අපි ප්ලාස්ටික් පිටුදකිමු

  👤  4120 readers have read this article !
2018-06-06

ඊයේ දිනයට යෙදී තිබුණු ජගත් පරිසර දිනය නිමිති කරගෙන රට පුරා පැළ දස කෝටියක් සිටුවන බව ආණ්ඩුව කියා තිබිණි. කොළඹ මහ නගර සීමාවේ ගස් පිළිබඳ සංගණනයක් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබුණේද ජගත් පරිසර දිනය නිමිති කරගෙනය. පරිසර දිනයට කුමක් කළත් මෙරට පරිසරය දිනෙන් දින විනාශ මුඛයට යෑම ගැන නම් මීට වඩා යමක් කළ යුතු බව ඉතා පැහැදිලිය.

"ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු" යන්න මෙවර පරිසර දින තේමාවය. ලංකාවද ප්ලාස්ටික් අවභාවිතයේ ඉදිරියෙන්ම සිටින රටකි. පොදුවේ ගත් විට දිවයිනේ දිනකට එක්රැස් වන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 8,000ක් පමණ වේ. ඉන් ජනිත වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 480ක් ලෙස සැලකේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය සමග කසළ බැහැර කිරීම නිසා කානු පද්ධති හා ජලාපවහන පද්ධතිය අවහිර වී ඇත. කොළඹ මූලිකව දිවයිනේ නගර බොහෝමයක් වැසි ජලයෙන් යටවීමට මේ තත්ත්වය හේතු වී තිබේ.

මෙරට පොලිතින් භාවිතයද පාරිසරික ප්‍රශ්නයක් වී ඇත. එහෙත් පොලිතින් තහනමට විරුද්ධ අයද මෙරට සිටිති. ජනාධිපතිවරයා ජාතික පරිසර දින සමුළුවේදී ප්‍රකාශ කර ඇති පරිදි පොලිතින් තහනමට එරෙහිව පෙළපාළි ගිය එකම රට ශ්‍රී ලංකාවය.
ප්‍රතිගාමීන්ගේ උසිගැන්වීම් හා ඇතැම් ව්‍යාපාරිකයන්ගේ නොමඟ යැවීම් මීට හේතුව ලෙස සැලකිය හැකිය.

ප්ලාස්ටික් ප්‍රශ්නයට යළි අවධානය යොමු කළහොත් ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම ඇත්තේ අපටය. හරිත පරිසරයක් ගැන කෙතරම් කතා කළද බොහෝවිට ප්ලාස්ටික්වලින් තොර නිවෙසක්, කාර්යාලයක් සොයා ගත නොහැකි තරම්ය. දිනකදී පරිසරයට මුදා හරින ප්ලාස්ටික් ප්‍රමාණය කොපමණද? මුහුදු වෙරළේ, ගංගා ඉවුරේ සහ එවැනි බොහෝ ස්ථානවල කා බී විනෝද වන අය ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය කෙතරම් ප්‍රමාණයක් පරිසරයට එකතු කරනවාද?

මුහුදු වෙරළේ, ගංගා ඉවුරේ මුදාහරින ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ජලයට එක්වී ජලය අපිරිසුදු කරයි. මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය වැඩියෙන්ම එකතු කරන ලෝකයේ සිවුවැනි රට බවට ලංකාව පත්ව ඇත්තේ ඒ නිසාය.

ප්ලාස්ටික් මූලික අපද්‍රව්‍ය මෙලෙස පරිසරයට මුදාහැරීමෙන් සිදුවන දූෂණය මානවයාට හා පොදුවේ සත්ත්ව ජීවිතයට කෙතරම් විනාශකාරීද යන්න අප ගැඹුරින් සලකා බැලිය යුතුය. මින් ගැලවීමට නෛතික ක්‍රියාමාර්ගවලටත් වඩා වටින්නේ දැනුවත් කිරීමය. අප සැවොම එකාමෙන් එක්වී පරිසරය රැක ගත යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ පරිසරයේ ජීවත් වන්නේ අප නිසාය.

පැළ දස කෝටියක් සිටුවීම මෙන්ම තිබෙන පරිසරය රැක ගැනීමටද අධිෂ්ඨානයක් තිබිය යුතුය. නොඑසේ නම් කොළඹ පමණක් නොව දිවයින පුරා සංගණනය කිරීමට ගස් ඉදිරියේදී අපට නැති වනු ඇත.

මේ පරිසර දිනයේ අපේ අධිෂ්ඨානය විය යුත්තේ පරිසරය රැක ගැනීමට මම පෞද්ගලිකවම කැපවෙමි, ඇපවෙමි යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon