මාරු කාසි සහ බස් ගාස්තු

  👤  3664 readers have read this article !
2018-05-31

ඉන්ධන මිල හා බස් ගාස්තු අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පැමිණි පසු ඉන්ධන මිල පහත දැමූ අතර ඊට සමගාමීව බස් ගාස්තුද අඩු කෙරිණි. අවුරුදු තුනහමාරකට පසු ඉන්ධන මිල මේ මාසයේ ඉහළ දමනු ලැබීය. ඒ අනුව බස් ගාස්තුද වැඩි විය. බස් හිමියන්ගේ පැත්තෙන් එය සාධාරණය. අසාධාරණය වී ඇත්තේ මගී ජනතාවටය.

ලංගම බස්වල ගාස්තු වැඩි කළේ කැබිනට් පත්‍රිකාව නිකුත් කිරීමටත් කලිනි. මැයි 22දා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ගාස්තු ඉහළ ගියේය. වෙනත් අවස්ථාවල මෙන් සංශෝධිත බස් ගාස්තු බස් රථවල ප්‍රදර්ශනය කිරීම මෙවර සිදු වූයේ නැත.

කාරණය අනෙකකි.

බොහෝ කොන්‍ෙදාස්තරවරු මාරු කාසි නැති බව අඟවමින් ඉතුරු සල්ලි නොදී වැඩි මුදලක් අය කර ගනිති. මීට පෙරද ඔවුන් මේ 'වැරැදි' වැඩේ කළහ. එහෙත් මෙවර බස් ගාස්තු වැඩි වී ඇති ආකාරය අනුව ඉතුරු සල්ලි නොදී සිටීම පහසු වී ඇත.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පවසන්නේ ඉහළ දමන ලද බස් ගාස්තුව සෑම මගී ප්‍රවාහන බස් රථයකම ප්‍රදර්ශනය කළ යුතු බවය. නව බස් රථ ගාස්තු අනුව ප්‍රවේශ පත්‍රයක් ලබාදීම සහ ඉතුරු මුදල් නිසි ලෙස ලබාදීම අනිවාර්ය බවද සභාපතිවරයා අවධාරණය කරයි. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි.
ඉහළ ගිය බස් ගාස්තුවට නොසරිලන ලෙස මගීන්ගෙන් විවිධ ගාස්තු අය කරමින් බොහෝ කොන්‍ෙදාස්තරවරුන් ප්‍රවේශ පත්‍ර ලබා නොදීම සහ ඉතිරි මුදල් ලබාදීමට මාරු කාසි නැතැයි කීම මගීන්ට හිසරදයක් වී ඇත.

බස්නාහිර පළාතේ පවා බොහෝ මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ නැත. රියැදුරන්ට හා කොන්‍ෙදාස්තරවරුන්ට ලබාදී ඇති නිල ඇඳුම් අඳින්නේද නැත. නීති පනවා තිබුණද නීතියට බොහෝ දෙනෙක් ගරු නොකරති. පෞද්ගලික මගී බස් රථ සේවය විධිමත් නීති පද්ධතියක් මත ආරම්භ නොකිරීමේ විපාක විඳින්නේ මගී ජනතාවය.
මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පවසන ආකාරයට රුපියල් දෙක, රුපියල් හතර, පහ ආදිය මාරු කාසිවලින් ආපසු ලබාදෙමින් මගීන්ගේ ඉතුරු මුදල් අනිවාර්යෙන්ම ගෙවිය යුතු අතර පසුව දෙන්නම් හෝ මාරු කාසි නැතැයි කියා මගීන්ගෙන් වැඩිපුර කිසිම මුදලක් අය කළ නොහැකිය. එහෙත් රට පුරා සිදුවෙමින් පවතින්නේ එය ය. මීට පෙර සිදුවූයේද ඊට වෙනස් දෙයක් නොවේ.

පැමිණිලි ඇතොත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 011-5559595 දුරකථන අංකයට දන්වන ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි. එය වැදගත් පියවරකි. මගී ජනතාවගේ වගකීම වන්නේ අදාළ පැමිණිලි නොපමාව කිරීමය. බොහෝ දෙනකු අතේ ජංගම දුරකථන තිබෙන නිසා එය එතරම් දුෂ්කර වන්නේද නැත. වඩා වැදගත් කාරණය වන්නේ මගී ජනතාවගේ පැමිණිලි සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වීමය. වහා පරීක්ෂණයක් පවත්වා නීති මඟින් කටයුතු නොකරන්නේ නම් පැමිණිලිවලින් වැඩක් නැත.

වැරැදිකරුවන්ට නීති මඟින් දඬුවම් දීමට යෑමේදී සෑම ප්‍රශ්නයකටම මැදිහත් වන දේශපාලනඥයන් ඊටද මැදිහත් වනු ඇත. ඒ පිළිබඳව ප්‍රවාහන ඇමැති හා නියෝජ්‍ය ඇමැතිගේ අවධානය යොමු විය යුතුය. ඉතුරු මුදල් නොදීම, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම පමණක් නොව අධික ලෙස මගීන් පැටවීම, සෙමින් ධාවනය (කොට කොටා යෑම) මගී ජනතාවට ප්‍රශ්නයකි. මේ පිළිබඳව අධිකාරියට පැමිණිලි කළ හැකිය. දිගින් දිගටම පැමිණිලි ගලා එන්නේ නම් බලධාරීන්ටද නිකන් බලාගෙන සිටීම අසීරුය. එනිසා ආණ්ඩුවට, බස් හිමියන්ට, කොන්‍ෙදාස්තරවරයාට, රියැදුරාට බැන අඬගසනවා වෙනුවට 'පැමිණිලි' කිරීම හරහා 'නීතිය' මඟින් බස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගත හැකි වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් බිය සැක නැතිව අදීනව නැඟී සිටීමය. නිද්‍රාශීලි ආත්මාර්ථකාමී සමාජයක් ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් අවදි කර ගැනීම අසීරුය. ඒ ඒ අයට ඕනෑ ඕනෑ විදියට රටේ වැඩ කෙරෙන්නේ ඒ නිසාය. පෞද්ගලික බස් ප්‍රශ්නයටද එය අදාළය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon