කළත් අපි ඒකට ඉඩ තියන්න හොඳ නෑ." මහින්ද කීවේය.

"ආණ්ඩුව විවිධ මාතෘකා දාලා බැඳුම්කරය වගේ ඒ අයට විරුද්ධ චෝදනා අමතක කරවන්න හදනවා. වෙලාවකට අපිත් ඒවට අහු වෙනවාද කියලා හිතෙනවා." සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා කීවේය.

"ඒකයි ඇත්ත. අපි සමහර වෙලාවට ගන්න ඕන ආණ්ඩුවේ බෝලවලට ගහන්න යනවා. අපි. කරන්න ඕනෑ ආණ්ඩුවේ බෝලවලට ගහන එක නොවෙයි. ආණ්ඩුව ගෙදර යවන්න අපේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එකයි" මහින්ද කීවේය.

පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිත් ආප්ප කාලා

20 වැනි ඉරිදා සවස මහින්ද පානදුරයට ගියේය. ඒ බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මන්ත්‍රිවරයාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහාභාගි වීම සඳහාය. මහින්ද සමඟ රෝහිත, කුමාර වෙල්ගම, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රිවරුද ඒ අවස්ථාවට එක්ව සිටියහ. ඇදවැටුණු මහ වැසි නොතකා විශාල පිරිසක් මේ උත්සවයට පැමිණ සිටියහ. රැස්වීම අවසානයේ තේ පැන් සංග්‍රහයේදී පියල් නිශාන්ත මන්ත්‍රිවරයා කීවේ ආණ්ඩුවේ සෞඛ්‍ය පිරිහෙන බව දැන් හොඳින්ම පෙනෙන බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙහිදී සුප්‍රසිද්ධ ආප්ප සිද්ධිය නැවත සිහිපත් කළේය. ඔහු කීවේ පක්ෂයේ හිටපු ලේකම්වරයා ආප්ප කෑවාක් මෙන් පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරුන්ද ආප්ප කෑ බවයි. ජගත් අංගගේ ඉවත් කරන ලෙස බලපෑම් කළ පුද්ගලයා ජනාධිපතිවරණයෙන් පසු පොළොන්නරුවට ගිය බවත් ජගත් මැදමුලනට ආ බවත් මහින්ද කීවේය.

මහින්ද - ශිරන්ති විවාහ සංවත්සරය

නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් පසුගියදා විජේරාම නිවෙසේ සාදයක් සංවිධානය කර තිබිණි. සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙනි. කේක් කැපූ මහින්ද හා ශිරන්ති පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැව්වේය. ජී.එල්., වාසු, පවිත්‍රා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

"දැන් ඉතින් ඔයාගේ වයසත් හරි...." පවිත්‍රා නාමල්ට කීවේය.
නාමල් උත්තර නොදී සිනාසෙනු දුටු මහින්ද කීවේ "මම නම් දැන් මේ හාදයාට කියන එක නවත්තලා තියෙන්නේ" කියාය.

ආණ්ඩුවට අබ සරණලු

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා පසුගිය බදාදා (23දා) අත්තනගල්ල - හොරගොල්ල මන්දාරා හෝටලයට ගියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ ආරාධනයකට අනුවය. අගමැති රනිල් හා ප්‍රසන්නට අසුන් පනවා තිබුණේද එක මේසයේය.

"අගමැතිතුමන්ලාට හෙට, අනිද්දා වෙද්දී කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලන් ඉද්දී රට සංවර්ධනය වෙයි" ප්‍රසන්න කතාබහට මුල පිරුවේය.
ඒ මොකද? රනිල් ඇසුවේය.

ඇයි ජනාධිපතිතුමා කියන විදියට මේ වහින වැහිල්ලට ට්ච්ර්ථී, (දළ ජාතික නිෂ්පාදනය) නඟින්නේ ඉහළටමය. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. රට ස්වයංපෝෂිතයිනේ. ප්‍රසන්න කීවේ රනිල් ඇතුළු මේසයේ සිටි පිරිස සිනා ගන්වමිනි.

"ඒක නොවෙයි අගමැතිතුමා දැන් පළාත් සභා තියන්නේ පරණ ක්‍රමයටද අලුත් ක්‍රමයටද?" ප්‍රසන්න ඇසුවේය.

"මෛත්‍රිපාල ජනාධිපතිතුමායි, ශ්‍රී ලංකා එකයි ඇරෙන්න අපි හැමෝම පරණ ක්‍රමයට කැමැතියි. හැබැයි ඒ අය කැමැති අලුත් ක්‍රමයට." රනිල් කීවේය.

"අපිට නම් ඔය කොහොම තිබ්බත් එකයි. ආණ්ඩුවට නම් ඉතින් අබ සරණයි." ප්‍රසන්න රනිල්ගේ මුහුණටම කීවේය.

2020 දිනන හැටි

බැසිල් පෙන්වයි
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රෑ විජේරාම නිල නිවෙසේදී රැස් විය. තද වැසි සහිත කාලගුණික තත්ත්වයක් තිබුණත් පක්ෂ නායකයන් ඇතුළු ඒකාබද්ධයේ පාර්ලිමේන්තු නියෝජිතයන් හැමෝම වගේ රැස්වීමට ඇවිත් සිටියහ.

බැසිල් රැස්වීමට ඇවිත් හිටියේ නධඹඥප නධඪදබ නපඥඵඥදබචබඪධද එකකුත් ලෑස්ති කරගෙන.
"එහෙනම් පටන් ගන්න...."

මහින්දගෙන් බැසිල්ට ආරම්භක සංඥාවක් ලැබිණි.

මැතිවරණ දත්ත විශ්ලේෂණය කරමින් බැසිල් අනාගත දේශපාලන තත්ත්වය ඉතාම තාර්කිකව පැහැදිලි කළේය.
මේ නපඥඵඥදබචබඪධද එක තොරතුරුවලින් ඉතාම සන්නද්ධයි.
ඒ නිසා මේක අනාගතය සම්බන්ධ ඉතා හො¼ද ඇස් ඇරවීමක්.
ඩලස්, බැසිල්ට ස්තුති කළේ ශාස්ත්‍රීය භාෂාවෙනි.

අපේ ඉදිරි වැඩ සැලසුම් කරන්න ඕනි මෙන්න මේ කරුණු පදනම් කරගෙන...
එතකොට අපේ ජයග්‍රහණය පහසු වෙනවා.
වෙල්ගමගේ ඒ අදහසට හැමෝම එකඟ විය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිහිනය

කරු සැබෑ කරයි
මාදුළුවාවේ සෝභිත හිමියන් අනුරාධපුර දුනුමඬලාව ඇලපත්ගම ගම්මානයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියේ වැඩ අතරමඟ ඇනහිටියේ සෝභිත හිමියන්ගේ හදිසි අභාවය හේතුවෙනි. උන්වහන්සේගේ සිහිනය වී තිබුණේ දුනුමඬලාවේ අසරණ ජනයාට නිවාස 153ක් ඉදිකර දීමයි. මේ බව දැන සිටි කථානායක කරු ප්‍රශ්නයට අත ගැසුවේය. නිවාස ව්‍යාපෘතිය සඳහා මිලියන 300ක මුදල් සොයා ගැනීම භාරදූර කාර්යයක් විය.

ඉන්දියානු රජය එම බරපැන දරන්නට ඉදිරිපත් වූයේ කරු ජයසූරිය මහතා කළ ඉල්ලීමට අනුවය. ඉඩම් ඇමැති ගයන්ත ඇලපත්ගම වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දෙන්නට ඉදිරිපත් විය. දැන් සියල්ල සම්පූර්ණය. ගෙවල් 153ක ව්‍යාපෘතියට ඉන්දියානු මහ කොමසාරිස්ගේද සහභාගිත්වයෙන් මෙම 27 වැනිදා මුල්ගල් තබනු ඇත.
අනුරාධපුර ගිය කරු පාර්ලිමේන්තුව
යට වෙන්නට යන බව අසා ආපසු එයි

නොකඩවාම වහින වැස්ස නිසා දියවන්නාව පිරී තිබිණි. කිසියම් මොහොතක පාර්ලිමේන්තුවද ජලයෙන් යට විය හැකි අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය. සති අන්තයේ කථානායක කරු අනුරාධපුර ගියේ අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කමට එක්වීමටය. නමුත් පාර්ලිමේන්තුව මුහුණදී ඇති අනතුරුදායක තත්ත්වය සැලවූ වහාම කථානායකවරයා ආපසු හැරුණේය.
ලැම්බෝගිනියකින්
මට ඇති ඵලය කිම,
පාප් වහන්සේ අසති
අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ "ලැම්බෝගිනි" රථය පසුගියදා මොන්ටෙකාලෝහිදී වෙන්දේසි කළේය. මේ ලැම්බෝගිනියේ එන්ජින් ධාරිතාව අශ්ව බල 610කි. වේගය පැයට සැතපුම් 202ක උපරිමයට යටත්ය. ඉතාලියේ ලැම්බෝගිනි ඔටෝමොබයිල් සමාගමේ නිෂ්පාදනයකි. සුදු සහ රන්වන් පැහැති එය නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේය. ඩ්භපචජචද ඹ්ර්ථී 580 - 2 වාහනය පාප් වහන්සේ වෙනුවෙන්ම නිපදවා උන්වහන්සේට පරිත්‍යාග කර තිබේ.
තම ගමන් බිමන් සඳහා ලැම්බෝගිනියක්ම අවශ්‍යද යන්න දෙවරක් කල්පනා කළ පාප් වහන්සේ එය වෙන්දේසි කරන්නට තීරණය කළහ. මොන්ටකාලෝහි ප්‍රකට සදබීස් සමාගම සිදුකළ වෙන්දේසියේදී ඩොලර් 960,797ක ලංසුවකට ලැම්බෝගිනි රථය අලෙවි විය. එය මිලට ගන්නා ලද්දේ ස්පාඤ්ඤ කුලී රථ සමාගමක් විසිනි. අති උතුම් පාප් වහන්සේගේ ලැම්බෝගිනිය දැන් කුලී මෝටර් රථයකි. "ආශීර්වාද ලත් රථයක් කුලියට ගෙන දුගී දරුවන්ට උපකාර කරන්න" යන්න කුලී රථ සමාගම ඊට යෙදූ තේමා පාඨය වේ.
නව තෙල් පිරිපහදුවක් හැදීම

අධිවේගී මාර්ග හදනවාට වඩා ප්‍රයෝජනවත්
ඛනිජ තෙල් මිල පහළ දැමීමට ඇති හොඳම විසඳුම නව තෙල් පිරිපහදුවක් ඇති කිරීම බව ඇමැති අර්ජුන කියයි.අධිවේගී මාර්ග තැනීමට වඩා තෙල් පිරිපහදුවකට මුදල් ආයෝජනය කිරීම වඩා සුදුසු බව කියන අර්ජුන තෙල් පිරිපහදුවකින් ඩොලර් මිලියන 400ක් 450ක් පහසුවෙන්ම අවුරුද්දකට ඉතිරි කළ හැකි බව හෙතෙම පෙන්වා දෙයි. පිරිපහදුවක් හදන්න ඩොලර් බිලියන 2ක් 3ක් වගේ වැය විය හැකි නමුත් වසර 67කින් එය ආපසු ලබා ගත හැකි බවද අර්ජුන පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon