වඳුරන් කූඩු හැදීම සහ ආණ්ඩුව

  👤  4453 readers have read this article !
2018-05-27

වැසි කාලය එළැඹුණු විට කුරුල්ලෝ කැදලි කරා යති. බොහෝ සත්තු තමන් කල් ඇතිව තනාගත් ආරක්ෂිත ස්ථානවලට වී සිටිති. එහෙත් පූර්ව සූදානමක් නැති වඳුරෝ ගස් උඩ තෙමෙති. වැස්සට තෙමෙන වඳුරෝ අපත් අන් සතුන් මෙන් කූඩු හදා ගනිමු යැයි කතා වෙති. එහෙත් වැස්ස පෑයූ කල කූඩු හදන කතාව අමතක වේ. මේ නිසාම "වඳුරන් කූඩු හදන්න කතා වුණා වාගේ" යැයි කියමනක් ජන සංස්කෘතියේ තිබේ.

ලංකාණ්ඩුව වැඩ කරන්නෙත් වැහි කාලයේ කූඩු හදන්න කතාවෙන වඳුරන් වගේය. අපේ රටේ දේශගුණික ස්වරූපය ගැන පහ වසරේ දරුවොත් දනිති. නිරිතදිග මෝසම් වැස්ස සක්‍රිය වී තිබේ. දකුණ, බස්නාහිර, වයඹ පළාත්වල ප්‍රධාන ගංගා පිටාර දමයි. ලක්ෂයක් අනාථ වී ඇති බවත් 13 දෙනකු මියගිය බවත් වාර්තා වේ. දැන් ඉතින් ආණ්ඩුවට ගජරාමෙට වැඩ තිබේ. සහනාධාර බෙදීම ප්‍රධානය. ගංවතුරට මාළුන්ටත් වඩා සතුටු වන්නේ දේශපාලනඥයෝය. මාධ්‍ය කණ්ඩායමක් රැගෙන බෝට්ටුවෙන් ගොස් තමන්ගේ නම ගැසූ බත් පැකට් බෙදිය හැකිය. හැන්දෑවට ඒ වීර ක්‍රියාව රූපවාහිනියෙන් දැකිය හැකිය. ඒවා ඡන්ද හැදෙන වැඩය. අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබේ. වටපිටාවට නොදැනෙන්නට සල්ලි ටිකක් සාක්කුවේ දමාගත්තොත් ඡන්දෙ කාලෙට බෙදිය හැකිය. දැන් ඉතින් අනාථ ක¼දවුරු නිරීක්ෂණය කරමින් රවුමේ යා හැකිය.

මෝසම් වැසි ලංකාවට අලුත් දෙයක් හෝ විපතක් හෝ නොවේ. අපේ ගංගාවලට ජලය ලැබෙන ප්‍රධාන මාර්ගය ඊසානදිග සහ නිරිතදිග මෝසම් බව දුරාතීතයේ සිටම අපේ මුතුන්මිත්තෝ දැන සිටියහ. ඔවුන්ගේ කෘෂිකර්මය පදනම් කරගත් ජන ජීවිතය හැඩගැසී තිබුණේ ඊට අනුරූපවය. වැසි සමය එළැඹුණු විට ගංවතුර ගලා දෙගොඩ තළා ගියේය. මිටියාවත් ජලයෙන් යට විය. එය ගොවිතැනට ආශීර්වාදයක් විය. ගංවතුර සමඟ පැමිණි නැවුම් රොන් පස කුඹුරුවල පොහොර තැන්පත් කළේය. අස්වැන්න සරුවිය.

ගංවතුරට යටවෙන පහත් බිම් ආසන්නයේ නිවෙස්වල ආලින්දයේ ඔරුවක් මුණින් නවා තිබිණි. ඔරුව දියත් කරන්නට ගංවතුර එන තෙක් දරුවෝ ආසාවෙන් බලා සිටියහ. ඔරුවක් නැති ළමෝ පහුරක් තනාගෙන ගංවතුරේ පැද ගියහ. එය අතිශය සුන්දර අත්දැකීමක් වූයේය. එහෙත් වර්තමානයේ මේ සියල්ල කණපිට හැරී තිබේ. දිගින් දිගටම සිදුකළ අවිධිමත් සංවර්ධනය විසින් ජනිත කළ විපතට අද මිනිස්සු මුහුණ දෙති.

අධික වර්ෂාපතනය විසින් ගෙනෙන ජල කඳ රඳවාගත් ස්පොන්ජ් (ඉනධදඨඥ) එකක් මෙන් ක්‍රියා කළ කඳු මුදුන්වල වූ වනාන්තර සියල්ල වනසා දමා තිබේ. තට්ට හිසට වැටුණු ජලය මෙන් වැසි වැටුණු සැණින් ජලකඳ පහත් බිම් කරා තල්ලු වේ. නිකම්ම නොව නාය යෑම්වලින් මහත් විපත් සිදුකරමිනි.

මධ්‍යම කඳුකරයෙන් මහ සයුරට ගලන ගංගා 103ම අවහිර කොට ඉදිකිරීම් සිදුකර තිබේ. අතු ගංගා සියල්ල අහුරා දමමින් මාර්ග, අධිවේගී මාර්ග සහ අනවසර ගොඩනැඟිලි ඉදිවී තිබේ. හොඳම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කයයි. දේශපාලන බල පුළුවන්කාරයන් විසින් එහි සියලුම ජල මාර්ග අවහිර කොට තට්ටු ගොඩනැඟිලි ඉදිකොට ඇති බැවින් කිසි දිනක ගංවතුරට යට නොවූ ප්‍රදේශවල මිනිස්සු සති ගණන් රැඳී ඇති ජලය නිසා අපා දුක් විඳිති.

කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය ඊට දෙවැනි නැත. ප්‍රදේශයේ වැසි ජලය ගබඩා වීම සඳහා ස්වාභාවික තෙත් බිම් පද්ධති පිහිටා තිබිණි. ඊට අමතරව පුරාණ රාජධානි සමයේ වැසි ජලය රඳවන වැව් නිර්මාණය කර තිබිණි. එයින් දැනට ඉතිරිව පවතින්නේ තලංගම, මහරගම, කැස්බෑව ආදී වැව් කිහිපයක් පමණි. 1987දී එජාප ආණ්ඩුව අධි ආරක්ෂිත ජල රඳනය සඳහා පෞද්ගලික ඉඩම් පවරා ගත්තේය. වන්දි ගෙවීමක් කළේද නැත. පසුව ජල රඳනයට පවරාගත් ඉඩම් කෝටි ගණනකට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අලෙවි කළේය. ජයවර්ධනපුර කෝට්ටේ "වෝටර්ස් එජ්" හෝටලය සහ දියත උයන ඉදිකළේ ජල රඳනයට වෙන්වූ ඉඩම්වලය.

අද කෝට්ටේ ප්‍රදේශය පුරා අනවසර ඉදිකිරීම්වලින් සියලු ජල මාර්ග ඇහිරී තිබේ. කොලොන්නාව ප්‍රදේශයත් එසේය. දේශපාලන හෙංචයියන් ඇළ මාර්ගවල නීතියෙන් වෙන් කරන ලද බිම් කොටස් (අඥඵඥපමචබඪධද) අධික මිල ගණන්වලට විකුණා ගොඩනැඟිලි ඉදිකර තිබේ. එහි වන්දිය ගෙවන්නේ පහත් බිම්වල වෙසෙන ජනතාවය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් අවශ්‍ය වන්නේ බත් පැකට් බෙදන්නට නොවේ. ආපදා ඇතිවීම වළක්වා කළමනාකරණය කරන්නටය. ආපදාවන්ට ඉඩ හසර විවර වන සියලු තැන් කල් තියා දැන හැඳින විද්‍යාත්මක විසඳුම් සැපයීම නවීන ලෝකයේ ආපදා කළමනාකරණයට පැවරී ඇති රාජකාරිය ය. දේශපාලන බල පෙරළිවලටම කාලය කා දමන ඇමැතිවරුන් තමන්ට ජනතාව පවරපු රාජකාරියට බහින්නේ ගංවතුර නාහෙටත් උඩින් යන විටය. ඔවුන්ගේ වැඩත් වඳුරන්ගේ වැඩවලට දෙවැනි නැත. ඔක්කොම කයිවාරු වැස්ස පායන තුරු විතරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon