ඇහැ වහලා ගහන ගේම්

  👤  4894 readers have read this article !
2018-05-31

2002 සෝලිය

විපක්ෂයේ ඉඳලා ඉඳලා දෙයියනේ කියලා යාන්තම් රනිල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ 2002දී ය. එතකොට ජනාධිපතිනිය චන්ද්‍රිකා ය. පුංචි කාලේ ඉඳන් චන්ද්‍රිකාගෙන් ටොකු කාපු රනිල්, චන්ද්‍රිකා අක්කා ගැන කාටත් වඩා දන්නේ ය. වැඩි දවසක් යන්න කලින් ඔළුව හිල් වෙන්නම අනින බව දැනගත් රනිල්, ගේමක් ගැසුවේ ය. 2015දී ගෙනා 19 සංශෝධනයම 2002දීත් පාර්ලිමේන්තුවට ගෙන ආවේය. රටේ වෙලාවට 19 සම්මත කරගන්න එදා රනිල්ට පුළුවන් වුණේ නැත. බැරි වෙලාවත් 2002දී 19 සම්මත වුණා නම් ප්‍රභාකරන්ලා තවමත් ජීවතුන් අතරය. චන්ද්‍රිකාලා, මහින්දලා මළවුන් අතර ය.

ප්‍රශ්නයක් ය. ඇයි? එහෙම වෙන්නේ කොහොමද?

එහෙම වෙන්නේ මෙහෙම ය. වැඩි කල් යන්නට මත්තෙන් චන්ද්‍රිකා ගහන ගේම රනිල් කල් තියාම දැන සිටියේ ය. රනිල් 19 ගෙනාවේ වසර 5ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපතිට හිමි බලය අහෝසි කරන කූට අරමුණ ඉස්සරහට දාගෙන ය.

අතුරු ප්‍රශ්නයක් ය. ආණ්ඩුව විසිරුවේ නැත්නම් ප්‍රභාකරන් බේරෙන්නේ කොහොම ද?

එහෙම වෙන්නේ මෙහෙම ය. 2002 බලයට ආපු ගමන් රනිල් කළේ යුද්ධය වහාම අත්හිටුවා එරික් සොල්හයිම් ගෙන්නගෙන සාම කතා ඇරඹීම ය. සටන් විරාමය පැවැති අවුරුදු දෙකේ වුණ දේවල් නම් අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කොටි ඝාතන කල්ලි ලේසියෙන්ම කොළඹට රිංගා ගත්තේ ය. හමුදා බුද්ධි අංශයට කොළඹවත් ආරක්ෂාවක් නොතිබිණි. කොටින්ගේ දඩයම් ජයටම නැඟලා ගියේ ය. හමුදාව ආයුධ බිම තිබ්බට කොටි එහෙම කළේ නැත. ඔවුන් තව තවත් සන්නද්ධ විය. තිත්ත ඇත්ත ඒක ය.

තත්ත්වේ උග්‍ර අතට හැරීගෙන එනකොට රනිල් ආණ්ඩුව රැකගන්න 19 ගෙනාවේ ය. ඒක ඒ වෙලාවේ සම්මත වුණා නම්, විපක්ෂය ආණ්ඩුවට වැටෙන්න ගැහුවත්, කොටි රට පුරා බෝම්බ ගැහුවත්, ජනතාව පාරට බැස්සත්, කොටින්ම කිව්වොත් මුළු රටටම ආණ්ඩුව තිත්ත වුණත් රනිල් අවුරුදු 5ම ඉන්නවා නියතය. එහෙම වුණා නම් 2005 දී රටේ නායකයා වෙන්න මහින්ද ඉතුරු වෙන්නේ නැත. මහින්ද බලයට ආවේ නැති නම් ප්‍රභාකරන් මැරෙන්නේ නැත. ප්‍රභාකරන් මැරුණේ නැති නම් යුද්ධය ඉවර වෙන්නේ නැත. යුද්ධ ඉවර වුණේ නැති නම් රට ඉතුරු වෙන්නේ නැත. එසේ වූවා නම් 'අපට පුතේ රටක් නැතේ' කියන්නට සිදුවනවා ඇත. අනුර කුමාර කියන්නා සේ දේශපාලන අභිලාශයක් සඳහා හෝ මහින්ද යුද්ධය ඉවරෙටම ඉවර කළේ 2002 රනිල්, චන්ද්‍රිකාගේ ඇස් වහලා ගහන්න හදපු ගේම් එක ෆේල් වුණු නිසා ය.

2015 සෝලිය

විපක්ෂයේ ඉඳලා ඉඳලා දෙයියනේ කියලා යාන්තම් රනිල් ආයෙත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ 2015දී ය. ජනාධිපති වුණේ මෛත්‍රි ය. ජනපති එක පක්ෂයක අගමැති තව පක්ෂයක සෙල්ලම වැඩි දවසක් ප්ලේ කරන්න බැරි බව 2002දී රනිල්ට කියා දුන්නේ 2015 රනිල්ව බලයට ගෙනාපු චන්ද්‍රිකා අක්කා ම ය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය ය. රනිල් වහ වහා ක්‍රියාත්මක වුණේ ය. චන්ද්‍රිකා අහුවුණේ නැති ඇස්බැන්දුමට මෛත්‍රි අහුවුණේ ය. චන්ද්‍රිකා පැත්තකට වී සිනාසුණේ ය.

මෛත්‍රිගේ ඇස් වහලා රනිල් ගේම් එක ගැසුවේ ය. 19 ලේසියෙන්ම සම්මත කරගත්තේ ය. දැන් ජනතාව පාරට බැස්සත්, ඡන්ද පිට පිට අන්ත පරාද වුණත්, මුළු රටටම තිත්ත වුණත්, ආණ්ඩුව විසුරුවනවා බොරු ය. අවුරුදු 5 යනකන් රනිල්ගේ ආණ්ඩුව විසුරුවන්න මෛත්‍රිට බැරි ය.

රට්ටු නම් කියන්නේ දැන් මෛත්‍රිට රනිල්ව තිත්ත වෙලා කියා ය. ඒ කතාව ඇත්ත ද කියලා කියන්නට නම් දන්නේ නැත. කොහොම වුණත් පහුගිය දවස්වල වුණු දේවල් දිහා බැලුවම එහි ඇත්තක් නැත්තේ ද නැත. 19 සම්මත වුණු ගමන් රනිල්-මලික් කල්ලිය ආර්ථික කමිටුවක් පිහිටුවා ගත්තේ ය. ආයෙත් මෛත්‍රිගේ ඇස් වැසුවේ ය.

ආර්ථික කමිටුව නාමයෙන් මලික්ලා මල්ල තර කර ගත්තේ ය. ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්නට බව මෛත්‍රිට තේරුම් යන විට ප්‍රමාද වැඩි ය. හොඳම උදාහරණය සිංගප්පූරු ගිවිසුම ය. මෛත්‍රි ඇසිපිය ගහන ඇසිල්ලට ගිවිසුමේ කොළ පෙරළුණේ ය. ගිවිසුමේ බරපතළකම මෛත්‍රිට තේරෙන්නේ දැන් ය. පෙරහර ගිහින් හමාරය. කස කාරයා එන පොට හොඳ නැති බව මෛත්‍රිට තේරුණා නොවන්නට ඇත. කිසිදු භාණ්ඩයක් නිෂ්පාදනය නොකරන සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමෙන් ලංකාවට ඇති වෙන සෙතක් නැත. සිංගප්පූරුවට අපනයනය කරන්න අපට ඇති දෙයක් ද නැත. භාණ්ඩ ප්‍රති අපනයනයේදී සිංගප්පූරුව අපට වාසි සහගත ලෙස හැසිරෙන්නේ ද නැත.

මහ බැංකු මහ කොල්ලයේ ගේම් එක ප්ලෑන් කරපු මහේන්ද්‍රන්, ගේම් එක මාට්ටු වුණාට පස්සේ රටින් පැන්නේ ය. අන්තර්ජාතික පොලිසියෙන් හොයද්දී හැංගුණේ සිංගප්පූරුවේ ය. මලික්ලාගේ සිංගප්පූරු ගිවිසුමේ ගේම් ප්ලෑන් එක මහේන්ද්‍රන්ගේ ය. මහේන්ද්‍රන් සිංගප්පූරුවේ හැංගිලා ගේම් එක ගැහුවේ ය. රනිල්ලාට, මලික්ලාට විළි ලජ්ජාවක් නම් ඇත්තේම නැත.

බෙල්ලෙන් අල්ලලා ලංකාවට ගෙනැල්ලා කූඩුවේ දාන්න ඕන හොරෙක්ව අද ඔවුන්ගේ මහ මොළකරු වී ඇත.

මලික්ලාගේ ආර්ථික කමිටුව පිස්සු කෙළින බව මෛත්‍රිට දැනෙන විට කල් පසුවෙලා ය. කැබිනට් රැස්වීමේදී රනිල්ලාට මලික්ලාට බැනලා මෛත්‍රි නැඟිටලා යද්දී රනිල්-මලික් ජාම බේර ගන්න පස්සෙන් දිව්වේ ය. රාජිත නම් කිව්වේ ඔවුන් මෛත්‍රි පස්සෙන් ගියේ වැසිකිළියට කියා ය.

2002දී රනිල්ගේ ඇස්බැන්දුමෙන් රට බේරුණේ වාසනාවකටය. 2015දී නම් එහෙම වුණේ නැත. ඒක රටේ අවාසනාවය. රනිල්ගේ වචනවලින්ම කියනවා නම් දැන් ජනතාව පටි තද කරගත යුතුව ඇත. තව අවුරුදු එකහමාරක් ජනතාව මේ දුක විඳිය යුතුව ඇත. මේ අවුරුදු එකහමාරවත් මෛත්‍රි ඇස් ඇරගෙන හිටියොත් ජනතාවට නැතත් මෛත්‍රිගේ නම් ඇඟට ගුණය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon