ස්වාභාවික ආපදා සහ පෙර සූදානම

  👤  4148 readers have read this article !
2018-05-28

ශ්‍රී ලංකාව තවත් ලෝක වාර්තාවකට හිමිකම් ලබා ඇත. ඒ ලෝකයේ ආපදා බහුලම රටවල ලේඛනයේ සිවුවැනි ස්ථානයට ලංකාව පත්වීමය. ඒ "ජර්මන් වොච්" සංවිධානය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවකට අනුවය.


යුද්ධය අවසන් වී වසර නවයක් පිරෙද්දී ආපදා බහුල රටක් ලෙස මෙලෙස නම් වීම ගැන කනගාටු විය යුතුය. ගිනිකඳු පිපිරීම්, භූමිකම්පා නැති වුවද නාය යෑම්, ගංවතුර හා නියඟය දරුණු ලෙස රට ගොදුරු කර ගනිමින් සිටින බව පෙනේ. ගංගා ආශි්‍රතව සිටින්නන්ට හා කඳුකරයේ ජීවත්වන්නන්ට අධික වැස්ස යනු භීතිය ජනිත කරන්නක් වී ඇත. සෙස්සන්ට නම් ගංවතුර, නාය යෑම් යනු රූපවාහිනියේ නරඹන ත්‍රාසජනක අපූරු දර්ශන පෙළක් පමණි. පාලකයන් එය කුමනාකාරයෙන් අත්විඳිනවාද යන්න පැහැදිලි නැත.


ගංවතුරට හසුවන්නටත් වඩා භයානක ඉරණමකට ගොදුරු වන්නේ නායයෑමට ගොදුරුවන්නන්ය. විපත කුමන අවස්ථාවකදී වේ දැයි ඔවුන් නොදැන සිටීම ඊට හේතුවයි. ආපදා කළමනාකරණය ගැන අවුරුදු ගණනක් තිස්සේ කතා කළ ද ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් පවා පත් කර සිටියද වසරින් වසර ආපදාවන් වර්ධනය වනවා මිස අඩුවක් දක්නට නැත. විපතට පත්විය හැකි ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමත්, විපතට පත් වූ පසු සහනාධාර ලබාදීමත් හැර එදා මෙදා තුර පැවැති ආණ්ඩු ගත් වැදගත් පියවර මොනවාද? එසේ විධිමත් පියවර ගත්තා නම් විපත් මෙතරම් ඉහළ යයිද?


එහෙත් අප "ආණ්ඩු" ගැන කතා කරන්නේ බොරදියේ මාළු බාන ඊනියා දේශපාලනඥයන්ගේ අර්ථයෙන් නොවේ. විපතට පත්වූවන් ගැන කිඹුල් කඳුළු හෙලන දේශපාලනඥයෝ කවුරුත් බලයට පැමිණි පසු ඔවුන්ව අමතක කර දමති. එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම හැර අන් වැඩක් ඔවුන්ට නැති තරම්ය. 1977 සිට වසර 17ක් අඛණ්ඩව රට පාලනය කළේ එ.ජා.ප.යයි. ජනාධිපතිවරු තිදෙනකු එනම් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා ඩී.බී. විජේතුංග ඒ කාලයේ බලය දැරූහ. ශ්‍රීලනිපය 1994 සිට අවුරුදු විස්සක් ආණ්ඩු කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති පුටුවේ සිටියහ. එකී අවුරුදු 37දී ගංවතුර, නාය යෑම් වැනි විපත් සිදුවිණි. බදුල්ල කොස්ලන්දේ නාය යෑමෙන් සිදු වූ මහ විනාශයන් සිදුවූයේ රාජපක්‍ෂ ආණ්ඩුවේ අවසන් වසරේදීය. සාමසර කන්ද නාය ගියේ සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව සමයේය. සාලාව පිපිරීම ද සිදුවිය. මේ සියලු ආපදාවලදී විපතට පත් වූවන්ට සහන සැලසීමට බොහෝ කාලයක් ගතවිය. තවමත් සාමසර හා සාලාව විපතට පත්වූවන්ට සහන ලබාදීම අවසන් කර නැත. එසේ තිබියදී මහජනතාවගේ මුදල් වැය කරමින් ඊනියා විවාද ඉල්ලා ඔවුහු ඝෝෂා කරති. දෙපාර්ශ්වයම එක් වී සහන සැලසීම හා ආපදා කළමනාකරණයට කටයුතු සම්පාදනය කිරීම පසෙක තබා එකිනෙකාට චෝදනා කර ගනිමින් කාලය නාස්ති කරති.


ඇත්ත තිත්ත වුවත් ඇත්ත වන්නේ බලයේ සිටින පක්‍ෂය හෝ කණ්ඩායම විපත්වලදී ජනතාව අත්හරින බවය. හදවත උණුවන්නේ විපක්‍ෂයේ සිටින උදවියගේය. මේ විපත්වලදී පෞද්ගලිකව කෙරෙන මැදිහත් වීම් නොමැති වුවහොත් "විනාශය" මීට වඩා වැඩි වන බව නම් අත්දැකීමෙන් පැහැදිලිය. 2016 මෙන්ම 2017 වසරේ ගංවතුරෙන් කොළඹ යට විය. එවිට බරපතළකම වඩාත්ම බලධාරීන්ට දැනුනේය. එහෙත් ඒ සඳහා පියවර ගැනීමට ගත් තීන්දු හරිහැටි ක්‍රියාත්මක වී නැති බව පෙනේ. කොළඹට ගංවතුර තර්ජනය උග්‍රවෙත්ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ගැන බලධාරීහු කතා කරති. 2016 විපතින් පසු ඒ පියවර ගත්තේ නම් යළි එවැනි දේ ගැන කතා කළ යුතුද? ගංවතුර නාය යෑමක් ඇතිවූ විට බල්ලන් බළලුන් මෙන් මිය යාමටද? අවතැන්වී නිරාදුක් විඳීමටද සිදුවන්නේ පොදු ජනතාවටය. නියඟයේදී බීමට පවා ජලය නොමැතිව ඔවුහු අපා දුක් විඳිති. තව අවුරුදු කීයක් ජනතාව මේ දුක් ඉසිලිය යුතුද?


මුළු ලෝකයේම කාලගුණය දේශගුණය විපර්යාසයට ලක් වෙමින් තිබේ. මේ පුංචි රට ඊට මුහුණදීමට සූදානම් කිරීම පාලකයන්ගේ වගකීමය. යුතුකමය. පසුගිය වසරට වඩා මේ වසරේ ආපදාවලදී පෙර සූදානමක් බලධාරීන්ට තිබූ බව පෙනීම සතුටට කරුණකි. එය ආපදා කළමනාකරණය දක්වා දුරදිග ගෙන යා යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon