දුම්රිය සහ වැඩ වර්ජන

  👤  4098 readers have read this article !
2018-06-01

පැය විසිහතරක දුම්රිය වැඩ වර්ජනය අවසන් වී ඇත. දුම්රිය එන්ජින් 6කට හා මැදිරි 11කට වැඩ වර්ජකයන් අලාභහානි සිදුකර තිබෙන බව ආණ්ඩුව චෝදනා කරයි. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසන්නේ එහි වගකීම භාරගත යුත්තේ සේවාවේ නිරතව සිටි සේවකයන් බවයි. කවුරුන් කළද දුම්රිය දේපොළවලට හානි කිරීම නරුම වැඩකි. දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පාඩු ලබන ආයතනයක දේපොළ විනාශ කිරීම ජාතික අපරාධයක් යැයි කීම වැරැදි නැත. මේ රාජ්‍ය ආයතන විනාශ මුඛයට යන්නේ මෙවැනි මුග්ධයන් නිසාය.

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අසාධාරණ බවත් අසාර්ථක බවත් වැඩබලන ප්‍රවාහන ඇමැතිවරයා පැවසුවද වෘත්තීය සමිති පවසන්නේ වැඩ වර්ජනය ටිකක් සාර්ථක බවය. වැඩ වර්ජනය සාර්ථක නැති බව ඉන් පැහැදිලිය.
සෑම මාසයකම වැඩ වර්ජනයක් අරඹන තත්ත්වයට රට වැටී ඇත. වෘත්තීය සමිතිවලට වැඩ වර්ජන කිරීමට ඇති අයිතිය ප්‍රශ්න කළ නොහැකිය. එහෙත් මේ ආකාරයට වැඩ වර්ජන කිරීම කිසිසේත් රටට හිතකර නැත. ජනතා සේවය තුට්ටුවකට මායිම් නොකර සිය වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් වැඩ වර්ජන ඇරැඹීම අනුමත කිරීමට නොහැකිය.

රාජ්‍ය සේවකයන් සඳහා වරප්‍රසාද රැසකි. මේ ආණ්ඩුව බලයට පත්වූ පසු වැටුප් වැඩිවීමක්ද කළේය. පෞද්ගලික අංශයේ සේවකයන්ට ඒ කිසිවක් නැත. එසේ තිබියදී වැටුප් හා වරප්‍රසාද ඉල්ලා නිතර නිතර වැඩ වර්ජන කිරීම නිසා ඇතැම් පිරිස් පවසන්නේ රට තුළ ඒකාධිපති පාලනයක් තිබුණා නම් මේ කරදරයන් නැති බවය. රජයේ සේවයේ ඇති වැටුප් ප්‍රශ්න විසඳීම හා ශේ‍ර්ණිගත කිරීමේ ක්‍රමයන් විධිමත් කළ යුතු බව තවත් පිරිසක් පවසති.

දුම්රිය සේවයේ තාක්ෂණික ශිල්පීන් ඇතුළු අංශ කිහිපයක සේවකයන් ‍ෙදාළොස් දහසක් එකතු වී ඇරැඹූ වැඩ වර්ජනයේ මූලික ඉල්ලීම වන්නේ වැටුප 25%කින් වැඩිකර ගැනීමය. ලාභ නොලබන දුම්රිය දෙපාර්තමේන්තුවට වැටුප් වැඩිකිරීම ඇත්තටම ප්‍රශ්නයකි. එහෙත් දෙපාර්තමේන්තුවේ සේවකයන් කොටසකගේ වැටුප් හා දීමනා මෑතකදී වැඩි කර ඇත. තාක්ෂණික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර තිබේ. ඔවුන් වැඩ වර්ජනයක් අරඹා ඇත්තේ ඒ අතරේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පමණක් නොව රජයේ සෑම ආයතනයකම සේවකයන් අතර බරපතළ පන්ති පරතරයක් තිබේ. සුපිරි සේවක පන්තියේ ඉල්ලීම් ක්ෂණිකව ඉටුවුවද සෙසු පන්තිවල සේවක ඉල්ලීම් එකවර ලැබෙන්නේ නැත. සනීපාරක්ෂක සේවකයන්, රියැදුරන් වැනි අංශවලට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. ඕනෑම ආයතනයක් පවත්වාගෙන යා හැක්කේ සාමූහිකව වැඩ කිරීමෙනි. විශේෂයෙන් ප්‍රවාහන, සෞඛ්‍ය වැනි සේවාවල සියලුම අංශ එක හා සමානව වැදගත්ය. එහෙත් කිසිවිටෙක එසේ සිතා තීන්දු ගන්නා බවක් පෙනෙන්නට නැත.

මේ කරුණු කාරණා සැලකිල්ලට ගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීම වන්නේය. එහෙත් එවැනි අවධානයක් මැති - ඇමැතිවරුන් තුළ ඇත්තේ නැත. සියලු අංශ කුණුවී ඇති රටක 'ක්‍රමවේදය' පූර්ණ ලෙස වෙනස් නොකර ඉදිරියට යා නොහැකිය. නමට 'වෙනස' ගැන කතා කර පලක් නැත. කටින් බතල කොළ සිටුවන්නන්ට කළ හැක්කේ මේ 'ක්‍රමය' තවත් කුණු වෙන තුරා බකංනිලාගෙන සිටීම පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon