ඉතිරි කිරීම හා ආපසු ගැනීම

  👤  3778 readers have read this article !
2018-06-04

දිනෙන් දින ජීවන බර වැඩි වෙයි. රටේ බහුතරයකට 'ජීවත්වීම' ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. නිදහසින් පසු බලයේ සිටි පාලකයන්ගේ 'වැරැදි'වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වර්තමානයේ ජීවත්වන්නන්ටය. අතීතයේ ජීවත් වූවන්ද ඊට වන්දි ගෙවූ අතර, අවාසනාව වන්නේ අනාගතයේ උපදින්නන්ටද ඒ පව්කර ගැසීමට සිදු වී තිබීමය.

බඹරා මල නොතළා රොන් ගන්නා සේ ජනතාවගෙන් 'බදු' අය කර ගන්නැයි ගෞතම බුදුන් වහන්සේ දේශනා කළද බදු බර ජනතාවට දරාගත නොහැකි වෙමින් පවතී. ජීවන බර වැඩිවීමට 'බදු' සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

කොරේ පිටට මරේ කීවා සේ වාණිජ බැංකුවල තැන්පත් කර තිබෙන ඉතිරි කිරීමේ ගිණුම්වල මුදල් නැවත ලබාගැනීමේදී රුපියල් 5 සිට රුපියල් 20 දක්වා මුදලක් කපා ගැනීමට පියවර ගෙන ඇත. රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකුද මේ 'මුදල් ආපසු ගැනීමේ බද්ද' අය කර ගනී. මේ අතර ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ගැනීමේදී රුපියල් 5ක්ද එහිදී ලබාගන්නා රිසිට් පත වෙනුවෙන් තවත් රුපියල් 5ක්ද වශයෙන් කපා ගැනීමට ඇතැම් බැංකු කටයුතු කරයි. බැංකු කවුළුවලින් මුදල් ලබා ගන්නා විට වාණිජ බැංකු රුපියල් 10ක් හෝ 20ක් හෝ ආදී වශයෙන් මුදල් කපා ගැනීමද සිදුවේ. එහෙත් රාජ්‍ය බැංකු අතරින් සමහරක් ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේදී රුපියල් 5ක් අයකරනු ලැබුවද බැංකු කවුළුවෙන් මුදල් ලබාගැනීමේදී එවැනි මුදලක් අය නොකරයි.

වාණිජ බැංකු මෙලෙස මුදලක් අය කරගන්නේ ටෙලර් යන්ත්‍ර නඩත්තුවට බව පැවැසෙයි. ඇතැම් බැංකු පවසන්නේ කවුළුවල පවතින අධික තදබදය අවම කර ගැනීමට ගනුදෙනුකරුවන් ටෙලර් යන්ත්‍රයට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙස කවුළුවෙන් මුදල් ලබාගැනීමේදී සුළු මුදලක් අය කරන බවය.
කවුළුවල තදබදය අවම කර ගැනීමට කියා එතැනින් මුදල් කපා ගන්නා අතර ටෙලර් යන්ත්‍ර නඩත්තුවට කියා එතැනින්ද මුදලක් කපා ගනී. ටෙලර් යන්ත්‍රයෙන් නිකුත් කරන රිසිට් පත්‍රයට වෙනම මුදලක් කපා ගැනීම අරඹා ඇත්තේ මෑතක සිටය.

රජයේ බලධාරීන් පවසන ආකාරයට මේ අය කිරීම් ඒ ඒ බැංකුවල තීරණ මිස රජයේ බදු පැනවීමක් නිසා සිදුකරන්නක් නොවේ. ප්‍රශ්නය වන්නේ කවුරු කොහොම කළත් මේ සියලු අය කිරීම්වලින් තට්ටු වන්නේ ජීවන බරින් පීඩිත වී සිටින සාමාන්‍ය ජනතාවගේ තුට්ටු දෙකටය. හදිස්සියකට ගැනීමට දුක් මහන්සියෙන් ඉතුරු කරන මුදලට සොච්චම් පොලියක් දෙන බැංකු මුදල් ආපසු ගැනීමේදී මුදලක් අය කිරීම කිසිසේත් සාධාරණ නැත.

බොහෝ වාණිජ බැංකු ටෙලර් යන්ත්‍ර ඇතුළු නවීන තාක්ෂණය ගනුදෙනුකරුවන්ට ලබාදී ඇති බව ඇත්තය. එහෙත් පාඩු නොලබන මේ බැංකු මෙලෙස රුපියල් දහය විස්ස සිය ගනුදෙනුකරුවන්ගෙන් අය කර ගැනීම අනුමත කළ නොහැකිය. ගනුදෙනුකරුවන් ඉතිරි කරන මුදල් අධික පොලියකට ණයට දී බැංකුව විශාල ලාබයක්ද උපයා ගනී.

ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලැසීම තරගකාරී බැංකු අතර සිදුවිය යුතු දෙයකි. එහි වාසිය ඇත්තේ ඒ ඒ බැංකුවටය. යම් මුදලක් අය කිරීම සාධාරණ වුවත් එය සිය ගනුදෙනුකරුවන්ගේ සිත් රිදවීමක් නොවිය යුතුය.

රජය ද මේ කටයුතු ගැන සොයා බැලීමක් කළ යුතුය. රාජ්‍ය වේවා, පෞද්ගලික වේවා බැංකුවලින් පාරිභෝගික ජනතාවට ලබාදෙන පහසුකම් හා අය කිරීම ගැන යම් නියාමනයක් අවශ්‍යය. හිතුමනාපයට මෙලෙස තීරණ ගැනීමට ඉඩදීම සමාන කළ හැක්කේ පෞද්ගලික බස් සේවය නිසා මගී ජනතාවට සිදුව ඇති නස්පැත්තියටය. බදු බර උර මත දරාගෙන ජීවන බරින් පීඩිතව ජීවිතයට මුහුණ දෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සිටින රටක තීරණ ගැනීමේදී කවුරු කවුරුත් මීට වඩා සානුකම්පිත විය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon