118

  👤  3387 readers have read this article !
2018-06-05

මහ බැංකු බැඳුම්කර වංචාව නිසා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට ආරම්භයේදීම සිදුවූයේ මහත් අලකලංචියකට මුහුණ දීමටය. හවුල් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර, විශේෂයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර යම් දුරස්ථ භාවයක් බැඳුම්කර සිද්ධිය නිසා ඇති වූ බව කීම වැරැදි නැත. බැඳුම්කර වංචාව එක්සත් ජාතික පක්‍ෂය තුළද විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් විය. රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ ගැන සෙවීමේ සුජාත අයිතිය මේ නිසා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට අහිමි වී ගියේය.

කාරණය අනෙකකි.

බැඳුම්කර සිද්ධිය යළි කරළියට පැමිණ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයද ඊට කොටු කර ගනිමිනි. මෙතෙක් මේ වංචාවට හසුවී සිටියේ ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනකු පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගැන පමණක් නොව සියලු මන්ත්‍රිවරුන් ගැන පොදුවේ දේශපාලනඥයන් පිළිබඳ විශ්වාසයක් මේ සමාජයට නැත. ඡන්ද දායක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට පෞද්ගලිකව තමන්ට උදවු පදවු තිබේ නම් මන්ත්‍රිවරයා 'හොරා' වුණත් ප්‍රශ්නයක් නැති බව පෙනෙයි. 'උෟත් වලා මූත් වලා ගමේ වලා අපට හො¼දා' කීවා සේ 'උෟත් හොරා මූත් හොරා පක්‍ෂයේ හොරා අපට හො¼දා' යැයි ඔවුහු සිතති. තමන්ගේ පක්‍ෂයේ අය හොරා කෑවාට ඇතැමුන්ට ප්‍රශ්නයක් නැත. විරුද්ධ පක්‍ෂයේ කට්ටියගේ හොරකම් ගැන ඔවුහු රෑ දහවල් දෙකේම කතා කරති. ඒ අන් කිසිවක් නිසා නොව සිය පක්‍ෂයට බලය අරන් දීමටය. හොරා කෑම අලුතෙන් පටන්ගත් විට මස් කටුවක් දෙකක් තමන්ද සූප්පු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවය.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 118 දෙනකු ඇලෝසියස්ලාගෙන් මුදල් ත්‍යාග අරගෙන තිබේ යැයි එල්ල වී ඇති චෝදනාවයි. චෝදනාව බරපතළ වන්නේ බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසු මේ මුදල් ලබාදී තිබීමය. බැඳුම්කර වංචාව සිදුවූයේ 2015 මුල් කාර්තුවේය. මහ මැතිවරණය පැවැත්වූයේ 2015 තුන්වැනි කාර්තුවේය. මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ මේ අතරතුරය.

ඇලෝසියස් මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 118 දෙනාට ලබාදී ඇතැයි පැවැසෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 136කි. මෙහි සත්‍ය අසත්‍යතාව තවමත් ඔප්පු වී නැතත් හිටපු ඇමැති ශ්‍රී ලනිප මන්ත්‍රි දයාසිරි ජයසේකර හා එ.ජා.ප. මන්ත්‍රි ඇමැති සරත් ෆොන්සේකා තමන් සන්තෝසම් වශයෙන් මුදල් ලබාගත් බව දැනටමත් පිළිගෙන ඇත. මේ දෙදෙනා මෙන්ම තවත් අය කියන නිදහසට කරුණු ඇසූ විට ලජ්ජා හිතෙන්නේ මොවුන්ට ඡන්දය දුන් ජනතාව ගැනය. ඒ මදිවාට 'ඇත්ත' තොරතුරු ලබා ගැනීමට ඇති නෛතික බාධා එමටය.
තොරතුරු පනත හරහා මේ මන්ත්‍රි ලැයිස්තුව ලබාගත නොහැකි නම් ඒ තොරතුරු පනතෙන් පලක් නැත.

දේශපාලනඥයන්ට මැතිවරණ කටයුතුවලට ව්‍යාපාරිකයන් කවදත් මූල්‍ය ප්‍රදාන කළ බව ප්‍රසිද්ධ රහසකි. දේශපාලන පක්‍ෂවලටද මෙලෙස ඔවුහු මුදල් ලබාදෙති. ප්‍රශ්නය වන්නේ කිසිදු විගණනයක් සිදු නොවීමය. මැතිවරණයේ අවසානයේ
පක්‍ෂවලින් අය - වැය වාර්තා ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැත. 1979ට පෙර
අපේක්‍ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබිණි. එහෙත් ඉන් අනතුරුව එවැන්නක් සිදු වූයේ නැත. යළි ඒ නීති ගෙන ආ යුතු බව මේ 'සන්තෝසම්' සිද්ධියෙන්ම පැහැදිලි වේ.

ඇලෝසියස්ලාගේ මුදල් ප්‍රදාන පක්‍ෂ දෙකේම මන්ත්‍රිවරුන් පිරිසක් විසින් සාක්කුවේ දමාගෙන ඇති බව පෙනී යයි. අවධානය යොමු විය යුතු අනෙක් කාරණය නම් බැඳුම්කර වංචාද මීට පෙර දිගින් දිගටම සිදුවී ඇති බවය. 2015ට පෙර එනම් 2008 - 2014 වර්ෂවල සිදුව ඇති බැඳුම්කර වංචා සොයන බව අගමැතිවරයා ප්‍රසිද්ධියේ පැවැසුවද අද වනතුරු ඒ ගැන කිසිදු
පරීක්‍ෂණයක් පැවැත්වූයේ නැත්තේ කවුරු කවුරුත් කුඩු කා ඇති නිසා විය යුතුය.

සබුද්ධික ජනතාව මේ කතන්දරයෙන් අවබෝධ කර ගත යුතු සත්‍ය අන් කිසිවක් නොව අන්ත දූෂිතයන්ගෙන් අපේ දේශපාලන ලෝකය ජරාජීර්ණ වී ඇති බවයි. ඇත්ත කතාව නම්, රට ඔවුන්ගෙන් ගලවා ගන්නවා මිස අපේ ගැලවුම්කරුවන් ලෙස ඔවුන්ව තෝරා ගැනීම මිථ්‍යාවක් බවයි. සිවිල් සමාජයේ දැනුවත් වීමකින්, මැදිහත් වීමකින් තොරව රට මේ නරාවළෙන් ගොඩ ගත නොහැකිය. ඒ සඳහා අර්ථවත් මැදිහත් වීමකට කාලය එළැඹ ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon